මෙරට කාන්තා හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික හා රහස් මරණ ගැන වාර්තාවක් එළිදක්වයි


දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය තුළ කාන්තාවගේ භූමිකාව හා අයිතීන් පිළිබඳ අප කතා කළ මුත්, දේශීය විදේශීය වශයෙන් ඇගයීම් හා දුර්වලතා හඳුනාගත් මුත් ලංකාවේ කාන්තාවන්ගේ අස්වාභාවික මරණයන් පිළිබඳ මෙතෙක් පැහැදිලි දත්ත අධ්‍යයනයක් හා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුවී නොමැත. එනිසා මාධ්‍යවලට හෝ සමාජයේ කතාබහට ලක්නොවුණත් ප්‍රචණ්ඩකාරී දේ සඳහා කාන්තාව නිරන්තරයෙන් භාජනය විය. 


  A5A95ED3 copy  BAED8EC5 copy 

එනිසා ශ්‍රී ලංකාවේ පළමු වරට කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික මරණවලට හේතු වන සාධක ස්ත්‍රී පුරුෂ සමාජභාවී දෘෂ්ටි කෝණයෙන් අධ්‍යයනය කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලය සමග එක්ව සිදුකරන ලද කාන්තාවන්ගේ අස්වාභාවික මරණ පිළිබඳ අධ්‍යයනය වාර්තාව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මියට පසුගියදා පිළිගැනිවිණි. 

ශ්‍රී ලංකාවේ පළාත් පහක් උපයෝගී කරගෙන සිදුකළ මෙම පරීක්ෂණය තුළින් ලංකාවේ කාන්තා හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික මරණ සම්බන්ධ රහසක්ව පැවැති බොහෝ කරුණු කාරණා අනාවරණය කරගැනීමට හැකි විය. 

ඒ වාර්තාව පිළිගැන්වීම හා එහි සංක්ෂිප්ත වාර්තාව දියත් කිරීම සඳහා සාකච්ඡා සභාවක්ද පැවති අතර, ඒ අවස්ථාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේදී පසුගියදා පැවැත්විණි. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුභාංගි හේරත්, එම විශ්වවිද්‍යාලයේම විශ්‍රාමලත් ගෞරව නීති මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර යන මහත්මීහු සහාභාගි වූහ. 

අස්වාභාවික මරණයක් නමින් හඳුන්වනු ලබන්නේ තුවාල, කම්පනය හෝ වසදීම වැනි බාහිර හේතුවක් මත සිදුවන මරණයයි. එවැනි මරණ මිනීමැරුමක්, සියදිවි නසාගැනීමක්, හදිසි අනතුරක් හෝ සමහර විට හඳුනා නොගත් ආකාරයකින් සිදුවිය හැකිය. මෙම මරණ පාදක කරගනිමින් ලබාගත් දත්ත පදනමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ. 

ලාංකේය කාන්තාවගේ හා ගැහැනු දරුවන්ගේ අස්වාභාවික මරණ පිළිබඳ වාර්තා කිරීමේදී ඔවුන් එය වයස් කාණ්ඩ ඔස්සේ වර්ග කර දත්ත ඉදිරිපත් කරයි. 

1797CB97 copy

මාර්ග අනතුරු නිසා ලංකාවේ වැඩි කාන්තා ප්‍රතිශතයක් මිය යයි

අනතුරුවලින් මිය යන ප්‍රමාණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 25ත් - 60ත් අතර අයයි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්විට 47%ක් වැනි ප්‍රමාණයකි. අවුරුදු 25ට වඩා අඩු ගැහැනු දරුවන් මෙසේ අනතුරුවලට ලක්වීමේ සම්භාවිතාව අනෙක් පිරිසෙන් අඩුවන අතර, එය ප්‍රමාණාත්මකව ගත්කල 16%ක ප්‍රමාණයකි. 
මෙම අනතුරුවලිනුත් 60%ක් සිදුවන්නේ මහා මාර්ගයේදී වීම ඉතා අවදානාත්මක කාරණයකි. දියේ ගිලී සිදුවන අනතුරුවලින් ලංකාවේ කාන්තාවන් 11%ක් මරණයට පත්ව ඇති අතර, පිළිස්සීම් මගින්ද මිය ගිය කාන්තා ප්‍රමාණය 11%කි. මේ අනුව ලංකාවේ කාන්තාවන් බහුතරයක් මාර්ගයේ ගමන් කරන විට හෝ මෝටර් රථ ධාවනයේදී හෝ වෙනත් කරුණු කාරණා නිසා මරණයට පත්ව තිබේ. 

