කාන්තාවක් අනිවාර්යයෙන්ම උපත් පාලනය පිළිබඳ දැනගෙන සිටිය යුතුය. පවුල් සෞඛ්‍ය නිලධාරියා හෝ පවුලේ වෛද්‍යවරයා මේ පිළිබඳ දෙන උපදෙස් පිළිපැදීෙම්දී, එහි යහපත් හා අයහපත් බලපෑම පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුය. මනා උපත් පාලන ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් දරුඵල හට ගැනීමේ අවිධිමත්භාවය, දරුඵල අහිමි වීම, ලිංගාශ්‍රිත රෝග බෝවීම ආදී බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. නමුත් ඒ පිළිබඳ විධිමත් දැනුමක් ලබාගැනීම තුළින් පවුල් ජීවිතය හා ලිංගික ජීවිතය පිළිබඳ පෙර සැලැස්මකින් යුතුව කටයුතු කළ හැකිය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර මහතා අප අද හමුවේ සම්බන්ධ කර ගත්තෙමු.
අපි සාමාන්‍යයෙන් උපත් පාලනය යනුවෙන් හඳුන්වන්නේ පවුල් සංවිධානයට. පවුලක කෙතරම් දරුවන් පිරිසක් සිටිය යුතුද කුමන කාලයටද තමන් දරුවන් හදාගත යුත්තේ කියන දෙය එයින් අවධාරණය කරනවා. 1980 ගණන්වලදී ලංකාවට මුලින්ම උපත් පාලන ක්‍රමය හඳුන්වාදුන් නමුත් එය හඳුන්වා දුන්නේ නිවැරදි ක්‍රමයකට නොවේ. උපත් පාලනය යන සංකල්පයම වැරදි අයුරින් හඳුන්වා දීමක්. නමුත් අදටත් ලංකාව තුළ පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා බොහෝමයක් විශේෂඥ වෛද්‍යවරුන් මේ උපත් පාලනය කියන දෙය හඳුන්වා දෙනවා. ඒ පැරණි සංකල්පයෙන් බැහැරවී උපත් පාලනය කියන දෙය විද්‍යාත්මක ලෙස යොදා ගැනීමට හුරුවිය යුතු කාලය දැන් එළැඹී තිබෙනවා.
පැරණි උපත් පාලන සංකල්පය
මෙම පැරණි උපත්පාලන සංකල්පය ඇත්තෙන්ම මෝඩ සංකල්පයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ඒ තුළින් ගෙන ආ දෙයක්. ඇත්තෙන්ම අප භාවිතයට ගත් ඒ සංකල්පය ලෝකේ කිසිම රටක ක්‍රියාත්මක නොවුණු අප වෙත බලෙන් පැට වූ, බොහෝ විට අවස්ථාවාදී සංකල්පයක් ලෙසද එය හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ නිසා ඇත්තෙන්ම මොනවද උපත් පාලනයකින් අපේක්ෂා කරන්නේ කියා අප දැනුවත් විය යුතුයි. ඉස්සර උපත් පාලනයෙන් අපේක්ෂා කළේ, පළවැනි බබා ලැබෙන එක පමා කිරීම, ළමයින් අතර අවම වශයෙන් අවුරුදු 03කවත් පරතරයක් තබා ගැනීම යන කරුණුයි.
ඒ ළමයි දෙන්නෙකුට වඩා හදන්න හොඳ නැහැයි යන කාරණා මත. මෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. අපට මෙයින් පැහැදිලි වන දෙය නම් කිසිදු සංස්කෘතික පදනමක් නැති දේවල් මහජනතාවගේ මෙන්ම සෞඛ්‍ය සේවකයන්ගේ ඔළුවලට විශේෂයෙන් ඇතුළු කර තිබෙන බවයි. ඇතැම් විට මෙය උපත් පාලනය සඳහා ගන්නා දේවල් නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් විසින් සිදුකළ දෙයක් ලෙසද සිතීමට පුළුවන්. එසේත් නොමැති නම් එය යම්කිසි රාජ්‍ය නොවන සංවිධානයන් විසින් සිදුකළ දෙයක් වීමටත් පුළුවන්. එසේම උපත් පාලනය සිදුකිරීමේදී එය සිදුකිරීමට ප්‍රථම එය සිදුකරන්නේ කුමටද යන්න ඉතා පැහැදිලිව දැනගත යුතුයි.
