මවක් තමන්ගේ දරුවාව රැකබලා ගන්නා සේ මේ රටේ දරුවන් රැකබලා ගන්නා දේශපාලන නායිකාවන් බ්හිවිය යුතුයි


සරල වින්දනාත්මක චිත්‍රපටි තුළින් චිත්‍රපටි ක්ෂේත්‍රයට ප්‍රවේශ වී පසු කලෙක සමාජ යථාර්ථය නිරූපිත චිත්‍රපටවල රංගනයෙන් දායක වෙමින් සිනමාවට විශිෂ්ට සේවයක් කළ ප්‍රවීණ රංගධාරිනියක ලෙස අනෝජා වීරසිංහ මහත්මිය හඳුනාගත හැකිය. දේශපාලනය නොකළත් යථාර්තය වෙනුවෙන් සටන් කළ ඇයට අවසානයේදී පළිගැනීම් හමුවේ සියල්ල අහිමි විය. කෙසේ නමුත් ඇය කාන්තාවක සේ ඒ කිසිවකින් නොසැලී ධෛර්යෙන් යුතුව ආ ගමන අතරවාරයේ සමාජයේ දුක් විඳින ජනයාට පිහිට වූ වාර අනන්තය. දේශපාලනයෙන් හා සමාජ ජිවිතය තුළින් බැටකා එයින් පන්නරයක් ලැබූ කාන්තාවක වශයෙන් වත්මන් කාන්තා දේශපාලනය හා දේශපාලන සංස්කෘතිය තුළ ස්ත්‍රියගේ නිරූපණය කෙබඳුද යන්න පිළිබඳ ඇය අද හමුවේ දැක්වූයේ මෙවන් අදහසකි. 


Anoja Weerasingha 2015.5.24 ST

මම දේශපාලනය පිළිබඳ පුළුල් විග්‍රහයන් ඉදිරිපත් කරන අයෙක් නොවේ. නමුත් අපේ සමාජයේ සෑම කෙනෙකුටම මේ දේශපාලන ක්‍රමය තදින්ම බලපාලා තිබෙනවා. ඉතින් ඒ බලපෑමට ලක් වුණ කෙනෙකු හැටියටත්, අනෙක් අතින් රටවැසියෙක් හැටියටත්, එමෙන්ම කාන්තාවක් හැටියටත් මට හිතුණා මට දැනෙන දේ ප්‍රකාශ කරන්න. 

මගේ විෂය රංගනය පිළිබඳව, පරිකල්පනය පිළිබඳව දෙයක්. නමුත් නූතනයේ මිනිසුන්ගේ පරිකල්පන හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් තිබෙනවා. මිනිසුන්ට එසේ පරිකල්පනය හැකියාවක් නොමැති නිසා යාන්ත්‍රීකරණය වී මිනිසුන්ගේ දකුණු මොළය සම්පූර්ණයෙන්ම මැකිලා ගිහින් දෝ කියා මට වේලාවකට සිතෙනවා. නිර්මාණශීලිත්වය, පරිකල්පනය, සිහින දැකීම දැන් මොකුත් ඔවුන් අතර නැහැ. ඒ කාලයේ අපි පුස්තකාලයකට ගිහින් පොතක් කියවනකොට ඒ චිත්‍රය අපේ හිතේ මැවෙනවා. නමුත් දැන් ඒ මොකුත් නැහැ.
මේ තත්ත්වය කාන්තාවන්ටද ප්‍රබලව බලපා ඇති දෙයක්. ඒ නිසාම කාන්තාව දේශපාලනයට ඒම පිළිබඳ තිබෙන ගැටලුවම මම දකින්නේ වෙනස් විදිහකට. 
අපි කුඩා කාලයේ දේශපාලනයේ නියුතු වී සිටි කාන්තා දේශපාලනඥවරියන් ගැන සිහිපත් කළොත්, ෆෙලෝරන්ස් සේනානායක මහත්මිය තමයි මම අසා තිබෙන ලෙසට ලංකාවේ පළමුවැනි මන්ත්‍රීවරිය. ඊට අමතරව විජේ ගුණවර්ධන මහත්මිය, කුසුමා ගුණවර්ධන මහත්මිය වැනි නායිකාවන් දුක්විඳින කම්කරු පන්තියේ අය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ  හා යමක් කරන්න උත්සාහ කරපු අය කියා මා අසා තිබෙනවා. නමුත් ඒ අයට කෙතරම් ප්‍රමාණයකට ඒ දේවල් කරන්න පුළුවන් වුණාද කියන එක ගැන මම සිටින්නේ තවමත් ගැටලුකාරී තත්ත්වයක. 

