මට බැහැ කියන දෙය කවදාවත් මගේ ශබිදකෝෂයට එකතු කරගන්න කැමති නැහැ


ජානමය රෝගයක් හේතුවෙන් ඇයට උපතින්ම ඇගේ අත් යුගල අහිමි විය. නමුත් කුඩා කල පටන්ම ඇගේ දෙමවුපියන් මෙන්ම ඈ තුළ උපන් චිත්ත ශක්තිය නිසා තමාගේ දෛනික වැඩකටයුතුවලට කිසිවිටෙකත් එය බාධාවක් නොවීය. 1983 වර්ෂයේ පෙබරවාරි 02 වැනි දින ඇමෙරිකාවේ ඇරිසෝනාහි උපත ලද ඇය නමින් ජෙසිකා ‍ෙකාක්ස්ය (Jessica Cox ). ඇය මේ වන විට වයස අවුරුදු 35ක් ඉක්ම වූ තැනැත්තියකි.


fjjjjjjjjjjjjjjjjj
නමුත්, ඒ වයස වන විට ඇය ආ ගමනේ බොහෝ දේ සාර්ථකව ප්‍රගුණ කරමින් ඒවා පසුකර ඒමට ඇයට හැකි විය. ඇය ඇමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ සිය උපාධිය අවසන් කළේ 2005 වර්ෂයේදීය. ඇගේ දෙඅත් නොමැති නිසා ඈ කිසිවිටෙකත් පසුබට නොවීය. ඇත්තෙන්ම තමන් සතු දේ තුළින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඇය සැමවිටම කල්පනා කළාය. 

ඇයට කුඩා කල සිට දෙඅත් නොමැති නිසා ඇය, සෑම කාර්යයක් සිදුකිරීමටම භාවිත කළේ පාද යුගලයයි. ආහාර අනුභව කිරීමට, ඇඳුම් ඇඳීමට, ක්‍රීඩා කිරීමට, අකුරු ලිවීමට, පරිගණකය මනා ලෙස හැසිරවීමට මෙන්ම සෙල්ලම් කිරීමට පවා ඇය තම පාද භාවිතයට ගත්තේය. ඒ නිසා අත්වලින් සිදුකිරීමට හැකි මනා නම්‍යශීලීත්වයක් ඇයගේ පාදවලට තිබුණි. එය කොතරම්ද කියතොත් ඇගේ ඇස්වලට දමන කාචය පවා ඇස් මත තබා ගන්නේත්, එය ඉවත් කරන්නේත් වෙන කිසිවකුගේ ආධාරයක් උපකාරයක් නොමැතිව තම පාදයෙනි. එමෙන්ම තම පාදයේ ඇඟිලි තුඩු මගින් මිනිත්තුවකට පරිගණකයේ වචන 35ක් ටයිප් කිරීමේ දක්ෂතාවයක් ඇයට තිබේ. 

සුපිරි වීරවරියක් සේ අහසේ පියාසර කිරීම ජෙසිකා කුඩා කල සිට දැක තිබෙන එක් සොඳුරු සිහිනයකි. එය කෙසේ හෝ ඉටුකර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව ඇය සිය උපාධිය නිමා කළ වහාම ගුවන් යානා බලපත්‍රය සඳහා අයදුම් කළාය. දෙඅත් අහිමි තැනැත්තියක් කෙසේ ගුවන් යානයක් ගුවනේ හසුරවන්නද? එය ජෙසිකා වෙසෙන සමාජයේ බොහෝ දෙනාට තිබුණු කුතුහලය මුසු ප්‍රශ්නයක් විය. නමුත් තමන් කුඩා කාලයේ සිට දැක තිබුණු සිහිනය සඵල කර ගැනීමට ඇයට වසර තුනක පුහුණුවීමක් ලැබීමට සිදුවිය. ඇය එකී පුහුණුව 2008 වර්ෂයේ අවසන් කරන්නේ දෙඅත් අහිමිව ගුවන්යානා බලපත්‍රයක් හිමි පළමු කාන්තාව ලෙසටය. 

1940 පමණ කාලයේ පාදයෙන් පාලනය කළ හැකි ගුවන් යානා තිබිණි. ඒ ආකෘතියට සමානව ඇය පදවන ගුවන් යානය සකස් කර තිබෙන අතර, එමගින් ඇගේ පාදයට පහසුවෙන් යානය පාලනය කළ හැකිය. කෙසේ නමුත් පුහුණුවෙන් පසුව ඇයට මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා ශිෂ්‍යත්වයක්ද හිමි විය. මේ වන විට ඇය ගුවන් යානා ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ගිනස් වාර්තාවක්ද තබා තිබේ. 