විවාහපත් වූ නව යුවළක් තමන්ගේ පළමු දරුවා හදන කාලය තීරණය කර ගැනීමට අවශ්‍යයි. එම කාලය මාසයක හෝ අවුරුද්දක් පමණ කාලයක් විය හැකියි. එකී කාලය වනතෙක් කාන්තාව උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. උපත් පාලනය සිදුකළ යුතු පළමු කාරණය වන්නේ එයයි.
ඉන්පසුව තමන් අවශ්‍ය දරුවන් ප්‍රමාණය සාදා නිමකළ පසුව දරුවන් නැවත ලැබීම වළක්වා ගැනීම සඳහා උපත් පාලනය යොදාගත හැකියි.
උක්ත දැක් වූ ඒ කාරණා මත පදනම් වී උපත් පාලන ක්‍රමවේදයන් භාවිත කිරීමට කාන්තාවන් යොමු වෙනවා. දරුවෙකු ලබාගැනීමට යොමුවන කාලය කොපමණද, දරුවන් අතර පරතරය කොපමණ ප්‍රමාණයක් තිබෙන්නට අවශ්‍යද,
යන්න විවාහපත් කාන්තාවකට වගේම විවාහපත් වීමට සිටින තරුණියන්ද දැන සිටීම ඉතාම හොඳයි. වයස අවුරුදු 20දී විවාහ පත් වූ කාන්තාවක් වුවද තමන් දරුවෙකු අවුරුදු 21දී ලබනවාද එසේ නැතහොත් අවරුදු 22දී ලබනවාද යන්න තීරණය කළ යුතුයි. එම කාලය තුළ අතර ඇයට උපත් පාලනය භාවිත කරන්නට පුළුවන්.
පළමු දරුවා අවුරුදු 23න් ලැබී, දෙවැනි දරුවා අවුරුදු 24න් ලැබෙනවාද යන්න ඒ කාන්තාව විසින් තීරණය කරන්න ඕන. පවුල් සෞඛ්‍ය සේවිකාවකට හෝ පවුලේ වෛද්‍යවරයාට ඒ සඳහා තීරණ ලබාදීමේ හැකියාවක් නැහැ. යම් කාන්තාවක් තීරණය කළහොත් ළමයින් 7දෙනෙකු හදන්න ඒ දරුවන් හදන්නේ කුමන වයසේදීද ,කොපමණ දරුවන් ප්‍රමාණයක් හදනවාද යන්න ඇය තීරණය කරන්න ඕන. ළමයි හැදිය යුත්තේ මොන වයසේදීද, කොපමණ හැදිය යුත්තේද කියා කියන්නට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.
අපි ඊළඟට පළමුවැනි දරුවා ලැබීමට පෙර සිදුකළ යුතු උපත් පාලන ක්‍රම මොනවාද යන්න විමසා බලමු. මේවා කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රම ලෙස හඳුන්වන්නට පුළුවන්.
කෙටි කාලීන උපත් පාලන ක්‍රමවේද
උපත් පාලන පෙති, ඩෙපෝ ප්‍රොවේරා නමින් හඳුන්වන එන්නත් භාවිත කිරීම මෙහිදී කෙටි කාලීන ක්‍රම යනුවෙන් හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඩෙපෝ ප්‍රොවේරා එන්නතක් ලබාගත්විට මාස තුනක් පමණ කාලයක් ඔසප් වීම සිදුවන්නේ නැහැ. පෙති භාවිතය තුළින් වුවත් මාස දෙක තුනක් පමණ කාලයක් දරුඵල ප්‍රමාද කරගන්න පුළුවන්. පෙති භාවිතය වූවත් අපි සමාන්‍යයෙන් අවුරුද්දකට වඩා නිර්දේශ කරන්නේ නැහැ. නමුත් විද්‍යාත්මකව සනාථ කරලා නැහැ එය කොපමණ කාලයක් භාවිතා කළ යුතුද කියලා. අවුරුදු දෙකක් හෝ තුනක් එලෙස භාවිතා කළ අයගේ දත්ත එක්රැස් කර ඒවා සනාථ කර නැහැ. එසේ වූවත් අපි පිළිගත් ක්‍රමය අනුව කොයිම අවස්ථාවකදීවත් අවුරුද්දකට වඩා පෙති භාවිතය සඳහා යොමු වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පෙති භාවිතය මේ මස නතර කර දැමූ විට ඊළඟ මාසයේ සිට ඇයට දරුඵල ලබාගන්න පුළුවන්.
