ප්‍රවීණ මාධ්‍යවේදිනී ඉරෝෂිණී දීපිකා විසින් රචනා කරන ලද ‘සසර කතර තරණය කර’ ග්‍රන්ථය සාහිත්‍ය පොත් පියසේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. ඇය මිනුවන්ගොඩ බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවක් මෙහි ඇතුළත්ය. මිනිස් සන්තානය තුළ සිදුවන ආවේගශීලී පීඩනයන් මැඬපවත්වා ගනිමින් නිවුණ සිතක් ඇති කරගත හැක්කේ කෙලෙසද යන්න පිළිබඳව සරල විග්‍රහයක් මෙහි ඇතුළත් වන අතර, මෙය මෙහෙණින් වහන්සේ නමක් මූලික කරගනිමින් මෙරට ප්‍රකාශිත ප්‍රථම ග්‍රන්ථයද වන්නේය. එමෙන්ම කතුවරියගේ කුලුඳුල් කෘතියද මෙය වේ. මේ එම කෘතිය පිළිබඳව ඉරෝෂිණී සමග ‘අද’ අප සිදුකළ සාකච්ඡාවකි.
ඔබ මෙම කෘතිය රචනා කිරීමට මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ තෝරා ගැනීමට විශේෂ හේතුව කුමක්ද?
යම් නිර්මාණයක් හෝ කෘතියක් සමාජගත කිරීමේදී එය අර්ථවත් ආකාරයට සිදුකළ යුතුයි. සමාජාවබෝධය, ධර්මාවබෝධය අතින් වගේම, විද්‍යාත්මක දැනුම යන කරුණු පිළිබඳව හොඳ දැනුවත්භාවයක් බොධිචිත්තා මෙහෙණින් වහන්සේ සතුව පවතින බව මා එතුමිය සමග මූලිකව කළ කතාබහේදී පෙනී ගියා. සසර කතර තරණය කර නිවී සනාහාලන සදහම් සයුරෙන් අමා දම් දිය දෝතක් නැමැති මෙම කෘතිය අර්ථවත් අයුරින් ගොඩනැගීමට ඕතොමෝගේ පරිණත ධර්ම ඥානය මෙයට ඉමහත් පිටිවහලක් වුණා.
බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ පිළිබඳව යම් හැඳින්වීමක් කළ හැකිද ?
ඕතොමෝ මෙලොව ජනිත වන්නේ පවුලේ එකම දරුවා ලෙසයි. ඇයගේ මවුපිය ඥාති සැවොම උසස් වෘතීන්හි නියැළුණු අය. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් හා දේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය විද්‍යාව හදාරලා ඒ රටේ විද්‍යාඥවරියක විදිහට ඇය කලක් සේවය කර තිබෙනවා. සිය තරුණ වියේදීම ජීවිතය පිළිබඳව යථාවබෝධය වටහා ගෙන ඇති ඇය පසුව මහණ දම් පිරීමට පෙළඹුණා. එයට හේතු වූ කාරණයක් තිබෙනවා. ඒ ඇය වයස අවුරුදු හතේ සිට විවිධ ආචාර්යවරුන් යටතේ භාවනා පුහුණුව ලබා තිබීමයි. ඇය අජාන් බ්‍රහ්මවංශො හිමියන්ගෙන් ධර්මාවබෝධයද ලබා තිබෙනවා. වර්තමානයේ බුද්ධගයාවේ මහාබෝධි සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන පැලවත්තේ සීවලී නාහිමියන් ශ්‍රී මහා බෝධි සෙවණේදී ඇයව පැවිදිභාවයට පත්කර තිබෙනවා. මැලේසියාවේ වැඩ වාසය කරන මඩවල පුණ්ණජී නාහිමියන් ගුරුතන්හි තබාගෙන ආචාර්ය කුසුමා භික්ෂුණීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සසුනට පිවිසි බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ අදටත් පැලම්පිටියේ පුඤ්ඤසාර හිමියන්ගේ ගුරුඋපදේශ ලබාගනිමින් ශාසනික කටයුතුවල යෙදෙනවා.
