වර්තමාන ලෝකයේ සියලු දෙයම ‹ස්මාට්› වෙමින් පවතින බව කීම බොරුවක් නොවේ. අප භාවිත කරනා ජංගම දුරකථන පමණක් නොව, නිවසේ කාර්යාලයේ කුදු මහත් උපකරණ බොහෝමයක්ද ස්මාට් වෙමින් පවතින්නේ අපට සිදුකිරීමට ඇති කාර්යයන් වඩ වඩාත් පහසු කරවමිනි. කෙසේ නමුත් මෙහිදී ස්මාට් වීම යනුවෙන් බොහෝ විට අදහස් වන්නේ වෙනදා අප විසින්ම කළ යුතුවූ කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීමක් බවද කිව යුතු වේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, පැරණි ක්‍රමයට ඔබ නින්දට යන්නට පෙර බිත්තිය මත ඇති ස්විචයෙන් නිවා දැමිය යුතු විදුලි බල්බය ස්මාට් වූ විට, ඔබට ස්විචය කරා නොගොස් හඬ විධානයකින් නැතිනම් හස්ත චලන විධානයකින් නිවා දැමීමේ හැකියාව ලැබේ. කෙසේ නමුත් මේ කියන්නට යන්නේ ස්මාට් ලෝකයට එක් වූ නවතම සන්නිවේදන සහකරුවෙකු නැතිනම් මැසෙන්ජර් යෙදුමක් ලෙසින් හඳුන්වා දිය හැකි Google Allo සම්බන්ධයෙනි.
වර්තමානයේ අපද බහුලව භාවිත කරන මැසෙන්ජර් සේවාවන් තිබේ. මෙයින් Whatsapp, Viber සහ Facebook messenger ප්‍රධාන තැන් ගන්නේ ඒවා භාවිතයේ ඇති පහසුව, පරිශීලක මිත්‍රශීලී භාවය, ඉහළ මට්ටමේ ආරක්ෂිත භාවය සහ සපයන්නාවූ පහසුකම් ප්‍රමාණය සමගිනි. කෙසේ නමුත් Google Allo මේ සියල්ල පරයා ඉදිරියට එනු ඇතැයි විශ්වාසයෙන් බොහෝ දෙනා අනාවැකි පළ කර සිටී. සැබවින්ම සතුව ඇති සුවිශේෂී පහසුකම් මොනවාද?
Google Allo සතුව ඇති සුවිශේෂීම හැකියාව වන්නේ එහි ඇති ස්මාට් හැකියාව යැයි කීම නිවැරදි වේ. සාමාන්‍යයෙන් නව ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයන් වෙත ලැබෙනා විශේෂාංගයක් වන ඔබේ හඬ විධානයන්ට ප්‍රතිචාර දක්වන Google Assistant තත්‍යාසන්න සහකරු මෙහිදී චැට් බඩී කෙනෙකු ලෙසින් ඔබට දකින්නට ලැබෙනු ඇත. එනම් ඔබට කටහඬින් පවසන විධාන මගින් Google Assistant හරහා ඉටු කරවා ගත යුතු දේ චැට් විධාන ලෙසින් ලබාදිය හැක. උදාහරණයක් ලෙසින් ගත් විට How are you යනුවෙන් ඇසීමේ සිට, ඔබේ කැලැන්ඩරයේ ඇති ඉදිරියට ඇති සිහිකැඳවීම් පෙන්වා දීම, ආසන්නයේම ඇති චීන අවන්හලක් සොයාගැනීම දක්වා ඔබ හඬ විධාන මගින් ඉටුකොට ගන්නා කුදු මහත් කටයුතු සියල්ලම මගින් ඉෂ්ට කොට දෙනු ඇත. එසේම ඔබට දවසේ පුවත් ලබාදීම, කාලගුණ වාර්තාවන්, ලෝකය පිළිබඳ ඔබ නොදත් කරුණු යනාදිය දැන්වීම පමණක් නොව ‹ඔබේ හිතට හරි නැති› බව කී විට ඔබට විහිළු කතාවක් කීම දක්වා කටයුතු සිදුකිරීමට වෙත හැකියාව තිබේ.