තමරා කුමාරි ඉලංගරත්න මට තවත් මතක දේශපාලන නායිකාවක්. ඒවගේම අයේෂා රාවුෆ් මුස්ලිම් කාන්තාවක්. ඇය උපනගරාධිපති ලෙසින් කටයුතු කළ බව මට අසන්නට ලැබුණ දෙයක්. එතුමිය තමන්ගේ ජාතිය විසින්ම පණවා තිබූ වැට කඩුලු බිඳ දමා ගොසින් නාගරික පරිසරයේ දුක්විඳින මිනිසුන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කර තිබෙනවා. ඒවගේම මීනා රත්නම් මහත්මිය ගැනද අනිවාර්යයෙන් මතක් කළ යුතුයි. ඇයත් දමිළ නායිකාවක් වුවත් නාගරික දුප්පත් අය වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් සිදු කළ තැනැත්තියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. 

ඒ කාලයේ දේශපාලන පක්ෂවලින් පැමිණි දේශපාලඥයන් යමක්කමක් තිබුණු පවුල්වලින් පැමිණි අය. ඒ ඇවිත් තමන්ගේ මිල මුදල්, තමන් හම්බ කරගත් දේවල් වියදම් කරලා ස්වකීය දේශපාලන භූමිකාව ගොඩනගා ගත් අය. මම මේ සඳහන් කළ නම් දෙස නැවත වාරයක් බැලීමේදී මතක් වෙන එක් කාරණයක් තමයි, මේ පුද්ගලයන් තමන්ගේ උරුමයෙන් ලැබුණු ධනය, දේපොළ මේ රටේ මහජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන්, දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් වැය කරපු පුද්ගලයන් වන බව. 
මට ප්‍රබලව දැනුණු දේශපාලන නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියයි. එතුමියගේ භූමිකාව මගේ මතකයේ සදා අමරණීයයි. මම ජීවත් වුණේ මොනරාගල. ඉතින් අපි ගමේ ඉඳන් රස්සාවට යන්න නම් කූපන් පොත අනිවාර්යයෙන් තියෙන්න ඕන. මගේ අක්කලාගේ ගෙදර තිබුණේ මොරටුවේ. ඉතින් අක්කටයි අයියටයි දෙන්නට විතරයි කූපන් පොත් දෙක තිබුණේ. පොතට දවසට පාන් කාලයි දෙන්නේ. ඒ කාලේ මම උසස් පෙළ ශිෂ්‍යාවක්. ඉතින් අපි හතර දෙනෙක් කන්නේ අක්කගෙයි අයියගෙයි පොතට හම්බවෙන පාන් භාගය. නමුත් දැන් තිබෙන තත්ත්වය ගොඩාක් වෙනස්.

මට මතක කාලයේ දේශපාලනයට පිවිසුණු කාන්තාවන් රාශියක් දේශපාලනයට පිවිසුණේ තමන්ගේ සැමියාගේ අභාවයත් සමග. අපේ රටේ ජනගහනය අතරින් කාන්තාවන් වැඩි පිරිසක් සිටිනවා. ඔවුන්ගේ තිබෙන භාවාතිශය ගුණය අපේ රටේ දේශපාලඥයන් නරක විදිහට පාවිච්චි කරනවා. මට වේලාවකට හිතෙනවා අපේ රටේ දේශපාලඥයන් ඇඳුමක් ඇඳගෙන ඇවිදින් කොහොමද මෙච්චර බොරු කියන්නේ කියලා. නමුත් ඔවුන් දන්නවා අපේ භාවයන් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒක නිසාම තමයි අපේ රට මේ වගේ ව්‍යසනයකට පත්වෙලා තිබෙන්නේ. 

