රත්නපුරයේ මැණික් කොතරම් තිබුණද ඒවා ආභරණයක් සඳහා හෝ තෑගි ලෙස හෝ වෙනත් ඕනෑම දෙයක් සඳහා මිලදී ගැනීමේදී පුද්ගලයන් හොඳ මැණික් හඳුනාගන්නට නොහැකිව බොහෝ දුෂ්කරතාවලට මුහුණදීම නිරන්තරයෙන් සිදුවන්නකි.නමුත් එවැනි ගැටලු මගහරවාලමින් තමන්ගෙන් මිලදී ගන්නා සෑම මැණිකකටම තත්ත්ව සහතිකයක් නිකුත් කරමින්, පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගනිමින් මැණික් සම්බන්ධව ව්‍යාපාරයේ නියැළී සිටින ඇය නමින් එස්. එම් ආසිරි බණ්ඩාරය.
වයස අවුරුදු 23ක් පමණ තරුණ වයසේ සිටින ඇය නවීන විලාසිතාවන්ට අනුව මැණික් හැඩ දමමින් මේ ව්‍යාපාරය සිදු කරනුයේ අධ්‍යාපන කටයුතු හදාරන අතරවාරයේදීය. රැකියා විරහිතව ශ්‍රී ලංකාවේ සිටින උපාධිධාරීන්ට ඇය කදිම ආදර්ශයකි.
නොමිලේ ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඇය මේ වනවිටත් උපරිම ඵල නෙළා ඇතිමුත් මෙය ඇයගේ පළමු පියවර කිහිපය පමණි. මේ ඇය 'අද' හමුවේ දැක් වූ අදහස්ය.
Q ඔබ කොහොමද මේ ව්‍යාපාරයට ප්‍රවිෂ්ට වෙන්නේ ?
මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායක අධ්‍යයන අංශයේ අවසන් වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. අපි මේ විෂය කරද්දී අපිට අපේම කියලා ව්‍යාපාරයක් අනිවාර්යයෙන් පටන් ගන්න ඕන. ඒ නිසා තමයි මම මුලින්ම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. දැන් %ආසිරි මැණික්^ යන නමින් මගේ ව්‍යාපාර කටයුතු මම සිදුකරගෙන යනවා.
Q ඒ ව්‍යාපාර අතරින් මැණික් සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න යම් විශේෂත්වයක් තිබෙනවාද?
රත්නපුර ප්‍රසිද්ධ මැණික්වලට. ඒ වගේම රත්නපුර හොඳ මැණික් තියෙනවා. මේ පළාත ගැන මම හොඳට දන්න නිසා අඩුවට මෙන්ම හොඳ මැණික් තෝරලා බේරලා මට ගන්න පුළුවන්.
අද ගොඩක් මිනිස්සු මැණික් මිලදී ගන්නකොට රැවටෙනවා. මිනිස්සුන්ටත් මේ හොඳ මැණිකක්ද නැද්ද කියලා නිසි අවබෝධයක් නැහැ. ඒ නිසයි මම මැණික් සම්බන්ධ විශ්වාසවන්ත ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවේ.
Q මේ ව්‍යාපාරය ආරම්භ කර දැනට කොපමණ කලක් වෙනවාද?
මම ගන්න ගාණට සාධාරණයක් කරමින් මිනිස්සුන්ට හොඳ තත්ත්වයේ ඇති මැණික් ගලක් දීමේ හැකියාව තිබෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුදු එකහමාරක් පමණ වෙනවා. මම ඔන්ලයින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. සමහර අයට මම ගෙනගොස් දෙනවා. එහෙමත් නැතිනම් ඕන කෙනෙකුට ඇහැළියගොඩ මගේ නිවසට හරි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇවිත් හරි අවශ්‍ය කරන මැණික් ලබාගන්න පුළුවන්. මම මුලින්ම මැණික් විදිහට විතරයි අලෙවි කළේ. නමුත් දැන් එය මම ආභරණ සකස් කරන විට ඊට අවශ්‍ය වන ආකාරයටත් විකුණනවා.
Q ඔබ මේ මැණික් අලෙවි කරන්නේ ඔන්ලයින් සේවාවක් හැටියටද?
