අමතර වියදම් කපා හැර නිවාස සිහිනය සැබෑ කරගත් තරුණිය


වසර දෙකකට ආසන්න කාලයක් තමන්ගේ වියදම් කළමනාකරණය කරමින් පවුම් 270,000ක් වටිනා නිවසක් මිලදී ගත් 27 හැවිරිදි තරුණියක පිළිබඳ පසුගිය දිනක ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. ජෙනිෆර් බාර්කර් නම් ඇය එංගලන්තයේ ‘Biggleswade’හි පිහිටි කාමර දෙකකින් යුතු මෙම නිවස මිලදී ගැනීමට කැප කර තිබුණේ රූපලාවණ්‍ය හා සුප්‍රසිද්ධ සන්නාම සහිත නිෂ්පාදන වෙනුවෙන් ඇය වැයකළ මුදල්ය. පෞද්ගලික ආයතනයක නියෝජ්‍ය කළමනාකාර තනතුරක සේවය කළ ඇයගේ වාර්ෂික වේතනය වී තිබුණේ පවුම් 30000ක මුදලකි.

ඒ අනුව ඇය සිය නිවාස සිහිනය සැබෑකර ගැනීම සඳහා ඇය වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කර ගැනීම අතහැර දමා සාමාන්‍ය ලෙස රෙදිපිළි මිලට ගැනීමටත්, ඇය වරක් පමණක් ඇඳ තිබූ ඇඳුම්පැලඳුම් අලෙවි කිරීමටත් පියවර ගෙන තිබිණි. එසේම ජනප්‍රිය සන්නාම සහිත කෑමබීම භාවිතයෙන් ඉවත්ව නිවසේ පිළියෙළ කරගෙන ආහාර ගැනීමටත්, බොහෝ අවස්ථාවලදී ටෝස්ට් කළ පාන් හා තම්බා ගත් බෝංචි ආහාරයට ගැනීමටත් ඇය කටයුතු කර තිබේ.

තවද ඇය භාවිත කළ මෝටර් රථය අලෙවි කර සේවා ස්ථානයෙන් ලබාදෙන ප්‍රවාහන පහසුකම් භාවිත කිරීමටත්, සති අන්තයේ යහළුවන් සමග විනෝද වීමට වැයකරන මුදල් ඉතිරි කිරීමටත් සමත්ව තිබේ. එසේම රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට හා නිය අලංකරණය සඳහා වැය කරන මුදල්ද ඇය ඉතිරි කර ගැනීමට සමත්ව තිබේ.

ඇයගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් ඇගේ දෙමව්පියන් පවුම් 5000ක් ත්‍යාග කර තිබුණු අතර, ඇය නිවසේ වටිනාකමින් 60%ක් ගෙවා නිවස වෙන්කරගෙන, පසුව මාසික වාරික ලෙස ගෙවමින් මෙම නිවසේ හිමිකම ලබාගෙන තිබුණේ 2018 වර්ෂයේදීය. ඇයගේ කතාවේ විශේෂත්වය වනුයේ කසාදයට පෙර මෙලෙස තමන්ටම කියා නිවසක් මිලදී ගැනීමට යොමුවන සාමාන්‍ය තරුණියන් සිටිනුයේ අතලොස්සක් බැවිනි.

නදීශානි පතිරණ



Recommended Articles