ඇතැම් අවස්ථාවන්හි සැමියාගේ වියෝවෙන් පසුව දේශපාලනයට ප්‍රවිෂ්ට වන කාන්තාවන් වැඩි ප්‍රතිශතයක් තම ස්වාමියාගේ දේශපාලන රැස්වීම්වලදී සංවිධාන කටයුතු කරන කාන්තාවන්. ඔවුන් තමයි පසුකාලීනව මෙලෙස දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නේ. 
තමන්ගේ සැමියා මියගිය පසු දේශපාලනයට ප්‍රවිෂ්ට වූ මගේ යෙහෙළියකගේ ගතිගුණ මම දන්නා පරිදි නම් ඉතාම කුලෑටි, ඉදිරිපත් වෙන්නේ නැති, හරිම පසුගාමී ලැජ්ජාශීලී ගතිගුණ තිබුණ කෙනෙක්. ඇගේ සැමියා මියගිය පසු එකපාරටම ඇයව දේශපාලනයට දමනවා. නමුත් ඒ වෙනකොට ඇය හරියට කතා කරන්නවත් හැකියාවක් තිබුණ කෙනෙක් නොවේ. මෙවැනි කාන්තාවන් තමයි දේශපාලනයට බොහෝ වෙලාවට ප්‍රවිෂ්ට වුණේ. ඔවුන් දේශපාලනය පිළිබඳ කිසිම අත්දැකීමක් නැති, රටක ආර්ථිකයක් පිළිබඳ අවබෝධයක් නැති, සංවර්ධනය සිදුවන ආකාරය පිළිබඳ නොදන්නා අය.  

ඔවුන් දේශපාලන තන්ත්‍රයට පැමිණි විට තීරණයක් ගැනීමේදී එයට ඔව් කියලා කියන්නත් බෑ, නැහැ කියලා කියන්නත් බැහැ. මොකද ඔවුන් ඒ ගැන නිවැරදිව නොදන්නා නිසා. මේ තුළ එනිසා විශාල වැරදි රාශියක් සිදුවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. අපි දේශපාලන සත්ත්වයන් හැටියට අපි කරන හැම දෙයක් පිළිබඳවම දැනුවත්ව යම් කිසි අධ්‍යාපනයක් තිබීම අවශ්‍යයි. 

මට සිනමාවට එනවිට තිබුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විතරයි. නමුත් මම ඉෙගනීම තවම නවත්තලා නැහැ. මම තවම ඉගන ගන්නවා. අපි කරන විෂයයට අවශ්‍ය දේවල් ඉගෙන ගත්තේ නැත්නම් අපිට ඇත්තටම දෙයක් හරියට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ආත්ම විශ්වාසයක් ඇතිව අපිට ඉස්සරහා හිටගන්න පුළුවන්ද? අනෙක් කාරණය රටක් මෙහෙයවනවා කියන එක විහිළුවක්ද? යන්න ගැටලුවක්. අද අපේ රට විහිළුවක් බවට පත්වෙලා. මිනිස්සු අප්‍රමාණ දුකකට පත්වෙලා තිබෙනවා මේ රටේ ක්‍රියාත්මක වන දේශපාලනය ගැන, ආර්ථිකය ගැන. රටක් හැසිරවීම ගැන කිසිම අවබෝධයක් නැති අය දේශපාලනයට පිවිසීම නිසා ඉන් ගැටලුකාරී තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා. ඉතින් දැන් ඒ දේම කාන්තාවන්ටත් සිදුවීගෙන යනවා. 

