හැම කාන්තාවක්ම තමන්ට උපතින් ලැබී තිබෙන හැකියාව හඳුනාගෙන ඉදිරියට ගමන් කළ යුතුයි


විවාහයෙන් පසු තමන් උසස් අධ්‍යාපනය ලැබූ ක්‍ෂේත්‍රයේ රැකියාවට සමුදුන් ඇය තම සොහොයුරිය විසින් පවත්වාගෙන යනු ලබන පෙරපාසලේ ගුරුවරියක ලෙස සේවය කරනුයේ ඒ සඳහාද අවශ්‍ය සුදුසුකම් සපුරමිනි. නමුත් එයින්ද නොනැවතී ඉවුම්පිහුම් කටයුතුවලදී තමන් දක්වන දස්කම් අපතේ නොයවා එය ව්‍යාපාරයක් බවට පෙරළීමට ඇය සමත්වනුයේ The Kitchen Hub By Mariza ආරම්භ කරමිනි. වර්තමානයේ වඩාත් ප්‍රචලිත Online Business හරහා ස්ථාවරත්වයක් රඳවාගත් රනේෂා මරීසා විමලසේකර නම් ඇය මෙලෙස අප සමග ව්‍යාපාරිකාවක ලෙස මෙන්ම ගුරුවරියක ලෙස තමන් ආ ගමන්මග පිළිබඳ හෙළි කළාය.


ව්‍යාපාරයේ ආරම්භය

ගෙදර ඉවුම්පිහුම් කරද්දී හැමෝගෙන්ම ලැබුණු යහපත් ප්‍රතිචාර මත තමයි මම %The Kitchen Hub By Mariza^ ආරම්භ කළේ. කොහොමත් මගේ හිතේ ආසාවක් තිබුණා Online Catering වගේ Business එකක් කරන්න. මගේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ චොක්ලට් බිස්කට් පුඩිංවලින්. දැන් මම චට්නි වර්ග, ජූස් වර්ග හා අතුරුපස වර්ග නිෂ්පාදනය කරනවා. මේ සියල්ල මම නිවසේ වැවෙන දේවල්වලින් හා කාබනික වගාවන්වලින් ලබාගත් පලතුරු හා එළවළු යොදාගෙන නිෂ්පාදනය කරන්න නිරන්තරයෙන් උත්සහ කරනවා. ඉදිරියේදී මම ළමුන් සඳහා සෞඛ්‍යාරක්ෂිත කෑම වර්ග නිෂ්පාදනය කර හඳුන්වා දෙන්න අදහස් කරගෙන ඉන්නවා. අවුරුදු තුනෙන් ඉහළ ළමුන්ට ගැළපෙන විදිහට මෙම ආහාර නිෂ්පාදනය කරන්නයි මගේ අරමුණ. 
ඇත්තටම මම ළමුන් සඳහා කරන නිෂ්පාදනවලදී මගේ පුතාලා දෙන්නට බය නැතිව දෙන්න පුළුවන් විදිහට හදන ඒවා තමයි අත්හදා බලලා වෙළෙඳ පොළට එකතු කරන්නේ. උදාහරණ විදිහට සීනි හා ලුණු නැතිව ළමුන්ට සුදුසු විදිහටයි නිෂ්පාදනයන් කරන්නේ.

පවුලේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය

විවාහයෙන් පසු කාන්තාවන් තමන්ගේ සැමියාගෙන් යැපෙන්න හිතුවට හැම වෙලාවෙම අපේ ආර්ථිකය එකම විදිහට ස්ථාවරව තිබෙන්නේ නැහැ. ඉතින් බිරිඳක් විදිහට තමන්ගේ සැමියාට සහයක් ලෙස නිවසෙන් පිටත රැකියාවකට නොගිහින් මෙවැනි ව්‍යාපාරයක නිරතවෙන්න අවස්ථාවක් තිබෙනවා. 
රැකියාවක් සඳහා මම නිවසෙන් බැහැරව ගියානම් මගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් වෙන්කරන්න තිබෙන කාලය අඩු වෙන්න ඉඩක් තිබුණා. මම මගේ කාලය කළමනාකරණය කරගෙන, මගේ ව්‍යාපාරයත් කරගෙන මගේ සැමියාට ලබාදෙන සහයෝගය වගේම පවුලේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය කාන්තාවක ලෙස ලබන ලොකු ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. 

