බොහෝ විට හෙඩ්ෆෝන් යුවළක අවශ්‍යතාව මතුවන්නේ කිසිදු බාහිර බාධාවකින් තොරව සංගීතය රසවිඳීමට අවශ්‍ය වනවිටකදී වන අතර, ඒ සඳහා ඔබව සියයට සියයකට ආසන්න ප්‍රමාණයකින් බාහිර ශබ්දයන්ගෙන් වෙන් කොට තබනා හෙඩ්ෆෝන් නිර්මාණයට බොහෝ සමාගම් පෙළඹුණි. කෙසේ නමුත් ඔබ පාරේ ගමන් කරන විටකදී හෝ වෙනත් එවැනි අවස්ථාවකදී එවැනි හෙඩ්ෆෝන් යුවළක් පැළඳ සිටීම කෙතරම් අන්තරායදායකද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. හෙඩ්ෆෝන් පැළඳ සංගීතයට සවන් දෙමින් ගමන් කිරීම නිසා සිදුවී ඇති අනතුරුද බොහෝ වෙයි. කෙසේ හෝ තවත් බොහෝ දෙනෙකු මෙම ගැටළුවට පිළියම් සෙවූ අතර, එයට හෙඩ්ෆෝන් නිෂ්පාදකයින් විසින් ගෙන ආ එක් විසඳුමක් වූයේ, හෙඩ්ෆෝන් තුළට වටාපිටාවේ ඇති ශබ්දයන් ඇතුළු වීමට ඉඩ ලබාදීමයි. කෙසේ වුවත් හඳුන්වාදෙන Bose SoundWear Companion උපාංගය මෙම ගැටළුවට විසඳුම් සපයාදෙන අතරම ඉහළ ගුණාත්මක මට්ටමක ශ්‍රව්‍ය ප්‍රතිදානයක්ද පරිශීලකයාට ලබාදීම සඳහා තවත් එපිටට ගොස් ඇත.
මෙම Bose SoundWear Companion උපාංගය හෙඩ්ෆෝන් යුවළකට වඩා ක්‍රියාත්මක වන්නේ ඔබේ කර ගෙළ රැඳී ඇති ස්පීකර් පද්ධතියක් ලෙසිනි. එනම් ඔබට මේ හරහා සංගීතයට සවන් දෙන අතරතුරදීම වටාපිටාවේ වෙනත් ශබ්දයන්ද මැනවින් ඇසීමට හැකියාව තිබේ. කෙසේ නමුත් සාම්ප්‍රදායික ස්පීකරයන්ට වෙනස් ලෙසින් ඔබේ සවනට පමණක් ශබ්ද තරංගයන් එල්ල කරනා ආකාරයේ නිමාවකින් යුක්ත වන නිසාවෙන්, එයින් පිටතට ශබ්දය විසිරී යන්නේ අවම වශයෙනි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් ඔබට හොඳින් සංගීතය රසාස්වාදනය කිරීමට හැකි වූවත්, මේ හරහා අවට සිටින්නවුන්ට ඔබ අසන්නේ කුමක්ද යන්න ඇසෙන්නේ හෝ එයින් කරදරයක් වන්නේ හෝ නැත. සැබවින්ම ඔබ නිවසේ හෝ කාර්යාලයේ සිටිනා විටකදී වුවත් මෙම උපාංගය භාවිතය මනා බව හැඟෙන්නේ, ඔබට වටාපිටාව කෙරෙහි අවධානයෙන් පසුවෙමින් සංගීතය රසවිඳීමට මෙයින් හැකියාව ලබාදුන්නත්, අවට සිටිනා අනෙකුන්ට එයින් බාධාවක් නොමැති හෙයිනි. මෙම Bose SoundWear Companion උපාංගයේ නිර්මාණ සංකල්පය වන්නේම එයයි.