නැවත ආපස්සට ගිහින් බැලුවොත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වලව්ගැති, නිවසක් තුළම හැදී වැඩුණු, සාම්ප්‍රදායික පවුලක කෙනෙක්. එතුමිය එළියට බැහැලා දුවලා පැනලා වැඩකරපු කෙනෙක් නෙමෙයි. එතුමිය කළ ඇතැම් ක්‍රියා පිළිබඳ මගේ ප්‍රසාදයක් තිබෙනවා. නමුත් ඒ සංවෘත ආර්ථිකයක් තුළ එතුමිය යන්න හදපු නිසා අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා හා අසාර්ථක වුණා යන්න බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. නමුත් මේ නිසා අපේ රටේ මිනිස්සු වගා කරන්නට වැඩි වශයෙන් පෙළඹුණා. මොනරාගල වෙසෙන අපේ ගම්මුන්ට මේක මහා විශාල වාසියක් වුණා. දේශීය දේවල් ගොඩ නංවන්න දියුණු කරන්න එතුමියට යම් දැක්මක් තිබුණා.  නමුත් ඒ ක්‍රමය එක් පැත්තකට පමණක් ගමන් කළ නිසාදෝ එතුමිය දේශපාලන ක්‍රමයෙන් හා ආර්ථික වශයෙන් දැඩි අසාර්ථකත්වයක් ලබන්නට හේතු වන්නට ඇති. 

කාන්තාවක් සතු භාව පූර්ණභාවය ක්‍රෝධය, වෛරයත් එක්ක මුසු වී දේශපාලනයට යන්න හොඳ නැහැ. විශේෂයෙන්ම කාන්තාව දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේදී හොඳින් සිතන්න ඕන. කාන්තාව හැදිලා තිබෙන්නේ මාතෘත්වය සඳහා.   ලේ කිරට හැරෙන්නේ ගැහැනියකගේ. ඇයට වැඩිපුර හැඟීම් දැනෙනවා. ඒ භාව පූර්ණ බව මේ රටේ මිනිස්සුන්ගේ දුක නිවන්න භාවිත කළ හැකියි. අම්මා කෙනෙක් දරුවගේ බඩගින්න නිවන්නට නොකරන දෙයක් නැහැ. නමුත් දේශපාලනයෙන් බලය ලබාගන්නා බහුතරයක් කාන්තාවන් පුතාට ඉන්ධන පිරවුම්හලක්, තැබෑරුමක් දාලා දෙන එක තමයි සිදුකරලා තිබෙන්නේ. ඔවුන් මේ ලාංකේය සමාජයේ දරුවෙක්ටවත් කරපු දෙයක් නැහැ.  ඉතාම සුන්දර විදිහට ආපු තරුණ දේශපාලඥවරියන් ඊළඟට පිරිමින්ටත් වඩා පාතාල ලෝකයේ අය වගේ හැසිරෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට පහර දෙන්න, පැහැර ගැනීමට ඔවුන් ක්‍රියා කළා. අපි ඒකටද කාන්තා නියෝජිතත්වය ඉල්ලන්නේ. මවක් තමන්ගේ දරුවාව රැකබලා ගන්නා සේ අනෙක් අයව රැකබලා ගන්න කියලා කරණීය මෙත්ත සූත්‍රයේ පවා සඳහන්ව තිබෙනවා. අම්මා කෙනෙකුට තිබෙන කොන්දේසි විරහිත ආදරය අපි මිනිස්සුන්ටත් ලබාදෙන්න අවශ්‍යයි. එසේ නොමැතිව ස්වකීය පරම්පරාව ගොඩදාගන්න, ළමයට හොඳ ව්‍යාපාරයක් ආරම්භ කර දෙන්න තමයි අද බහුතරයක් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. අද ශක්තිමත්, බුද්ධිමත් කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයට පැමිණෙන්න කැමති නැහැ. මේ දේශපාලන සංස්කෘතිය තුළ ඔවුන්ට ස්වකීය දේශපාලනය අවංකවම කිරීමට නොහැකියි. ඒ  නිසා ඔවුන් දේශපාලනයට ප්‍රවේශ වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මට මගේ හෘද සාක්ෂිය වටින නිසා මම දැන් ඡන්දය භාවිත කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාන්තා භූමිකාව පිළිබඳ මීට වඩා හරි විද්වත් සාකච්ඡාවක් ඇතිකළ යුතුයි. දේශපාලනයේ නියුතු වීමට යම් ස්ත්‍රීයකට හා පුරුෂයෙකුට යම් කිසි මට්ටමක අධ්‍යාපන මට්ටමක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. 

