රට වෙනුවෙන් යමක් කරන්න ආරාධනාවක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ


මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසුගිය වසර කිහිපය තුළ පිබ්දීමක් දක්නට ලැබ්ණි. විශේෂයෙන් බාලිකා පාසල් අතර බ්ග් මැච් සංවිධානය වීම Trend එකකට එහා ගිය කාන්තා ක්‍රිකට්වල උද්දීපනයක් බවට පත්විය. එම වෙනස වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු අංශ ප්‍රධානී අප්සාරි තිලකරත්න මහත්මිය මෙවර Wonder Woman කවරය සරසන්නීය.


මගේ නම සිංහබාහු රාළලාගේ දීපිකා සඳමලී අප්සාරි සිංහබාහු තිලකරත්න. මම සමුද්‍රෙද්වි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනගෙන පහේ ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා සාන්ත පාවුලු බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. උසස් අධ්‍යාපනය සඳහා මට ජපන් භාෂාව හදාරන්න ජපානයට යන්න AFS ශිෂ්‍යත්වය හිමිවුණා. මේ ශිෂ්‍යත්වය සම්මුඛ පරීක්ෂණයකින් පසුවයි පිරිනැමුණේ. මම ජපානයේ ඉගෙනගන්න නතර වෙලා හිටිය නිවසේ අය සමග මම හරිම හිතවත්. කොටින්ම මම අදටත් ඔවුන් අමතන්නේ අම්මා තාත්තා කියලා. ඉස්සර කාලේ ළමයින්ව ඉගෙන ගන්න විදේශගත කරන්න දෙමාපියන් හරිම බයයි. එහෙම යන්නේත් ඉතාම සුළු පිරිසයි. මගේ අම්මයි තාත්තයි ජපානේ යද්දී කිව්වේ ඉගෙන ගෙන නැවත ලංකාවට පැමිණිය යුතුයි කියලයි. මට ජපානේ ඔහියෝ සරසවියේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව හිමි වුණත් මගේ දෙමවුපියන්ගේ අකමැත්ත නිසා මම ලංකාවට ආවා. නමුත් මට ජපානේ ගෙදරත් එක්ක සම්බන්ධතාව තියාගන්න අවශ්‍ය වුණා. අම්මා කතාකරලා කිව්වා ඔයා බය වෙන්න එපා ගුවන් සේවිකාවක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇතුළු වුණා නම් නිතර ජපානයට යන්න එන්න පුළුවන්කම ලැබේවි කියලා. මේ නිසයි මම ගුවන් සේවයට ඇතුළු වෙන්න අයදුම් කළේ. සම්මුඛ පරීක්ෂණයෙන් පසු මට ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ගුවන් සේවිකාවක ලෙස සේවයට පැමිණෙන්නට ප්‍රථමයෙන් වර්තමානයේ %සිනමන් ග්‍රෑන්ඩ්^ ලෙස හඳුන්වන %ඔබරෝයි^ හෝටලයේ මම මාස හයක පුහුණුවක් ලැබුවා. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩකරද්දී මට තව ඉහළට යන්න ආසාවක් ආවා. ඒ නිසාම මම %එමිරේට්ස්^ ගුවන් සේවයට සම්බන්ධ වුණා. එතන රැකියාව කරගෙන ඉන්න අවස්ථාවකදී තමයි මට හෂාන් තිලකරත්නව හමුවෙන්නේ ක්‍රිකට් තරගයකට සහභාගිව සිටියදී. පුංචි කාලේ මගේ අම්මයි තාත්තයි ජීවත් වුණ ආකාරය දැකලා මට හිතුන දෙයක් තමයි මුදලටවත්, සැප සම්පත්වලටවත් යටත් නොවී ගැහැනු දරුවෙක්ට අවශ්‍ය යහපත් පවුල් ජීවිතයක් එක්ක දරුවන්ට ආදරණීය මවක් වෙන එක කියලා. අනෙක ලංකාවේ ඉතාම දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස හෂාන් ඒ වෙද්දී එයාගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම කාලයේ හිටියේ. ඔහුට ශක්තියක් වෙන්නත් එක්ක මට මගේ රැකියාව කැප කරන්නට සිදුවුණා. ඒ අනුව මම යහපත් බිරිඳක් හා යහපත් මවක් විදිහට ජීවිතය ගත කරන්නට මගේ රැකියාවට සමුදුන්නා. එතැන් සිට මගේ සැමියාගේ ක්‍රීඩා ජීවිතය උපරිමයට ගෙන යන්න අවශ්‍ය සහය මම ලබා දුන්නා. 

අම්මා කෙනෙක් විදිහට මට පුතාලම තුන්දෙනෙක් ඉන්නේ. ලොකු පුතාලා දෙන්නා නිවුන්නු. එයාලට දැන් අවුරුදු 23ක්. පොඩි පුතාට අවුරුදු 13ක් වෙනවා. මම අම්මා කෙනෙක්, බිරිඳක් විදිහට යුතුකම් ඉටුකරගෙන ජීවත් වුණා. 

