ලොව හොඳම නිරූපිකාවන් අතරට ආ සීබ්‍රා කෙල්ල


ලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.


ලීසා බ්‍රවුන් හා වින්සර් යන්ග් දෙපළට දාව චැන්ටෙල් බ්‍රවුන් යන්ග් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී මෙලොව උපත ලබන්නේ 1994 වර්ෂයේ ජූලි මස 27 වැනිදාය. ජැමෙයිකානු සම්භවයකට අයත් වූ චැන්ටෙල්ගේ පියා පවුල හැර යෑමත් සමග ඇය සිය සහෝදරියන් දෙදෙනා සමග හැදී වැඩු‍‍ණේ මවගේ ඇසුරේය. 

හුරුබුහුටි දැරියක ලෙස හැදී වැඩුණු ඇයගේ සමේ සුදු පැහැති කැලැල් මතුවන්නට වූයේ සිවු හැවිරිදි වියේදීය. සුදු කබර ලෙස අප හඳුන්වන vitiligo නමැති සම සුදු වීමේ තත්ත්වයට ඇය ගොදුරු වී තිබිණි. 
මෙලෙස සිරුරේ තැනින් තැන සුදු පැහැති පැල්ලම් මතු වීම නිසාම පාසලේ යහළුවන් අතර කොන්වූ ජීවිතයක් ගතකිරීමට තමන්ට සිදු වූ බව චැන්ටෙල් වරක් සී.එන්.එන්. පුවත් සේවයට පවසා තිබුණේ මෙලෙසිනී.
“පාසලේදී මට යහළුවෝ හිටියේ නැහැ. වරක් මම ඇහුවා ඇයි මාත් එක්ක කවුරුත් යාළුවෙන්න අකමැති කියලා. කිසිම කෙනෙක් මාත් එක්ක සෙල්ලම් කිරීමටවත් කැමති වුණේ නැහැ. මොකද ඔවුන්ගේ දෙමවුපියන් කියලා තිබුණා මගෙන් මේ රෝගය ඔවුන්ටත් වැල‍‍ඳෙයි කියලා. මේ නිසාම මම පාසලේදී මානසික වශයෙන් හිංසනයට ගොදුරු වුණ අවස්ථා බහුලයි.”

මෙලෙස පාසල තුළත් සමාජය තුළත් කොන් කිරීමට ලක්වූ ඇයට ඇගේ මව විසින් තද පැහැති ආලේපන ලබාදී තිබුණේ සුදු පැහැති පැල්ලම් වසා ගැනීමටය. කෙසේ වෙතත් සමේ පැල්ලම් නිසා ඇයට %එළදෙන^ හා %සීබ්‍රා^ යන නාමයන්ගෙන් ඇමතීම නිසා ඇති වූ සිත් තැවුල් නිසාම ඇයට කිහිපවරක්ම පාසල් මාරු කිරීමට සිදුව ඇත. නමුත් එයින් එම තත්ත්වය මගහරවා ගැනීමට ඇයට නොහැකි වූ බැවින් ඇය කිහිපවරක් සියදිවි නසාගැනීමට තැත් කළ බව ඇය මාධ්‍යයට පවසා තිබිණි.

මෙම ගැටලුව නිසාම උසස් අධ්‍යාපනය ලැබීම පවා ඇයට අහිමි වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ ඉහළ පෙලේ නිරූපිකාවන්ට අවස්ථාව හිමිවන ලෝක ප්‍රසිද්ධ වික්ටෝරියා සීක්‍රට් විලාසිතා දැක්ම නියෝජනය කරන නිරූපිකාවක බවට පත්වීම ඇයගේ හීනයක්ව තිබිණි.  විලාසිතා නිරූපණයට ඇති කැමැත්ත නිසාම ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා විලාසිතා නිරූපණ ඡායාරූප පළ කරන්නට වූවාය. ඇයගේ ඡායාරූප නැරඹූ ටයිරා බෑන්ක්ස් නමැති ඇමෙරිකානු රූපවාහිනී නිවේදිකාව චැන්ටෙල්ව ‘America's Next Top Model නමින් පැවැත්වූ රූපවාහිනී වැඩසටහනට යොමු කරනු ලැබුවේ 2014 වර්ෂයේදීය. 