මාර්ග්‍රට් ත්‍රැචර් වැනි කාන්තා නායිකාවකට එංගලන්තය වැනි රටක %යකඩ ගැහැනිය^ ලෙසින් නමක් පවා පටබැඳුණා. මම ඒ රටේ ඉගෙන ගන්නා කාලයේ ඇය කිසි කෙනෙකුටවත් බිය වූයේ නැහැ. කළ යුතු යැයි සිතෙන දේවල් නොබියව සිදුකළා. අදටත් එතුමියට එක්සත් රාජධානියේ මිනිස්සු ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇන්ජලා මර්කල් පිළිබඳ ජර්මන් වැසියන් පවසන්නේ තම රටේ ආර්ථිකය හොඳට හැදූ විශිෂ්ට නායිකාවක් ලෙසින්. මෙවැනි යහපත් තත්ත්වයක් ලංකාව තුළ ඇති නොවන්නේ ඇයිද යන්න පිළිබඳ ගැටලුව අපි සියලු දෙනාටම තිබෙනවා. දැන් රූපවාහිනිය තුළින්වත් එවැනි හොඳ දේශපාලන තත්ත්වයක් රට තුළ දැකබලා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් මම යම් තරමක් හෝ අගේ කරන දේශපාලඥයන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සිටිනවා. මම ඒ පක්ෂයේ නොවුණත් මම කැමතියි ඒ මිනිස්සු කියන දේවලට ඇහුම්කම් දෙන්න. ඔවුන් කියන බොහෝ දේවල් සාක්ෂි මත පදනම්ව කියනවා. ඒවා හරි පැහැදිලියි. දත්ත හා තොරතුරු සොයලා හරි ලස්සනට ඒ මතවාදය ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ පක්ෂවල මම දකින්නේ එකිනකාට කෑ ගසා බැණ ගැනීමක් පමණයි. අපි කාන්තාවක් දේශපාලනයට ලබා අපේක්ෂා කරන්නේත් ඒ කෑ ගසා ගැනීමද? එසේ නොමැතිව වෙනසක්ද? කියන ප්‍රශ්නය ඒ තුළින් මතුවෙනවා. 

අපි කාන්තාවන් දේශපාලනයට සහභාගි කරවන්නේ ආභරණ පලන්ඳවා ලස්සනට අන්දවලා තියාගන්න නෙමෙයි. ඒවගේම පාර්ලිමේන්තුව ලස්සන කරන්නත් නෙමෙයි. අපි එසේ ඉල්ලා සිටින්නේ මේ පවත්නා දේශපාලනයේ ගැටලුකාරී තත්ත්වයන් තිබෙන නිසා. මොවුන් අපි පත්කරගන්නේ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කතාකර සොයා බලන්න. දැන් සිට දේශපාලනඥයන් වගේ එකිනෙකාට කෑ කෝ ගසන, බැණ වදින පිරිසක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තෙන්ම අපි මීට වඩා සිතීමට පුරුදු විය යුතුයි. ඒ වගේම තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කිරීමේදී අපි මීට වඩා බුද්ධිමත් විය යුතුයි. උගත්, රට ගැන දන්න, මිනිසුන් ගැන සංවේදී ‍වන අය වෙනුවට අපේ රටේ දේශපාලන ව්‍යුහයේ සිටින්නේ අපරාධ පිළිබඳ වාර්තා තැබූ පුද්ගලයන්. මේ සිදුවන දෙය ඒ විදිහටම සිදුවෙන්න ඉඩ හැර අපි ඒ පැත්තටයි මේ පැත්තටයි කතිරය ගසා සිටියොත් අපේ දරුවන්ට හොඳ රටක් ඉතුරුවේ යැයි මම සිතන්නේ නැහැ. ඔවුන් භෞතික දේවල් පෙන්නමින් සිතීමේ ශක්තියක් නොමැති යන්ත්‍ර වගේ මිනිසුන් ටිකක් නිර්මාණය කරගෙන යනවා. අද  පරිගණක, ටැබ්, ලැප්ටොප්, වයිෆයි පෙන්නමින් ඡන්ද ගන්න තත්ත්වයකට අපේ රට පත්වෙලා තිබෙනවා. සැබැවින්ම මෙතනටද අපි ගමන් කළ යුත්තේ. අපිට කුමක් හෝ ආධාරයක් ලබාදුන් කෙනෙක්ට අපි කතිරය ගහන්න ගියොත් රටක් හැටියට අපිට කිසිම දෙයක් ඉතිරිවන්නේ නැහැ.

