Talent is equally distributed but opportunity is not - Laila Janah


දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව microwork සමග සම්බන්ධ කරන සම්මානලාභී සමාජ ව්‍යාපාරයක් වන සමසෝර්ස්හි නිර්මාතෘ ලීලා ජනා පිළිබඳව අප සටහනක් තබන්නේ ඇය 37 වැනි වියේ සිටියදී පසුගිය මස මෙලොව හැර ගොස් ඇති පසුබ්මකය. 

පරිගණක පාදක කාර්යන් හරහා කුසලතා ගොඩනංවන සහ දුගී පුද්ගල ජීවිත වෙනස් කරන ආකාරයේ ආදායමක් උපයන වැඩසටහන් ඇය විසින් ලොවට හඳුන්වා දුන්නාය. ජනා සමාජ ව්‍යවසායකත්වය සහ තාක්‍ෂණය පිළිබඳ නිරන්තර කථිකයෙකු වන අතර ඇය පිළිබඳ 'සීබීඑස්', 'සීඑන්එන්', 'එන්පීආර්', 'බීබීසී', 'ද නිව්යෝර්ක් ටයිම්ස්' සහ 'ද නිව් සයන්ටිස්ට්' යන ලොව ප්‍රමුඛ පෙළේ මාධ්‍යවල පළ වී තිබේ. 

ඇය 2010දී සමාජ ව්‍යවසායකත්වය සඳහා ලෝක තාක්‍ෂණ සම්මානය දිනාගත් අතර 2009දී තාක්ෂණය සමග වේගවත් වන නවෝත්පාදන බිහිකරන කාන්තාවන් අතරට එක්විය.

ජනා ගෝලීය යුක්තිය පිළිබඳ 'ස්ටැන්ෆර්ඩ්' වැඩසටහන සහ ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික දර්ශනය සහ මහජන ආචාර ධර්ම පිළිබඳ මධ්‍යස්ථානය සමග කටයුතු කළ විශාරදයෙකි.

ලීලා ජනාගේ කතා බොහෝ විට පිළිබිඹු කරන්නේ අන් අයට උදවු කිරීමට ඇය තුළ ඇති ඇල්මයි. වයස අවුරුදු 16දී ශිෂ්‍යත්වයක් දිනාගත් ඇය, හාවඩ් විශ්වවිද්‍යාලයට දැනුම් දී තිබුණේ ඇය විශ්වවිද්‍යාලයට ඇතුළුවීම කල් දැමීමට තීරණය  කර ඇති බවත්, අප්‍රිකාවේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ඇය ගෙන ඇති තීරණයට සහය ලබාදෙන ලෙසත්ය.

ඇය 2005 දී අප්‍රිකානු සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තාය. 2007 දී ඇය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශාරදයකු බවට පත්වූවාය. එසේම ඇය විවිධ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් සමග ගෝලීය සෞඛ්‍ය සඳහා දිරිගැන්වීම් ආරම්භ කළ අතර, වරක් නොසලකා හරින ලද රෝග සඳහා ප්‍රතිකාර කළ හැකි නව ඖෂධ නිපදවීමේ දිරිගැන්වීමේ වැඩසටහනක් සාර්ථකව ආරම්භ කළාය. එසේම ඇය  ඉන්දියාවේ ජනප්‍රිය රූපලාවණ්‍ය සන්නාමයක හිමිකාරිණියද වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ට, සරණාගතයන්ට සහ තරුණයන්ට අන්තර්ජාලය හරහා ජීවන වැටුපක් උපයා ගැනීමට ඇයගේ සමසෝර්ස් ව්‍යාපාරය අවස්ථාවන් උදාකර දෙයි. ඔවුන් කෙන්යාව, උගන්ඩාව, ඉන්දියාව, පාකිස්තානය සහ හයිටි යන රටවල ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යනු ලබයි.

වැදගත්ම දෙය වන්නේ  සමසෝර්ස් සමග එකතුවන කම්කරුවන් දිගුකාලීන සම්බන්ධතාවක් වර්ධනය කර ගැනීමයි. වර්තමානය වනවිට එම සමාගමට විවිධ රටවල කම්කරුවන් රාශියක් සේවය ලබාදීමට එක්ව සිටී. සමසෝර්ස් ප්‍රධාන විධායක ලීලා ජනා වරක් පවසා තිබුණේ පැයකට ඩොලර් කිහිපයකින් අසීමිත ශ්‍රමයක් ලබාගත හැකි බවත්, ඒ හරහා මෙම කම්කරුවන්ගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කරන බවත්ය. 

දිනකට ඩොලර් 3කට වඩා අඩුවෙන් උපයමින් ජීවත් වන බිලියන 4ක ජනතාවක් ලොව සිටින බවත්, බිලියන 1.4ක ජනතාවක් දිනකට ඩොලර් 1ට වඩා අඩුවෙන් උපයන බවත් ඇය පවසා තිබේ.

ඇගේ අවසන් වරට කළ ප්‍රකාශයකදී  තාක්ෂණික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විවිධත්වය සඳහා වූ ඇගේ කැපවීම අවධාරණය කළාය. 

“අපගේ ක්ෂේත්‍ර‍ෙය් කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනියක්, කාන්තා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු සිටින එකම ආයතනය අප විය හැකි නමුත් අපගේ කළමනාකාරීත්වයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වෙනවා. තාක්ෂණික ලෝකයේ එය අතිශය අසාමාන්‍යයි.

මම නිතරම විලාසිතා සහ ඇඳුම්වලට ආදරය කළා. ඒ එය කාන්තාවකගේ අවශ්‍යතාවයක් යැයි මා සිතන නිසා නොව, මම සෞන්දර්යය ගැන සැලකිලිමත් වන නිසායි. මම කලාවට කැමතියි. මම කලා කෞතුකාගාරවලට යාමට කැමතියි. මට නම් මේ දේවල් කෙනෙකුගේ සෞන්දර්යාත්මක හැඟීම විදහා දැක්වීමක්.

''මගේ අම්මා විශාල ස්ත්‍රීවාදියෙකු වූ අතර, මම වැඩෙන විට සාමාන්‍ය ගැහැනු සෙල්ලම් බඩු ගැනීමට මට ඇය ඉඩ දුන්නේ නැහැ. මට බෝනික්කන් තබා ගැනීමට ඉඩ දුන්නේ නැහැ. අපේ ගෙදර බාබී බෝනික්කන් තහනම් කළා. ඒ වෙනුවට ඇය මට ස්ත්‍රීවාදී පොත් කියැවීමට ලබාදුන්නා. ඇත්තටම මගේ අම්මා ස්ත්‍රීවාදිනියක් කාන්තාවක් මුදල් උපයන විට කුමක් සිදුවේදැයි අපි දන්නවා. ඇය තම ඉපැයීම් තම දරුවන්ගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමටත්, ඇගේ පවුලේ ජීවන තත්ත්වය නංවාලීමටත් ආයෝජනය කිරීමට යොමුවීම පුරුෂයෙකුට වඩා බොහෝ සෙයින් වැඩියි'' යැයි ඇය වැඩිදුරටත් පවසන්නීය. ‍ලෝකයේ කැපීපෙනන චරිතයක්වූ ලීලා ජනා ඉකුත් ජනවාරි මස සිය දිවියට සමුදුන්නේ පිලිකාවට ගොදුරුවීම හේතුවෙනි.

නදීශානි පතිරණ

 



Recommended Articles