මෙලොව ඉපදෙන කිසිම ළදරුවෙකුට ක්‍රීම් වර්ගවත් පවුඩර්වත් අවශ්‍ය වෙන්නේ නැහැ


වෙළෙඳ පොළට එක්වන නානාප්‍රකාරයේ විලවුන් නිෂ්පාදන තම හිතුමනාපයට හෝ හිතමිතුරන්ගේ උපදෙස් මත තෝරා බේරා ගැනීමට බොහෝ දෙනා හුරු වී සිටිති. නමුත් මේ නිෂ්පාදන තමන්ගේ සමට මෙන්ම සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව ඒවා මිලදී ගැනීමට පෙර සොයා බැලීම සිදුවිය යුතුම දෙයකි. වැඩිහිටියන් ලෙස අප සිදුකරන මෙම වරණයේ භයානකම තත්ත්වය ඇති වන්නේ මෙෙලාව උපන් කිරිකැටියාගේ සිට තනිව යමක් මිලදී ගැනීමේ හැකියාව උදාවන තුරු වැඩිහිටියන්ගෙන් යැපෙන සියලුම ළමයින්ට ක්‍රීම් වර්ග, සබන් වර්ග, ක්ලෝන් වර්ග ආදී විලවුන් තෝරා ගැනීම සඳහාද බොහෝ  වැඩිහිටියන් අනුගමනය කරන්නේ මෙම ක්‍රමයම වීම හේතුවෙනි. 


මේ හේතුව නිසාම ළමුන්ගේ සමට නොගැළපෙන නිෂ්පාදනයන් භාවිත කර විවිධ චර්ම ගැටලුවලට මුහුණදෙන පාසල් වයසේ ළමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේ තත්ත්වය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙවන් පසුබිමක ළමුන් සඳහා මෙවැනි විලවුන් භාවිතයේ අවශ්‍යතාව හා එවැනි නිෂ්පාදනයක් භාවිත කරන්නට අදහස් කරයි නම් සොයා බැලිය යුතු දෑ මොනවාද යන්න පිළිබඳවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෙද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

&කුඩා ළමුන්ගේ සම පිළිබඳව අපි අවදානය යොමු කළොත් අවුරුදු 15ක් 16ක් වන තුරු පවතින්නේ වර්ධනය වන මෘදු සමක්.‍ මුහුණේ පවතින්නේ කිසිදු වෙනසක් නොමැති සාමාන්‍ය සමක් නම් ළමුන්ට කිසිම ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ගොඩාක් ක්‍රීඩාකරන, පිහුණුම් ක්‍රීඩාවේ නිරත වන , අව්වට නිරාවරණය වන ළමයෙකු නම් සන් ක්‍රීම් එකක් අවශ්‍ය නම් පාවිච්චි කරන්නට පුළුවන්.
වියළි සමක් හා සංවේදී සමක් තිබෙන ළමයින් ඉන්නවා නම් සමට ගැළපෙන මෘදු මොයිෂ්චර්රයිසිං ක්‍රීම් වර්ගයක් ආලේප කරන්නට හැකියි. නමුත් අවුරුදු 13ක් 14ක් වගේ ළමයින් වැඩිහිටියන් ආලේප කරන ක්‍රීම් වර්ග ආලේප කර සම පිලිස්සීම්වලට ලක්වුණ තත්ත්ව අපි දකිනවා. මෙවැනි සමක් යථා තත්ත්වයට ගන්න හරිම අපහසුයි. ළමුන්ට ක්‍රීම් වර්ග ගාන්නම අවශ්‍යයි කියලා කිසිම නියමයක් නැහැ.

ඒ වගේම වැඩිහිටියන් පාවිච්චි කරන සබන් වර්ග ළමයින්ට පාවිච්චි නොකර අවුරුදු 12ක් 14ක් වන තුරු බේබි සබන් වර්ගයක් පාවිච්චි කරනවා නම් ඉතාමත් හොඳයි. මොකද ළමයින්ගේ සම ඉතාම මෘදුයි. ඒ නිසා රළු සබන් වර්ග මේ සිනිදු සමට අහිතකර වෙනවා. නමුත් වැඩිහිටියන් ළදරු සබන් වර්ග භාවිතයට ගැනීමෙන් ගැටලු ඇති වෙන්නේ නැහැ. බොහෝ වැඩිහිටියන්ගේ සමත් වියළි ස්වභාවයක් ගන්නා නිසා ළදරු සබන් වර්ග ඔවුන්ටත් ගැළපෙනවා. 

අලුත උපන් බිළිඳෙක් ගැන කතා කළොත් ඔවුන්ගේ සම පිරිසිදු කිරීම ඉතාම අවශ්‍යයි. සමට ගැළපෙන පිරිසුදු කාරකයක් යොදා මෙම පිරිසුදු කිරීම් සිදුකළ යුතුයි. මේ සඳහා සබන් රහිත දියර %බාත් ඉමොලියන්^ නමින් හඳුන්වන නිෂ්පාදන පවතිනවා. මේවා මිලෙන් අධිකයි. නමුත් ළදරු සමට හානි සිදුවන්නේ නැහැ.