යූ හැඩයේ උපාංගයක් වන මෙය ඔබගේ ගෙළ වටා තැන්පත්ව තිබෙනු ඇත්තේ එක්තරා ආකාරයක අධිතාක්ෂණික ගෙළ වටා සුවපහසුවට ඔබ තබාගන්නා යූ හැඩයේ කොට්ටයක් ලෙසිනි. ගෙළ වටා යන මෙම Bose SoundWear Companion උපාංගයේ අග්‍රයන් දෙක ඔබේ උරහිස මත තැන්පත් වන්නේ, එම අග්‍රයන් මත ඇති ස්පීකරයන් ඔබේ කණට එල්ල කරමිනි. එසේම මෙය අවුන්ස 9.4කට වඩා බරක්ද නොමැති බැවින් ඔබට මෙය පැලඳ ඇවිදීමට වුවත් කිසිදු අපහසුතාවක් ඇති නොවනු ඇත. එසේම එහි නිර්මාණයට අනුව මනාසේ ඔබේ උරහිස්වලට සවි වන හැඩයකින් යුක්ත වන බැවින්, ඔබට එය පැළඳ සිටිනා විට එය බිම වැටීමේ අවදානමකට මුහුණ නොදී ඕනෑම ක්‍රියාකාරකමක යෙදීමටද හැකියාව ඇත.
Bose සමාගමෙන් නිෂ්පාදනය කරනා වෙනත් ඕනෑම ස්පීකර් පද්ධතියක මෙන්ම මෙයද ඔවුන්ටම සුවිශේෂී වූ තරංග තාක්ෂණය භාවිත කරන අතර, ඒ නිසා මෙහි සංයුක්ත හැඩයක් තිබුණද ශ්‍රව්‍ය ප්‍රතිදාන ගුණාත්මකභාවයේ කිසිදු වෙනසක් දක්නට නොලැබෙණු ඇත. ඒ සඳහාම ඔවුන් මෙම Bose SoundWear Companion උපාංගය සඳහා අඟල් 11 ක තරංග නියමුවන් දෙකක් භාවිත කොට ඇත. එසේම මෙහි ඩිජිටල් සංඥා ප්‍රොසෙසරයක්ද තිබේ.
මෙම විශේෂ ගුණාංගයන්ට අමතරව Bose SoundWear Companion උපාංගයට වෙනත් ඕනෑම රැහැන් රහිත හැකියාවන්ගෙන් යුක්ත ජංගම ස්පීකරයකට මෙන් ඔබේ ස්මාට්ෆෝනය හා සම්බන්ධ වී සංගීතය වාදනය කිරීමට මෙන්ම දුරකථන ඇමතුම් ගැනීමට හා සවන්දීමට සහාය පළ කිරීමටද හැකියාව තිබේ. එසේම එක් වර උපාංගයන් දෙකක් සමග සම්බන්ධ වීමටද මෙයට හැකියාව තිබෙනා බැවින්, අවශ්‍ය නම් ඔබේ ස්මාට්ෆෝනය හා සම්බන්ධව ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනා අතරතුරදීම ඔබේ අයිපෑඩයෙන් සංගීතය වාදනය කිරීමටද මෙයට හැකියාව ඇත.
මෙම කරුණු කාරණාවලට අමතරව, Bose SoundWear Companion උපාංගය වඩාත් එළිමහනේ භාවිත කිරීමටද හැකි අයුරින් නිපදවා ඇති බැවින්, එයට IPX4 තත්ත්වයේ ජල ප්‍රතිරෝධී තත්ත්ව සහතිකයක්ද තිබේ. වෙනත් ලෙසකින් කියන්නේ නම් දහදියෙන් හෝ කුඩා වැස්සකින් හෝ එයට කිසිදු දෝෂයක් ඇති නොවනු ඇත. මෙම උපාංගය මතද බොත්තම් තුනක පාලක පද්ධතියක් තිබෙනා අතර, එයින් සංගීතය වාදනයට, දුරකථන ඇමතුම් ගැනීමට මෙන්ම ඔබේ ස්මාට්ෆෝනයේ ඩිජිටල් සහකරුවාව පාලනය කිරීමටද හැකියාව ලැබෙනු ඇත. එසේම මෙහි ඇති බැටරිය එක්වතාවක් ආරෝපණය කළ පසුව එක දිගට පැය 12 ක කාලයක් පුරා ඔබට සංගීතයට සවන් දීමටද හැකියාව ලබාදෙන තරමේ බැටරි බලයක් ලබාදෙනු ඇත.