පසුගිය කාලයේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වූ වැකියක් වූයේ "1969 දී නාසා ආයතනය සතුව තිබුණු පරිගණක පද්ධතියේ එකතුවට වඩා පරිගණක බලයක්, අද ඔබේ ස්මාට්ෆෝනයට ඇත. නාසා ආයතනය මගින් මිනිසෙකු හඳ මතට යැවූ අතර, අපි ඌරන් නැසීම සඳහා කුරුල්ලන්ව යවමින් සිටිමු" යන්නයි. සැබවින්ම අදහසක් ලෙසින් ගත්විට මෙම ප්‍රකාශය බොහෝ සෙයින් නිරවද්‍ය බව අපට පිළිගැනීමට සිදුවේ.
මන්දයත්, පුද්ගල පරිගණක ලංකාවේ ප්‍රචලිත වීමට පටන් ගත් අවධියේදී පුද්ගල පරිගණකයක තිබූ වේගය, මතක ධාරිතාවය, කාර්යක්ෂමභාවය ලැජ්ජාවට පත් කරනා ඉහළ දෘඩාංග හැකියාවන් වර්තමානයේ ඇති අවම ශක්‍යතා ස්මාට්ෆෝනයක පවා පවතින හෙයිනි. මෙම තත්වය දිනෙන් දින දියුණුවනු විනා, පහතට නොවැටෙනු ඇති බවද කිව යුතුවේ.
එසේ නම් ස්මාට්ෆෝනයක ඇති ප්‍රධාන අවාසියක් වන්නේ කුමක්ද? සරලවම එහි තිරයේ ඇති නොසෑහෙන බවයි. වර්තමානය වනවිට ස්මාට්ෆෝනයක අවම තිර ප්‍රමාණය වන්නේද අඟල් 5 කි. එතැනින් එහාට අඟල් 6 දක්වා වූ ස්මාට්ෆෝන් / ෆැබ්ලට් උපාංගයන්ද දක්නට ලැබේ. බොහෝ දෙනෙකුට එම තිර ප්‍රමාණයද ස්මාට්ෆෝනයෙන් ගත හැකි සැබෑ ක්‍රියාකාරීත්වය සඳහා නොසෑහෙන බව පෙනෙන්නේ, ඔවුන් ඒ වෙනුවට ටැබ්ලට් උපාංගයන් භාවිතා කරන විටදී වේ.
එසේ වුවත් ඔබේ ස්මාට්ෆෝනයේ තිරය නොසෑහෙන බැවින් එවැනිම මුදලක් වියදම් කොට ටැබ්ලට් උපාංගයක් මිලදී ගැනීමද අනවශ්‍ය පිරිවැයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සඳහා විසඳුමක් ලෙසින් ඉදිරිපත් වී ඇත්තේ අඟල් 10.1 ප්‍රමාණයේ Superscreen තිරයයි. ඒ මගින් ඔබට විශාල මුදලක් වැය නොකොට, ඔබේ ස්මාට්ෆෝනය හා භාවිතා කළ හැකි අමතර උපාංගයක් ලෙසින් අඩු මිලකට විශාල තිරයක් මිලදී ගත හැකිවේ. සැබවින්ම එය ඔබේ ස්මාට්ෆෝනයේ හැකියාවන් මනා භාවිතයට පිටුවහලකි.
මෙම අඟල් 10.1 ක Superscreen තිරය සැබවින්ම ක්‍රියාත්මක වන්නේ ඔබේ ස්මාට්ෆෝනය සඳහා වූ ඩමි ටර්මිනලයක් ලෙසිනි. මේ ලෙසින් ඔබට ඔබේ ස්මාට්ෆෝනයේ දෘඩාංග සහ මෘදුකාංග ප්රබලත්වයම භාවිතා කරමින් චිත්‍රපට නැරඹීමේ සිට අන්තර්ජාලය පරිශීලනය දක්වා වූ කුදුමහත් සියලු කාර්යයන් වඩාත් පහසුවකින් සිදුකරගැනීමට අවකාශ සැලසේ. මෙවැනි ඩමි ටර්මිනලයක් තිබීම නිසා ස්මාට්ෆෝනය හරහා අත්දැකිය හැකි ක්‍රීඩාවන්ද වඩාත් හොඳින් රසවිඳීමට ඉඩ ලැබෙනු ඇත.
