හැමදෙයක්ම අපිට ලැබෙනකම් බලා ඉන්නේ නැතිව ඒ හැම දෙයක්ම ලබාගන්න අපි උත්සාහ කරන්න ඕන


මේ වන විට ඇය, තමා උගත් බතික් කලාව විදෙස් සිසුන්ට පවා පුරුදු පුහුණු කරයි. මනා කාල කළමනාකරණයක් යටතේ පවුලේ වැඩකටයුතු හා ව්‍යාපාර කටයුතු මැනවින් සිදුකරන ඇය කිසිවිටෙකත් තමාගෙන් සිදුවිය යුතු වැඩකටයුතු අතපසු නොකරයි. සිය මහන්සියෙන් හා කැපවීමෙන් බතික් කලාව තුළ සාර්ථකව ඉදිරියට ගිය ඇය අද හමුවේ සිය අත්දැකීම් දැක්වූයේ මෙලෙසිනි. 


IMG-20180430-WA0008

මගේ හොඳම යාළුවට බතික් ඉගෙන ගන්න ඕන වුණු නිසයි මම බතික් කලාවට මුලින්ම යොමු වුණේ. පසුව ඒ පිළිබඳ තිබුණ උනන්දුව නිසා මම මහේන්ද්‍ර අමරවීර මහතාගෙන් බතික් කලාව පිළිබඳ මූලික දැනුමක් ලබාගත්තා. මම ඒ විදිහට ඉගෙන ගෙන දැනට අවුරුදු පහකට පෙර රුපියල් 50,00ට වගේ %චයිනීස් පොප්ලින්^ ගෙනැවිත් බතික් නිර්මාණය ආරම්භ කළා. ඒ වෙනකොට මම කුලී පදනම යටතේ නිවසක් අරගෙන හිටියේ. නමුත් ඒ නිවසේ හරි ආකාර ඉඩ කඩක් නොතිබුණ නිසා මම මගේ යාළුවගේ නිවසේදී තමයි මේ වැඩකටයුතු සියල්ලක්ම සිදුකරගෙන ගියේ. නමුත් එය ආරම්භ කරපු මුල් කාල පරිච්ජේදයේදී මම ලක්ෂ එකහමාරක විතර වංචාවකට හසු වුණා. මම මගේ පාසලේ එකට ඉ‍ෙගනගත් කෙනෙකුට බතික් නිෂ්පාදන විකුණලා දෙන්න කියලා දුන්නා. නමුත් මගේ මුදල් වගේම බතික් නිෂ්පාදනත් වංචා කරලා ඇය මට විශාල පාඩුවක් සිදු කළා. 

පසුව මම මගේම කියලා නිවසකට ගියාට පස්සේ එහිදී බතික් නිෂ්පාදන සිදුකළා. මම එක දෙයකට සීමාවෙලා නැහැ. බතික් නිෂ්පාදන අතරිනුත් සෑම දෙයක්ම වාගේ නිර්මාණය කරනවා. මම බතික් සාරී, මේඩප් කළ ඔසරිය, කමිස, පොඩි දරුවන්ට රෙද්ද හැට්ට, ගවුම්, බෑග්, සායවල්, පාවහන්, නොයෙක් ආභරණ වගේ නිර්මාණ රැසක් සිදුකරනවා. මේ කාලයට ගැළපෙන විදිහට බතික් නිෂ්පාදන මගේ පාරිභෝගිකයන්ට ලබා දීමට සෑම විටම මම කටයුතු කරනවා. සාමාන්‍යයෙන් බතික් කිව්වහම බොහෝ අය හිතන්නේ කළුයි සුදුයි, කළුයි රතුයි යන වර්ණ සහිතව නිර්මාණය කරන සාම්ප්‍රදායික මල ගැන විතරයි. නමුත් එහෙම නැතිව මම නවීන විලාසිතා කලාව තුළට ගිහින් ඒ තුළින් ලබාගත් දැනුමත් සමග නොයෙක් වර්ණ මිශ්‍ර කරමින් තරුණ ප්‍රජාවත් ආකර්ෂණය වන අයුරින් නිර්මාණ සිදුකිරීමට යොමු වුණා. එ් විදිහට දැන් මගේම කියා අාවේණික විලාසිතා කලාවක් හදාගන්න අවසානයේ සමත් වුණා. මගේ නිෂ්පාදන ලිය creations නමින් තමයි අලෙවි කටයුතු සිදුකරන්නේ. මෙම වසරේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ කුඩා ව්‍යාපාරිකයන් සඳහා පැවැත් වූ ප්‍රදර්ශනයේදී මගේ බතික් නිර්මාණයන්ගේ තිබෙන ශෛලියට බොහෝ පිරිසක් කැමති වුණා. මුළු ලංකාවේම බතික් නිර්මාණ කරන අයගේ වෙළෙඳ කුටි 150ක් පමණ තිබුණත් බොහෝ අය ඒ සියල්ලටම වඩා මගේ බතික් නිර්මාණයන් ගැන උනන්දුවක් දැක්වූවා.  ඒ මොකද මම නිර්මාණයට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ ප්‍රදර්ශනයේදී නිෂ්පාදන අලෙවි කළ නිසා. 