මේ වන විට බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ ඉංග්‍රීසි හා සිංහල භාෂා ද්වයෙන්ම දහම් කරුණු දේශනා කරමින් අප රටේ පමණක් නොව මැලේසියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල වෙසෙන ජනතාවට සංසාර සාගරයෙන් එතෙර වීමේ ධර්මාවබෝධය සැමට සමව ලබාදීමේ නිරතව සිටිනවා. මෙවැනි මෙහෙණින් වහන්සේ නමක් සමග සාකච්ඡාවක් සිදුකර කාලෝචිත ධර්ම කෘතියක් නිර්මාණය කිරීම වඩාත් සුදුසු බව ග්‍රන්ථ ප්‍රකාශක චාමික මුණසිංහ මහතා මට යෝජනා කළා. එම පසුබිම යටතේයි මෙම කෘතිය රචනා වන්නේ.
මෙම කෘතිය ලක්දිව මෙහෙණින් වහන්සේ නමක් සමග කරුණු සාකච්ඡා කර සම්පාදිත ප්‍රථම ග්‍රන්ථාවලෝකනය බව සැලකුව මනාය* යනුවෙන් මෙහි පාඨයක් අන්තර්ගතයි. ඒ පිළිබඳව යම් සඳහනක් කළොත්?
මෙහෙණින් වහන්සේලා කියන්නේ නිහඬව සිටිමින් රටට සමාජයට මහඟු මෙහෙවරක් සිදුකරන පිරිසක්. ඔවුන් නිහඬව කරන එම සේවය බොහෝ දෙනා දන්නේ නැහැ. දැනගත්තත් ඒ දේ අගය කරන්නේ නැහැ. නිසි අයුරින් සමාජගත වන්නේ නැහැ. එයට හේතුව අප පවතින්නේ පීතෘ මූලික සමාජයක් තුළ වීම වන්නට පුළුවන්. අපේ අරමුණ වුණේ මේ සමාජයේ බිහි වූ අගනා සම්පතකින් සමාජයට අතවශ්‍ය වූ කාලීන මෙහෙවරක් සිදුකිරීමට අවසි මග සෑදීමයි.
සැබෑ බෞද්ධයාගේ නියම සියදිවි නසා ගැනීම කෙසේ විය යුතුද? මේ මාතෘකාව තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
මම මාධ්‍යවේදිනියක්. කාලයක් මුළුල්ලේ සිටම සියදිවි නසා ගැනීම් පිළිබඳව අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනවා. වර්තමානය වෙද්දී එහි ප්‍රවණතාවත් වැඩිවෙමින් පවතින බවයි පෙනී යන්නේ. මෙහෙම වීමට ආදරය, සෙනෙහස අහිමිවීම, පවුලේ පවතින අසමගිකම් මෙන්ම දරාගත නොහැකි ආර්ථික ගැටලු මුල්වී තිබෙනවා. මෙය අද වන විට සමාජයේ උඩුදුවන ප්‍රශ්නයක් බවට පත්වෙලා. සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලින් ගැලවීමට තාවකාලික විසඳුමක් වුණත් එයින් ඔවුන්ගේ ආත්මයට සදාකාලික දුක් කන්දරාවක් විඳීමට සිදුවන බව ඔවුන් දන්නේ නැහැ. මේ කරුණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ සියදිවි නසා ගැනීමේ භයානකකම පෙන්වා දීමටයි. මෙ අනුව අප සමාජයේ බොහෝ දෙනෙකු පත්වී සිටින මානසික ආතතියෙන් මුදවාගෙන ඔවුන්ගේ ජීවිත රැකදීමයි මෙහි මූලික අරමුණ වන්නේ.
වෛරය පිළිබඳවත් ඔබ මේ කෘතියෙන් වෙසෙසින් සඳහන් කරනවා. ඒ පිළිබඳව කතා කළොත්?
