එක්තරා සමයකදී ඩෙක්ස්ටොප් පරිගණක අභිභවා ලැප්ටොප් පරිගණකයන් ක්‍රමයෙන් ජනප්‍රියත්වය අත්පත් කරගත්තා සේම, මේ වනවිට ලැප්ටොප්/නෝට්බුක් පරිගණකයන් අභිභවමින් නෝට්බුක්-ටැබ්ලට් දෙමුහුම් පරිගණකයන් ලොව පුරා පරිශීලක ආකර්ෂණය දිනාගනිමින් තිබේ. තවමත් ලංකාව වැනි රටක මෙම ලැප්ටොප්-ටැබ්ලට් කන්වර්ටබල් පරිගණක උපාංගයන් ඉහළ ජනප්‍රියත්වයක් නොලැබීමට ප්‍රධානතම කාරණයක් ලෙසින් මේවායේ ඉහළ මිල සඳහන් කළ හැක. කෙසේ නමුත් බලාපොරොත්තු විය හැකි තත්ත්වය වන්නේ අනාගතයේදී මෙම උපාංගයන් සාමාන්‍ය පරිශීලකයින් හටද පරිහරණය කළ හැකි ආකාරයට මේවායේ මිල පහත වැටීමයි.
මෙම දෙමුහුම් පරිගණක උපාංගයන් සම්බන්ධයෙන් කථා කිරීමේදී මයික්‍රොසොෆ්ට් සමාගම මගින් ඉදිරිපත් කරන්නට යෙදුණු Surface Book පරිගණකය ලබාගත් ඉහළ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් සඳහන් කිරීම අනිවාර්ය වේ. මෙයට හේතුව සිහින් නිමාවකින් යුතු, ප්‍රයෝජනවත් ආකාරයට ටැබ්ලට් උපාංගයක් ලෙසින්ද ක්‍රියාත්මක කළ හැකි අන්දමට කන්වර්ටබල් හැකියාවෙන් යුක්ත, ඉහළ ග්‍රැෆික් නිර්මාණ කටයුතු හෝ පරිගණක ක්‍රීඩා සඳහා පවා හොඳින් ගැළපෙන ආකාරයේ ප්‍රබල දෘඩාංග හැකියාවන්ගෙන් යුක්ත උපාංගයක් ලෙසින් Surface Book නිර්මාණය කිරීම යැයි සිතීමට හැක. මෙයද මිලෙන් අධික වූවත්, පහසුවෙන්ම Macbook Pro උපාංගය සඳහා තරගකරුවෙකු ලෙසින් මෙය සැලකුණි.
මෙය සැබවින්ම ප්‍රබල යන්ත්‍රයක් ලෙසින් ඔබ සලකන්නේ නම්, මෑතකදී මයික්‍රොසොෆ්ට් සමාගම මගින් ඉදිරිපත් කළ නවතම Surface Book 2 උපාංගය දෙස බැලීම වටී. පෙර මෙන්ම සිහින්, හුරුබුහුටි නිමාවකින් පැමිණෙන මෙම Surface Book 2 උපාංගය එහි පූර්වජයාටද වඩා අතිවිශාල පරිගණක බලයක් ලබාදීමට සමර්ථ වන ලෙසින් දෘඩාංග හැකියාවන්ගෙන් සන්නද්ධ වී සිටී. මෙය ඉහළම මට්ටමේ පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නන් නැතිනම් තත්‍යාසන්න යතාර්ථය හා නිර්මාණය වූ අන්තර්ගතයන් හා ගනුදෙනු කරන්නන්ට පමණක් නොව, එවැනි දෑ නිර්මාණය කරන්නන්ටද සිහින සැබෑ වීමක් වනු ඇතැයි ඔබට සිතෙන්නේ නම් එය පුදුමයක් නොවේ.
සැබවින්ම මෙම Surface Book 2 උපාංගයේ ප්‍රබලත්වය දෙස බැලීමට නම් එහි දෘඩාංග හැකියාවන් සම්බන්ධයෙන් දැනුවත් වීමට සිදුවේ. මෙය තිර ප්‍රමාණයෙන් අඟල් 13.5 සහ අඟල් 15 ලෙසින් වන සංස්කරණයන් දෙකක් ලෙසින් පැමිණේ. අඟල් 13.5 සංස්කරණය තුළද දෘඩාංග හැකියාවන් එකිනෙකින් වෙනස් වන ආකාරයෙන් තෝරාගැනීමක් සිදුකිරීමට අවකාශ සලසා ඇත. කෙසේ නමුත් මෙහිදී අප සලකා බලන්නේ වඩාත් ඉහළ දෘඩාංග සැකසුමකින් යුතු අඟල් 15 Surface Book 2 උපාංගයයි.