ලංකාවේ කාන්තාවන් වැඩි ප්‍රතිශතයක් සියදිවි නසාගන්නේ විෂ ශරීරයේ අන්තර්ගත කර ගැනීමෙන්

ලංකාවේ සියදිවි නසාගැනීම් විෂ ශරීරගත කරගැනීම, ගෙල වැලළාගෙන සහ පුළුස්සාගෙන සියදිවි හානි කරගැනීම යන සිදුවීම් ත්‍රිත්වය පාදක කර ගනිමින් සිදුවන බවට දත්ත වාර්තා කර තිබේ. ලංකාවේ කාන්තාවන්ගෙන් වයස අවුරුදු 25ත්- 60ත් අතර කාන්තාවන් 50%ක ප්‍රමාණයක් සියදිවි හානි කරගැනීමෙන් මරණයට පත්වන අතර එයට සාපේක්ෂව වයස අවුරුදු 25ට අඩු ගැහැනු ළමයින්්ද සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනියි. එය ප්‍රමාණාත්මකව දැක්වූවහොත් 40%ක ඉහළ අගයකි.  ඒ අනුව ලංකාවේ සියදිවි හානිකර ගන්නා කාන්තාවන් අතරින් වැඩි ප්‍රමාණයක්, එනම් 43%ක් විෂ ශරීරයට අන්තර්ගත කර ගැනීමෙන් මරණයට පත්වන බව මෙම අධ්‍යයනයේදී වාර්තා වේ. එසේම 40%ක ප්‍රමාණයක් එල්ලී සිය ජීවිතය හානිකර ගනියි. පිළිස්සීම් මගින් මරණයට පත්වන කාන්තාවන් ප්‍රමාණය 9%ක ප්‍රමාණයකි. 

කාන්තා මිනීමැරුම්වලදී බහුතරයක් මරණයට පත්වන්නේ තියුණු ආයුධවලින් පහර දීමෙන්

කාන්තා මිනීමැරුම්වලදී බහුතරයක් මිය යන්නේ වයස අවුරුදු 25ත්- 60ත් අතර වයස් කාණ්ඩයේදීය. එය 59%ක ප්‍රමාණයකි. එමෙන්ම මිනීමැරුම්වලින් 23෴ක් වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් මරණයට පත් වේ. මෙම අධ්‍යයනයට අනුව කාන්තා මිනීමැරුම්වලදී වැඩි ප්‍රමාණයක් මිය යන්නේ තියුණු ආයුධවලින් පහර කෑමෙනි. එය ප්‍රතිශතයක් ලෙසින් 40%කි. ගෙල සිර කිරීමෙන් කාන්තාවන් 22%ක ප්‍රමාණයක් මරණයට පත් වේ. 

එසේම මෙම අධ්‍යයනය මගින් ඥාතී සම්බන්ධතාව හා සමීපතම පුද්ගලයන් විසින් සිදුකරන කාන්තා මරණ පිළිබඳවද අධ්‍යයන කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ බව අනාවරණය කර ගැනීමට හැකි විය. එවැනි සිදුවීම්වලින් 69෴ක්ම නිසි පරිදි වාර්තා වන්නේ නැත. අධ්‍යයනය මගින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍රධානම හේතුව ශාරීරික හිංසනයන් බවයි. 

මෙම පර්යේෂණයේදී කාන්තා මිනීමැරුම් 243ක් අධ්‍යයනයට ගැනුණි. ඒවා අනාවරණය කිරීමේදී හෙළි වූයේ එම මිනීමැරුම්වලින් 128කම අපරාධකරුවා වන්නේ නීත්‍යානුකූල සැමියා බවයි. වර්ෂ තුනක පමණ කාලයක් පමණ සිදුකළ මෙම පර්යේෂණයේදී අවසානයේ සොයා ගැනීමට හැකි වූයේ අධිකරණ ක්‍රියාවලිය මහාධිකරණ දක්වා ඉදිරියට ගමන් කර ඇත්තේ ඒ මිනීමැරුම්වලින් 30%ක පමණ ප්‍රමාණයකි. ඒ සඳහා ගතවිය යුතු සාමාන්‍ය කාලය නඩුව ගොනු කළ දින සිට අවුරුදු තුනක කාලයකි. 

මෙම පර්යේෂණයෙන් කාන්තා මිනීමැරුම් 243ක්, සියදිවි හානිකර ගැනීම් 252ක් බස්නාහිර, උතුරුමැද, සබරගමුව, දකුණ හා නැගෙනහිර යන පළාත් පහ තුළින් අධ්‍යයනය කෙරිණි. 2013 වර්ෂයේ උතුරුමැද පළාතේ කාන්තා මිනීමැරුම් ඉතා ශීඝ්‍ර ලෙස අනෙකුත් පළාත් 4ට සාපේක්ෂව ඉහළ අගයක් ගත් නමුත් 2015 වර්ෂය වන විට එය ශීඝ්‍ර ලෙස පහත වැටීමක් සිදුවිය. එය කාන්තා අස්වාභාවික මරණ අවම වීම සම්බන්ධයෙන් ධනාත්මක කාරණයකි. එසේම සියදිවි හානිකර ගැනීම් තුළ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා නැගෙනහිර පළාතේ ඉහළ අගයක් ගෙන ඇත. එය 2013 වර්ෂයට සාපේක්ෂව සංඛ්‍යාත්මකව අඩු අගයක් 2015 වර්ෂය තුළ හිමිකර ගත්තද අනෙක් පළාත්වලට වඩා ඉහළ අගයක් ගනියි. 