තරහා, වෛරය, ක්‍රෝධය කියන්නේ අපේ චිත්තය අපවිත්‍ර කරන සිතිවිලිවලටයි, මෙයින් සිදුවන්නේ අප අපටම හානිකර ගැනීමක් පමණයි. අප ජීවත්වන කාලය තුළදී අපට තරහ, කේන්තිය ඇතිවෙන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයන් විදිහට එසේ නොවෙනවා නම් තමයි පුදුම වෙන්න ඕනේ. එහෙත් ලෝකයේ ජීවත්වන සත්ත්වයන් අතරින් මනසින් උසස් මිනිසාට එය පාලනය කරගැනීමට හැකියාවක් තිබිය යුතුයි. තරහව වෛරයක් බවට පත්වෙනවා කියන්නේ කෝප්පයක තේ කහට බැඳෙනවා හා සමානයි. ක්‍රෝධය ඊටත් වඩා භයානකයි. කහට බැඳුන තේ කෝප්පය මැදලා එහි කහට යවා ගන්න පුළුවන්. ඒත් යකඩයක මල බැඳුනොත්, ඒවා යවලා යකඩය යථාතත්ත්වයට පත්කරන්න බැහැ, ඒ වගේම තමයි වෛරය. මෙය භවයෙන් භවයට ගමන් කරමින්, භව ගණනාවක් පවා අප පසුපස එන්න පුළුවන්. මෙහි භයානකකම අප වටහාගත යුතු වෙනවා.
වර්තමානය වන විට අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන දෙයක් තමයි මාතෘ සහ පීතෘ ඝාතන. පෙර භවයන්හි වෛරක්කාරයන් දරුවන් වෙලා ඉපදීමට පුළුවන් බව ඔබ මෙහිදී කතා කරනවා?
අප මේ ගෙවන සසර ගමන තුළ වෛරක්කාරයන් ඇතිකර නොගෙන ජීවත් වෙන්න ඕනේ ඒ නිසයි. මවකගේ කුසේ පිළිසිඳ ගන්නේ කවුරුන්ද? කොයි වගේ කෙනෙක්ද? කියලා මව දන්නේ නැහැ. ඇතැම් විට පෙර භවයන්හි වෛර තියාගෙන ඉඳලා, ලබන භවයේදී දරුවෙක් වෙලා හරි ඉපදිලා පළිගන්නවා කියා හිතන අය ඉන්න පුළුවන්. එහෙම පතාගෙන එන වෛරක්කාරයන් අතින් මව,පියා වගේම මවුපියන් අතින් දරුවන් ඝාතනය වීමටත් පුළුවන්. මේ නිසා අප වෛරයෙන් අත්මිදිය යුතුයි. තරහක් පැමිණි විට එය දියේ ඇඳි ඉරක් වගේ තබාගත යුතුයි. එය වැල්ලේ ඇඳි ඉරක් තරම්වත් දුර ගෙන නොයා යුතුයි. වෛරය ගලේ කෙටූ ඉරක් ලෙසට සිතේ තබා ගැනීම අතිශයින්ම භයානකයි.
නිරතුරුවම බණ කියන, ඇසෙන රටක සමාජ පරිහානිය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන මෙවන් වකවානුවක ධර්ම ග්‍රන්ථ රචනා කිරීමෙන් පලක් තිබෙනවාද?
බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේත් සමාජයේ විෂම පුද්ගලයන් හිටියා. ඒ වගේම උන්වහන්සේටත් විවිධ හිංසා පීඩා ඇති කළා. නමුත් උන්වහන්සේ ධර්මය දේශනා කළ එක නැවැත්තුවේ නැහැ නේද? ඒ වගේ තමයි අපට සමස්ත සමාජයම වෙනස් කරන්න අපහසුයි. ඒත් මේ පොත කියවීමෙන් එක් පුද්ගලයෙක් හරි යහ මගට ගන්නට හැකි වේ නම් එයත් ප්‍රමාණවත්. හැමෝටම මෙම කෘතිය කියවන්න බැරි වේවි. කියවන කිහිපදෙනෙකු හරි මේ ධර්ම ග්‍රන්තය කියවලා ඔවුන් තුළ මෙතෙක් පැවැති විෂම ආකල්ප බැහැර කර ගත්තෝතින් එය අපේ අරමුණේ සියුම් ජයග්‍රහණයක් විදිහට සැලකිය හැකියි. ඒ වගේම මේ පොත කියවලා පසෙක තබනවාට වඩා එය තවත් කිහිප දෙනෙකුට කියවීම සඳහා පත්කිරීම උතුම් ධර්ම දානමය කටයුත්තක්ද වේවි.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