3aa77f9c-291c-40da-b6a2-053e1ddcd2cf

කුඩා කල පටන් ඇය තුළ තිබූ උනන්දුව නිසා ඇය එක් දෙයකට පමණක් සීමා නොවීය. ඇය ගුවන් නියමුවරියක් පමණක් නොව, ඇය ක්‍රීඩාව තුළින්ද විවිධ දක්ෂතා රැසක් පෙන්නුම් කළ තරුණියකි. ඇය අවුරුදු 10ක් පමණ කුඩා වයසේදී ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රගුණ කිරීම සඳහා සහභාගි වූ අතර, ඒ පුහුණුවෙන් අවුරුදු 04ක් ගතවන විට ඇයට ටයිකොන්ඩෝ කළුපටි හිමිකාරනියක් වීමට වරම් ලැබුණි. ඇය විශ්වවිද්‍යාලයට ගිය පසුව ටයිකොන්ඩෝ පුහුණුවීම් දිගටම සිදුකළ අතර, ඇමෙරිකානු ටයිකොන්ඩෝ සංගමයේ සමාජිකාවක් ලෙසද ඇය ලියාපදිංචි විය.  ඇය ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් දෙඅත් අහිමිව කළුපටි පැලඳූ ලොව ප්‍රථම කාන්තාව විය. එකී  සටන් කලාව ඇයට ක්‍රීඩාවක් ලෙස පමණක් නොව ජීවිතයට අවශ්‍ය වන්නා වූ විනය, හික්මවීම සඳහා මාර්ගෝපදේශනය සපයන්නක් විය. ඒ තුළින් ඉලක්කයක් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමටත්, එය ළඟා කරගත් විට තවත් නව ඉලක්කයක් කරා බාධක දුරලමින් ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳව සැලැස්මක් ඇයගේ සිතෙහි ඇති කරලීමටත් සමත් විය. 

එමෙන්ම බයිසිකල් පැදීමත් ඇය සිදුකරන්නේ සිත මෙන්ම ශරීරයද පිරිපුන්ව හා වඩා උද්යෝගිමත්ව තබා ගැනීමටය. ඇයට මේ සඳහා සුවිශේෂී පාපැදියක් තිබෙන අතර, එය රෝද තුනකින් සමන්විතය.  ඇය දිනපතා පාපැදියේ ගමන් කිරීම පුරුද්දක් කර ගෙන තිබේ. එමෙන්ම ඇය සමබරතාවය මැනවින් පවත්වාගන්නා කෙනෙකි. ඒ බව ඇය සිදුකරන සියලු ක්‍රීඩාවලින් පැහැදිලි වේ. සර්ෆින් ක්‍රීඩාවටද ඇය බොහෝ සේ ඇලුම් කරන අතර, ඇය බිඳෙන රළ පෙළ මත ලිස්සා යන්නේ මනා සමබරතාවක් පවත්වා ගනිමිනි.  එමෙන්ම පිහිනීම විනෝදයක් කරගත් ජෙසිකා කුඩා කාලයේ සිටම ඒ සඳහා දැක්වූයේ මහත් ලැදියාවකි. කුඩා කල පටන්ම අතපසු නොකර පිහිනීම් කටයුතු කළ ඇයට දැන් ඒ හා සම්බන්ධව ඇත්තේ මනා පලපුරුද්දකි. මේ සියලු වැඩ මනා කළමනාකරණයකින් යුතුව සිදුකරන ඇය කලාවට පවා දක්වන්නේ මහත් ලැදියාවකි. 

ඇය කුඩා කල සිටම නර්තනයට ඉතා දක්ෂ තැනැත්තියකි. තාලයට පාද තබා ඇය රිද්මය මුසු නර්තනයට නව ජවයක් එක් කරයි. වයස අවුරුදු 07දී පමණ පාසල් නර්තන තරගයකට ප්‍රථමයෙන් සහාභාගි වූ ඇය තරගය අවසානයේ තම නර්තන ගුරුවරියගේ දෙනෙතට පවා සතුටු කඳුළක් එක් කිරීමට සමත් විය. දහසකුත් ළමුන් අතරේ ඇයව අගේ කෙරුණේ අත් අහිමි වුවද ඇය තම ශරීරය රිද්මයට අනුව මනා ලෙස චලනය කරන බැවිනි. නර්තනයක තිබිය යුතු බොහෝ දේ ඇගේ නර්තනයේ අන්තර්ගත විය. එමෙන්ම ඇය පාදයේ ඇඟිලි තුඩු මතින් පියානෝව වාදනය කරන්නේ ඉතා අනර්ඝ ලෙසිනි. නර්තනය හා වාදනයට පමණක් නොව ඇය චිත්‍ර ඇඳීමටද ඉතා දක්ෂය. සිය මිතුරිය සමග එක්ව ඇය නොයෙක් තේමාවන් පාදයේ ඇඟිලි තුඩු මගින් මැනවින් වර්ණ සංකලනය කරමින් සිතුවම් කරයි. ඇය තම යහළුවන් හා එක්ව චිත්‍ර ප්‍රදර්ශනයක්ද පවත්වා තිබේ. එහිදී ඇගේ බොහෝ සිතුවම්වල තේමාවන් වූයේ, ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ එන දෘශ්‍යමය පෙළඹවීම් හා කාබනික හැඩයන්ය. එහිදී සැහැල්ලු බව ආරක්ෂා කර ගැනීමට ඇය මනා ලෙස වර්ණ හසුරවා තිබේ.  

