ස්වභාවික වර්ණක යොදාගෙන රෙදිපිළි විලාසිතා නිර්මාණය කිරීම වර්තමානයේ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ ලෝකය පුරාම පරිසර හිතකාමී නිර්මාණ කෙරෙහි යොමුවන වටපිටාවක් බිහිවෙමින් පවතින හේතුවෙන් යැයි යමෙකුට කිව හැකිය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ක්‍රමයෙන් විනාශ වී යන පරිසරය රැක ගැනීම වෙනුවෙන් තම තමන්ට කළ හැකි දෑ මොනවාද යන්න පිළිබඳ අධ්‍යනය කරමින් සිටින විට අවධානය යොමුවූ රෙදිපිළි ස්වභාවික වර්ණ ගැන්වීම නව මානයකට රැගෙන ගිය ඇය නමින් ශ්‍රිවන්ති අමරසිංහ නම් වේ.
අරලු, බීට් රූට්, වද මල්, කහ,තක්කාලි, පුවක් කහට, තේ කහට, කෝපි කහට,ආදියෙන් රෙදි සායම් ගන්වන ඇය %rust diaries^ නමින් නව විලාසිතාවන් හඳුන්වා දෙන්නේ මළකඩවලින් ඇගේ රෙදිපිළි මත රටා මවමිනි. එක්සත් රාජධානියට අනුබද්ධිත තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයක ශ්‍රී ලංකා කළමණාකාරිනිය වශයෙන් කටයුතු කරන ඇය මෙලෙස %අද^ට සම්බන්ධ වූවාය.
මම උපාධිය හැදෑරුවේ රැකියාවක යෙදී සිටින අතරතුරදීමයි
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන්. පාසල් කාලයේ මම කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙලයි හිටියේ. පාසලේ ගායනා කණ්ඩාමේ, නාට්‍ය කණ්ඩායමේ, බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකත්වය ගත්තා. ඒ වගේම පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව ලෙසත්, පාසලේ ශිෂ්‍ය නායිකාව ලෙසත් මා කටයුතු කළා. පාසල් මට්ටමෙන් පැවැත්වෙන ඉංග්‍රීසි තරගවලදී ජයග්‍රහණය කරලා සමස්ත ලංකා තරග දක්වාත් නැටුම්වලින් සමස්ත ලංකා තරග දක්වාත් නියෝජනය කර තිබෙනවා. මීට අමතරව ඉස්සර ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගය ඉහලින්ම සමත්වන සිසුන් හැත්තෑ දෙනෙකුව හන්තානයේ විශේෂ නායකත්ව පුහුණු කඳවුරකට සහභාගි කරවීමේ වැඩසටහනක් තිබුණා. මමත් මේ කඳවුරට සහභාගිවෙන්න සුදුසුකම් ලැබුවා. මම උසස් පෙළ සඳහා ජීව විද්‍යාව විෂය ධාරාව තෝරා ගත්තා. නමුත් මම පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි අවධානයක් යොමු කළ නිසා පළමුවර එක් විෂයක් අසමත් වුණා. මගේ අම්මා ගුරුවරියක්. ඉතින් මම විභාගේ අසමත් වීම අම්මට ලැජ්ජාවක් වුණා. පසුව මම දෙවැනි වර විභාගයට පෙනී සිටලා සමත් වුණා. දෙවැනි වර ප්‍රතිඵල අනුව ආයුර්වේද විද්‍යාව හැදෑරීමට මම ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාලයට තේරුණා. මගේ අම්මා විදේශ විශ්වවිද්‍යාලයකින් පිරිනමන ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමුකරලා තිබුණා මගේ නමින්. එයට තේරුණු නිසා මම එම විදෙස් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කොළඹ පිහිටි I I H E අධ්‍යයන ආයතනයෙන් මගේ පරිගණක ඉංජිනේරු උපාධියට අදාළ හැදෑරීම් සිදුකළා.
