රුව සම්පත දිගුකල් පවත්වා ගැනීමට කාලය හරි අතට නවමු


කාලය ගෙවී යාමත් සමග බොහෝ දෙනෙකු සිතනුයේ තමන්ගේ ශරීර ස්වභාවයද ඒ හා සමානව වියැකී යන බවයි. ඒ නිසා බොහෝ පිරිසක් සිටින්නේ ඉතාමත් කලකිරුණු ස්වභාවයකිනි. නමුත් කාලාන්තරයක් තිස්සේ සමාජ ක්‍රමය තුළ මුල් බැස ගෙන තිබෙන මෙම මතය වෙනස් කළ හැකි බව ඔබ දන්නවාද? කායික හා මානසික පීඩාකාරී බවින් මිදී රූමත් රුවක් ලබාගැනීමට කාලයෙන් ගත හැකි සැඟවුණු රහස් කිහිපයක් ගෙන එන්නට සිතුවෙමු. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු, වාස්තු උපදේශක කේ.සී.ජේ රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි.   


කාලය හරි අතට කරකවා එහි සැඟවුණු ගුප්ත රහස් පෙරා ගතහොත් ඔබ මවිත කරන ප්‍රතිඵල දහසක් අත්විඳිය හැකිය. අද අපි ඔබට පෙන්වන්නට යන්නේ දවසේ නිශ්චිත වේලාවන් 2ක් තුළ ඔබේ කායික හා මානසික ප්‍රසන්නභාවයට උකහා ගත හැකි රහස් ඖෂධ වට්ටෝරුවක් පිළිබඳවයි.

සෑම දවසකම හිරු නැගෙන්නට පෙර පවතින හෝරාව ජීවශක්තිය ඉතා ප්‍රබලව අඩංගු වී පවතී. එය ආසන්න වශයෙන් ගත් කල පෙරවරු 4-6ත් අතර කාලයේ වේ. කතාවට කියන පරිදි දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර කියන්නේද මේ වේලාවයි. වෛදික ජොතිෂ්‍යයේදී එය බ්‍රහ්ම මූර්තිය ලෙස හැඳින්වේ. ඊට සමාන්තරව පුරාණ ටොලමියානු වාස්තු ජ්‍යෝතිෂ විද්‍යාවේදී උක්ත කාලය හඳුන්වනු ලබන්නේ සීනු නැගෙන හඬ යනුවෙනි. මෙහිදී සීනුව යනුවෙන් අදහස් කරන්නේ හිමිදිරි පාන්දරම විකසිත වන කුළුඳුල් මල් කැකුළු වල සුවඳ පහස ලබන්නට සුරලොව සිට අප්සරාවන් පැමිණෙන විටදී ඔවුන්ගේ චලනයන් නිසා හටගන්නා සියුම් සංගීතමය රාවයයි. ටොලමියානු ඉගැන්වීම් පරිදි දේව සංකල්පයන් සපුරාම බැහැර කරන නමුත්, ඉහත පවසන ලද බලවත් හෝරාව හැඳින්වීම සඳහා දිව්‍යමය සාහිත්‍යයේදී නිදසුනක් ගෙන ඇති බව පෙනේ.
මහපොළවේ ජීවත් වන ස්ත්‍රී පුරුෂ සියලුදෙනාටම හිරු නැගෙන්නට වූ පළමු පැය නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නම් එයින් ලැබිය හැකි ඵල ප්‍රයෝජන මෙතැකැයි කිව නොහැක. එකී වේලාව සොයා ගන්නා අතර, එයින් වැඩ ගන්නා ආකාරය අපි මෙතැන් සිට විමසා බලමු.

සාමාන්‍යයෙන් ඔබ පෙරවරු 4ත් 5ත් අතර කාලයේ අවදි වන්නේ නම් එයට ස්වභාදහම තුළ ක්‍රියාත්මක වන්නේ  මෙකී බලගතු හෝරාව බව මතක තබා ගන්න. ඒ කාලයේදී වායුගෝලය හා  පරිසරය ඉතා පවිත්‍ර වූ, නිර්මල වූ ආකාශ ශක්තියෙන් ඉතා පොහොසත් වේ. ඒ කාලයේදී අවදි වී දවස ආරම්භ කරන විට කෙනෙකුට මෙම බලගතු හෝරාවේ ජීව ශක්තිය ආරෝපණය වේ. 

