සම්මානනීය රසකැවිලි නිෂ්පාදිකාවක් වූ බේකරි හිමිකාරිනිය


දිව නහර පිනා යන අපූරු රසයකින් රසකැවිලි නිෂ්පාදනය සිදුකර සිය ජීවිතය ජයගත් කාන්තාවක් අපට පසුගියදා හමුවිය. ඇය රිදීපාන ප්‍රදේශයේ පිහිටි %අජන්තා බේකර්ස්^ හිමිකාරිනිය වන අජන්තා ලාලනී මහත්මියයි.   
බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ මෑතින් මෙම වෙළෙඳ සැල පිහිටා තිබේ.

සිය වෙ‍ළෙඳ සැලේ අලවිය සඳහා තබා ඇති සෑම කැවිලි වර්ගයක්ම සකස් කරන්නේ තමා විසින් වන බවත්, නැතිනම් තමාගේ සෘජු අධීක්ෂණය යටතේ වන බවත් ඇය අප හා පැවසුවාය. කිසිදු ගුරුවරයෙකුගෙන් ඒ පිළිබඳව කිසි දිනෙක හදාරා නැති ඇය බොහෝ රස කැවිළි නිෂ්පාදනය කරන්නේ තමුන් ස්වෝත්සාහයෙන් දියුණු කරගත් දැනුම තුළින් බව අපට පවසා සිටියාය.
මේ වන විට සිය ආයතනය මගින් මංගල කේක් ඇතුළු විවිධ වූ කේක් වර්ග, කුරක්කන් කේක්, ඇතුළු රසකැවිලි වර්ග, කෙටි ආහාර වර්ග, උත්සව සඳහා අවශ්‍ය සිංහල රස කැවිලි වර්ග, ඇතුළු බොහෝ දේ නිෂ්පාදනය කරන බව ඇය පවසන්නීය.

කැවිලි වර්ග නිෂ්පාදනය කරන අතරතුර සිය ප්‍රදේශය තුළ පැවැත්වෙන තරග රැසකට ඉදිරිපත්ව ඒවායින්ද ජයග්‍රහණ රැසක්  ලබාගෙන ඇති බව ඈ සිය සහතිකවලින් පිරී ගිය විශාල ලිපිගොනුව අපට පෙන්වමින් පැවැසුවාය.

ඒ අතර 2016 කාන්තා දිනයට සමගාමීව පැවැත්වූ කේක් නිර්මාණ තරගාවලියේ ඌව පළාත් ප්‍රථම ස්ථානය ඇය හිමිකරගෙන ඇත්තේ දක්ෂ කේක් නිර්මාණ ශිල්පීන් රැසක් අබිබවා යමිනි. 
ඊට අමතරව 2017 වර්ෂයේ දී සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානයය කළ සංස්කෘතික හා ධාන්‍යමය ආහාර නිෂ්පාදන තරගාවලියේදී පාන වර්ග,වෙනත් ආහාර හා ධාන්‍ය ආහාර යන තරග අංශ තුන යටතේ පැවැති තරග තුනෙන්ම  ඌව පළාත් ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඇය සමත් වූවාය. 

ඌව පළාත් පශු සම්පත් අමාත්‍යාංශය මගින් පැවැත්වූ කිරි අහාර නිෂ්පාදන තරගාවලියකදීද ඇය  තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇත්තේ සැලකිය යුතු මුදල්  ත්‍යාගයක්ද හිමිකර ගනිමිනි. මීට අමතරව ඇය ලබාඇති ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ  ජයග්‍රහණයන් බොහෝය.

අප සමග අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය,

මම උපන්නේ ගාල්ලේ. මගේ දෙමවුපියෝ ව්‍යාපාර විදිහට කැවිළි වර්ග හදපු අය. ඒ නිසා කුඩා කාලේ ඉඳන්ම රස කැවිලි හදන එක ගැන මට ලොකු උනන්දුවක් තිබුණා.     
මම උසස් පෙළ දක්වා ඉගනගත්තා. ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් තමයි මම ඉගනගත්තේ. උසස් පෙළ දක්වාම    විෂයක් විදිහට ගෘහ විද්‍යාව ඉගෙන ගත්තා.

විවාහ වෙලා මම බදුල්ල රිදීපාන ප්‍රදේශයට ආවේ. මගේ මහත්තයට   සිල්ලර කඩයක් තිබුණා. මහත්තයත් එක්ක කතා කරලා මම ඒ කඩේ පැත්තක පුංචියට තේ කඩයක් ආරම්භ කළා. මගේ මහත්තයා කොයි වෙලාවකවත් මම පසුබාන විදිහට කතා කළේ නෑ. එයා හැම වෙලාවෙම මට මේ දේ හරියට හොඳට කරන්න පුළුවන් කියලා විශ්වාස කළා. ඒ නිසා එයා මට නිතරම විශාල ශක්තියක් වුණා. ඇත්තටම ව්‍යාපාරය මේ තත්ත්වයට ආවේ ඒ ආශීර්වාදය නිසා වෙන්න ඇති කියල මම විශ්වාශ කරනවා.