B453721B copy

බස්නාහිර පළාත තුළ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා අධ්‍යයන කර බැලීමේදී වාර්තාගත දත්ත අනුව අනතුරුවලින් කාන්තාවන් මිය යන ප්‍රමාණය ඉහළ අගයක් ගනියි. උතුරුමැද පළාතේ අනෙක් පළාත්වලට වඩා අනතුරුවලින් මරණයට පත්වන කාන්තාවන් ඉහළ අගයක් ගත් නමුත් එය 2013 වර්ෂයේ සිට 2015 දක්වා අඩු වෙමින් පවතියි. ලෝකයට සාපේක්ෂව කාන්තාව ලංකාව තුළදී යම්තාක් මට්ටමින් සුරක්ෂිත තාවයක් හිමිකර ගත්තද තවදුරටත් අවධානය යොමු කළ යුතු අප නොදකින බොහෝ දේ මෙම අධ්‍යයනය මගින් අනාවරණය කර ගැනීමට හැකි විය. 

ඒ තුළින් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පවත්නා නීතිය ලිහිල් නම් ඒවා තව දුරටත් දැඩි කිරීමට කටයුතු කළ  යුතුය. නැති නම් ඒවා සිදුවීමේ ඉඩ ප්‍රස්ථා අවම කිරීමට කටයුතු කළ යුතුය. ඒ තුළින් කාන්තාවන් ගෘහස්ථ වශයෙන් විඳින පීඩාව හා සමීපතමයාගෙන් සිදුවන අනතරු විපත් පිළිබඳවද වැඩි අවධානයකින් සිටීමට හැකියාව ලැබේ. ඒ තුළ ලාංකේය කාන්තාව ගෘහස්ථව විඳින ප්‍රචණ්ඩත්වය මැනවින් හඳුනාගත හැකිය. 

පර්යේෂණ කණ්ඩායම මෙම අස්වාභාවික මරණ අවම කිරීම හා තුරන් කිරීම සඳහා නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. ඒ නිසා කාන්තාවන්ට මේ තත්ත්වය පිළිබඳ දැනුවත්භාවයක් ලබාදීම, කාන්තාව ඒ වෙනුවෙන් සවිබල ගැන්වීම හා ජීවන කුසලතා ප්‍රගුණ කිරීම සඳහා පාසල් ළමයින්්ට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, එමෙන්ම කාන්තා අවශ්‍යතා හිමිකර ගැනීම වෙනුවෙන් ඔවුන්ව ශක්තිමත් කිරීම හා උපකාර කිරීම, මහා මාර්ගයේ සිදුවන අනතුරුවලින් කාන්තා මරණ අවම කරගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ විධිමත් දැනුමක් ලබා දීම යන කාරණා සිදුකළ යුතුය. 

මෙම අධ්‍යයනයට අමතරව 'ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්්ගේ අස්වාභාවික මරණ සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණය' මැයෙන් ප්‍රතිපත්ති සාරාංශයක්ද ඉදිරිපත් කෙරිණි. එම වාර්තාව තුළින් පැහැදිලි කරන ආකාරයෙන් ආචාර ධාර්මික මාර්ගෝපදේශ උල්ලංඝනය වන ආකාරය මෙයින් විමර්ෂණය කර ඇත. එමගින් මාධ්‍ය විසින් සංවේදී හා වගකීම් සහගත ලෙස වාර්තාකරණයේ නිරතවීමෙහි වැදගත්කම පිළිබඳව අවධාරණය කර තිබේ. 

6B196DE1 copy

 

 

රිට්සු නකේන් -එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත 

"ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනුවෙන් අදහස් කරන්නේ කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ පුද්ගල හිමිකම් උල්ලංඝනය වීම පමණක් නෙමෙයි. වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම හා ඔවුන්ගේ ක්‍රියා නිසා ඇති වන භීතිය සමස්ත සමාජයටම බලපානවා. රජය, කාන්තා සංවිධාන, එක්සත් ජාතීන් හා වෙනත් හවුල්කරුවන් විසින් කළ කාර්යභාරය කොතරම් වූවත් ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ට රැකවරණය, සෞඛ්‍යාරක්ෂාව සහ යුක්තිය ලබාගත හැකි සේවාවන් පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය බොහෝ දුරට අඩුයි"

Photo 1 copy

 



Recommended Articles