මම මගේ නිෂ්පාදන පාරිභෝගිකයාට ලබාදීමේදී ප්‍රමිතිය මෙන්ම පාරිභෝගිකයාටත් දැරීමට හැකි සාධාරණ මිල ගැන ගොඩක් හිතනවා. ඒ නිසා පාරිභෝගිකයාට වගේම මටත් සාධාරණ මධ්‍යස්ථ මිලක් යටතේ මම සියලු නිර්මාණ අලෙවි කරන්නේ. 
ඇත්තෙන්ම මම දැනට මගේ ව්‍යාපාරය පිළිබඳ සතුටු වෙනවා. ගුණාත්මක දෙයක් නිවැරදිව පාරිභෝගිකයාට දෙන විට එය ඇත්තෙන්ම රඳා පවතිනවා. මම මගේ ව්‍යාපාරය දියුණු කරන්න ප්‍රවර්ධන සඳහා කිසිම දෙයක් මම සිදුකරලා නැහැ. නමුත් මගේ නිෂ්පාදන ලබාගන්නා පාරිභෝගිකයන් තුළින් කටින් කට ගිහින්, මගේ නිෂ්පාදන ගැන දැනගෙන ඒ ඔස්සේ පාරිභෝගිකයන් විශාල පිරිසක් එක්ක මගේ ව්‍යාපාරය මේ දක්වා ගෙන එන්නට මට හැකි වුණා. මම මුලින් රුපියල් 5,000කින් පටන් ගත්තත් අද වෙනකොට එකවර රුපියල් ලක්ෂ දෙකක වගේ මුදලකට රෙදි ගෙන ඒමේ හැකියාවක් තිබෙනවා. 

IMG-20180430-WA0011

මම මේ සියලු නිර්මාණ කරන්නේ නිවසේදීමයි. මොකද මගේ ළමයින්ගේ වැඩකටයුතු එක්ක ඒක හරි පහසුයි. ඒ දෙන්නම පාසල් යනවා. ඒ නිසා ඔවුන්ගේ කටයුතු වගේම ගෙදරදොරේ කටයුතුත් කරන්න තිබෙන නිසා නිවසේදී මේ වැඩකටයුතු කරන එක මට හරිම පහසුයි. දරුවන්ගේ වැඩවලට බාධාවක් නොවෙන්න තමයි මම මේ සියලු වැඩකටයුතු කරන්නේ.  මමයි මගේ මහත්තයි මේ වන තුරු දරුවන්ට කිසිම අඩුපාඩුවක් සිදුකරලා නැහැ. දෙමවුපියන් වශයෙන් දරුවන්ට කරන්න අවශ්‍ය සෑම දෙයක්ම අපි කරනවා. 
පාරිභෝගිකයන් දිගු කාලීන පදනම යටතේ තමයි මගේ බතික් නිර්මාණ සඳහා ඇණවුම් ලබාදෙන්නේ.  ඒ වගේම බතික් ව්‍යාපාරය අවුරුදු 40ක් වගේ කාලයක පටන් කරගෙන යන ව්‍යාපාරිකයන් පවා මගේ බතික් නිර්මාණයන් මිලදී ගැනීමට යොමු වෙලා තිබෙනවා. දැන් මම ඔවුන් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරනවා. ඊට අමතරව අලෙවි සැල් කිහිපයකටම මම මගේ නිර්මාණ ලබා දෙනවා. 