ඩිපෝ ප්‍රොවේරා (Depo Provera) එන්නත සාමාන්‍යයෙන් මාස තුනෙන් තුනට ලබා ගන්න පුළුවන්. ඒ එන්නත ලබා ගැනීමෙන් පසුව ඔසප් චක්‍රය නතර වෙනවා. අනෙක් කාරණය නම් එය පෙත්ත වගේ එක දිගට භාවිත කිරීමට අවශ්‍ය නැහැ. එමෙන්ම මතක් කර කර ගැනීමේ වුවමනාවක්ද නැහැ. මෙය වසර දෙකක් පමණ කාලයක් භාවිතයට ගත හැකිමුත් ඊට වඩා භාවිත කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නැහැ. වසර දෙකට වඩා මෙය භාවිත කළ හොත් ඔස්ටියෝපොරෝසිස් රෝගය වැලඳීමේ අවදානමක් තිබෙනවා. එසේම ඒවා භාවිත කිරීම තුළ ශරීරය මහත් වීම් වැනි කාරණා සිදු වෙනවා. උපත් පාලන පෙති ගත්තද එයින් අතුරු ආබාධ ඇති වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා කියා දෙයන් නැහැ. නමුත් ලේ කැටිගැසීමේ හෝ අක්මාවේ රෝග තිබෙන අයට මේ පෙති භාවිතය දිගු කාලීනව සිදුකිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නැහැ.
දීර්ඝ කාලීනව භාවිත කරන උපත් පාලන ක්‍රමවේද
ජඩෙල්(Jadelle) හා අන්තර් ගර්භාෂයට ඇතුළු කරන ලූප් එක දීර්ඝ කාලීන වශයෙන් ගන්නා උපත් පාලනය ක්‍රමයක්. මේ දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රම ගත්විට ඒවා අවම වශයෙන් අවුරුදු පහක් වැනි කාලයක් තබා ගැනීමට පුළුවන්. ශරීර අභ්‍යන්තරයට එය ඇතුළු කළ විට හෝර්මෝන ක්‍රියාත්මක වී ඩිම්බ මෝචනය නතර කර දමනවා. ඒ අතරතුර යම් ලෙසකින් දරුවෙකු අවශ්‍ය නම් එය ඉවත් කර ඒ සඳහා සූදානම් විය හැකියි. මෙවැනි දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමවේද භාවිත කිරීමෙන් වාසිදායක ලක්ෂණ රැසක් කාන්තාවන්ට හිමිකර ගැනීමට පුළුවන්. පෙති හෝ එන්නත් ලබාගැනීම දිනපතා හෝ මාස තුනෙන් තුනට සිදුකළ යුතුයි. පෙති දිනපතා භාවිතය තුළ කාන්තාවන්ට ඇතැම් අවස්ථාවලදී අතපසුවීමකින් පෙත්ත ගැනීමට අමතක විය හැකියි. එමෙන්ම පෙති මෙන් දිනපතා බීමේ අවශ්‍යතාවක් හෝ මාස තුනෙන් තුනට එන්නත් කිරීමේ අවශ්‍යතාවක් නැත්තේ මෙය වසර පහකට හෝ වසර දහයකට ශරීර අභ්‍යන්තරයට ඇතුළු කරන නිසයි.
