සෑම වසරකම අගෝස්තු පළමු සතිය වෙන් වන්නේ මවුකිරි ප්‍රවර්ධනය සඳහායි. අදින් ඇරඹෙන 2018 ලෝක මවුකිරි දීමේ සතියේ තේමා පාඨය වන්නේ මවුකිරි සුවබර දිවියක පදනමයි යන්නයි. එයින් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී ජීවන තත්ත්වයක් ළඟා කරගැනීම සඳහාත් එමගින් පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු බව තුරන් කිරීමේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ළඟාවීමත් සඳහා මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම වැඩිදියුණු කිරීමේ සහ පවත්වාගෙන යෑමේ වැදගත්කම නැවත අවධාරණය කෙරේ.
තිරසාර සංවර්ධන ඉළක්කයන් සපුරාගැනීම සඳහා සමස්ත ලෝකයේම අවධානය යොමුවී ඇති පසුබිමක එම ඉලක්කයන්ට ළඟා වීමට මවුකිරි දක්වන දායකත්වය මෙසේ විමසා බැලෙයි.
පෝෂණය, ආහාර සුරක්ෂිතතාවය සහ දිළිඳුකම තුරන් කිරීම යන තිරසාර සංවර්ධනය ඉලක්ක සමග මවුකිරි දීම සම්බන්ධ වන ආකාරය
දිළිඳු බව තුරන් කිරීම
මවුකිරි දීම දරුවාට ප්‍රශස්ත පෝෂණයක් ලබා දෙන්නා වූ දරුවන් පෝෂණය කිරීමේ ස්වාභාවික සහ අඩු වියදම් ක්‍රමයක් වේ. පිටිකිරි දීම හා සැසඳීමේදී (පිටිකිරි මිලදී ගැනීම, පිළියෙල කිරීම සහ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යන වියදම ආදිය සලකා බැලීමේදී) මවුකිරි දීම සියලු දෙනාටම දැරිය හැකි අතර, පවුලේ ආර්ථිකයටද බරක් නොවේ. පිටි කිරි ලද දරුවන් හා සැසඳීමේදී මවුකිරෙන් පෝෂණය වූ දරුවන් සෞඛ්‍ය සම්පන්න වන අතර රැකියාවන්හි නියුතු දෙමවුපියන්ට එම නිසා ඉතිරි වන වැඩ කරන දින ගණන හා බැඳුන ආර්ථික ඵලදායීතාව, දුප්පත්කම අඩුකිරීමටද දායක වේ. මවුකිරෙන් පෝෂණය වන දරුවන්ගේ ඉහළ බුද්ධි ඵලය, ඉගෙනුම් හැකියාව වැඩි කිරීමටත් එමගින් පසු කාලීන ඵලදායීතාවටත් හේතු වේ.
කුසගින්න තුරන් කිරීම
මවුකිරි යනු ළදරුවන්ගේ ආහාර සුරක්ෂිතතාවයි. මවු කිරෙන් පමණක්ම පෝෂණය කරන දරුවන්ගේ පළමු මාස 06 තුළදී පෝෂණ සහ ශක්ති අවශ්‍යතාව සම්පූර්ණයෙන්මද, දෙවන මාස 06 තුළදී ශක්ති අවශ්‍යතාවෙන් හරි අඩක්ද, ජීවිතයේ දෙවැනි අවුරුද්දේදී ශක්ති අවශ්‍යතාවෙන් 1/3ක්ද මවුකිරෙන් ලැබෙන අතර, කුසගින්න, මන්දපෝෂණය සහ ස්ථුලභාවය තුරන් කිරීමටද උපකාරී වේ.