පළවෙනි කාලයේදී ඔබේ මනස තුළ බලවත් ලෙස යහපත්  තරංග සංඛ්‍යාත (WAVES) ක්‍රියාත්මක වීමට පටන් ගන්නා හෙයින් මනසේ ප්‍රබෝධය නිරවුල් බව හා දරා ගැනීමේ හැකියාව සියයට හාරසියයක වේගයෙන් ඉහළ යයි.

ඔබේ ශරීරයේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම පවතින සියුම් ශක්ති නාළිකා සහ ශක්ති කලාප ඉතා හොඳින් පෝෂණය ලබයි.
එයින් ලැබෙන ප්‍රයෝජන අතර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සම්පත්තිය නිරවුල්ව භුක්ති විඳීමේ අවස්ථාව ලැබෙනවා සේම ඔබගේ ශරීරයද ඇස, කන, නාසය, දිව හා සම නිරෝගී වනවාට අමතරව ඒවායේ තීව්‍රතාවත් මනස්කාන්ත ශෝභමාන පෙනුමත් වර්ධනය කරයි. එයින් ඔබගේ ශරීරයේ බාහිර රූපාලංකාරය වර්ධනය වනවාට අමතරව කායික හා මානසික යන දෙඅංශයෙන්ම ඇති කර ගන්නේ කැපී පෙනෙන තත්ත්වයකි. 
මෙයින් වැඩ ගන්නා ආකාරය දැන් විමසා  බලමු.

උදෑසන 4, 5 අතර කාලයේ අවදි වන ඔබ මුලින්ම කළ යුත්තේ නිදියහනෙන් අවදි වූ වහාම ඊසාන හෝ නැගෙනහිර දෙසට හැරී ඔබේ දෙඅත් සමාන්තරව හිස මුදුනට ඔසවා දෑත සමනලයන්ගේ පියාපත් මෙන් දෙපසට විහිදා හිස පසුපසට අංශ 10, 15 අතර ප්‍රමාණයක් නවා ගැඹුරු ආශ්වාස  ප්‍රාශ්වාස කිරීමයි. දෙවනුව ඔබට පහසු ආකාරයෙන් ශාරීරික ව්‍යායාමයක මිනිත්තු 3, 4ක කාලයක් යෙදෙන්න. ඉන් අනතුරුව තවත් මිනිත්තු 3, 4ක කෙටි කාලයක් තුළ කෙටි භාවනාවකට හෝ සිරුර හා මනස නිශ්චලව තබා නිසොල්මනේ සිටින්න. මේ කුඩා දෙයට හුරු වීමට ඔබට හැකි වුවහොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ අතර අංක 1ට වැටෙන්නේ කොයි තැන ගියත් කැපී පෙනෙන මනමෝහනීය රූසපුවක්  හිමි වීමයි. ඔබේ සිරුරට උවමනා ප්‍රතිඔක්සිකාරක බලය ඉහත කී කාලයේදී ඉතා හොඳින් සිරුරට උරාගන්නා නිසා සිරුරේ හිසකෙස්, දත් හා නියපොතු, දෙනෙත් බාහිර සමේ චවි වෛර්ණය වේගයෙන් වර්ධනය වේ. මේ සඳහා ඔබට කිසිදු අමතර මුදලක් ගෙවීමට සිදුනොවන සේම ඒ ප්‍රතිඵලවල අතුරු ආබාධ කිසිවක් හටගන්නේ නැත. 

ශරීරයේ බර පාලනය වීම, ආහාර රුචිය වැඩීම, කායික හා මානසික වේගයන්ගේ යහපැවැත්ම ආදිය ආරක්ෂා වේ. ඉහති කී බලවත් වේලාවේදී අවදිව දවසේ කටයුතු ආරම්භ කරන ඔබට කෙටි කාලයක් තුළදී විශාල වැඩකොටසක් ආයාසයකින් තොරව සාක්ෂාත් කර ගැනීමට ඉඩ ලැබේ.

ලස්සන මුහුණක් සඳහා බ්‍රහ්ම මුහුර්තයෙන් වැඩ ගන්නා ආකාරය පියවරෙන් පියවර ලබන සතියේ සිට විමසා බලමු.

 



Recommended Articles