අසූව හෝ අනූව දශකයන් තුළ ළමා කාලය ගත කළ අයෙකු වේ නම්, එකළ තිබූ Tetris වීඩියෝ ක්‍රීඩාව අඩංගු වූ කොන්සෝලයන් මතක ඇතිවාට සැකයක් නැත. බොහෝ කුඩා දරුවන් උමතුවෙන් මෙන් ක්‍රීඩා කළ මෙම Tetris කොන්සෝලයන්, වර්තමාන ස්මාට්ෆෝන් ක්‍රීඩාවන්ට පවා අලගු තැබීමට හෝ නොහැකි තරමේ ඒක වර්ණ තිරයකින් සහ ප්‍රාථමික බවකින් යුක්ත වූවත්, පුදුමයකට මෙන් අද දිනයේදී පවා Tetris ක්‍රීඩාවට ඇලුම් කරන්නන් බොහෝ සිටී.
හඳුන්වා දෙන Tetris Microcard කොන්සෝලය නිර්මාණය වන්නේද Tetris ක්‍රීඩාවට ඇලුම් කරන්නන් වෙනුවෙන්ම වේ. මෙහි විශේෂත්වය වන්නේ ඔබ සාමාන්‍යයෙන් දකිනා වීඩියෝ ක්‍රීඩා කොන්සෝලයකින් වෙනස් වෙමින්, හුරුබුහුටි හැඩයකින් මෙය නිෂ්පාදනය වී තිබීමයි. මඳක් ඝනකම ඇති ක්‍රෙඩිට් කාඩ්පතක ප්‍රමාණයෙන් යුක්ත වන මෙම Tetris Microcard උපාංගය ඔබට පහසුවෙන්ම වොලට්ටුව තුළ රුවාගෙන යෑමට හැකියාව ඇත.
දිගින් සහ පළලින් මිලිමීටර 85 ක් (අඟල් 3.3 ක්) හා මිලිමීටර 53 ක් (අඟල් 2.1 ක්) වන Tetris Microcard උපාංගය ක්‍රෙඩිට් කාඩ්පතකට නැතිනම් බිස්නස් කාඩ් පතකට වඩා වැඩි වෙනසක් නොපෙන්වයි. එසේම මෙහි ඝණකමද මිලිමීටර 5 ක් වේ. එනම් සාමාන්‍ය බිස්නස් කාඩ්පත් විස්සක් එක මත තැබූ විට ඇති ප්‍රමාණය වේ. මෙතරම් කුඩා ප්‍රමාණයක වූවත්, මෙහි බොත්තම් පිහිටුවා ඇත්තේ වැඩුණු පුද්ගලයෙකුගේ ඇඟිලි වලට වුවද පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයේ සැලසුමකට අනුව වේ.
මෙහි තිරය ප්‍රමාණයෙන් කුඩා වුවත්, Tetris ක්‍රීඩාව අඩංගු වූ පැරණි Brick Game කොන්සෝලයේ පළලින් අඩු, උසින් වැඩි තිරයට සමානකම් දක්වයි. මෙම 1-Bit OLED Matrix වර්ගයේ තිරයේ විභේදනය පික්සල 128 x 64 ප්‍රමාණයේ වේ. මෙහි ප්‍රොසෙසර බලය සැපයෙන්නේ 8-Bit Microcontroller (ATmega 328P) එකකින් වන අතර, මෙහි ඇති 180mAh Lithium Polymer බැටරියට පැය හයක් පුරා ක්‍රීඩා කිරීම සඳහා ජවය සැපයීමට හැකියාව තිබේ.
මෙය නැවත ආරෝපණය කිරීම සඳහා Micro USB පෝට් එකක් පිහිටුවා තිබේ. වැඩිදුරටත් පැරණි Tetris කොන්සෝලයේ අත්දැකීමම ලබාදීම සඳහා මෙහි කුඩා Piezo ස්පීකරයක්ද ස්ථාපනය කොට ඇති අතර, ඔබට අවශ්‍ය නම් හඬ නැවැත්වීම සඳහා Mute බොත්තමක්ද මෙහි අඩංගු වේ. මෙහි බඳ සම්පූර්ණයෙන්ම නිර්මාණය කොට ඇත්තේ පොලිකාබනේට් වලින් හා මළ නොකන ලෙසින් ආරක්ෂක පටලයක් ගැල්වූ ඇලුමිනියම් වලිනි. මෙය විවිධ පරිපථ කොටස්ද පිටතට පෙනෙනා ලෙසින් නිමාව සිදුකර තිබීමද සැබවින්ම උපාංගයට වෙනස් මුහුණුවරක් ලබාදෙයි.
බොහෝ දෙනෙකු හට පැන නගිනා ගැටළුව වනු ඇත්තේ, වර්තමානයේදී ඉහළ ගුණාත්මක තත්වයේ ග්‍රැෆික් නිර්මාණයන් සහිත නවීන ස්මාට්ෆෝන් ක්‍රීඩාවන් සමගින් මෙම උපාංගයට සහ ක්ලැසික් Tetris ක්‍රීඩාවට තරග කිරීමට හැකිවනු ඇතිද යන්නයි. එසේ වුවත් වර්තමානයේදී පවා Tetris ක්‍රීඩාවට කෙතරම් පිරිසක් ආශක්ත වන්නේද යන්න සලකා බැලීමේදී අපට කිව හැක්කේ අනිවාර්යයෙන්ම මෙය දැරිය හැකි මිලකට අලෙවි වන්නේ නම් ලොව පුරා ජනප්‍රිය වනු ඇති බවයි.