Yes, I’m a B.I.T.C.H - Tabatha Coffey


''ඔබ ශක්තිමත් කාන්තාවක් නම්, ඔබ ඉහළ තනතුරු දරන අය සමග කතා කරන්නේ නම්, ඔබ අනෙක් මිනිසුන්ට හිස නමන්නේ නම්, ඔබ හදවතින්ම කතාකරයි නම්, ඔබට නිරෝගී මනසක් තිබේ නම්, ඔබ සැබැවින්ම විශ්වාසයෙන් හා උද්‍යෝගයෙන් කටයුතු කරයි නම්, ඔබ බැල්ලියක් ලෙස හඳුන්වනු ඇත. නමුත් පිරිමියෙකු තුළ එම ගුණාංග පවතීනම්, ඔහුට ඉදිරියටම යන්නට, විශිෂ්ට විධායකයෙකු බවට පත්වීමට, ඔබගේ කණ්ඩායමට අවශ්‍ය කෙනෙකු ලෙස සැලකීමට, ඔබේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වන විශ්වාසදායක කෙනෙකු ලෙස සැලකීමට මෙන්ම සමහර විට ජනාධිපතිවරයා බවට පත්කර ගැනීමට කටයුතු කරනු ඇත.''

මෙලෙස පවසනුයේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්, කතුවරියක්, රූපවාහිනී සත්කාරකවරියක්, අභිප්‍රේරණ කථිකයෙකු සහ ලෝක ප්‍රකට වෙළෙඳ නාමයක් වන ''මැට්‍රික්ස්''හි ගෝලීය ව්‍යාපාරික තානාපතිවරිය වන ටබතා කොෆේය. ඇය  සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් අන් අයට උදවු කිරීමට නිරන්තරයෙන් කැපවෙන, සීමා මායිම් නොමැතිව ඔවුන්ව ඒ කරා තල්ලු කරන අයෙකු ලෙස ප්‍රසිද්ධය. 

රූපවාහිනී වැඩසටහන් සහ විශේෂඥයන්ගේ සම්මුඛ සාකච්ඡාවල සිට රතු පළස්වල විලාසිතා මැවීම,  පොත් සහ ඔන්ලයින් ලිපි ලිවීම දක්වා ටබතා කිසි විටෙකත් මන්දගාමී නොවන චරිතයකි. අරගලකාරී ව්‍යාපාර සාර්ථක ව්‍යාපාරයන් බවට පත් කිරීම සඳහා ටබතාට හැකියාවක් ඇති අතර, ඒ සඳහා පුද්ගලයන් පුහුණු කිරීම හා පුද්ගලයන්ව පරිවර්තනය කිරීම සඳහා ඇයගේ කාලය යොදවනු ලබයි. 
'අවංකව කටයුතු කිරීම නිසා මාව බැල්ලියක් ලෙස මිනිසුන් හඳුන්වනු ලැබූ අවස්ථා බොහෝමයි. නමුත් මම එය මගේ කරගත්තේ නැහැ. ජීවිතයේ මුල් අවදියේදී මගේ හිත දැඩි කරගෙන තිබුණා. රූපවාහීනි සාකච්ජාවලදී සෑම විටම කැමරාවන් ඉදිරිපිට සැබෑවටම මම වීමටත්, අනෙක් පුද්ගලයන් ගැන අවංක වීමටත් උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බ්ලොග්කරුවන් “ටබාතා විස්මිත මෝස්තර ශිල්පිනියක්, නමුත් මුළුමනින්ම බැල්ලියක් ” ”ඇය ඇත්තෙන්ම කැත වුවත් ඇය විශිෂ්ට කොණ්ඩා මෝස්තර ශිල්පිනියක්” වැනි ප්‍රකාශ සටහන් කරන අවස්ථා බොහෝමයි.

නමුත්, මේවා දැක දැක කුමක් කළ යුතුද කියලා මම කල්පනා කළා. නිවසේ හිඳගෙන ස්වයං අනුකම්පාවෙන් චොකලට් කකා සිටිය යුතු නොවන බව මම වටහා ගත්තා. වෙනත් කිසිවෙකුට මාව නිර්වචනය කිරීමට ඉඩ නොදී, ඔවුන්ගේ විකාර අදහස්වලට වලංගු භාවයක් ලබාදෙනවා වෙනුවට, “BITCH (බැල්ලි)” යන වචනයට නව අරුතක් ලබා දෙන්නට මම උත්සහ කළා. නපුරු බ්ලොග්කරුවන් පිරිසක් මාව බැල්ලියක් ලෙස අර්ථ දැක්වූයේ ඇයි? මම මාවම නිර්වචනය කිරීමට තීරණය කළා. අවසානයේ මා BITCH යන වචනය  Brave (නිර්භීත), Intelligent( බුද්ධිමත්), Tenacious (උපායශීලී), Creative (නිර්මාණශීලී) සහ Honest (අවංක) යනුවෙන් නිර්වචනය කළා. මේ සියලු ගුණාංග සතු නිසා, දැන් ආඩම්බරයෙන් BITCH යන ආමන්ත්‍රණය මා සතු කරගෙන සිටිනවා'' යැයි ඇය පවසන්නීය.

 



Recommended Articles