එහිදී මෘදුකාංග ඉංජිනේරු විශේෂ උපාධියක් ඇතිව සමත්වෙන්න මට හැකි වුණා. මම උපාධිය හැදෑරුවේ රැකියාවක යෙදී සිටින අතර තුරදීමයි. දෙවැනි වසර සිසුවියක්ව සිටින කාලයේ ඉඳන්ම මම වැඩ කළා. කුඩා ආයතනයක මම වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩකළා. ඉන් පසුව මම කොළඹ රාජකීය විද්‍යාලයේ වෙබ් ඇසිස්ටන්ට් විදිහට සේවය කළා. මේ කාලයේ මම සිංහල ටයිපින් ආදී සියලු දේවල් කළා. එඩෙක්ස් ප්‍රදර්ශනයේ කටයුතු වෙනුවෙන් වසර තුනක් මම වැඩකළා. 2010 වර්ෂයේ මම computer Quality Assurance ඉංජිනේරුවරියක ලෙස විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදී සේවය කළා.
2014 වර්ෂයේ මම සේවය කළ එම ආයතනයෙන් අස්වුණේ මට යන්න පුළුවන් ඉහළම තනතුරට ගිහින් එයින් එහාට තවදුරටත් යන්නට තනතුරක් එම ආයතනයේ නොතිබුණ නිසයි. ඉන්පසුව මම Q.A මැනේජර් තනතුරකට පත් වුණා එක්සත් රාජධානියට අනුබද්ධිත ඇප් නිර්මාණයකරන ආයතනයක. 2017 වර්ෂයේ මම එක්සත් රාජධානියේ වසරක කාලයක් රැඳී සිටිමින් එම ආයතනයේ සේවය කළා. ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ගේ මෙරට පිහිටි ආයතනයේ කළමණාකරු ලෙස මාව පත්කරන්නට. දැන් මම එම ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකාරිනිය ලෙස වසරක කාලයක් පුරා කටයුතු කරනවා. මේ කටයුතු කරන අතර තුර තමයි මම රස්ට් ඩයරීස් කියන මගේ විනෝදාංශය ආරම්භ කළේ.
මගේ ගෙදර කුස්සියේ තමයි මුලින්ම ඇඟලුම් වර්ණ ගැන්වීම් ආරම්භ කළේ
දැන් මේ ඇඳුම් නිර්මාණ කටයුතුවලටත් අවුරුද්දක් වගේ වෙනවා. මම මුල ඉඳන්ම හුරුවෙලා හිටියේ sustainable fashions නැතිනම් ඉවතලන දේවල්වලින් විලාසිතා නිර්මාණය කිරීම වෙතයි. මම ඒ නිසා මේවා පිළිබඳ මුල ඉඳන්ම අධ්‍යනයන් සිදුකළා. මම ඒවා ගැන අධ්‍යනය කරද්දී දැනගත් දෙයක් තමයි ලෝකයේ පරිසර විනාශයට තුඩු දෙන ප්‍රධානතම කර්මාන්ත අතරින් දෙවැනි තැනට ඉන්නේ විලාසිතා කර්මාන්තය කියන එක.
මිනිස්සු මේ ගැන දන්නේවත් නැහැ. පරිසර දූෂණයට බලපාන ප්‍රධානතම කර්මාන්තය වන්නේ ඛණිජ තෙල් කර්මාන්තය. දෙවැනුව තියෙන්නේ විලාසිතා කර්මාන්තයයි. මම මේ ගැන අධ්‍යයනය කරද්දී තමයි ස්වභාවික රෙදි වර්ණ ගැන්වීම කියන දේ පිළිබඳ අධ්‍යයනය කරන්න ගත්තේ. මම මේ දේවල් ගැන අධ්‍යයනය කරද්දී විලාසිතා කර්මාන්තයේ ඉවත දමන දේවල් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා මගේ තොරතුරු තාක්ෂණික දැනුම පාවිච්චි කරලා ක්‍රමවේදයක් හදන්නට ආරම්භ කළා. මම හැදුව මේ ක්‍රමවේදය මේ වෙද්දී අන්තර්ජාතික වශයෙන් අවධානයක් යොමු වී තිබෙනවා. මේ කටයුතු අතරතුර තමයි මට අවශ්‍ය වුණේ පරිසර හිතකාමී විලාසිතා නිර්මාණ කරන්නට.
