මැටි පහන් සාදා සැමට ආලෝකය ලබාදෙන බෙලිඅත්තේ නිලූෂා


මැටි පහන් හා මැටි වළං කර්මාන්තයේ නියැළී සිටිමින් ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන කාන්තාවක් අපට පසුගියදා හමුවිය. ඇය බෙලිඅත්තේ මිහිඳුපුර පදිංචි එස්.එම්. නිලූෂාය. ඇය පාරම්පරිකවම මැටි වළං කර්මාන්තයේ යෙදී සිටින අතර, එමගින් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා අපමණ වෙහෙසක් දරමින් සිටී. අද වන විට වෙළෙඳ පොළේ මැටි වළං සඳහා එතරම් ඉල්ලුමක් නොමැති වුවද එම තත්ත්වයන්ට මුහුණදෙමින් තම නිෂ්පාදනයන් අලෙවි කර ගැනීම සඳහා ඇය ගන්නා වෙහෙස අපමණය. අප සමග අදහස් දැක්වූ ඇය මෙසේ පැවසුවාය.

“අපේ අම්මල තාත්තලත් ඒ කාලේ කළේ මේ මැටි වළං හදන එකයි. ඒ නිසා ඒවා බලන් ඉඳලා පොඩි කාලේ ඉඳලම මට නොයෙකුත් විදිහේ වළං වර්ග හැදීමේ හැකියාව තිබෙනවා. මම මේ වළං හදන්න පටන් අරගෙන දැන් අවුරුදු 15ක් විතර වෙනවා.
වෙසක් පොසොන් වගේ කාලවලදී මම වැඩිපුර හදන්නෙ මැටි පහන් තමයි. මේකට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. මැටි පහන කියන්නෙ ඉතාමත් කුඩා දෙයක්. වෙන වළං වගේ මැටි පහනට ලොකු මිලක් නියම කරන්න බැහැ. අනික ගොඩක් හදා ගත්තට පස්සෙ තමයි පෝරණුවක දමලා පුච්ච ගන්න වෙන්නේ. ඒ නිසා මේව හදන්න ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වෙනවා.

5

වහින කාලෙට තමයි අපිට ලොකුම ගැටලුව එන්නෙ. වහිනකොට මේවා එළියක තියලා වේළා ගන්න බැහැ. අපිට ලොකු මඩු ගහගන්න ලොකු ඉඩම් නැහැ. ඒ වගේම ඒවට වියදම් කරන්න මුදලුත් නැහැ. හරිම අමාරුවෙන් තමයි මේ කර්මාන්තය කරගෙන යන්න වෙලා තියෙන්නෙ.

අපි මෙහෙම අමාරුවෙන් හදා ගත්තත් ඊළඟට එන ගැටලුව තමයි මේව සාධාරණ මුදලකට විකුණ ගන්න බැරි එක. අපිට බොහොම පොඩි මුදලක් දීල වෙළෙන්දො ඇවිල්ලා මේවා අරගෙන ගිහින් ඒ අය වැඩි මුදලකට අලෙවි කරනවා.
ඇතිළි, බත් උයන මුට්ටි, මූඩි, නෑඹිලි, කළගෙඩි, කිරි මුට්ටි මේ වගේ ඕන දෙයක් මට හදන්න පුළුවන්කම තියෙනවා. සමහර අය ගෙදරට ඇවිල්ල ඒ අයට ඕනවන වර්ගවල වළං හදාගෙන යනවා. වළං හදන්න මැටි කඩාගෙන ආවට පස්සේ ඒවා මෝලකට දීල හීනි වෙන්න අඹරව ගන්න ඕන. එහෙම නැතිව වළං හදන්න බැහැ. එක එක වර්ගවල වළං හදන කොට ඒකට අතේ හුරුවත් තියෙන්න ඕන. 

6

අපිට වෙන කිසිදු ආදායම් මාර්ගයක් නැහැ. මැටි කඩාගෙන එන්න ලොකු දුරවල්වල යන්න ඕන. හැම මැටි වර්ගෙම මේකට සුදුසු නැහැ. මැටි ගෙදරට ගේන්නත් ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි හදන වළං ටික විකුණ ගන්නත් ලොකු දුකක් විඳින්න ඕන. අපි වගේ පාරම්පරිකව මෙවැනි කර්මාන්තවල යෙදිලා ඉන්න ඇය ගැන බලලා රජයෙන් හෝ යම්කිසි සහනදායී වැඩපිළිවෙළක් සකස් කරනවා නම් ඒක අපි වගේ අයට ලොකු සහනයක් වෙනවා” 

හම්බන්තොට - රෝහණ ආරියරත්න 

2   8

 

 



Recommended Articles