මම 'ආසිරි ජෙම්ස්' යන නමින් තමයි ප්‍රවර්ධන කටයුතු කරන්නේ. මම ඒ නමින් දැනට ෆෙස්බුක් පිටුවක් පවත්වාගෙන යනවා. එම පිටුව හරහා මම විකුණන මැණික් වර්ග පිළිබඳ පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ නිසා අවශ්‍යතාව ඇති පාරිභෝගිකයෙකුට පහසුවෙන් තෝරා ගැනීමක් කරන්න පුළුවන් ඒ හරහා.
Q ඔබ පාරිභෝගිකයෙකුට අලෙවි කරන සෑම මැණික් ගලක්ම විවිධ හැඩවලට නිර්මාණය කිරීමෙන් පසුවද අලෙවි කරන්නේ? ඒ ගැන පොඩි හැඳින්වීමක් කළොත්?
'කට් ඇන්ඩ් පොලිෂ්' කියලා මැණික්වල දෙවර්ගයක් තිබෙනවා. එසේ කරපු මැණික් විතරයි මම මිලදී ගන්නේ. ඉන් පසුව තමයි මම නිර්මාණකරණය කරන්නේ. මට මේ කටයුතුවලට මගේ අක්කත් උදව් කරනවා. මම රත්නපුරේ විශ්වාසවන්ත තැනකින් තමයි මේ මැණික් සියල්ල අරගන්නේ. මොකද මගේ පාරිභෝගිකයාගේ විශ්වාසය මම රකින්න ඕනනේ. මම නොයෙක් වර්ණයන්ගෙන් මැණික් මිලදී ගන්නවා දැන් කාලයට ගැළපෙන ආකාරයට විවිධ හැඩවලට නිර්මාණය කරන්න පුළුවන්. මගේ අක්කා මේ පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙක්. ඇය මගේ ව්‍යාපාරයට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.
Q ඔබ අලෙවි කරන සෑම මැණිකක්ම කුමන හෝ ලෙස අලුතින් හැඩ කරලා ලබා දෙනවාද? ඒ ක්‍රියාවලිය පිළිබඳ හැඳින්වීමක් කළොත්?
මම අලෙවි කරන සෑම මැණික් ගලක් සඳහාම මම තමයි එක එක මෝස්තර සකස් කරන්නේ. සමහරවිට පාරිභෝගිකයා දෙන හැඩයට අනුව ඔවුන්ගේ ඉල්ලුමට සරිලන ආකාරයට සකස් කරනවා. අලුත් මැණික් නිර්මාණයන් පිළිබඳ මම නිරන්තරයෙන් අධ්‍යයනය කරනවා. නිරන්තරයෙන් මේ පිළිබඳ ජාත්‍යන්තරයේ ඇති දැනුමද අන්තර්ජාලය ඔස්සේ ලබාගන්නවා.
මම නවරත්ත මැණික් අලෙවි කරනවා. ඒ වගේම නවරත්ත මුදු සකස් කරලා දෙනවා. ඇතැම් පාරිභෝගිකයන් වෙනත් අයට ත්‍යාගයක් ලෙස දෙන්න මැණික් රැගෙන යනවා. ඔවුන්ට මම අලංකාරව මා විසින්ම සකස් කළ පෙට්ටියක් නොමිලේ දෙනවා. එවැනි අසුරණයන් මැණික්වලට හානියක් නොවෙන්න සකස් කළ එකක් වෙන්න ඕන.
මැණිකකින් රන් ආභරණය සැරසීමට අවශ්‍ය නම් ඇත්තෙන්ම පාරිභෝගිකයාට අවශ්‍ය මැණික් නොවෙයි ආභරණ සකස් කරන අය දාන්නේ. ඔවුන් හදන්නේ ඔවුන්ට අවශ්‍ය ලෙස. සමහර තැන්වලදී ඒ දමන්නේ සැබෑ මැණිකක්ද කියන ගැටලුවත් ඇති වෙනවා. නමුත් මම මේ සහතිකයත් සමග නිකුත් කරන මැණික් තමන්ට අවශ්‍ය ඕනෑම හැඩයක් යටතේ අවශ්‍ය ලෙසට සකස් කර දෙන නිසා ආභරණය සකස් කිරීමේදී කිසිදු ගැටලුවකට මුහුණදෙන්නේ නැහැ.
Q මේ මැණික් වර්ග ඕනෑම තරාතිරමක අයෙකුට ලබාගත හැකි ඒවාද?
ඔව්, කවුරු හරි පාරිභෝගිකයෙක්ට තමන්ට කැමති හැඩයකට නිර්මාණය කර දෙන්න කියා පැවසුවොත් එයින් මැණික් ගල හැඩ දමා දෙන්න මට පුළුවනි. උපන්දින තෑගි වශයෙන්, ආදරවන්තයන්ගේ දින තෑගි වශයෙන් බොහෝ අය මේ මැණික් ලබා දෙනවා.