ඒ අනුව නැචුරල් ඩයින් නැතිනම් ස්වභාවික වර්ණ ගැන්වීම පිළිබඳ අත්හදා බැලීම් කරන්නට පටන් ගත්තා. මගේ ගෙදර කුස්සියේ තමයි මුලින්ම මේ කටයුතු පටන් ගත්තේ. කහ , තක්කාලි, කෝපි, වගේ දේවල් අරගෙන රෙදි වර්ණ ගැන්වීම මුලින්ම සිදුකළා. ස්වභාවික වර්ණවලින් රෙදි වර්ණ ගැන්වීම තමයි ලෝකයේ ආදී කාලයේ සිදු කළේ. පසුව තමයි කෘතිම වර්ණ මේ සඳහා යොදා ගැනීම ප්‍රචලිත වුණේ.
මම එංගලන්තයේ ඉන්න කාලයේ මේ සම්බන්ධයෙන් ලියැවුණ පොතපත මිලදී අරගෙන දැනුම ලබා ගත්තා. ඒ පොත්වල තිබුණේ එංගලන්තයෙන් හොයාගන්න පුළුවන් ස්වභාවික වර්ණකවලින් රෙදි වර්ණ ගන්වන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. මේ නිසා මම එහෙන් හම්බෙන පැළෑටිවලින් රෙදි වර්ණ ගැන්වීම පරීක්ෂණ මට්ටමෙන් සිදු කළා. මගේ මිතුරෙකු ඉන්නවා ලලිත් සේනානායක කියලා. ඔහු චිත්‍ර ශිල්පියෙක්. ලංකාවට ආවම ඔහු හා ඔහුගේ බිරිඳ මට ස්වභාවික වර්ණ හදාගන්න පුළුවන් පැළෑටි වර්ග හොයලා දුන්නා. මේ පැළෑටිවලින් රෙදි වර්ණ ගන්වන කටයුතු කරන අතරතුර, මට හරිම විනෝද ජනක දෙයක් හමුවුණා රෙදි වර්ණ ගැන්වීම් කරන්නට පුළුවන් . ඒ තමයි මළකඩ. මළකෑමට ලක්වුණ විවිධ යකඩ වර්ග අරගෙන ඒවගේ තිබෙන හැඩතල මම රෙදිවලට ගන්නවා ඩිසයින් එකක් විදිහට. බොහෝ දෙනා නැචුරල් ඩයින් කළාට %මළකඩ^ යොදාගෙන විලාසිතා නිර්මාණය කිරීම කරන්නේ නැහැ. මළකඩ චිත්‍ර කලාවට යොදාගන්න අවස්ථා ලෝකයේ තිබෙනවා. ඊට අමතරව මේ කලාව රෙදි නිර්මාණවලට යොදා ගන්නවා මම ලෝකේ කොහේවත් දැකලා නැහැ. ඒ නිසා මම මේ විලාසිතාවන් අලෙවි කරන්නේ කලා කෘතියක් අලෙවි කරන අන්දමටයි.