මෙහි ප්‍රොසෙසර බලය සපයන්නේ 8th Gen Intel® Core™ i7-8650U quad-core processor (4.2GHz Max Turbo) මධ්‍යම සැකසුම් ඒකකයකි. එසේම මෙහි ග්‍රැෆික් ප්‍රොසෙසරය ලෙසින් 6GB ප්‍රමාණයේ NVIDIA® GeForce® GTX 1060 discrete GPU එකක් ස්ථාපිතව තිබේ. මෙහි 16GB ප්‍රමාණයේ LPDDR3 රැම් මතකයක් තිබෙනා අතර, මතක ධාරිතාවන් ලෙසින් 256GB, 512GB සහ 1TB යන SSD (Solid State Drive) මතකයන් අතුරින් තෝරාගැනීමක් සිදුකළ හැක. මෙහි තිරය අඟල් 15 ක PixelSense™ Display එකක් වන අතර, එයට පොයින්ට් 10 ක් දක්වා මල්ටිටච් හැකියාව තිබේ. මෙම අධිබලැති යන්ත්‍රය ධාවනය වන්නේ Windows 10 Pro Creators Update 64-bit මෙහෙයුම් පද්ධති සංස්කරණය මතින් වේ. මෙම දෘඩාංග හැකියාවන් දෙස බැලූ විට පෙනී යන්නේ වර්තමානයේ හෝ නුදුරු අනාගතයේ නිර්මාණය වන ඕනෑම AAA පරිගණක ක්‍රීඩාවක් සමගින් සුමට, ශීඝ්‍ර අත්දැකීමක් පහසුවෙන්ම ලබාදෙන්නට මෙම Surface Book 2 ලැප්ටොප්-ටැබ්ලට් දෙමුහුම් පරිගණකය සමත් වනු ඇති බවයි.
මෙම Surface Book 2 උපාංගයේ පූර්වජයා ලෙසින්ම මෙයටද සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් හෝ ඩ්‍රෝවින් පෑඩ් උපාංගයක් මෙන් තිරය ගලවා පාවිච්චි කළ හැක. එසේම අනෙක් අතටද තිරය සවි කොට ආධාරකයක් සහිත ටැබ්ලටයක් ලෙසින් භාවිත කළ හැකිවාක් මෙන්ම සාමාන්‍ය නෝට්බුක් පරිගණකයක් ලෙසින්ද මෙය පහසුවෙන් භාවිත කළ හැක. එසේම මින් පෙර හඳුන්වා දී ඇති Surface Dial උපාංගයද මේ සමගින් පහසුවෙන්ම භාවිත කළ හැකි අතර, සරලවම Surface Dial උපාංගය තිරය මත තැබීමෙන් ඔබට අවශ්‍ය ක්‍රියාකාරකම් ඉටුකරගත හැකි ඩයලයක් ලෙසින් එය ක්‍රියාත්මක කළ හැකි වේ.
මෙම Surface Book 2 උපාංගයේ USB type-A පෝට් 2 ක් හා USB type-C පෝට් එකක් ඇති අතර, එය උපාංගය බලගැන්වීමටද භාවිත කළ හැක. එසේම මෙහි Surface Connect පෝට් 2 ක්, 3.5mm හෙඩ්ෆෝන් ජැක් එකක් මෙන්ම සම්පූර්ණ හැකියාවන්ගෙන් යුතු SD කාඩ් රීඩරයක්ද තිබේ. මෙහි Wi-Fi, Bluetooth 4.1 යන රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන් මෙන්ම Xbox Wireless built-in පහසුකමද තිබේ. මෙයට අමතරව Ambient light sensor, Proximity sensor, Accelerometer, Gyroscope, Magnetometer යන සෙන්සරයන්ද මෙයට ඇතුළත් කොට ඇති නිසා සාමාන්‍ය ලැප්ටොප් උපාංගයකට වඩා වැඩි හැකියාවන් ප්‍රමාණයක් මෙයට ප්රදානය කෙරී ඇත. මේ සියලුම දේ අතුරින් Surface Book 2 උපාංගයේ විශේෂයෙන් දැක්විය යුතු නවතාව වන්නේ එහි බැටරි බලයයි. මෙය සාමාන්‍ය ක්‍රියාකාරීත්වය යටතේ එක දිගට පැය 17 ක් ක්‍රියාත්මක වීම සඳහා උපාංගයට බැටරි බලය ලබාදෙනු ඇත.
වෘත්තිය මට්ටමේ බලවන්ත වර්ක්ස්ටේෂන් පරිගණකයක්, සිහින් හුරුබුහුටි කේසියනක් තුළ සිර කොට නිර්මාණය කොට ඇති බව පෙනී යන මෙම Surface Book 2 උපාංගය මයික්‍රොසොෆ්ට් සමාගම මගින් හඳුන්වා දෙන්නේ The most powerful Surface ever යනුවෙනි. මෙහි හැකියාවන් හා පිරිවිතර දෙස බැලීමේදී එම කියමන සත්‍ය බව පෙනී ගියත්, මෙහි අඟල් 13.5 මූලික Surface Book 2 උපාංගය පවා ඇමෙරිකානු ඩොලර් 1.499 සිට ඉහළට මිල කෙරී ඇත. ශ්‍රී ලංකාවේ මෙය එතරම් ජනප්‍රිය නොවීමට මෙම ඉහළ මිල හේතුවක් වනු ඇතැයි බැලූ බැල්මට හැඟී ගියත්, මෙය සැබවින්ම ප්‍රයෝජනවත් වනු ඇත්තේ සාමාන්‍ය පරිශීලකයෙකුට නොව ඉහළ මට්ටමේ වෘත්තිකයෙකුට යන කරුණත්, මෙහි ප්රබලත්වයත් සැලකීමේදී එම මිල සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටද නොහැක.