jessicacox_plane

දෙඅත් අහිමිවීම ඇය සැලකුවේ තම ජීවිතයට අහිමි වූ ඉතා සුළු දෙයක් ලෙසිනි. ඒ පිළිබඳව ඇය කිසිවිටකත් පසුතැවිලි නොවීය. කුඩා කාලයේ කෘතිම අතක් දමා සිටියද තම ජීවිතයට කෘත්‍රීම දේ බද්ධ කිරීමෙන් පලක් නොවන  බව ඇයට ඒත්තු ගිය බැවින් එය ඉවත් කෙරිණි. 
එමෙන්ම ඇයට අන්තර්ජාලය හරහා එවැනි දෙඅත් අහිමිව සිටින මිතුරියන් රැසක් සමග සම්බන්ධ වීමට ඇයට හැකිවිය. ඔවුන් සමග අදහස් බෙදාගත් ඇය නිරන්තරයෙන් ඔවුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමට නිරන්තරයෙන් අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදුනි. අද වන විට ඇය ලෝකයම හදුනන සුප්‍රසිද්ධ දේශකයෙකි. ඇය විවිධ විෂය පථයන් ඔස්සේ ජීවිතය, ධනාත්මක චින්තනය, හිමි/අහිමි බව, ශක්තිය, හැකියාව පිළිබඳ නොයෙක් තැන්වල දේශන පවත්වයි. ලොව පුරා වෙසෙන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඇය මහත් අනුකම්පාවකින් යුතුව කටයුතු කරයි. එවැනි පුද්ගලයන් හමුවී ඔවුන් සමග කතා කර ඔවුන්ගේ චිත්ත ශක්තිය අවදිකරලීම ඇයගේ පරම අධිෂ්ඨානයයි. විටෙක ඇය විශාල වේදිකාවක් මත දහස් සංඛ්‍යාත ජනයාට සිදුකරන දේශන පමණක් නොව සෝමාලියාව, නේපාලය වැනි රටවලද සංචාරය කරන ඇය ඒ ඒ රටවල්වල අසරණ අබාධිත දරුවන් වෙනුවෙන්ද ස්වකීය කාලය වැය කරයි. ඔවුන් සමග තම අත්දැකීම් හා මුහුණදුන් අභියෝගයන් ඇය සුහදත්වයෙන් යුතුව බෙදා හදා ගනියි.  ඇය මේ වනවිට රටවල් 20කට අධික ප්‍රමාණයකට තමන්ගේ අදහස් පතුරවා තිබේ. 
පසුකාලීනව එනම් 2015දී ඇය තමාගේ මේතාක් දුරක් පැමිණි ගමන පිළිබඳව ඇගේ අත්දැකීම් හා ඇය ජීවිතයේ මුහුණදුන් නොයෙකුත් බාධක ඇසුරෙන් තමන්ගේම චරිතාප්‍රදානයක් රචනා කළේය. එය නමින් disarm your limits ය. එය දෙඅත්වලින් තොර වූ ඔබේ සීමා  යනුවෙන් නම් කළ හැකිය. ඒ තුළින් සීමා වීමට තිබුණු ඇගේ ජීවිතය හරවත් හා පලදායී ලෙස ගත කළේ කෙසේද යන්න පිළිබඳ එම චරිතාප්‍රදානයේ සඳහන් වේ. එමෙන්ම ඇයගේ කතාව ඇසුරෙන්  right footed නම් වාර්තා චිත්‍රපටියද නිර්මාණය වී තිබෙන අතර, ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ගැන සඳහන්වන එම චිත්‍රපටය එමී සම්මානලාභී නික් ස්පාක් විසින් අධ්‍යක්ෂණය කර තිබේ. 

ඇය දෙඅත් අහිමි  වූවත් මේ වන විට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගෙන අවසානය. නමුත් ඇය තවත් උත්සහවන්තය, එමෙන්ම ජවසම්පන්නය. කිසිම දෙයකින් නොසැලී මැනවින් කාලය කළමනාකරණය කර මේ සියලු කාර්යයන් සිදුකරනුයේ සිතෙහි එවැනි කාර්යයන් සිදුකිරීමට උපන් තෘප්තියෙනි. තමාට දෛනිකව සිදුකිරීමට නියමිත වැඩ බොහෝමක් අතපසු කරමින් කාලය ප්‍රමාණවත් නොවේ යැයි පවසන සියල්ලන්ටම ඇය කදිම උපහැරණයකි. එමෙන්ම ඇය සමාජයේ දිරිය කාන්තාවකි. 



Recommended Articles