මම එක් විලාසිතාවකින් එකක් පමණයි සිදු කරන්නේ. ඇත්තටම එක හා සමාන විලාසිතා නැවත නැවත කරන්න පුළුවන් කියලා මට සහතික වෙන්න අමාරු මේ කලාව වෙනස් නිසයි. මම ඇඳුමක් ඩයි කරන්න වද මල් යොදා ගන්න අවස්ථා තිබෙනවා. එම විලාසිතාවම වෙන කෙනෙක් ඉල්ලුවොත් මට පොරොන්දු වෙන්න බැහැ ඒකට සමානම විලාසිතාවක් මට කරන්න පුළුවන් කියලා. මොකද මේවට යොදාගන්න වද මල ලබාගත් ගස සිටුවා ඇති පසේ ස්වභාවය, එම ප්‍රදේශයේ වතුරවල පී.එච් අගය, මම ඩයි කරන්න යොදාගන්න වතුරවල පී එච් අගය ආදී සාධක රාශියක් මේ වර්ණකයන් කෙරෙහි බලපානු ලබනවා. ඒ අනුව මොස්තරයට ලැබෙන වර්ණයේ ස්වභාවය වෙනස් වෙනවා.
මම මේ කටයුතු බොහෝ විට සිදු කරන්නේ රාත්‍රී කාලයේ හා සතිඅන්තයේ. මොකද තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක යෙදෙන විට එය මනසට හරිම අවිවේකියි. ඒ වගේම මම එක්සත් රාජධානියට අනුබද්ධ ආයතනයක කටයුතු කරන නිසා එංගලන්තයේ කාර්යාල වේලාවට මට ඇහැරිලා ඉන්නට සිදු වෙනවා. ඉතින් මම උදේ හතරට විතර ඇහැරිලා යෝග අභ්‍යාසවල යෙදෙනවා. ඒ කටයුතු ඉවරවෙලා මම කාර්යාලයට යනවා. නැවත ගෙදර එන්නේ රෑ වෙලා. එහෙම ගෙදර ඇවිත් මම හිතට නිදහසක් ලබා ගන්න තමයි ඇඳුම් නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඇත්තටම මේක මට විනෝදාංශයක් වගේ දෙයක්. ඒ නිසා දවස පුරාම වෙහෙසෙන මනසට විවේකයක් ලැබෙනවා. මගේ ස්වාමි පුරුෂයා අහනවා ඇයි මේ තරම් මහන්සි වෙන්නේ කියලා. නමුත් එයින් මගේ මනසට සුවයක් ලැබෙනවා. මම නිර්මාණය කරන මේ විලාසිතා මුලින්ම මම මගේ ෆේස් බුක් පිටුවේ පළකළා. පසුව මගේ යාලුවෝ ඉල්ලීමක් කළා මේ වෙනුවෙන්ම ෆේස්බුක් පිටුවක් නිර්මාණය කරන්න කියලා.
මගේ ව්‍යාපාරයට මම යොදාගන්නේ වෘත්තීය නිරූපිකාවන් නොවෙයි
මළකඩ යොදාගෙන රෙදි වර්ණ ගැන්වීම කරන්න සෑහෙන වෙලාවක් ගතවෙනවා. මගේ කාර්යය බහුල ජීවන රටාවත් එක්ක මම මේ සඳහා වෙලාව වෙන් කරගන්නේ හරිම අමාරුවෙන්. මම තොරතුරු තාක්ෂණික ක්ෂේත්රයේ රැඳිලා ඉන්න කෙනෙක් විදිහට අපේ ක්ෂේත්රයේ සේවාවන්වලදී අපි අගය එකතු කරන්නේ එයට වැය කරන මිනිස් පැය අනුවයි. ඉතින් මම මේ විලාසිතා නිර්මාණයන්ට මිල නියම කරන්නේත් මම වැය කරන පැය ගානටයි. මේ නිසා මම මේ විලාසිතා Sustainable Luxury ලෙස හඳුන්වා දෙනවා.
