මම හැමදාම අභියෝගවලට අභියෝග කළා


ඇය පරිපාලන වෘත්තියේ හිණිපෙත්තටම ගමන්කර ශ්‍රී ලංකා නාමය අන්තර් ජාතික තලයට රැගෙන ගිය ශ්‍රේෂ්ඨ කාන්තාවකි. එසේම ඇය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ (Academy for Administrative Professionals) නිර්මාතෘවරිය වනවා මෙන්ම උපදේශිකාවක සහ බාහිර කථිකාචාරිනියක ලෙසින් කටයුතු කරයි. ඇය නමින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙලයි. 


එමෙන්ම විධායක ලේකම්වරියක, දේශකවරියක, ව්‍යවසායිකාවක, ලේඛිකාවක යන භූමිකාවන් සහ බිරිඳක, දියණියක, සොහොයුරියක ආදී පෞද්ගලික භූමිකාවන් මනා සංයමයකින් තුලනාත්මක ලෙස පාලනය කරගන්නා ආදර්ශමත් කාන්තාවක් ලෙස ඇයව හඳුන්වා දිය හැකිය. ඇයගේ නම ජාත්‍යන්තරය හමුවේ ඉහළින්ම තැබීමට හේතු කාරණා කිහිපයක් සැකවින් මෙලෙස දැක්විය හැකිය. 

 ආසියා සහ පැසිපික් කලාපීය ලේකම් සහ පරිපාලන වෘත්තිකයන්ගේ සංගමයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම, ප්‍රථම හා ලාබාලම සභාපතිනිය හා වර්තමාන යාවජීව සාමාජිකත්වය ලබා සිටින තැනැත්තියක වීම.

 මහා බ්‍රිතාන්‍යයේ වෘත්තීය ලේකම්වරුන්ගේ ආයතනයේ නිර්දේශිත කථිකාචාරිණි හා සාමාජිකාවක වීම. 
 මහා බ්‍රිතාන්‍ය පරිපාලන වෘත්තිකයන්ගේ විද්‍යාතනයේ සාමාජිකත්වය දැරීම. 
 මහා බ්‍රිතාන්‍යය වාණිජවේදී වෘත්තීකයන්ගේ විද්‍යායතනයේ සාමාජිකත්වය දැරීම. 
 ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජාත්‍යන්තර පරිපාලන වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකත්වය දැරීම. 
 ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජාත්‍යන්තර පරිපාලක වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිත්වය දැරීම 
 ඇමෙරිකා එක්සත් ජනපදයේ - ලේකම් සහ පරිපාලන වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකත්වය දැරීම

 ඒ අතරින් කිහිපයකි.

තවද දේශීය වශයෙන් ඇය හොබවා ඇති තනතුරු හා සේවය ලබාදුන් හා ලබාදෙන්නා වූ ආයතන හා සංගම් ප්‍රමාණය අති විශාලය. ඇය ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය නිමකර ඇත. ඒ අතර ව්‍යාපාර කළමනාකරණය ජපානයේ JOHAC ආයතනයේ පාඨමාලා, ලේකම්කරණය හා කාර්යාල පරිපාලන, (මහා බ්‍රිතාන්‍ය) පෞර්ෂත්ව වර්ධනය හා මෘදු කුසලතා, සමාජ ආචාර රීති, Event Management ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රගුණ කිරීම පිළිබඳ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයීය අධ්‍යාපන සහතිකයන් ඇතුළු විවිධ නිපුණතා, කුසලතා හා අධ්‍යාපනික කටයුතු සාර්ථක ලෙස නිමවා ප්‍රසංසනීය පසුබිමක් ලබා සිටින්නීය. 
කෙතරම් ඉහළ තනතුරු දැරුවත් ඇය පොළව පය ගසා සිටින කාන්තාවක මෙන්ම ඉතාම නිහතමානී ගුණ ඇති මානව දයාවෙන් පිරිපුන් කාන්තාවක වශයෙන් හඳුන්වා දෙන්නට අප කැමැත්තෙමු. දශකයක් ආරම්භයේ මෙරට කාන්තාවන්ට ආදර්ශයක් මෙන්ම උත්ප්‍රේරකයක් සපයන්නට ඇයව අපි මෙලෙස එක්කර ගතිමු.