ඒ හැර මේ ළමයාට අනිවාර්යෙන් ක්‍රීම් ගාන්න අවශ්‍යයි, අනිවාර්යෙන් පවුඩර් ගෑම අවශ්‍යයි කියලා තත්ත්වයක් නැහැ. නමුත් උත්පත්තියෙන්ම වියළි සමක් සහිතව උපදින බබාලා ඉන්නවා. ඒ බබාලට අතිරේකව වියළි සමට ගැළපෙන ක්‍රීම් වර්ග ආලේප කරන්නට සිදුවෙනවා. මෙයට වෛද්‍ය උපදෙස් බොහෝවිට රෝහලේදීම ලැබෙනවා. ඒ වගේම අධික දහඩිය දාන සමහර බබාලා ඉන්නවා. ඔවුන්ගේ ශරීරයේ නැමුම් ස්ථානවල දහඩිය රැඳීම සිදුවෙන නිසා පවුඩර් වර්ගයක් භාවිත කිරීම අවශ්‍ය වෙනවා. ඒ හැර සියලුම ළමයින්ට පවුඩර් ගාන්නට අවශ්‍ය නැහැ.

නමුත් අපේ රටේ වෙන්නේ පවුඩර් මලක් අරන් හැම ළමයටම පවුඩර් දාන එකයි. දවස පුරාම ක්‍රීම් ගාන එකයි. එක ළමයෙක්ට හරියන ක්‍රීම් වර්ගයක් තව ළමයෙකුට නොගැළපෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ වගේම වියළි සමක් තියෙන එක ළමයෙකුට ගාන ක්‍රීම් එකේ ඝණකම තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. ඒ වගේම අපේ රටේ පළාතෙන් පළාත අනුවත් මෙය වෙනස් වෙන්න පුළුවන්. සමහර පළාත් ගොඩාක් දහඩිය දාන පළාත්, සමහර පළාත් සීත පළාත්. ඒ නිසා මේ පළාත් අනුව බබාලගේ සම වෙනස් වෙනවා. මේ නිසා තමන්ගේ බබාට ගැළපෙන දේ සොයාගන්නට වෙනවා. බොහෝ වෙලාවට බබාලට ක්‍රීම් වර්ගවත් පවුඩර්වත් අවශ්‍ය වෙන්නේ නැහැ.
කුඩා ළමයෙකු පිරිසුදු කිරීමේදී අනවශ්‍ය ලෙස සබන් ගෑවොත් එම ළදරු සමේ පවතින තෙල් තට්ටුව ඉවත්වීම සිදුවී සම වියළීම ඇති වෙනවා. එවිට අලුතින් ක්‍රීම් වර්ග ගාන්නට සිදුවෙනවා. මේ නිසා පෙන එන්න සබන් ගාලා ළමයව හෝදන්න අවශ්‍ය නැහැ. උපන් ගමන් ළමයෙකු හොඳට පිරිසුදු කරලා කිසිම දෙයක් නොගා තියලා සමේ තත්ත්වය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. කිසිම වෙනසක් නැත්නම් මොකුත්ම ආලේප කරන්න අවශ්‍ය නැහැ. වෙනසක් තියෙනවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදේශයක් ගන්න අම්මලාට පුළුවන්. ඊටත් වඩා උපදෙස් අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පැතිය හැකියි.

එසේ නොමැතිව මුහුණු පොතේ පවතින මවුවරුන්ගේ සමාජ කණ්ඩායම්වලින් විමසලා තව අම්මා කෙනෙක් ලබා දෙන උපදෙස් අනුව තමන්ගේ ළමයට ආලේපන වර්ග තෝරා ගැනීම නම් සිදු නොවිය යුතු දෙයක්. ඔබට වෙළෙඳ පොළෙන් යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමට අවශ්‍යනම් පහත දේවල් අනුගමනය කරන්න පුළුවන්. අපි වෙළෙඳ පොළෙන් ආලේපන හෝ විලවුන් වර්ගයක් මිලදී ගැනීමේදී පැහැදිලිවම පරික්ෂා කර බැලිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. හොඳ නිෂ්පාදනයක් නම් මේ නිෂ්පාදනය නිෂ්පාදනය කරන ස්ථානයේ ලිපිනය සඳහන් විය යුතුයි. එය විදේශයකින් ආනයනය කරන නිෂ්පාදනයක් නම් එය මෙරටට ගෙන්වා බෙදාහරින සමාගමේ නම හා ලිපිනය වගේම සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයත් සඳහන් කළ යුතුයි. මීළඟට මෙම නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය මොනවද කියන දේ සටහන් කළ යුතුයි. නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය සටහන් විය යුතුයි.මීළඟට මෙම නිෂ්පාදිතය ගබඩා කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් සටහන් කළ යුතුයි. මෙම නිෂ්පාදනය ආලේපනයක් නම් මෙය ආලේප කළ යුත්තේ උදෑසනද, දහවල්ද නැතිනම් රාත්‍රී කාලයේද යන්න සඳහන් විය යුතුයි. එසේම මෙම ආලේපනය භාවිතයට ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතද යන්නත් සඳහන් කළ යුතුයි.