එහිදී ඇය අවසන් වටය දක්වා පැමිණියේ එම වැඩසටහනට සහභාගි වූ එකම කැනේඩියානු තැනැත්තිය ලෙසයි. එම වැඩසටහනට සහභාගි වීමෙන් පසු චැන්ටෙල්ට නිරූපිකාවක ලෙස කටයුතු කිරීමට විලාසිතා නාමයන් කිහිපයකින් ආරාධනා ලැබෙන්නට විය. කුඩා කළ තමන් ආදරය කළ ඇමෙරිකානු නිළියක වන ජියෑන් හාර්ලෝගේ නාමය සිහිපත් වීම වෙනුවෙන් ඇය හාර්ලෝ යන නාමය තමන්ව හඳුන්වා දීමට භාවිත කර තිබීම නිසාම නිරූපිකාවක ලෙස විනී හාර්ලෝ යන නාමයෙන් ඇය ක්ෂේත්‍රයට අවතීරණ වූවාය. ස්පාඤ්ඤ විලාසිතා නාමයක් වන %Desigual^ වෙතින් එහි සන්නාම නිරූපිකාව ලෙස පෙනීසිටින ලෙස විනී හර්ලෝට කෙරෙන ආරාධනයෙන් ඇය විලාසිතා නිරූපණ ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක ආරම්භය සනිටුහන් කරන්නට සමත් වූවාය.

එලෙස ඇය 2015 වර්ෂයේ %Ashish^ සන්නාමය වෙනුවෙන් ලන්ඩන් විලාසිතා සතියේ නිරූපණ ශිල්පිනියක ලෙස සහභාගි වූවාය. 2015 වර්ෂය තම විලාසිතා දිවියේ හොඳම වසරක් බවට පත්කර ගන්නා ඇය %Ebony^, %Glamour^, %Complex^, %GQ^ යන සඟරාවල මුල් කවරයේ නිරූපිකාව බවට පත්වූවාය. එසේම ඉතාලියේ ප්‍රමුණ විලාසිතා නාමයක් වන %Diesel^ විලාසිතා නිරූපණයටද ඇයට අවස්ථාව උදා විය.
සමාජ සේවිකාවක ලෙස සුදු කබර රෝගයෙන් පෙළෙන අයගේ ආත්ම අභිමානය දියුණු කිරීම සඳහා විවෘතව හඬ නගන තැනැත්තියක ලෙස විනී ලෝකය පුරා කටයුතු කරන්නට යොමුවන්නේද මෙම කාලයේදීය. TED සංවිධානය හරහා සංවිධානය කරන වැඩසටහන් හා එක්ව ඇය මෙම කටයුතුවල නිරතව සිටින්නීය.

එමි‍ෙනම් බියොන්සේ හා බ්ලැක් අයිඩ් පීස් යන හොලිවුඩයේ ජනපිය තරු විසින් නිකුත් කරන ලද ගීත වීඩියෝ පට සඳහාද ඇය සිය දායකත්වය ලබා දී ඇත.
2015 වසරේ ඇය Gala Spa Awards හී Beauty idol සම්මානයෙන් පිදුම් ලබන්නීය. ඉන්පසුව ඇය 2016 හා 2017 වර්ෂවල Teen Choice Award හී  වසරේ නිරූපිකාව අංශය යටතේ නාමයෝජනාවලට ඇතුළත්ව ඇත. 2017 වර්ෂයේදී ඇය විසින් Glamour’s Editor’s Award සම්මානය දිනාගනු ලැබීය.

මෙලෙස කුඩා කළ සමාජයෙන් කොන් කරන ලද තැනැත්තියක වූ විනී හාර්ලෝ වර්තමානයේ ලොව සුපිරි නිරූපිකාවන් අතර ඉදිරියෙන්ම රැඳී සිටින්නීය. ඇයගේ කුඩා කළ සිහිනය සැබෑ කර ගනිමින් පසුගිය වර්ෂයේ වික්ටෝරියා සීක්‍රට් විලාසිතා දැක්මේ නිරූපිකාවක ලෙසද ඇය පෙනී සිටියාය. 

මෙම වසර වන විට ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක් ලෙස ගණන් බලා ඇති අතර, ඇය නිරූපිකාවක ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 200ක ආදායම් උපයන බවට වාර්තා වෙයි.
2019 වර්ෂයේ ජනවාරි වන විට ඇයට ඉන්ස්ටග්‍රෑම් හරහා අනුගාමිකයන් මිලියන 5.5ක් සිටින බවට වාර්තා වෙයි. තවමත් 24 වියේ පසුවන ලාබාල යුවතියක වන විනී බී.බී.සී. මගින් නම් කරන කාන්තාවන් සියදෙනාගේ ලැයිස්තුවටද ඇතුළත් වී සිටියි.

එසේම ඇගේ සමේ ගැටලුව පිළිබඳ ඇසූ පැනයකට පිළිතුරු දෙමින් විනී හාර්ලෝ ලොවට පවසා ඇත්තේ, &මගේ සමේ පැහැය තවදුරටත්  මගේ ඉදිරි ගමනට සීමාවක් නොවේ යනුවෙනි. 



Recommended Articles