දේශීයත්වය අගය කරන දරුවන් පස්දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනි දරුවා ලෙසයි මම හැදී වැඩුනේ. මම හැමවෙලාවෙම ගැහැනු ළමයෙක්ව කොටුකර තිබූ රාමුවෙන් එළියට ගිහින් ඊටත් වඩා වැඩි යමක් කරන්න ගැහැනු අපිට ශක්තියක් පවතින බව ඔප්පු කරන්න උත්සහ දැරුවා. මේ නිසාම විවාහය ගැන පවා අමතක කර මම අධ්‍යාපනික හා වෘත්තීමය ක්‍ෂේත්‍රෙය් ඉහළටම ගමන් කළා. එලෙස ඉහළම තැනට ආව මම නුගවෙළ වලව්වේ ලේලියක ලෙස එකතුවන්නේ නලීන් නුගවෙළ සමග විවාහ වීමත් සමගයි.  මගේ සාර්ථකත්වය පසුපස මගේ පවුලේ අය සිටින්නේ යම්සේද මගේ සැමියා වර්තමානයේ මගේ ගමනට විශාල සහයෝගයක් ලබාදෙනවා. 

මම කෙතරම් ඉහළ වෘත්තියක රැඳී සිටියත්, කෙතරම් වගකීම් දැරුවත් මගේ දැනුම අන් අයට බෙදා දීම වෙනුවෙන් මට කරන්නට පුළුවන් සෑම දෙයක්ම මා විසින් සිදු කරනු ලබනවා. 
එංගලන්තයේ  සුප්‍රසිද්ධ සඟරාවක් වන %The Professional Administrator^ හි සම්මුඛ සාකච්ජාවකට එක්කරගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද මමයි.

මම හැමදාම අභියෝගයන්ට අභියෝග කළා. ඒ වගේම පරාජය හමුවේ නොසැලී සිටියා. අවවාදයට වඩා ආදර්ශමත්ව කටයුතු කිරීම තුළ මට බොහෝ වෙනස්කම් වෘත්තීමය හා පෞද්ගලික ජීවිතය තුළ සිදුකරන්නට හැකියාව ලැබුණා. මා යටතේ සේවය කරන සේවකයන්ගේ බිඳුණු සිත් යළි නගා සිටුවමින් නිවැරදි මග පෙන්වීම ඔවුන්ට ලබා දෙන්නේ යම්සේද සුදුස්සාට නිසි තැන හා නිසි අගය ලබාදීමට සැම වෙලාවෙම මැදිහත්වීම සිදුකරනු ලබනවා.

&කාන්තාවක් යනු ඉවසීමේ ප්‍රතිමූර්තියක්* යන මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශය මම තරයේ විශ්වාස කරනු ලබනවා. ඒ වගේම තවකෙනෙකුගෙන් ගෞරව ලබන්න නම් අපි අන් අයට ගෞරව කළ යුතුයි කියන දේ මම විශ්වාස කරන දෙයක්. කාන්තාවක් සතු ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය ඕනෑම අවස්ථාවකට සුභවාදී ලෙස මුහුණදීමට ජීවිතයේ ලබන භාග්‍යයක් ලෙසයි මම දකින්නේ.

අවංකව ජීවත්වන, සාරධර්මවලින් පොහොසත්, ආගමානුකූලව ජීවත්වන, වරදට බිය, ප්‍රතිපත්තිමය ජීවිතයක් සැහැල්ලුවෙන් ගෙවන කාන්තාව ගෙදරට මිණිපහනක් මෙන්ම රටට ජාතියට සම්පතක් බවට පත්වෙනවා. ඕනෑම කෙනෙකු වෘත්තිකයෙකු හෝ ආයතනයක ඉහළ තනතුරු දරණ පුද්ගලයෙකු වූ විට අසත්‍යයෙන් බැහැර විය යුතුයි. විශේෂයෙන් අසත්‍ය කරුණු මත පදනම්ව කටයුතු කිරීම ජීවිතයෙන් ඈත් කරගත යුතු වෙනවා. එසේම තවත් කෙනෙකුගේ දියුණුව හා සමකාලීනයින්ගේ ජයග්‍රහණ හමුවේ ඇතිවන වෘත්තීමය ඊර්ෂ්‍යාව වෘත්තිකයින් මෙන්ම කුමන හෝ ව්‍යාපාරයක හෝ රැකියාවක නිරත වන පුද්ගයින් තුළින් ඉවත් කරගත යුතු දුර්වලතාවයක් ලෙසයි මම දකින්නේ.

කාන්තාවන් ලෙස අපි හැම වෙලාවෙම අපෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙන අයට සහයෝගය දැක්විය යුතුයි. ඒ වගේම හැම වෙලාවෙම තමන්ගේ දැනුම අලුත් කරගන්න , ජීවිතයට අලුත් දේ එකතු කරගන්න පොතපත කියවන්නට කාන්තාවන් හුරු වීම ඉතාම වටිනවා. 

අපි හැමෝම මනුෂ්‍යයන් ලෙස ඉපදිලා ඉන්න නිසා මානව හිතවාදීව කාලය ගත කිරීමෙන් කොයි කාටත් සැනසිලිදායක වටපිටාවක යහපත් මානසිකත්වයෙන් ජීවත් වෙන්නට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.

ජායාරූප - සරසි නෙත්මිණි සටහන - නදීශානි පතිරණ



Recommended Articles