මුලින්ම බටර් කේක්, පැටිස්, කිරිටොපි, අල ටොෆි වගේ දේවල් හදලා එතන තියලා වික්කා. ඒ කෑමවල රහ වැටිච්ච හුඟ දෙනෙක් නිතරම තේ බොන්න මේ වෙළෙඳ සැලට එද්දී මට ටිකක් වැඩිපුර ඒවා නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. මගේ කේක් ගැන ප්‍රසිද්ධ වුණාට පස්සේ හුඟ දෙනෙක් උත්සවවලට මගෙන් කේක් අරගෙන යන්න පටන් ගත්තා. ඒ නිසා කේක් වර්ග කිහිපයක්ම හදන්න මට සිද්ධ වුණා. පස්සේ ඒක උපන්දින කේක්, මංගල කේක් දක්වා වැඩිදියුණු කළා. ඔහොම ටික කාලයක් යද්දී සමහර දේවල් හදන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර කිහිපයකුත් මම මිලදී ගත්තා.

මම නිතරම එක එක කෑම පිළිබඳ පර්යේෂණ කරනවා. රසට සහ ගුණාත්මකව කෑම හදන්නේ කොහොමද කියන එක මම අත්හදා බලල තමයි මේ කෑම වර්ග මිනිස්සුන්ට කන්න දෙන්නෙ.  
මම කාගෙන් හරි දෙයක් ඉගන ගත්ත නම් ඒ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කරපු වටලප්පන් පුහුණුව විතරයි. ඒ දැණුම වැඩිදියුණු කරගෙන කිසිදු කෘතීම අමුතු අමුද්‍රව්‍යයක් නොමැතිව අපි හදන වටලප්පන්වලට අද ප්‍රදේශය තුළ විශාල ඉල්ලුමක් තිඛෙනවා. 
මේ වන විට අපේ ආයතනයට විශාල පිරිසක් තේ බොන්න වගේම කැවිලි වර්ග අරන් යන්න එනවා. ඒ නිසා නිෂ්පාදන අලෙවිය පිළිබඳ කිසිම ගැටලුවක් අපිට නැහැ. 
මීට අමතරව මම ප්‍රදේශයේ බොහෝ රාජ්‍ය ආයතනවල පැවැත්වෙන උත්සවවලට කැවිලි සහ කෙටි කෑම වර්ග සපයනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බදුල්ල නගරයේ තියෙන කාර්යාල බොහොමයක්ම උත්සවවලදී ගන්නේ අපේ ආයතනයේ කැවිලි වර්ග. ඒ අයට අපේ කෑම ගැන විශාල විශ්වාසයක් තිබෙන බව ඒ අය නිරතුරුවම පවසනවා.

ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා හිතන හුඟ දෙනෙකුට ඇත්තටම මම ආදර්ශයක් කියලා මම හිතනවා. අපි හැම දෙයක්ම පටන් ගත්තේ පුංචියට. ඒත් අපි හැමදාම උත්සාහවන්ත වුණා. කිසිම වෙලාවක ඉස්සරහට තියපු පය  ආපස්සට ගත්තෙ නෑ. මොන විදිහේ බාධක ආවත් ඉලක්කයක් ඇතිව වැඩ කරන්න පුරුදු වුණා. ටිකක් මහන්සි වුණත් ඒකේ ප්‍රතිඵලය වුණේ අපිට ආදායමක් එන අතරම  අපේ නිෂ්පාදනවලට ජනතාව අතර හොඳ නමක් දිනාගන්නට හැකිවීමයි. අපි පුළුවන් ප්‍රමාණයට විතරයි වැඩ භාරගන්නෙ. බැරි තරම් භාරගෙන අපේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා නම විනාශ කරගන්න අපි  කැමති නැහැ.* යැයි ඇය පවසා සිටියේ එකිනෙකා පරයා නැගී සිටින්නට වෙර දරන ඇතැම් ව්‍යාපාරිකයන්ට අපූරු උපදේශයක්ද ලබා දෙමිනි. ඇයව ඔබට සම්බන්ධ කරගැනීමට අවැසි නම් 0552230312 යන දුරකථන අංකයට කතා කිරිමෙන් එය සිදුකළ හැක.

මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක



Recommended Articles