නොයෙක් මිල ගණන්වලට මැණික් තිබෙනවා. තමන්ට කැමති මිල ගණනක් යටතේ මැණික් තෝරා ගන්න පාරිභෝගිකයාට හැකියාව තිබෙනවා.
Q ඔබ කිව්වා මුලදී ඔබ පාරිභෝගිකයෙකුට ලබාදෙන සෑම මැණිකක් සඳහාම තත්ත්ව සහතිකයක් ලබා දෙනවා කියලා. ඒ සහතිකය ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
කවුරු හරි පාරිභෝගිකයෙක් මැණිකක් ඇණවුම් කළාම ඒ මැණිකට අදාළ තත්ත්ව සහතිකය මම මැණික් සම්මේලනයෙන් ලබාගෙන මැණිකත් සමගම ලබා දෙනවා. එතකොට පාරිභෝගිකයා හා මම අතර විශ්වාසයකුත් ගොඩනැගෙනවා.
Q මේ ව්‍යාපාරය ආරම්භයේදී ඔබ මුහුණදුන් අභියෝග, බාධක ගැන කතා කළොත් ?
මට මුලින්ම මේ ව්‍යාපාරය කරන්න ප්රාග්ධනය ලෙස තිබුණේ රුපියල් 30,000ක් වැනි මුදලක්. මේ මුදලින් මම විශ්වාසවන්ත වෙළෙන්දන්ගෙන් පොඩි පොඩි මැණික් ගල් අරගත්තා. ඉන්පසුව ඒවා නොයෙක් හැඩවලින් නිර්මාණය කරලා මුලින්ම ව්‍යාපාරය ආරම්භ කළේ ඉතාම සුළුවෙන්. මම අවට ඉන්න අයට මේ මැණික් ගල් දීලා ඔවුන්ගෙනුත් අදහස් ගත්තා. මේ අතර මගේ යාළුවෝ අතරත් මම මේ මැණික් ගල් ව්‍යාපාරය කළා. ඒ ලැබෙන මුදල් එකතු කරලා මම තව මැණික් ගල් අරගෙන ටිකෙන් ටික මේ ව්‍යාපාරය දියුණු කර ගත්තා.
අනිත් කාරණය මට මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ මම ගැහැනු ළමයෙක් නිසා මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන කාරණය. නමුත් අපි හරියට ව්‍යාපාරයක් කරන්න දන්නව නම්, ඒක අලෙවි කරන්න වෙළෙඳ පොළක් සකස් කරගන්න හැටි දන්නවා නම්, පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන්ට හොඳම දේ ලබා දෙන්නට හැකි නම් ඒ ව්‍යාපාරය කරන්නේ ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියන කාරණය අදාළ නැහැ.
Q ඔබ රත්නපුර ප්‍රදේශයේ නිසා ඔබට මැණික් ගැන හොඳ අවබෝධයක් ඇති. ඒ නිසා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් ව්‍යාපාර සැලැස්මක් ඇතුවද කටයුතු කළේ?
ඔව්, මම මේ ව්‍යාපාරය පටන් ගන්න කලින් මගේ අධ්‍යයන අංශයේ ආචාර්යවරුන්ගෙන් විමසා බැලුවා. ඒ වෙනුවෙන් මුලින්ම සැලැස්මක් සකස් කළා. එතකොට ඔවුන් සියලු දෙනා පැවසුවේ මේකට දැන් වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබෙන බවයි.
මැණික් බොහෝ විට තිබෙන්නේ රත්නපුර ප්‍රදේශය අවට. ඒ නිසා කොළඹ වගේ පැතිවල ඉන්න අයට තමයි මේ මැණික් නියම මැණික්ද කියන ගැටලුව පැන නගින්නේ. ඒවගේම තියෙන දෙයක්ම නැවත කවුරු හරි කළොත් ඒකේ විශේෂත්වයක් නැහැ. අපි හැම විටම කරන්න අවශ්‍ය අලුත්, මිනිසුන්ට වටින, මිනිසුන් ආකර්ෂණය වන දෙයක්.
මගේ අප්පච්චි මැණික් අරගෙන විකුණනවා. ඒ නිසා මට එම මැණික් නිකම්ම විකුණන්නේ නැතිව ඒවාට වැඩි වටිනාකමක් එකතු කරන්න හිතුණා.