ලෝකයේ Luxury විලාසිතා කියලා කිව්වම ප්‍රධාන වෙන්නේ සත්ත්ව හම් හෝ ලොම් යොදා ගන්නා පරිසරයට සතුන්ට හානිකරන විලාසිතායි. ඉතින් මට අවශ්‍ය වුණේ පරිසර හිතකාමී විලාසිතා සිදුකරන්නයි. මේ නිසා මම ෆැක්ට්‍රිවලින් ඉවත් කරන රෙදි මගේ නිර්මාණවලට යොදා ගන්නවා. ඒ කියන්නේ %ක්ලීන් වේස්ට්^ කියලා ෆැක්ට්‍රිවලින් අතිරික්ත වුණ රෙදි ඉවත් කිරීම සිදු කරනවා. මේ ක්ලීන් වේස්ට් කියන දේ ලෝකයේ මේ විදිහට දිගටම සිදුවුණොත් 2025 වසර වෙනකොට එස්ටෝනියාව කියන රට වහන්න පුළුවන් තරමේ රෙදි පරිසරයට එකතු වන බව දැනට ගණන් බලා තිබෙනවා. මේ නිසා මම මගේ යාළුවන්ගේ ව්‍යාපාරවලින් ඉවත් කෙරෙන රෙදි අතිරික්ත මිලදී ගැනීම් සිදුකරනවා. ඇත්තටම පරිසර හිතකාමී ඇඟලුම් නිර්මාණ කරද්දී සාර්ථක වෙන්නේ මේ සඳහා කාබනික කපු රෙදි පිළි යොදා ගන්නවා නම් තමයි. නමුත් අපේ රටේ මේවා හොයා ගන්න අමාරුයි. මම මේ නිසා ඉන්දියාවෙන් කපු රෙදි ගෙන්වනවා. අපේ රටේ හෑන්ඩ් ලූම් රෙදි තිබුණත් ඒවා ඩයි වර්ග දාලයි අලෙවි කරන්නේ. මොකද අමු රෙදි අලෙවි කරන එක ඔවුන්ට පාඩු නිසා. මටම කියලා හෑන්ඩ් ලූම් වියාගන්න තරම් මගේ ව්‍යාපාරය තවම ව්‍යාප්ත වෙලා නැහැ.
මගේ ළඟ දැනට කාන්තාවෝ තුන් දෙනෙක් වැඩ කරනවා. මේ අය තමන්ගේ දරුවන් වෙනුවෙන් රැකියාවන් නොකර ගෙදරට වෙලා ඉන්න අය. මම ඔවුන්ට රැකියා අවස්ථාවන් කිහිපයක් ඇති කරදී තිබෙනවා. දැනට මම මේ ව්‍යාපාරයේ ලොකු ලාභ ලබන්නේ නැහැ. මොකද මම දැනට සතියකට එක නිර්මාණයක් වගේ තමයි සිදුකරන්නේ. සාරියක් මේ කලාවෙන් නිර්මාණය කරන්නට මට දවස් 4ක් වගේ ගතවෙනවා. ඒ නිසා රුපියල් විසි දාහට ඉහළ මිලක් මේ සාරියකට නියම වෙනවා. මගේ නිර්මාණ ඇණවුම් භාරදීම් සඳහා යන්නේත් මමයි මගේ ස්වාමි පුරුෂයායි. මට අදහසක් තියෙනවා මේ ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරන්න. මම යෝග ව්‍යායාම් කරන කෙනෙක් විදිහට දැන් මගේ අදහසක් තිබෙනවා යෝගා සඳහා ඇඳුම් නිර්මාණය කරන්න. Meditation cloths කියලා දෙයක් තියෙනවා. ඉතින් මම ඒ පැත්තටත් යොමු වෙන්න හිතන් ඉන්නවා. අපේ ශරීරයේ විශාලතම අවයවය තමයි හම. අපි හිතන්නේ නැති වුණාට අපි කන කෑමවලින් වගේම අපි අඳින ඇඳුම්වල අඩංගු රසායනික අපේ ශරීරයට හම හරහා උරා ගැනීමක් සිදු වෙනවා. ඉතින් ගර්භිණී මවුවරුන්ට හා අලුත උපදින බබාලා වෙනුවෙන් ස්වභාවික කපු රෙදිවලට ස්වභාවික වර්ණ ගැන්වීම් සිදුකරන ලද විලාසිතා හඳුන්වා දීමටත් මගේ අදහසක් තිබෙනවා. මගේ ව්‍යාපාරයට මම යොදාගන්නේ වෘත්තීය නිරූපිකාවන් නොවෙයි.