අපි අපේ නායකයන් හැටියට තෝරා ගතයුත්තේ අපේ රට දියුණු කරන්න පුළුවන් නායකයන් පිරිසක්. ඇත්තෙන්ම මේ දේ පිළිබඳ සමාජයේ සාධාරණ කතිකාවතක් ඇති කරන්න අවශ්‍යයි. එසේ සිදුකරන්න පැමිණෙන බොහෝ සංවිධාන පවා අවසානයේ අර කියපු දේශපාලඥයන්ටම සහාය දක්වනවා. එය මේ රටේ තිබෙන හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මෙවැනි පරිසරයක් තුළ දෙමවුපියන් වුවත් තමන්ගේ දරුවව හදන්න ඕන භෞතික දේවල්, යන්ත්‍ර සූත්‍ර පස්සේ නොදුවන, හිතන්න පුළුවන් ළමයෙක් ලෙසටයි. මට දේශපාලනය කරන්න පොඩි කාලේ ඉඳලම හිතකවත් තිබුණේ නැහැ. මගේ කැමැත්තකුත් නැහැ. නමුත් මට මිනිස්සුන්ව හුඟක් දැනුණා. ඒ මිනිස්සුන්ව දැනුන එක මගේ ගෙවල්දොරවල් පවා නැතිවෙන්න හේතුවක් වුණා කියලා මම හිතනවා. අපේ ගම්වල ඒ කාලයේ කිරිපිටි පැකට් එකක් ගන්න නැතිව අම්මලා හැඳි ගාණට කිරිපිටි මිලදී ගත්ත කාලයක් තිබුණා. මම දේශපාලන වේදිකාවල කතා කරනකොට ඇත්තටම මට මතක් වුණේ ඒ මිනිසුන්ව. තණමල්විල වේලුණු පරිසරයක සිටින කලිසම් කොට ඇඳගත් ළමයින් වතුර බූලියත් අතේ තියන් කට ඇරගෙන ඉන්නවා වතුර බවුසරය එනකම්. මට ඒවා තමයි මතක් වුණේ. ඒවා අපේ රටේ ඉන්න දේශපාලඥයන්ට මැවිලා පේනවා නම් ඒ මිනිස්සුන්ට දෙන්න තිබෙන නියං ආධාරය කවදාවත් කොල්ල කන්නේ නැහැ. නමුත් ඒ පරිකල්පන නහර හැම දේශපාලනඥයාගේම කපලා තිබෙන්නේ. මේ රටේ නැවතත් ඒ ගති ලක්ෂණයන් ඇතිකරන්න අවශ්‍යයි. දැන් කලාව වුණත් අපෙන් ගොඩාක් ඈත් වෙලා තිබෙන්නේ. විෂයවලින් ඒවා ඉවත් කරලා. මොකද පරිකල්පනයක් නොමැති මිනිස්සුන්ව පාලනය කරන්න ලේසි නිසා. ඒ නිසා හිතන්න පුළුවන්, පරිකල්පන ශක්තියක් තිබෙන කාන්තා දේශපාලනඥවරියන් ඉදිරියේදී බිහිවෙනවා නම් කාන්තා දේශපාලනයේ එය ඉතා හොඳ ප්‍රගතියක්.



Recommended Articles