Q ඉදිරියේදී මේ ව්‍යාපාරය දියුණු කරන්න හිතන්නේ කොහොමද?
මේ මැණික්වලට චීන වෙළෙද පොළේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා චීනයේ වෙන් වූ විවිධ ප්‍රදේශ පවා දකින්න පුළුවන්. මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා මම තව මාස කිහිපයකින් චීනයට යන්න අපේක්ෂාවෙන් සිටිනවා. එහිදී මම ඔවුන් සමග මේ ව්‍යාපාර පිළිබඳ සම්බන්ධතා ඇතිකර ගන්නත් අපේක්ෂා කරනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් ලංකාවේ සිටින එවැනි මැණික් හා ආභරණ අපනයනය කරන අය සමගත් කතා කරලා මගේ ව්‍යාපාරය අන්තර්ජාතික වෙළෙඳ පොළ දක්වා රැගෙන යන්න මම අපේක්ෂා කරනවා.
Q තරුණ පරපුරේ බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි විරැකියාව. ඒ ගැන ඔබට මොකද හිතන්නේ ?
අපිට තවත් කෙනෙක්ට අපිට නැහැයි නැහැයි කියලා කියන්න බැහැ. මොකද අපි ඇත්තෙන්ම නිදහස් අධ්‍යාපනේ හදාරලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. ඒවා අපේ සල්ලි නෙමෙයි. සමහර විට උපාධියක් ඉවර වුණ ගමන්ම අපිට රස්සාවක් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ට තනියෙන් ස්වයං රැකියාවක් හරි කරලා නැගිටින්න පුළුවන් නම් හොඳයි.
ඇත්තම ඉගෙන ගන්නම ඕනෑ නෑ ස්වයං රැකියාවක් පටන් ගන්න. ස්වයං රැකියා කරන බෙහෝ අය මේ තරම් දියුණු වෙලා තිබෙන්නේ හොඳ උසස් අධ්‍යාපනයක් ලබලා නෙමෙයි. එහෙම බැලුවම අපි ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන අපි මොකුත් නොකර සිටියොතින්. ඇත්තෙන්ම මෙවැනි දේවල් ලොකුවට පටන් ගන්න අවශ්‍ය නැහැ. පොඩියට හරි කරලා ලොකු දියුණුවක් ලබන්න පුළුවන් තමන්ගේ හිතේ කැමැත්තක් තිබුණොත්.
ඇත්තෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබුවා කියලා අපි රස්සාවක් පස්සෙන්ම යන්න අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙක්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තිබෙනවා ඕනෑම දෙයක් තනියම කරන්න පුළුවන් කියලා. මම ඉගෙනගෙන තව තැනක රස්සාවක් කරලා ගන්න පඩියට වඩා තවත් පවුලක් හෝ පවුල් කිහිපයක් මම කරන ව්‍යාපාරයෙන් ජීවත් වෙනවා නම් ඒක ඇත්තටම මට ලොකු සතුටක්. මම කරන විෂය ක්ෂේත්‍රයත් අනුව අනිවාර්යයෙන්ම එවැනි දෙයක් කළ යුතුයි. එතකොට තමන් එවැනි දෙයක් කළා කියලා පොඩි හරි ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ඇත්තෙන්ම මෙය ව්‍යාපාරයකට වඩා හරිම ආත්ම තෘප්තිය ගෙන දෙන, ආසාවෙන් කරන වැඩක් ලෙස මම හඳුන්වන්න කැමතියි. අපේ අධ්‍යයන අංශයේ ළමයින් 14ක් ඉන්නවා. ඒ හැමදෙනාම කුමන හෝ ව්‍යාපාරයක මේ වනවිට නිරත වෙලා ඉන්නවා. අපේ මේ හැම කෙනෙක්ටම ඒ ගැන උපදෙස් ලබාගැනීමට වෙනම ආචාර්යවරයෙක් දීලා තියෙනවා. ඒ හැමකෙනාම අපිට අපේ ව්‍යාපාරය නිසි අයුරින් කරගෙන යන්න උදව් කරනවා.
යමෙකුට ආසිරි බණ්ඩාරව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවැසි නම් 076- 6220265 අංකයෙන් ඇයව ඇමතිය හැක. එමෙන්ම [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සහ asirigemssl යන ෆෙස්බුක් පිටුව තුළින්ද ඇයව සම්බන්ධ කර ගැනීමට ඔබට හැක.