යම් අයෙකුට සැබවින්ම ටැබ්ලට් උපාංගයක් අවශ්‍ය වන්නේ මන්ද? මේ සඳහා පිළිතුරු දීම අසීරු වන්නේ ඒ සඳහා විවිධාකාරයේ හේතු කාරණා තිබිය හැකි බැවිනි. කෙසේ නමුත් ඉන් මූලික හේතුවක් අපට විස්තර කළ හැක. එනම්, ලැප්ටොප් උපාංගයකින් සිදුකරගැනීමට හැකි එහෙත් ස්මාට්ෆෝනයකින් සිදුකර ගත නොහැකි කාර්යයන්, වඩාත් හුරුබුහුටි උපාංගයකින් සිදුකර ගැනීම සඳහා ටැබ්ලට් උපාංගයක් වැදගත් වන බවයි. එනමුත් යතාර්ථය වන්නේ තවමත් ටැබ්ලට් උපාංගයකට ලැප්ටොප්/නෝට්බුක් පරිගණක වෙනුවට ආදේශකයක් වීමේ හැකියාවක් ලැබී නොමැති බවයි.
එසේ විය යුතු නැතැයි කෙනෙකු පැවසීමටද හැක. එනම් ටැබ්ලට් උපාංගයක් යනු තවත් එක් ස්වාධීන උපකරණයක් මිස ආදේශකයක් නොවන බව කෙනෙකු කිව හැක. එය එසේ විය හැකි වූවත්, ඇපල් සමාගමේ අලෙවි සංඛ්‍යාලේඛනයන් දෙස බලනවිට පෙනී යන්නේ මැක් පරිගණක සහ ඇපල් අයිෆෝනයන්ගේ අලෙවියට සාපේක්ෂව, අයිපොඩ් උපාංගයන් අලෙවිය ක්‍රමයෙන් පහත බසිමින් පවත්නා බවයි. එයට හේතුව නිර්ණය කර ගැනීමට නම්, ඉහත සඳහන් කළ ටැබ්ලට් උපාංගයන්ගේ මූලික ගැටළුව විශ්ලේෂණය කිරීමට සිදුවනු ඇත.
පසුගිය වසරේ එළිදැක්වුණු අයිපෑඩ් උපාංගයට පසු මෙම මාසයේදී ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම අයිපෑඩ් උපාංගය නිකුත් කර තිබේ. මෙය සරලවම iPad යනුවෙන් හැඳින්වෙන අතර, පැරණි iPad Air 2 උපාංගය වෙනුවට මෙය හඳුන්වා දී ඇත.
මෙම 2017 වසරේ නවතම iPad උපාංගය පැරණි iPad Air 2 හා බොහෝ සමානකම් දැක්වූවත්, වෙනස්කම් කීපයක්ද තිබේ. මූලිකවම මෙහි ප්‍රොසෙසරයේ A8X වෙනුවට iPhone 6s, iPhone SEඋපාංගයන්හි ඇති ආකාරයේ A9 චිප් සෙට් එකක් ආදේශ වී ඇත. එසේම පැරණි iPad Air 2 උපාංගයට වඩා නව iPad උපාංගය මිලිමීටර් 1.1 ක වැඩි ඝණත්වයකින් යුක්ත වේ. කෙසේ නමුත් මෙම iPad උපාංගයේ මිලිමීටර් 7.5 ඝණත්වය තුළ වඩාත් ඉහළ ජවයකින් යුක්ත බැටරියක් (32.4Wh) ස්ථාපනය කර ඇති නිසා එය නොසළකා හැරිය හැක.
මෙයට අමතරව බොහෝ දෘඩාංග සැකසුම් උපාංග දෙකේම සමාන වේ. මෙම නව iPad උපාංගයේ අඟල් 9.7 ක් පුරා විහිදුණු රෙටිනා තිරයක් තිබෙනා අතර, පසුපස මෙගාපික්සල් 8 ක (f2.4) කැමරාවක් ඇත. එයට 1080p ගුණාත්මක තත්වයේ වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද තිබේ. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 1.2 ක විභේදන බලයකින් යුක්ත වන අතර, එයට 720p තත්වයෙන් වීඩියෝ පටිගත කළ හැක. මෙහි Apple Pay සමගින් එන TouchID හැකියාව තිබෙනා අතර, පැය 10 පුරා උපාංගය භාවිතයට අවකාශ සලසන බැටරි බලයක්ද ඇත.
කෙසේ නමුත් ඇපල් සමාගම පවසන්නේ පැරණි iPad Air 2 උපාංගය සහ මෙම iPad උපාංගය අතර කෙතරම් සමානකම් තිබුණද, මිල ගණන් සැසඳීමේදී කැපී පෙනෙනා වෙනසක් දැකගැනීමට හැකිවනු ඇති බවයි. මෙහි 32GB මතකය සමග එන මූලික සංස්කරණය ඩොලර් 329 කට මිල කෙරී ඇති අතර, 128GB මතක ධාරිතා සංස්කරණය ඩොලර් 429 කට මිල කෙරී ඇත. මෙම මිල ගණන් ශ්‍රී ලංකාවට මෙය පැමිණෙන විට මඳක් ඉහළ යා හැකි නමුත්, පෙනී යන කරුණ වන්නේ විශාල තිරයක් සහිත අයිපෑඩ් උපාංගයක් මෙම මිලට අලෙවි වීමම විශ්මයට කරුණක් බවයි.
කෙසේ නමුත් මෙම සාපේක්ෂව ඉතා අඩු මිලකට අඟල් 9.7 ක අයිපෑඩයක් වෙළෙඳපොළට හඳුන්වා දීම පසුපස ඇති හේතුව වන්නේ, ක්‍රමයෙන් පහත වැටෙනා අයිපෑඩ් අලෙවිය යැයි කෙනෙකු කියයි නම් එහිද යම් සත්‍යතාවයක් තිබිය හැක. මෙම උපාංගය වෙළෙඳපොළට හඳුන්වා දීම සමගින් අනෙකුත් අයිපෑඩ් උපාංගයන්ගේ මිලද පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර, මේ සමගින් iPad mini 4 උපාංගයේ මිල පහත දැමීමටද ඇපල් සමාගම කටයුතු කර ඇත.