මෙය රැහැන් රහිත සම්බන්ධතාවයන් හරහා ඔබේ ස්මාට්ෆෝනය හා සම්බන්ධ කළ හැක. එවිට සිදුවන්නේ ඔබේ ස්මාට්ෆෝනයේ ප්‍රධාන තිර අතුරුමුහුණත බවට මෙය පත්වීමයි. දැන් ඔබට ස්මාට්ෆෝනය හා ඔබ සිදුකරනා සියලුම අන්තර්ක්‍රියාකාරකම් මේ සමගින් සිදුකළ හැක. ඔබ ස්මාට්ෆෝන් තිරයෙන් දකිනා අන්තර්ගතයන් ස්වයංක්‍රීයවම 2560 x 1600 විභේදනයක් සහිත මෙම Superscreen තිරය සඳහා සැකසේ.
මෙය High Definition ස්පර්ෂ තිරයක් බැවින් අන්තර්ගතයන්ගේ ගුණාත්මක භාවය පහත වැටීමක් ගැන බිය වීමටද අවශ්‍ය නොවනු ඇත. මෙහි නිෂ්පාදකයින් පවසන්නේ රැහැන් රහිත සම්බන්ධතාවයන් ඔස්සේ Superscreen තිරය ඔබේ ස්මාට්ෆෝනය හා සම්බන්ධ කළ විට, ස්මාට්ෆෝනය මෙම තිරයෙන් අඩි 100 පමණ ඈතින් තිබුණද ගැටළුවකින් තොර ක්රියාකාරීත්වයක් ලබාගත හැකි බවයි. එනම් ඔබට Superscreen තිරය හා ස්මාට්ෆෝනය සම්බන්ධ කළ පසුව, ස්මාට්ෆෝනය නිදන කාමරයේ තබා වුවද මෙම තිරය ඔබේ අත තබාගනිමින් නිවසේ ඕනෑම තැනක සිට කටයුතු කළ හැකිවනු ඇත.
මෙය ඩමි ටර්මිනලයක් ලෙසින් හැඳින්වූවත්, ස්මාට්ෆෝනයේ කැමරා පද්ධතිය මේ සමගින් භාවිතා කිරීමට අසීරු වන නිසා, Superscreen තිරය මත පිහිටවූ කැමරා පද්ධතියක්ද ඇත. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 2 ක විභේදනයකින් යුක්ත වන අතර, පසුපස ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 5 ක් වේ.
සැබවින්ම නවීන ස්මාට්ෆෝනයක ඇති කැමරාව හා මෙය සැසඳීමට පවා නොහැකි වූවත්, හදිසි අවශ්‍යතාවයකදී කැමරාවක් ලෙසින් භාවිතා කිරීම සඳහා මෙය ප්‍රමාණවත් වනු ඇත. මෙයට අමතරව මෙහි ප්‍රමාණයේ ස්පීකර් පද්ධතියක්ද ස්ථාපනය කොට ඇත. එසේම 3.5mm ජැක් එකක් සහ USB-C පෝට් එකක්ද මෙහි තිබේ. මෙහි බැටරිය 6,000mAh ප්‍රමාණයේ වන අතර, එක දිගට පැය 12 ක් භාවිතා කිරීම සඳහා බැටරි බලය සෑහෙනු ඇත. මෙම Superscreen තිරය Android මෙන්ම iOS මෙහෙයුම් පද්ධති සමගින් ක්‍රියාත්මක වන අතර, Touch ID පහසුකම සඳහාද සහාය දක්වයි.