මෙය ඩෙපෝ ප්‍රොවේරා එන්නත් මෙන් මාස තුනෙන් තුනට ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවනවා සේම එම එන්නත භාවිතයෙන් පසු ඇතිවන බඩ පිපීම, මහත් වීමේ තත්ත්වයන් මෙමගින් ඇති නොවේ. නමුත් මෙහි අවාසිදායක තත්ත්වයන්ද කිහිපයක් තිබේ. මේ සඳහා සුළු ශල්‍යකර්මයක් සිදුකරන්නට අවශ්‍යය. එහිදී සමමත පොඩි කැපුමක් සිදුකළ යුතු නිසා ඇතැම් කාන්තාවන් එවැනි උපත් පාලන ක්‍රමයන් සිදුකිරීමට දක්වන්නේ බයක්. ශරීර අභ්‍යන්තරයේ කාලයක් තිබෙන නිසා සම සමග සම්බන්ධ වී ඉවත් කිරීමේදී පොඩි පොඩි අපහසුතා ඇති වෙන්න පුළුවන්. නමුත් එවැනි දේ සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. පොදුවේ ගත්විට මෙය ඉතාම හොඳ ක්‍රමයක්.
අනෙක් ක්‍රමය තමයි අන්තර් ගර්භාෂය තුළට ලූපය ඇතුළු කිරීම. එය සාමාන්‍යයෙන් මිලෙන් අධික දෙයක්. අනෙක් එක මෙම ලූපය අවුරුදු 10ක් දක්වා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. උපත් පාලනය සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ක්‍රමයක් ලෙස මෙම ලූපය තැන්පත් කිරීමේ ක්‍රමය හඳුන්වන්න පුළුවන්. දරුඵල ලබා ගැනීමට අවශ්‍ය නම් මෙය ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.
එමෙන්ම තමන්ගේ පවුල තුළ දරුවන් සංඛ්‍යාව ප්‍රමාණවත් යැයි කාන්තාවක් කල්පනා කළ විට උපත් පාලන සැත්කම කිරීම මගින් නැවත දරුඵල ලැබීම වළක්වාලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙය අප සිදුකරන්නේ වයස අවුරුදු 40 පමණ ඉක්මවා ගිය කාන්තාවන්ට පමණයි. ඊට වඩා අඩු වයසකින් යුක්ත කාන්තාවක් මෙම සැත්කම සිදුකරන්නේ නම් අවම වශයෙන් ඇයට දරුවන් තුන්දෙනෙක්වත් සිටිය යුතුයි. මෙය සැත්කමක් ලෙසින් සිදුකළ හැකිවාක් මෙන්ම ලැපරොස්කොපි හෙවත් යතුරු සිදුරු ක්‍රමයට සිදුකරන්නත් පුළුවන්.
ඇතැම් අවස්ථාවලදී අවුරුදු 28ක ළමයින් සිවුදෙනෙක් සිටින කාන්තාවකට මෙම සැත්කම කිරීමට අවශ්‍ය වුවහොත් අපිට අවුරුදු 10ට ලූප් එකක් දාන්න පුළුවන්. ඉන්පසුව ඒ කාලය ඉකුත් වූ පසු, වයස අවුරුදු 38දී ඇයට අවශ්‍ය නම් මෙම උපත් පාලන සැත්කම සිදුකරගන්න පුළුවන්. මේ අයුරින් විවිධ ක්‍රම හරහා කාන්තාවන්ට උපත් පාලනය සිදුකරගන්න පුළුවන්.
ඊට අමතරව ස්වාභාවික ක්‍රමත් උපත් පාලනයේදී යොදා ගන්නා අවස්ථා තිබෙනවා. ඉන් එකක් ලෙස සරු කාලය මගහැරීමට ඉඩ ඇරීම දැක්විය හැකියි.
සරු කාලය ලෙසින් අප හඳුන්වන්නේ කාන්තාවකගේ ඩිම්බයක් මෝචනය වන කාලයයි. දින 8-20 අතර කාලය සරු කාලය ලෙසින් හඳුන්වනවා. මෙම කාලය මගහරවා ගැනීම සිදුකළ හැකිනම් දරුඵල ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්. නමුත් එහි කෘතිම ක්‍රමවලට වඩා සාර්ථකත්වය ගොඩක් අඩුයි
දෙවැනි ක්‍රමය ලෙස ලිංගිකව එකතු වීමේදී යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු පිට නොකිරීම දැක්විය හැකියි. පළමු දරුවා පමා කරන යුවළකට මේ ආකාරයේ ස්වාභාවික ක්‍රමයන් අනුගමනය කිරීමට පුළුවන්.