මගේ ජායාරූප ශිල්පිනිය තමයි ස්ටෙෆානි. එයා තමයි මට කිව්වේ මගේ විලාසිතාවල නිරූපිකාව විදිහට මට කටයුතු කරන්න කියලා. මේක මට අලුත් අත්දැකීමක් වුණා. මම ඉතින් චකිතයකින් තමයි මේ විලාසිතා නිරූපණයට පෙනී සිටියේ. මේ අනුව තමයි මම මගේ විලාසිතා නිරූපණයට වෘත්තීමය නිරූපිකාවන් නැතිව සාමාන්‍ය තරුණියන්ව යොදා ගත්තේ. අපේ කෑම, අපේ වෛද්‍ය ක්‍රම තමයි අපේ රටට ගැළපෙන්නේ. ඉතින් අපේ ස්වභාවික ඇඳුම් තමයි අපිට ගැළපෙන්නේ කියන දේ මම විශ්වාස කරනවා. මගේ කාර්යය බහුල ජීවිතය නිවැරදිව පෙළ ගස්වා ගන්නට හැකි වෙලා තියෙන්නේ යෝගා නිසයි
මම යෝගාවලින් ඩිප්ලෝමාවක් හදාරමින් සිටිනවා. යෝගාවලින් ඇඟ ලස්සන වෙනවා කියන දේ එක් ඵලයක් විතරයි. යෝගාවලින් අපිට ලැබෙන දේවල් ගොඩක් තියෙනවා. මනස සැහැල්ලු කරගන්න විතරක් නොවෙයි අපේ වැඩ කටයුතු පහසු කරගන්නත් යෝගා උදවු වෙනවා. මගේ කාර්යය බහුල ජීවිතය නිවැරදිව පෙළ ගස්වා ගන්න හැකි වෙලා තියෙන්නේ යෝගා නිසයි.
මගේ අම්මා අපිට කිව්ව දෙයක් තමයි කොතරම් සල්ලි තිබුණත් ගෙදරට වෙලා පිරිමියෙකුගෙන් යැපෙන්න බලන් ඉන්න එපා කියන දේ. ඒ වගේම දෙමවුපියෝ බැංකු පොත්වල කොතරම් සල්ලි ඉතුරු කරලා තිබුණත් ස්වාමි පුරුෂයා කෙතරම් ආදරය කරන කෙනෙක් වුණත් ගෙදරට වෙලා නිකන් ඉන්න එපා කියලා මගේ අම්මා කිව්වා. මිනිස්සු හිතන්නේ තමන්ගේ දුක සතුට තීරණය කරන්නේ සල්ලි කියලා. නමුත් සල්ලිවලින් නොවෙයි මිනිස්සු හිතේ සතුට ඇති කරගත යුත්තේ. අපි මොනවා හරි දෙයක් ජීවිතයේ ලබාගත්තා, මොනව හරි හොඳ දෙයක් සමාජය වෙනුවෙන් කළා කියලයි අපි සතුටු වෙන්න අවශ්‍ය.
අපිට අපේ හිත ඇතුළෙන් සතුට ලබන්න දෙයක් කරන්න අවශ්‍යයි. කාන්තාවක් විදිහට නිකන්ම ගෙදරට වෙලා ඉන්න සාම්ප්‍රදායික චරිතයක් නොවී අපිට අපේ දරුවන් වුණත් හරි විදිහට හදන එක දැක්මක් ඇතිව කරන්න පුළුවන්. මම කවදා හරි මැරෙන කොට ලෝකෙටත් සමාජයටත් වැදගත් දෙයක් කළා කියලා සතුටු වෙන දෙයක් කාන්තාවක් ලෙස කරන්න පුළුවන් නම් එයයි වැදගත් වෙන්නේ.