ස්ත්‍රී දූෂණය හා වයස


වයස අවුරුදු 16ට වැඩි ගැහැනු දරුවෙකුට හෝ වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකුට තම කැමැත්ත ඇතිව ලිංගික සංසර්ගයේ යෙදිය හැකිද? මෙම ගැටලුව අද වනවිට සමාජයේ තරුණ තරුණියන් අතර පවතින පිළිතුරු සෙවීමට කුතුහලයක් මතු කරන්නා වූ ගැටලුවකි. තරුණ වයස යනු නොවිසඳුණු ගැටලු බොහෝමයකට පිළිතුරු සොයන අවධියකි. එම කුතුහලය හේතුවෙන් මෙන්ම නිසි අවබෝධයකින් තොරව හැඟීම්වලට වහල් වී ගන්නා ඉක්මන් තීරණ හේතුවෙන් කරදරයට පත්වන තරුණ තරුණියන් බොහෝය. එවැනි සම්බන්ධතා බොහෝ විට අවසන් වන්නේ සියදිවි නසාගැනීමකින් හෝ නීතිවිරෝධී ගබ්සාවකින් හෝ එසේත් නැත්නම් වංචනික ලෙස සිදු කෙරෙන අඩු වයස් විවාහයකිනි. මේ සම්බන්ධයෙන් වන නීතිමය පසුබිම පිළිබඳ මෙම නීති විග්‍රහය ගෙන එන්නේ නීතිඥ අරුණ පතිරණ ආරච්චි මහතාය.


අද වනවිට සමාජයේ දැකිය හැකි මූලික ගැටලුවක් වනුයේ තරුණ වයසේ පවතින දරුවන් අතර පවතින නොයෙකුත් ආදර සබඳතාවන් පිළිබඳ ගැටලුවයි. එහිදී තරුණ වයසේ ඇතිවන ආදර සබඳතා අද වනවිට වෙනත් සබඳතා මට්ටම් දක්වා දුරදිග යන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම සබඳතා බොහෝමයක් දෙමවුපියන්ගේ අනුදැනුමෙන් තොරව හොර රහසේ සිදුවන බව මනාව පැහැදිලි වේ. ඒ මත මෙම සබඳතාවල පවතින නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුව මතු වනු ඇත.

 
බොහෝ විට අද සමාජයේ දැකිය හැකි තත්ත්වයක් වනුයේ තරුණ වයසේ පසුවන තරුණ තරුණියන් ආදරයේ සුන්දර බව බොහෝ ලැගුම්හල් තුළ විඳින ආකාරයයි. එම කටයුතුවල පවතින නීත්‍යනුකූල හෝ නීත්‍යනුකූල නොවන බව පිළිබඳ බොහෝ විට මෙම තරුණ තරුණියන් අතර දැනීමක් දක්නට නැත.
 
ලංකාවේ නීතිය යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නීති සංග්‍රහ මූලිකවම මෙවැනි අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති දක්වා ඇත. ලංකාවේ සාමාන්‍ය පොදු නීතිය යටතේ කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 363/364 හා 364 (අ) යන වගන්ති යටතේ ආරක්‍ෂණයන් දක්වා ඇත.
 
එහිදී  ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක්වන තැනැත්තා තමන් යටතේ සිටි කාන්තාවට වයස අවුරුදු 16ට අඩු නම්, ලංකාවේ නීතිය එම වරද අර්ථ දක්වා ඇත්තේ %ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරද^ ලෙසය. 1995 අංක 20 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 (අ) වගන්තිය යටතේ දක්වා ඇති මෙම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය තුළදී දැරියගේ, 
 
1. කැමැත්ත ඇතිව 
2. කැමැත්ත නැතිව 
 
යන මූලික නෛතික සිද්ධාන්ත දෙකම මෙහිදී අදාළ නොවේ. ඒ අනුව වයස අවුරුදු දහසයකට අඩු තැනැත්තියක සමග ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකු, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වනු ඇත. ඊට අදාළ දඬුවම් ලෙස, 
 
1. අවුරුදු හතකට නොඅඩු වූද, අවුරුදු විස්සක් නොඉක්මවන්නා වූද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමක්,
2. දඩ මුදලක්,
ලෙස දක්වා ඇත.
තවද ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණ වරද සිදු කිරීමට තැත් කිරීමද වරදකි. ඊට අදාළ දඬුවම් ලෙස, 
1. අවුරුදු දෙකක කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක්,
2. දඩයක්
ලෙස දක්වා ඇත. 
ලංකාවේ පවතින නීතිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තිය යටතේ පහත සඳහන් වන පස් වැදෑරුම් අවස්ථාවලින් යමකට වැටෙන පරිදි මිනිසෙකු ස්ත්‍රියක සමග ලිංගික සංසර්ගය ඇති වූ විට ඔහු ස්ත්‍රී දූෂණය කළැයි සලකනු ලැබේ.
 