මීට අමතරව උපත් පාලනය සඳහා කොන්ඩම් භාවිත කිරීමට පුළුවන්. මගේ අදහස වන්නේ මෙය විවාහපත් අය සඳහා එතරම් සාර්ථක ක්‍රමයක් නොවන බවයි. මොකද ඒක දිගු කාලීනව භාවිත කිරීම ටිකක් වියදම් අධික දෙයක්. සාමාන්‍යයෙන් කොන්ඩම් භාවිත කිරීමක් සිදුවන්නේ ක්ෂණිකව එක්වන අවස්ථාවකයි. ක්ෂණික එකතුවීමේදී දරු උපත් ඇතිවීම වළක්වා ගැනීමටත්, ලිංගික සම්ප්‍රේෂණ රෝග ඇති වීම වළක්වා ගැනීමටත් කොන්ඩම් භාවිත කිරීම මගින් හැකියාවක් ලැබෙනවා. මේ නිසා බොහෝ විට එක්ව වාසය කරන යුවළ සඳහා කොන්ඩම් භාවිත කරන්නේ නැහැ. මෙය හදිසි උපත් පාලනයකදී පමණක් භාවිතයට ගන්නා දෙයක්.
එමෙන්ම ක්ෂණික එක්වීමකදී කොන්ඩමයක් භාවිත නොකරන්නන් උපත් පාලන පෙත්තක් ගන්නවා. අනාරක්ෂිතව ලිංගිකව එකතු වී පැය 48ක් ඇතුළත මෙම පෙත්ත ලබාගත යුතුයි. එයින් දරු උපත් ඇති වීම වළක්වාලනවා.
ඇතැම් විට මේ උපත් පාලන ක්‍රම මගින් විවිධ අතුරු ආබාධ හා පිළිකා තත්ත්වයන් ඇති වෙනවාය යන්න ඇතැමුන් විසින් පැවසුවත් ඉහත සඳහන් කළ රෝග හැර ඊට ඒහා ගියා වූ කිසිදු දෙයක් හෝ අතුරු රෝගාබාධ ඇති වන්නේ නැහැ.
ලේ කැටි ගැසීමේ රෝගය තිබෙන අයට මේවා යම් අයුරින් සීමාවක් වූවත් අනෙක් දේවල්වලින් හානියක් සිදුවන්නේ නැහැ. ඒ වගේම පෙති වසරක් භාවිත කිරීමට පමණයි අපිට නිර්දේශ කළ හැක්කේ. ඉන් පසු කාලයේ ඇතිවන තත්ත්වයන් පිළිබඳ අපි කිසිසේත් වගකියන්නේ නැහැ. අවුරුද්දකට වඩා වැඩි කාලයක් උපත් පාලනය කිරීමට අවශ්‍ය නම් ඇයට ලූප් එකක් හෝ ජඩෙල්(Jadelle) එකක් වගේ භාවිතයට ගන්න පුළුවන්. වෛද්‍යවරුන් ලෙස අපට නිර්දේශ කරන්නට ඇත්තේ එයයි.
ළමයින් තුන්දෙනෙකුට වඩා හදන්න හොඳ නැහැ, දරුවන් අතර මේ වගේ පරතරයක් තිබෙන්නට ඕන වැනි දේවල් ඇතැම් විට පවුල් සෞඛ්‍ය සේවයේ නියුතු නිලධාරීන් පවසනවා. තමන් ළමයි හදන්නට ඕන ප්‍රමාණය හා ඒ කාල සීමාව තීරණය කළ යුත්තේ තමන් විසින්මයි. එවැනි තීරණයක් යම් කාන්තාවක් ගත්විට පවුල් සෞඛ්‍ය නිලධාරියාට තිබෙන්නේ එම තීරණයට උදවු කිරීම පමණයි. නමුත් දරුවෙක් සෑදීම නිසා මවගේ ජීවිතයට බලපෑමක් වන රෝග තිබෙනවා නම් වෛද්‍යවරයෙකුට ළමයා හැදීම හොඳ නැහැ හෝ කොපමණ සීමා කළ යුතුද යන්න කියන්න පුළුවන්.