මේ වෙනකොට මගේ ළඟ සේවකයන් පස්දෙනෙක් වැඩ කරනවා. මම ව්‍යාපාරය ආරම්භ කළ දා පටන් මේ වෙනකම්ම ඉන්න සේවකයොත් මගේ ළඟ ඉන්නවා. ඒ වගේම දැනට මා ළඟට විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද බතික් කලාව හැදෑරීම සඳහා පැමිණෙනවා. සතියකට එක් දිනක් පැමිණෙන ඔවුන් මුළු දවසම බතික් ගැන ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් එක කණ්ඩායමක ශිෂ්‍යයන් 15ක් වගේ සිටිනවා. මොවුන් මට සම්බන්ධ කර දෙන්නේ %ග්‍රීන් ලයන්^ ස්වේච්ඡා මධ්‍යස්ථානයෙන්.

මහා ලොකු ලාභයක් නොවුණත් මේ ව්‍යාපායෙන් ඇත්තෙන්ම අපේක්ෂා කළ හැකි ලාභයක් ලැබෙනවා.  සාමාන්‍යයෙන් එය 40%ක් වගේ ප්‍රමාණයක්. මේ සඳහා වෙන මහන්සියත් එක්ක ඇත්තෙන්ම එවැනි ලාභයක් නොමැතිව මෙය පවත්වාගෙන යෑම බොහොම අපහසුයි. 
අත්දැකීමත් එක්ක මම දැනගත්ත දේ තමයි ප්‍රමිතියට තිබෙනවා නම්, නිෂ්පාදනය හොඳ නම්, ඒ වායින් කිසිම අතුරු බලපෑමක් සිදුවන්නේ නැති නම් ලාංකාවේ මිනිස්සු විදෙස් රටවල අයටත් වඩා එවැනි නිෂ්පාදන මිලදී ගන්න පෙළඹෙනවා. එමෙන්ම ඒ මිලත් ඇත්තෙන්ම පාරිභෝගිකයාට දරන්න පුළුවන් මිලක් වීමට අවශ්‍යයි. බතික් නිර්මාණ කරන්නේ කපු රෙද්දේ නිසා අපේ තිබෙන උණුසුම් දේශගුණයටත් එය හොඳයි වගේම පහසුයි. 

IMG-20180430-WA0013

මට අද වන විට බතික් කලා නිර්මාණවලින් ඇගයීම් පවා හිමි වෙලා තිබෙනවා. 2016 වර්ෂයේ තමයි මම මුලින්ම කර්මාන්ත අමාත්‍යාංශයෙන් පවත්වන ශිල්ප අභිමානී සම්මාන උළෙලට සහභාගි වුණේ. එහිදී මට කුසලතා සම්මානයක් දිනා ගැනීමට හැකි වුණා. මම ඒ සඳහා ඉදිරිපත් කළේ බතික්වලින් නිර්මාණය කළ ආභරණ කට්ටලයක්, කාන්තා පාවහන් යුගලයක් හා කපු රෙද්ද පුළුස්සා කළ සාරියක්. ඒ වගේම මම පසුගිය වර්ෂයේදී (2017) හෑන්ඩ්ලූම් රෙද්දකට බතික් එක් කරලා සාරියක් ඉදිරිපත් කළා. දෙවැනි දින මනාලියකට ගැළපෙන ලෙස තමයි මම එය ඉදිරිපත් කළේ. එහිදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට හැකි වුණා. මම එයට ගැළපෙන්න බතික්වලින් පෝරුවකුත් නිර්මාණය කළා. 

මම මගේ නිර්මාණ එකතු කරලා 1997 වර්ෂයේ %සෙව්වන්දි 97^ නමින් ප්‍රදර්ශනයක් බණ්ඩාරවෙලදී පැවැත්වූවා. එහි දෙවැනි ප්‍රදර්ශනය %සෙව්වන්දි 2011^ නමින් නුවරදී පැවැත්වීමට මට හැකි වුණා. 

