අතීතයේ තිබූ රැහැන් රහිත සම්බන්ධතාවන් ඔස්සේ ක්‍රියාත්මක වන මවුස් උපාංගයන් සමගින් ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණු දුර්වලතාවන් දෙකකි. ඉන් එකක් වූයේ රැහැන් සහිත මවුස් උපාංගයකට සාපේක්ෂව සුළු ප්‍රමාද ප්‍රතිචාර කාලයක් තිබීමයි. එනමුත් මෙය සාමාන්‍ය වැඩකටයුතු වලදී පරිශීලකයාට විශේෂයෙන් නොදැනෙන තරමට සුළු ගැටළුවක් විණි.
එනමුත් පරිගණක ක්‍රීඩා ලෝලීන් වැන්නවුන් හට මෙය අතිශය බරපතළ ගැටළුවක් වූ බව නොකිවමනායි. මවුස් උපාංග සමගින් අතීතයේ දක්නට ලැබුණු අනෙක් දුර්වලතාව වූයේ බැටරි බලයයි. විශේෂයෙන්ම අතීතයේ තිබූ රැහැන් රහිත මවුස් උපාංග වියළි කෝෂ මගින් ක්‍රියාත්මක වූ අතර, නිරන්තර භාවිතයේදී සිතාගත නොහැකි තරම් ඉක්මනින් බැටරි බැස යෑම ගැටළුවක් බවට පත්විණි. කෙසේ හෝ පරිගණක ආදාන හා ප්‍රතිදාන උපාංග නිෂ්පාදන තාක්ෂණය දියුණු වීමත් සමගින් මෙම ගැටළු දෙකම සාර්ථක අන්දමින් විසඳිණි.
වර්තමානයේදී මවුස් උපාංගයක ප්‍රතිචාර කාලය ක්ෂණික වන අතර, පරිගණක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙනා විශේෂිත ගේමින් මවුස් උපාංගයන් තුළ මෙම ප්‍රතිචාර කාලය වෙනසක් නොදැනෙන තරමට දියුණු වී තිබීම ගේමින් මවුස් නිෂ්පාදනයන්හි ජයග්‍රහණයක් ලෙසින් සැලකිණි. කෙසේ නමුත් බැටරි බලය සම්බන්ධ ගැටළුව තවමත් ඉතිරිව තිබේ.
සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිත වන රැහැන් රහිත මවුස් උපාංගයක බැටරි එක් වරක් දැමූ පසුව වසරක් පමණ එක දිගට භාවිත කළ හැකි පරිද්දෙන් බැටරි ආයුකාලය දීර්ඝ වී ඇත. එනමුත් ගේමින් මවුසයක් සාමාන්‍ය මවුසයකට වඩා බලශක්තිය භාවිත කරමින් ක්‍රියාකාරී වන බැවින් තවමත් දීර්ඝ කාලයක් පවතින ලෙසින් බැටරි ආරෝපණය තබා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ.
ඒ නිසාම බොහෝ උග්‍ර පරිගණක ක්‍රීඩා ලෝලීන් රැහැන් සහිත මවුස් උපාංගයන් තෝරාගැනීමට පෙළැඹී සිටී. හඳුන්වා දෙන Logitech Powerplay මවුස් පෑඩ් උපාංග කට්ටලය වෙළෙඳ පොළට පැමිණෙන්නේ එම ගැටළුවට විසඳුමක් ලෙසිනි.
මෙම Logitech Powerplay උපාංගය සැබවින්ම සාමාන්‍ය මවුස් පෑඩයක් ලෙසින් දිස්වන අතර, එය රැහැන් රහිත බැටරි ආරෝපණය කරනා දෘඩාංගයක්ද සමගින් සංයුක්තව පැමිණ තිබේ. මෙම උපාංගය භාවිත කිරීම මගින් ඔබට රැහැන් රහිත ගේමින් මවුසය භාවිත කරන අතරේදීම එය ආරෝපණය කරගැනීමට හැකියාව ලැබේ.
මෙම හැකියාව වඩාත් වැදගත් වන්නේ පරිගණක ක්‍රීඩා ලෝලීන් හට බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිරන්තරයෙන්ම මවුසය ආරෝපණය වෙමින් පවතින නිසාවෙන්, කිසිවිටෙකත් ක්‍රීඩාව අතරතුරදී මවුසයේ බැටරි බැස නොයන බවට සහතික විය හැක.
අඟල් 10.8 x 12.6 ක දිගින් හා පළලින් යුක්ත මෙම Logitech Powerplay මවුස් පෑඩය සාමාන්‍ය පරිශීලකයෙකුට මෙන්ම පරිගණක ක්‍රීඩා ලෝලියෙකු හටද මවුසය හැසිරවීමට ප්‍රමාණවත් අවකාශයක් ලබාදෙනු ඇත.
මෙය මවුස් පෑඩයට ස්ථාපනය කොට ඇති විශේෂිතව සැකසූ විද්‍යුත් චුම්භක සම්ප්‍රයුක්ත පද්ධතියක් හා පැමිණෙන නිසාවෙන්, ඒ හා ගැළපෙන ඕනෑම Power core එකක් ඇති මවුස් උපාංගයක් හෝ ගැළපෙන Power core එකක් ඇති වෙනයම් Logitech උපාංගයක් මවුස් පෑඩය මතට පැමිණි විට ස්වයංක්‍රීයව හඳුනාගනිමින් එය ආරෝපණය කිරීම අරඹනු ඇත. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වන නිසාවෙන්ම ඔබට මේ සම්බන්ධයෙන් සිතීමට පවා අවශ්‍යතාවක් මතු නොවනු ඇත.
මෙම Logitech Powerplay මවුස් පෑඩය පැමිණෙනු ඇත්තේ දෘඩ මතුපිටක් මෙන්ම සුමුදු මතුපිටක් යන දෙයාකාරයේම මවුස් පෑඩ් පෘෂ්ටයන් සමගින් නිසා, ඔබගේ අවශ්‍යතාවයට අනුකූලව එය මාරු කරමින් භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත. නැවතත් කිව යුත්තේ එසේ මවුස් පෑඩයේ මතුපිට පෘෂ්ටයේ සුමුදු බව හෝ දෘඩ බව සැබවින්ම වැදගත් වනු ඇත්තේ දැඩි පරිගණක ක්‍රීඩා ලෝලීන්ට පමණක් වන බවයි.
එසේම මේ වනවිට මෙම Logitech Powerplay මවුස් පෑඩ් උපාංගය හා අනුකූල වන මවුස් උපාංග දෙකක් ලොජිටෙක් සමාගම මගින් නිෂ්පාදනය කොට ඇත. ඒ Logitech G903 සහ Logitech G703 යන මවුසයන් ද්විත්වයයි. කෙසේ නමුත් නුදුරු අනාගතයේදීම වඩාත් ඉහළ හැකියාවන්ගෙන් සහ ශක්‍යතාවන්ගෙන් යුතු ගේමින්ග් මවුසයන් Logitech Powerplay මවුස් පෑඩ් උපාංගය හා අනුකූල වන ලෙසින් නිපදවීමට ලොජිටෙක් සමාගම කටයුතු කරනු ඇති අතර මෙය විශේෂයෙන්ම වෘත්තිමය පරිගණක ක්‍රීඩා ලෝලීන් හට සුභ ආරංචියක් වනු ඇත.