1. ඇයගේ කැමැත්තට විරුද්ධව
2. ඇයගේ කැමැත්ත නොමැතිව
3. මරණය හෝ තුවාල කිරීම පිළිබඳ බියකට ඇය පමුණුවා ඉන් පසු ගනු ලැබූ කැමැත්ත ඇතිව
4. තමන් ඇයගේ ස්වාමිපුරුෂයා නොවන බවද, තමන් ඇය හා නීත්‍යනුකූලව විවාහ වූ නැතහොත්, විවාහ වූ ලෙස විශ්වාස කරනු ලැබූ වෙනත් පුරුෂයෙකු බව ඈ විශ්වාස කළ නිසා ඇයගේ කැමැත්ත දුන් බවද පුරුෂයා දන්නා වූ අවස්ථාවකදී ඇයගේ කැමැත්ත ඇතිව
5. ඇයගේ වයස අවුරුදු දොළහට අඩු වූ විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව
 
නමුත් එහි ව්‍යතිරේඛී තත්ත්වයක් ලෙස දක්වා ඇත්තේ භාර්යාවගේ වයස අවුරුදු දොළහට අඩු නොවූ විටක තම භාර්යාව සමග පුරුෂයෙකු විසින් ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය කිරීමක් නොවේ. ඉන් අනතුරුව 1995 අංක 20 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 364 වැනි වගන්තිය සංශෝධනයට ලක් කළ අතර, එහිදී %ස්ත්‍රී දූෂණය^ යන්න වර්ගීකරණයක් කරන ලදී. 
 
ඒ යටතේ, 
1. තමන්ගේ භාරයේ සිටින ස්ත්‍රියක් රජයේ නිලධරයෙකු විසින් දූෂණය කිරීම
2. රක්‍ෂණ නිවාසයක හෝ කාන්තා හෝ ළමා ආයතනයක යනාදියක කළමනාකරණ පක්‍ෂයේ හෝ කාර්යයමණ්ඩලයේ නියුතු තැනැත්තෙකුව සිටිමින් එම නිවාසයේ හෝ ආයතනයේ නේවාසික ස්ත්‍රියක දූෂණය කිරීම
3. රෝහලක කළමනාකරණ පක්‍ෂයේ හෝ කාර්යයමණ්ඩලයේ නියුතු තැනැත්තෙකුව සිටිමින් එම රෝහලේ ස්ත්‍රියක දූෂණය කිරීම
4. ගර්භිණී ස්ත්‍රියක දූෂණය කිරීම
5. අවුරුදු දහඅටකට අඩු ස්ත්‍රියක දූෂණය කිරීම
6. මානසික හෝ ශාරීරික වශයෙන් ආබාධිත ස්ත්‍රියක දූෂණය කිරීම 
7. රංචු ගැසී දූෂණය කිරීම
ආදී වර්ගීකරණ කිහිපයක් දක්වා ඇත.
 
ඒ අනුව 1995 අංක 20 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතේ දක්වා ඇති විධිවිධානවලට අනුව ස්ත්‍රී දූෂණයට වරදකරුවෙකු වන අයෙකුට අවුරුදු හතකට නොඅඩු වූද, අවුරුදු විස්සක් නොඉක්ම වන්නාවූද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම සහ දඩයක් නියම ෙකරේ. ඊට අමතරව වන්දියක් ගෙවීමට නියම කිරීම සහ එකී වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි වැඩිදුරටත් වූ කාලයකට බන්ධනාගාරගත කිරීමක් සිදුවනු ඇත.
 
වයස අවුරුදු 18 යනු ලංකාවේ නීතිය යටතේ වයෝපූර්ණත්වයට පත්ව ඇති වයස වේ. සාමාන්‍යයෙන් අවුරුදු දහඅටක අයෙකු තමන් කරන ක්‍රියාවේ ස්වභාවය මැනවින් අවබෝධ කරගත හැකි මට්ටමේ පසුවන බවට සමාජයෙන් වුවද පැහැදිලි මතයක් ඇත. එහිදී වයස අවුරුදු 18ට වැඩි කාන්තාවක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන්නෙකු %ස්ත්‍රී දූෂණ^ වරදට වරදකරුවෙකු වන්නේ ඇයගේ කැමැත්ත නැතිව පමණක් ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් පමණි. 
 
එබැවින් ස්ත්‍රී දූෂණය නැමැති චෝදනාව හා වින්දිත කාන්තාවගේ වයස අතර මනා සබඳතාවක් ඇති බව පෙනේ. එබැවින් තරුණ වයසේ පසුවන තරුණ තරුණියන් මෙම චෝදනාවේ බරපතළකම පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන තම සබඳතා පවත්වාගෙන යායුතු වේ. 
 
නඳුන් ශ්‍යාමාල්

 



Recommended Articles