කර්මාන්ත අමාත්‍යාංශයේ පවත්වන වැඩමුළු සඳහා මෙන්ම ප්‍රදර්ශන සඳහාද මට ආරාධනා ලැබෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාරය සිදුකිරීම සඳහා න්‍යායාත්මක දැනුම ලබාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ ඉ‍ෙගනීම් කටයුතුද දැනට මම සිදුකරගෙන යනවා.  කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. ඒ වගේම මහනුවර ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් වූවත් එවැනිම සහයෝගයක් අපි වගේ ව්‍යවසායකයන්ට ලබාදෙනවා. පොදුවේ ගත්විට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලැබෙන සහයෝගය ඉතාම අඩුයි. ණයක් ගන්න ගියත් එය අපි වගේ අයට ඉතා අපහසු දෙයක්. අයවැයෙන් වුණත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බොහෝ යෝජනා ගෙන ආවත් ඒ කිසිවක් තවම ක්‍රියාත්මක කරලා නැහැ. 
මම තවම මගේ නිර්මාණ ප්‍රදර්ශනය කරන්න අලෙවි සැලක් විවෘත කරලා නැහැ. ළමයින්ට තනියම වැඩක් කර ගන්න පුළුවන් තත්ත්වයකට ආවාම, ඒ කියන්නේ තව අවුරුදු පහකින් විතර මම  එයත් සිදුකරන්න අපේක්ෂා කරනවා. ඒවගේම බතික්වලින් තවත් අලුත් අලුත් නිර්මාණ රැසක් පාරිභෝගිකයාට දරා ගැනීමට පුළුවන් මිලකට ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරනවා. ඒ වගේම බතික් නිර්මාණවලින් විලාසිතා දැක්මක් ඉදිරියේදී සිදුකිරීමට මම අපේක්ෂා කරනවා. 

IMG-20180430-WA0025

දැන් දැන් යම් ප්‍රමාණයක වර්ධනයක් තිබුණත් බතික් කලාව සමාජයෙන් ඉවත් වෙලා යන ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙන්නේ. නමුත් එයින් නවීන කාලයට ගැළපෙන නිර්මාණ සිදුකිරීමට මම හැම විටම උනන්දු වෙනවා. 

මම මේ හැම දෙයක්ම නියමිත කළමනාකරණයක් යටතෙයි සිදුකරන්නේ. ඇත්තෙන්ම අපි කම්මැළි වුණොත් අපිට කිසි දෙයක් කරගන්න බැහැ. මම බතික් නිෂ්පාදනයන්ට අමතරව මට ලැබෙන ආහාර ඇණවුම්ද බාර ගන්නවා. දැනට සැන්විච්, කප් කේක් වගේම බිස්කට් පුඩින් කරනවා. මම හැමදාම උදේ 4.15 වගේ වෙනකොට සැන්විච් ඇණවුම ගෙනගොස් දෙන්න ඕන.  මම මේ දෙවල්වලට අමතර සිතුවම් නිර්මාණ, එම්බ්‍රොයිඩර් වගේ දේවලුත් සිදුකරනවා. ඇත්තෙන්ම මට මේ සෑම වැඩක්ම සිදුකිරීමට පවුලෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. මගේ මහත්තයා සෑම අවස්ථාවකම මගේ සෙවණැල්ල සේ සිටිමින් මාව දිරිමත් කරනවා. ඔහු හැකි උපරිමයෙන් මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරන්න උපකාර කරනවා. මගේ දරුවන්ගෙන් වුණත් මට කිසිම කරදරයක් නැහැ. ඔවුන් සියලු දෙනාම මේ සෑම වැඩක්ම මට නිදහස්ව හා සතුටෙන් සිදුකිරීමට ලබා දෙන්නේ අනුපමේය සහයෝගයක්. බොහෝ කාන්තාවන් විවාහයෙන් පසුව නිවසේ ගෘහණියක් වශයෙන් සිටින අවස්ථා වැඩියි. නමුත් ඇත්තෙන්ම අපි එසේ නිකරු‍ෙණ් කාලය වැය කරන්න හොඳ නැහැ. අපිට කරන්න කාර්යයන් රාශියක් තිබෙනවා. හැමදෙයක්ම අපිට ලැබෙනකම් බලා ඉන්නේ නැතිව අපි ඒ හැම දෙයක්ම ලබාගන්න උත්සාහ කරන්න ඕන. සාමාන්‍යයෙන් රැකියාවක් කරන කෙනෙකුට වඩා මම මගේම ව්‍යාපාරය තුළින් මුදල් උපයනවා. එය දවසින් දවස ප්‍රවර්ධනය කර ගැනීම අපේ කැපකිරීම මත සිදුවෙන දෙයක්. රැකියා නැහැයි කිය කියා නිකරුණේ කාලය ගතකිරීම ඇත්තෙන්ම ඔවුන් සිදුකරන හරිම කම්මැළි ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ.   

බතික් කලාව ගැන හෝ නවීන බතික් නිර්මාණ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට 077-6628686 යන දුරකථනය ඔස්සේ අනුජා ජයසේකර මහත්මිය සම්බන්ධ කර ගත හැකිය.



Recommended Articles