නිරෝගී බව සහ යහපැවැත්ම
මවුකිරි ළදරුවන්ගේ සහ කුඩා ළමයින්ගේ සෞඛ්‍යය, සංවර්ධනය සහ පැවැත්ම සැලකිය යුතු පරිදි නංවාළයි. මවුකිරි පිළිබඳ වූ 2016 %Lancet^ සඟරා මාලාව මගින් මවුකිරි ජීවිත කාලය පුරාම ළමයින්ගේ සහ මවුවරුන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ උන්නතියට බලපාන බවට සමුච්චිතීය සාක්ෂි (Cumulative evidence) ඉදිරිපත් කර තිබේ. ප්‍රශස්ත පෝෂණ ප්‍රභවයක් වීමට අමතරව මවුකිරි යනු ආසාදන වළක්වන සංඝටක අඩංගු නිසා දරුවන් ආසාදනවලින් ආරක්ෂා කරන එමගින් ළදරු සහ ළමා කාලයේ රෝගී බව සහ ඒ හා බැඳුණු මරණ අඩු කරන ජීවී කිරි විශේෂයකි. මවුකිරි දීමෙන් අත්වන මනෝ සමාජයීය වාසි ලෙස මව සහ දරුවා අතර ඇති වන බැඳීමත් එමගින් දරුවාගේ ප්‍රශස්ත මනෝ සමාජයීය සංවර්ධනයක් ඇතිවීමත් දැක්විය හැක. මවුකිරි දීම නංවාළීම තුළින් ලොව පුරා ළමා මරණ 8,23,000ක් වළක්වාගත හැක. මවුකිරි මගින් දරුවා අධිබර/ස්ථූලතාවයෙන්ද, පසුකාලීනව දියවැඩියාව (type 2 diabetes) සෑදීමෙන්ද ආරක්ෂා කරන අතර, එමගින් බෝ නොවන රෝග අඩු කිරීමටද ඉවහල් වේ. තවදුරටත් මවුකිරි දීම මවුවරුන්ගේ කෙටි කාලීන සහ දිගුකාලීන සෞඛ්‍යය සහ යහපැවැත්ම නංවාළීමට හේතු වන අතර, එමගින් පසුකාලීනව පියයුරු පිළිකා, ඩිම්භකෝෂ පිළිකා සහ දියවැඩියාව යන රෝගවලින් ආරක්ෂා කරයි. මවුකිරිදීම නංවාළීම තුළින් ලොව පුරා පියයුරු පිළිකා හේතුවෙන් සිදු වන මාතෘ මරණ 20,000ක් වළක්වාගත හැකි බවට පැවසේ.
2016 ජනවිද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ මාස 06ට අඩු දරුවන්ට මවුකිරි පමණක්ම ලබාදීමේ ප්‍රතිශතය 82෴ක් වුවත් මාස 4-5+ වයසේදී මවුකිරි පමණක්ම බොන ප්‍රතිශතය 64෴ක පවතී. මවුකිරිදීම ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක වන ලෝක සංවිධානයක් වන %WABA^ට අනුව කාන්තාවන් මවුකිරිදීම ප්‍රතික්ෂේප කිරීමට හෝ එය නතර කිරීමට වෛද්‍යමය, සංස්කෘතික සහ මානසික හේතූන්ද කායික අපහසුතා මෙන්ම ප්‍රායෝගික අපහසුතාවයන්ද ඇතුළු හේතු මාලාවක් තිබිය හැක. මෙම හේතූන් සුළුකොට නොසැලකිය යුතු අතර, මෙහිදී උදව් නොලැබෙන බොහෝ මවුවරු බෝතලයෙන් පිටිකිරි දීමට හැරෙන බව එහි දක්වා තිබේ.
මෙම තත්ත්වය බහුජාතික වාණිජමය අරමුණු සමග ජාතීන් හරහා වර්ධනය වීමෙන් මවුකිරි දීමේ දර්ශකයන් මත හා එහි ප්‍රතිඵලයක් ලෙස අනාගත පරම්පරා ගණනක සෞඛ්‍යය මත විනාශකාරී බලපෑමක් එල්ල කරයි.
එම නිසා වෙනස්වන ජීවන රටාවන්, අහිතකර පරිසරය/ බලපෑම්, අසමානාත්මතාව, දරිද්‍රතාව සහ අර්බුද තත්ත්ව වැනි අභියෝගයන්ගෙන් පිරුණ ලොවක, දරුවන්ට සහ මවුවරුන්ට මුළු ජීවිතය පුරාවටම දිවෙන නිරෝගී බව ලබාදීමේ පදනම ලෙස මවුකිරිදීම ප්‍රවර්ධනය කිරීම අතිශයින්ම වැදගත් වේ. මේ බව සිත දරාගෙන මෙවර මවුකිරි දීමේ සතිය සඳහා පහත අරමුණු සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇත.
යහපෝෂණය, බෝනොවන රෝග වැළැක්වීම, ආහාර සුරක්ෂිතතාව, දිළිඳුබව තුරන් කිරීම සමග මවුකිරි දීම බැඳී ඇති අයුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
කෘත්‍රිම ආහාර දීමේ විශේෂයෙන්ම පිටිකිරි දීමේ ආදීනව සහ අවාසි පිළිබඳව ජනකොටස්, විශේෂයෙන්ම ප්‍රශස්ත ආහාරදීමේ නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම සඳහා වැඩි අවදානමක් ඇති කොටස් (උදා - ප්‍රසුත නිවාඩු පිළිබඳ ගැටලු ඇති පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මවුවරුන් හා වතුකරයේ මවුවරුන් වැනි රැකියාවට යන මවුවරුන්) දැනුවත් කිරීම.
