මගේ නිර්මාණ ජීවය ලබන්නේ වර්ණ සමගයි


විලාසිතා නිර්මාණකරණය යනු සුවිශේෂී කලාවකි. ඒ කලාවට චිත්‍ර කලාවත් එක් වූ විට බිහි වන්නේ අපූරු කලාවකි. මේ කලාවන් දෙකම උපයෝගී කරගනිමින් විලාසිතාව නිර්මාණකරණය ඔස්සේ වෙනම අනන්‍යතාවක් ගොඩනගා ගත් තරුණියක් අපට පසුගියදා හමුවිය. ඇය නමින් රොසරි තිසේරාය. මේ ඇගේ කතාවයි.


ඔබ විලාසිතා නිර්මාණකරණයට පිවිසුණු ආකාරය ගැන කතා කළොත්?

මම පොඩි කාලේ පටන් චිත්‍ර කලාවට කැමැත්තක් දැක්වූවා.  ඒ නිසාම මම උසස් පෙළටත් චිත්‍ර කලාව හැදෑරුවා. මට ආසාව තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ගෘහ නිර්මාණකරණ ක්‍ෂේත්‍රයට යොමු වන්න. නමුත් කෙසේ හෝ මාව තේරී පත් වූයේ විලාසිතා නිර්මාණකරණ අංශයට. නමුත්  ඊට පෙර මට විලාසිතා නිර්මාණකරණය සම්බන්ධ දැනුමක් තිබුණේ නැහැ. නමුත් ඒ හැමදේම විශ්වවිද්‍යාලය හරහා මට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. අද වෙද්දී මම පෞද්ගලික ආයතනයක විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කරනවා වගේම ඒ ඉගෙනගත් දේවල්වලින් ප්‍රයෝජනයක් අරන් මගේම ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඇඳුම් විලාසිතා නිර්මාණය කියන්නේ අංශ ගණනාවක් පුරා විහිදුණු අංශයක්. එහිදී ඔබ තෝරා ගත්තේ කුමන අංශයද?

මම කුඩා කාලයේ පටන් චිත්‍ර කලාවට කැමැත්තක් දැක්වූ නිසා මම හැම විටම උත්සාහ කළේ මගේ විලාසිතා නිර්මාණයන්ට වර්ණ උපයෝගී කරගන්න. ඇත්තම කිවහොත් මගේ නිර්මාණ ජීවය ලබන්නේ වර්ණ සමගයි. ඒ නිසා මම %ටයිඩයි^ කියන ක්‍රමය උපයෝගී කරගෙන මාගේ විලාසිතා නිර්මාණ සිදු කරන්න උත්සහ කළා. ඒ සම්බන්ධ වෙළෙඳ පොළ සම්බන්ධව වෙනම පරීක්ෂණයක් සිදුකරලා තමයි මගේ මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ.

ටයිඩයි කියන්නෙත් බතික් කලාවෙම අනුශාංගික කලාවක්ද?

ටයිඩයිවල සහ  බතික් කලාවේ යම් වෙනසක් තිබෙනවා. බතික්වලදී සිදු වන්නේ ඉටි දමා ඩයි කිරීමක්. නමුත් ටයිඩයිවලදී සිදුවන්නේ රෙද්ද ගැට ගහලා, ආවරණය කරලා වර්ණ ගැන්වීම තමයි %ටයිඩයි^ කියන්නේ. මම ප්‍රධාන ලෙස නිර්මාණ  සිදු කරන්නේ ඒ %ටයිඩයි^ කියන ක්‍රමය උපයෝගී කරගෙන.

මේ නිර්මාණකරණයන්ට ඔබගේ අනන්‍යතාව එකතු කළේ කොහොමද?

මම ටයිඩයිවලට අමතරව හෑන්ඩ් පේන්ටින් ඒ විලාසිතාවට එකතු කරනවා. ඒක විශේෂත්වයක්. ඇත්තටම මම දැකලා නැහැ. %ටයිඩයි^ සහ %හෑන්ඩ් පේන්ටින්^ කියන කාරණා දෙකම නිර්මාණයක් ලෙස යොදා ගන්නවා. ඒ නිසා මම හිතනවා එය මගේ අනන්‍යතාවක්  කියා.

ජේත්තු කියන නම ඔබේ ව්‍යාපාරයට යොදා ගන්න හිතුවේ ඇයි?

ඇත්තටම මට මගේ ව්‍යාපාරයට අවශ්‍ය වුණේ ලස්සන සිංහල නමක්. මම ටයිඩයි කරන නිසා මට අවශ්‍ය වුණේ ලංකාවේ සංස්කෘතියත් සමග එකට යන නමක් දමන්න. ඉන් පස්සේ මගේ මිතුරියක් සිටියා ලස්සනට කවි ලියන්න පුළුවන්. එයාගෙ අදහසුත් සමග නම් කිහිපයක් අතරින් මම ජේත්තු කියන නම තෝරා ගත්තා. ඒ  නම ඇත්තටම තෝර ගන්න හේතුවක් වුණේ %ජේත්තුකාර^ කියන වචනයේ ඇත්තටම තියෙන්නෙ විලාසිතා කියන අදහසක් වීම. ඒ නිසා මම ඒ නම යොදා ගත්තා.
මගේ ව්‍යාපාරයේ Tag line එක තමයි Let the uniqueness glow යන්න. ඇත්තටම මම ගොඩක් වෙලාවට ඉලක්ක කරන පාරිභෝගිකයෝ වන්නේ ගොඩක් චාම් දේවල් අගය කරන පිරිස.

online Marketing ඇත්තටම සාර්ථක ක්‍රමයක්ද?

ඇත්තටම online Marketing කියන දේ මට සාර්ථකයි. මොකද මම වෙනත් රැකියාවක් සිදු කරන ගමන් මේ ව්‍යාපාරයේ නියැළෙන නිසා. ඇත්තටම ඒ හරහා අපිට වෙනම පාරිභෝගිකයෝ එකතුවෙලා සිටිනවා. අපි හොඳ දෙයක් පාරිභෝගිකයන්ට ලබාදෙනවා නම් ඒ පාරිභෝගික පිරිස දිගටම රඳව ගන්න පුළුවන්. ඒ වගේම අපි හැම විටම පාරිභෝගිකයා අපෙන් ඉල්ලන දේ ඒ ලෙසම ලබාදෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි එක ඩිසයින් එකක් නැවත නැවත නිර්මාණය කරන්නේ නැහැ. ඒක මගේ ව්‍යාපාරයේ තිබෙන තවත් විශේෂත්වයක්.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සිදුකළ නිර්මාණ ගැන කතා කළොත්?

අපි අලුත් අවුරුද්ද සහ නත්තල ඉලක්ක කරලා විශේෂ විලාසිතා නිර්මාණයන් ඉදිරිපත් කරනවා. මේ වසරේත් නත්තල වෙනුවෙන් විශේෂ විලාසිතා එකතුවක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. ඒ එකතුවේ ගොඩක්ම තිබෙන්නේ සාරි. ඒ වගේම මනාලියන් වෙනුවෙන් මංගල සාරි එකතුවක් සිදු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ජනවාරි 12 වැනිදාට මගේ ව්‍යාපාරය අාරම්භ කරලා අවුරුද්දක් වෙනවා. ඒ දිනයේ මේ විශේෂ විලාසිතා නිර්මාණ මගේ පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

සටහන - සරසි නෙත්මිණි

 



Recommended Articles