මීළඟට මෙම නිෂ්පාදිතය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවූ විට ඇමතිය යුත්තේ කවුරුන්ද කියන එක (whom to contact) සඳහන් විය යුතුයි. මෙය දුරකථන අංකයක්, වෙබ් අඩවියක් හෝ විද්‍යුත් ලිපිනයක් ලෙස හෝ සටහන් විය හැකියි. ඒ වාගේම මෙම නිෂ්පාදනය ගබඩා කළ යුතු වන්නේ කුමන ස්ථානයක කුමන උෂ්ණත්වයක් යටතේද යන්න සඳහන් විය යුතුයි. අනෙක් එක තමයි විශේෂ උපදෙස් සටහන් වෙනවාද යන්න බැලිය යුතුයි. විශේෂයෙන් පිටතින් ආලේප කිරීම පමණයි යනුවෙන් සඳහන් කිරීම් අපිට දැකගත හැකියි. විදේශ රටවල නම් රට කජු වැනි nuts වර්ගවලට ආසාත්මිකතා ඇතිවන අය සිටින නිසා ඒ පිළිබඳව විශේෂ සටහනක් යොදා තිබීම දැකගන්නට පුළුවන්.

අපි අපේ රටේ වෙළෙඳ පොළේ අලෙවියට තබා තිබෙන , කාන්තාවන් වැඩි වශයෙන් මිලදී ගන්න නිෂ්පාදන දිහා බැලුවොත් මේ කියන කිසිම දෙයක් ලියලා නැති බව පෙනී යනවා. මේවා නිෂ්පාදනයේ නම, නිෂ්පාදිත රට සඳහන් කරලා රතුපාට, රෝස පාට වෛවර්ණ ඩප්පි හෝ ඇසුරුම්වල වෙළෙඳ පොළට දැමීමයි සිදුකරන්නේ. ඒවායේ අපිට නොතේරෙන චීන අක්ෂරයෙන් තමයි අනෙක් සියල්ල සටහන් වෙලා තියෙන්නේ. එවිට අපි පාවිච්චි කරන සියලුම ආකාරයේ වයිට්නින් ක්‍රීම් වර්ග සියල්ල එන්නේ අපේ සමට අහිතකර අමුද්‍රව්‍ය අඩංගු කරලයි. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය කරන නිෂ්පාදන පිළිබඳව අපි බැලුවොත් බොහෝ නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය සඳහන් කරලා තියෙනවා දැකගත හැකියි. 

නමුත් සත්‍යවශයෙන්ම මෙම අමුද්‍රව්‍ය අඩංගු කර තිබෙනවාද කියන දේ ගැන ගැටලුවක් තිබෙනවා. මොකද අපේ රටේ මේ වගේ නිෂ්පාදනයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නට පෙර අදාළ නීතිමය අංශ විසින් මේ කියන අමුද්‍රව්‍ය එකතුකරනවාද කියන දේ ගැන පරීක්ෂා කර බලනවාද යන ගැටලුව මතු වෙනවා. අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සොයා බලන්න පාරිභෝගිකයාට ක්‍රමයක් නැති වුණත් මේ නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නට පෙර ඖෂධ විලවුන් අධිකාරියේ නිලධාරීන් මෙය පරීක්ෂා කළ යුතුයි. නමුත් මේ නිලධාරීන් මේ කටයුතු නිවැරදිව සිදුකරනවාද පිළිබඳ ගැටලු මතු වෙනවා.

ඒ වගේම අපේ රටේ බොහෝ නිෂ්පාදනවල සඳහන් කරනවා විදේශ රටවල පවතින සංවිධානයක නමක් සඳහන් කර එහි අනුමැතිය ලත් නිෂ්පාදනයක් බවට. නමුත් මේ සංවිධාන සත්‍ය වශයෙන්ම එම රටවල පවතිනවාද? එම සංවිධානවලින් සත්‍ය වශයෙන්ම මේ කියන සහතිකය ලබා තිබෙනවාද යන්න ගැටලුවක්. ලංකාවේ නිෂ්පාදන ගැන බැලුවම තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ඇසුරුමේ සඳහන් කර තිබෙන අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ නොමැති වීම. සුදු වෙන්න ආලේප කරන ක්‍රීම් වර්ගවල අඩංගු ක්ලොබෙටසෝල් Clobetasol කියන රසායනිකය අඩංගුයි කියලා කිසිම නිෂ්පාදනයක සඳහන් කර නැහැ. නමුත් මේ සියලුම නිෂ්පාදන බැලුවම තියෙන්නේ එකම ආලේපන වර්ගයක්ම තමයි. විවිධ පෙට්ටිවල අසුරලා එකම නිෂ්පාදනය තමයි බොහෝ විට වෙළෙඳ පොළට එන්නේ.



Recommended Articles