හෂාන් ටික කාලයක් දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා. ඔහු පළාත් සභාවේ වැඩ කළා. ඒ කටයුතුවලදීත් මගේ සහය මම උපරිමයෙන් ඔහුට ලබාදුන්නා. එහෙම ඉද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාගෙන් මට මීට වසර තුනකට පමණ පෙර ආරාධනාවක් ආවා කාන්තා ක්‍රිකට් අංශය ඉහළට ගෙන එන්න යම් සේවයක් කරන ලෙසට. ඉතින් අපේ රටේ කාන්තා ක්‍රිකට් හොඳ තත්ත්වයකට ගේන්න ගමට ක්‍රිකට් කියන සංකල්පය හරහා වැඩපිළිවෙළක් ඒ වෙද්දී අරගෙන තිබ්බා. නමුත් මම හිතුවේ නැහැ හෂාන් මට මේ කටයුතුවලට සම්බන්ධ වෙන්න කැමැත්ත දෙයි කියලා. මොකද මගේ ජීවිතයේදී මට විවිධාකාර අවස්ථාවන් ලැබිලා තිබුණත් හෂාන් මට රැකියාවකට යන්න කැමැත්ත ලබා දුන්නේ නැහැ. නමුත් මේ ඉල්ලීම කරපු වෙලාවේ මම හෂාන් දිහා බැලුවම ඔහු මට කැමැත්ත දුන්නා. හෂාන් මට කිව්වා මේක ඔයාට කරන්න පුළුවන් මම උදව් කරන්නම් කියලා. මොකද ක්‍රිකට්වල ඉන්න බොහෝ දෙනා මම ඒ වනවිට අඳුරන නිසා මේ කටයුතු පහසුවෙන් කරන්න පුළුවන් වෙයි කියලා ඔහු කිව්වා. 

මම හරි සතුටින් මේ අවස්ථාව භාර ගත්තා. මම වැටුපක් ගැන කතා කරගන්නේත් නැතුව සේවාවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවය කළා. මට ලැබුණේ ප්‍රවාහන ගාස්තුවක් පමණයි. මම කරපු සේවාවත් එක්ක මම රට වටේම ගියා. ඉතින් මේවාට මම මගේ අතින් වියදම් කළ අවස්ථා බොහෝමයි. මම වසර තුනක් මගේ සේවාවන් ලබාදුන්නා මේ රටේ අහිංසක දූවරුන්ට ක්‍රිකට් හරහා යමක් කරන්න. 
අපේ රට වෙනුවෙන් යමක් කරන්න ආරාධනාවක් ආවොත් ඉස්සරහට එන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. මම හරි ආසයි රටේ දුක්විඳින අයට සේවයක් කරන්න. මම හිතනවා මගේ රට වෙනුවෙන් දෙයක් මට කරන්න පුළුවන් කියලා.

කාන්තාවක් යම්කිසි තීරණ ගන්න තැනක රැකියාවක හෝ සේවයක යෙදෙන විට ශක්ති සම්පන්න විය යුතුයි. මොකද අපේ රටේ හොඳ දෙයක් සිදු වෙද්දී මඩ ගහනවා වැඩියි. මම  මේ තනතුරට ආපු දවසේ ඉඳන් වෙබ් අඩවිවලින් මම ක්‍රිකට් ක්‍රීඩිකාවක් නොවෙයි කියලා මට මඩගහන්න පටන් ගත්තා. මම ක්‍රිකට් ආයතනයට ගියේ පරිපාලනය සම්බන්ධ කටයුත්තකට. මම ක්‍රිකට් ගැහුවද නැද්ද කියන එක ඊට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේ මට බාධාවල් ගොඩක් ආවා. නමුත් මම හරි දේ කරන නිසා ඒ බාධාවල් බිඳ දාගෙන ඉදිරියට යන්න මට ශක්තියක් තිබ්බා. අපේ සමාජයේ පිරිමි , කාන්තාවන් ඉදිරියට එද්දී අමුතු බයක් දක්වනවා. ලංකාවේ කාන්තාවන්ට නායකත්ව හැකියාවන් වැඩියි. මොකද ඔවුන් දක්ෂයි. ගෙදරක අම්මා කෙනෙක්ගේ අතේ තමයි ගෙදර දියුණුවයි, ළමයින්ගේ අනාගතයයි රැඳෙන්නේ. අම්මා හරියට හිටියේ නැත්නම් ඒ පවුල කඩා වැටෙනවා. කාන්තාවකට ඕනම දෙයක් දරාගන්න පුළුවන්. ආදරය, කරුණාව, දරා ගැනීම, උණුවන හිතක් තිබීම, සකසුරුවම ආදිය සියල්ල එකතු කළාම කාන්තාව හරිම ශක්තිමත්. එහෙම ශක්තියක් තියෙන කාන්තාවන්ට මේ රටේ හරි තැනට යන්න ඉඩක් ලැබෙන්න ඕන. අවශ්‍ය වෙන්නේ කාන්තාවන් සුරක්ෂිත කිරීමයි.  

Text – Nadeeshani Pathirana /  Photos- Eshan Fernando 

 



Recommended Articles