ප්‍රශස්ත ලෙස මවුකිරි දීමෙන් ජීවිතය පුරාවට ලැබෙන වාසි පිළිබඳව ගර්භිණී මව්වරුන් සහ මවුකිරි දෙන මව්වරුන් මෙන්ම පොදුවේ මහජනතාව දැනුවත් කිරීම.
කෘත්‍රිම ආහාර දීමෙන් පරිසරයට ඇතිවන ඝෘනාත්මක බලපෑම අවම කිරීමේ මගක් ලෙස මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම.
ගෘහස්ථ මට්ටමින් හා රටක් වශයෙන් මවුකිරි නොදීමේ පිරිවැය (වියදම) පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇති කිරීම.
මවුකිරි ජීවිතයේ පදනම ලෙස ශක්තිමත්ව ස්ථාපිත කිරීම.
අධිබර සහ ස්ථුලතාවය වැළැක්වීමේ වැඩසටහන්වලට (උදා - බෝ නොවන රෝග වැළැක්වීමේ වැඩසටහන්) මුල් මාස 06 තුළ මවුකිරි පමණක් දීම ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය සහ ඊට සහායදීම ඇතුළත් කිරීම.
ආහාර සුරක්ෂිතතාවෙහි ඇරඹුම ප්‍රශස්ත ලෙස මවුකිරි දීම තහවුරු කිරීම බවට අදාළ අමාත්‍යාංශ (කෘෂිකර්ම, පශු සම්පත්, කම්කරු, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සැලසුම් සහ මුදල් වැනි) බලධාරීන් දැනුවත් කිරීම.
වැඩි බලපෑමක් සඳහා විවිධ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කර ගැනීම.
මවුකිරි දීම නගා සිටුවීම සඳහා පෝෂණය, කුසගින්න තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව, ආහාර සහනාධාර, පරිසරය, දේශගුණික විපර්යාස සහ දිළිඳු බව තුරන් කිරීම වැනි අංශ ඔස්සේ ක්‍රියාත්මක වන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගැනීම.
මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම පිළිබඳව චර්යාවන්ගේ ධනාත්මක වෙනසක් ඇතිකිරීම ඉළක්ක කරගත් නිර්මාණශීලී ක්‍රමවේදයන් සකස් කිරීම. ඒ සඳහා යොවුන් කණ්ඩායම් සහභාගි කර ගැනීම.
මවුකිරි දෙන මවුවරුන්ගේ රැකවරණය සඳහා මෙන්ම ගෘහ පාලන වගකීම්වලදී ඔවුන්ට සහනයක් ලබාදීම සඳහා පුරුෂ සහභාගිත්වය මෙන්ම පවුලේ සහායද ලබාදීම වැඩිදියුණු කිරීම.
මවුවරුන්ට සහාය වීම සඳහා ආදරණීය අත්වැලක් සැපයීමට විවිධ ආංශික වෘත්තිකයන් සහ පොදු ජනතාවගෙන් සැදුන කණ්ඩායම්වල හැකියාව වැඩි දියුණු කිරීම.
යහපෝෂණය, බෝ නොවන රෝග වැළැක්වීම, ආහාර සුරක්ෂිතතාව, දිළිඳු බව තුරන් කිරීමේ එක් අංගයක් ලෙස මවුකිරි දීම නගා සිටුවීමේ ක්‍රියාකාරකම් හුවා දැක්වීම.
මවුකිරි දෙන මවුවරුන්ට සහාය ලබාදෙන ළදරු මිතුරු රෝහල් වැඩසටහන සහ වෙනත් ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මාතෘ ආරක්ෂණ ප්‍රඥප්තීන් අවම ප්‍රමිතිය ලෙස ගෙන වැටුප් සහිත ප්‍රසූත නිවාඩු සහ මාපිය ආරක්ෂණය සඳහා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඇති අවකාශය පිළිබඳව සොයා බැලීම.
මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම සහ නම් කළ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රීති සංග්‍රහය සහ අදාළ ලෝක සෞඛ්‍ය සමුළු සම්මුතීන් පිළිබඳව වන රෙගුලාසි, රාජ්‍ය වක්‍ර‘ලේඛ සහ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම.
ළදරු කිරිපිටි නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන ක්‍රියාදාමය මගින් සිදුවන පාරිසරික බලපෑම නියාමනය කිරීම.
මවුකිරි දීම පිළිබඳ වැඩසටහන් සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීමට සියලුම ස්ථරයන් (all levels) පෙළඹවීම.
(මවුකිරි දීමේ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරෙනි)
නදීෂානි පතිරණ