Google Allo හරහා ඔබ වෙනත් අයෙකු සමගින් චැට් කරනා විටකදීද යෙදුම මගින් මෙම ස්මාට් හැකියාව පෙන්වා දෙනු ඇත. එනම්, ඔබ මිතුරෙකු හා චැට් කරනා විටකදී මිතුරා විසින් ඔබට පවසන යම් දෙයක් වටහාගෙන, ඊට ඔබට දැක්විය හැකි ප්‍රතිචාර කිහිපයක් දර්ශනය කරවීමට Google Allo වෙත හැකියාව තිබේ. එනම් ඔබට ඔබේ ප්‍රතිචාරය ටයිප් කිරීමට අවශ්‍ය නොවන අතර, Google Allo විසින් පෙන්වන ප්‍රතිචාර අතුරින් වඩාත් ගැලපෙන්නේ යැයි ඔබට සිතෙන ප්‍රතිචාරය තෝරා යැවීමට මෙහිදී හැකියාව තිබේ. එසේම පවසන දෑ පමණක් නොව කවරෙකු හෝ විසින් ඔබට එවනා ඡායාරූපයක් තුළ වුවත් අඩංගු වන්නේ කුමක්දැයි හඳුනාගෙන, ඊට ගැලපෙන ප්‍රතිචාර ලැයිස්තුවක් ලබාදීමටද Google Allo වෙත හැකියාව තිබේ.
එපමණක් නොව ඔබ චැට් හරහා පවසන දේ කියවමින්, ඔබ ගැන උගෙනීමේ හැකියාවද Google Allo වෙත තිබේ. එනම් ඔබ බහුලව භාවිතා කරන භාෂා විලාසය, ඔබේ ප්‍රියතම වචන රටාවන් යනාදිය හඳුනා ගැනීමටත්, ඒ මගින් වඩාත් පරිශීලකයා වෙත කේන්ද්‍රගතව ස්මාට් හැකියාව භාවිත කිරීමටත් Google Allo වෙත හැකියාව තිබේ.මීට අමතරව Google Allo සමගින් ඡායාරූප හුවමාරු කරගැනීමේදී ඒ මත ඩූඩල් ආකාරයට ඔබට අවශ්‍ය දෑ සටහන් කිරීමට, පහසුවෙන් ඡායාරූප හුවමාරු කරගැනීමටද පහසුකම් තිබේ. මෙහි ආකර්ෂණීය ස්ටිකර් එකතුවක්ද තිබෙනා අතර, ඒ හරහා ඔබේ චැට් පණිවුඩයන් වර්ණවත් කරගැනීමද පහසු කටයුත්තක් වේ. එසේම Google Allo හරහා ඔබ යවනා වචනයක් හෝ වාක්‍යයක් පෙනෙනා ෆොන්ට් ප්‍රමාණය අඩු වැඩි කිරීමේ පහසුකමද මෙහි ඇති තවත් විශේෂාංගයකි.
කෙසේ නමුත් Google Allo සම්බන්ධයෙන් ලොව පුරා ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස්ද සංසරණය වනු දක්නට ලැබේ. මින් ප්‍රධානතම චෝදනාව වන්නේ Google Allo මගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන්නේය යන්නයි. ඔබට Google Allo හරහා ස්මාට් සේවාවක් ලබාදීමට නම් ඔබ හුවමාරු කරගන්නා පණිවුඩයන් ගූගල් සර්වරයන් තුළ ගබඩා කරගත යුතුවේ. එවිට සංවේදී තොරතුරු තුන්වන පාර්ශවයන් අතට පත්වීමේ සිට විවිධ ගැටලු මතුවනු ඇත. කෙසේ නමුත් මේ සඳහාද පිළියමක් ලෙසින් Google Allo තුළ Incognito mode යනුවෙන් විශේෂාංගයක් තිබේ. එනම් Incognito mode හරහා ඔබ හුවමාරු කරගන්නා තොරතුරු එක් අන්තයකින් අනෙක් අන්තයට කේතනය කෙරෙන අතර, එම තොරතුරු ගබඩා වීමක් සිදු නොවේ. එසේම අවශ්‍ය නම් ඔබට අවශ්‍ය නිශ්චිත කාලයකට පසුව ඔබේ Google Allo සංවාදයක් ස්වයංක්‍රීයව ඩිලිට් වන ලෙසින් සැකසුම් කිරීමටද හැකියාව තිබේ.