පෙරපාසල් ගුරුවරියක ලෙස දක්වන දායකත්වය 

මම උසස් පෙළ නිම කළාට පසු රැකියාවක නිරත වුණා. ඒ වගේම Air Line ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඉන්පසුව තමයි මගේ සහෝදරියගේ Montessori එකේ කටයුතු දැක්කම ඒ පැත්තට ආසාවක් ආවේ. ඉතින් දැන් මම මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන %Steps Early Childhood Development Centre^ හි ගුරුවරියක ලෙස මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව වශයෙන් අවුරුදු නවයක් පුරා කටයුතු කරමින් සිටිනවා.

මේ කටයුතු එක්ක තමයි මම මගේ The Kitchen Hub By Mariza^ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්නේ. මගේ ව්‍යාපාරයේ කටයුතු වගේම පෙරපාසල් ගුරුවරියක ලෙස මම මගේ උදේ කාලය කැප කරන්නේ අවුරුදු 2 ½ වගේ පුංචිම බබාලා වෙනුවෙන්. මාත් එක්ක මගේ පුතාලා දෙන්නත් Montessori එකට උදේම යනවා. මගේ සහෝදරියගේ  Montessori එකේ කටයුතුවලට උදවු කරන්න ආව ගමනේදී අක්කා මට ලබාදුන් මගපෙන්වීම මත මම Montessori ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඉදිරියේදී මම මගේ සහෝදරියගේ Elocution පන්ති සඳහා ගුරුවරියක ලෙස සේවය කරන්නට අදහස් කරගෙන ඉන්නවා. එයට අදාළ විභාග කටයුතුවලට පෙනී සිටින්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා.

අනාගත බලාපොරොත්තු

මට ලැබෙන ඇණවුම් බෙදාහැරීමේ කටයුතු සිදුකරන්නේ මගේ සැමියා. ඉතින් බොහෝ වෙලාවට සවස් කාලයේ තමයි බෙදා හැරීමේ කටයුතු සිදුකරන්නේ. ඔහුගෙන් මට මේ කටයුතු සඳහා ලැබෙන  සහය ඉතාම ඉහළයි. උපන්දින සාද, විවාහ, ආදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුව අවශ්‍ය අතුරුපස, පලතුරු බීම හා චට්නි වර්ග නිෂ්පාදනය කර දීමට මම උත්සහ කරනවා. වැඩි පිරිසක් සහභාගිවන උත්සව අවස්ථා සඳහා ඇණවුම් මාසයක් වගේ කාලයකට පෙර ලබා දෙනවානම් එය මට පහසුවක්. අනෙක් ඇණවුම් සාමාන්‍යයෙන් දිනකට පමණ පෙර ලබා ගන්නවා.
මට ආසාවක් තියෙනවා ඉදිරියේදී Outlet එකක් %The Kitchen Hub By Mariza^ නමින් විවෘත කරන්න. ලංකාවේ හැම කාන්තාවකටම යම්කිසි හැකියාවක් උපතින්ම ලැබී තිබෙනවා. ඒ හැකියාව හඳුනාගෙන ඉදිරියට ගමන් කළ  යුතුයි. ඒ නිසාම මම මේ ව්‍යාපාරය දියුණු කරගෙන යම් දිනක දිළිඳු ළමුන්ගේ අධ්‍යාපනය නැංවීමට යමක් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. 
කාන්තාවකට කරන්න බැහැ කියලා දෙයක් නැහැ. ඒ නිසා ඕනෑම කැපකිරීමක් කරලා තමන්ගේ හැකියාවන් තුළින් ඉදිරියට ගිහින් සමාජයටත් යම් මෙහෙවරක් කරන්න කාන්තාවකට හැකියාවක් තිබෙනවා.

නදීශානි පතිරණ



Recommended Articles