බිම්මල් වගාවෙන් පවුලට සම්පතක් වූ කතක්


නිකරුෙණ් ගෙවන කාලය ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් බිම්මල් වගාකොට අලෙවි කර සිය පවුලේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන දිරිය කාන්තාවක් අපට මීගහකිවුල බලගොල්ල ප්‍ර‘දේශයේදී හමුවිය. ඇය මීගහකිවුල, බලගොල්ල, 18 කණුව 'නඳුන් සෙවණෙ'හි පදිංචි තරංගනී මධුවන්ති පෙරේරා මහත්මියයි.සිය සැමියා වන ප්‍රියන්ත චන්ද්‍රලාල් හපුආරච්චිගේ පූර්ණ ආශීර්වාදයත්, සහයෝගයත් මත මීට අවුරුදු තුන හතරකට පෙර ආරම්භ කළ බිම්මල් වගා ව්‍යාපෘතිය මේ වන විට සිය පවුලේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන බව ඇය අප හා පැවසුවාය.


1  

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇගේ කතාව මෙසේ පැවසුවාය. "මගේ ගම අස්ගිරිය. මම පාසල් ගියේ මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයටයි. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. විවාහයෙන් පස්සෙ තමයි මම මේ පළාතට ආවේ. මට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතයි, දුවයි. දෙන්නම පාසල් යනවා. මහත්තයා සුළු වෙළෙඳාමක නිරත වෙනවා. දරුවො දෙන්නයි මහත්තයයි නිවසින් ගියාම මට නිකම් ඉන්න බැරි නිසාත්, ගෙදර ඇතිවන විවිධ ආර්ථික ගැටලු නිසාත් මම අපේ පවුලේ ආර්ථීකය දියුණු කරන විදිහක් කල්පනා කළා. මේ පැතිවල හුඟ දෙනෙක් කළේ එකම රස්සාව. ඒ නිසා ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ අඩුයි . වෙළෙඳ පොළ සොයා ගැනීමේ ගැටලු පවා ඒ අයට විටින් විට මතු වුණා . ඒ නිසා තමා මම කලබල නොවී හොඳ වෙළෙඳ පොළක් තියෙන ව්‍යාපාරයක් ගැන හිතන්න පටන් ගත්තේ.
ඔය අතරේ දවසක් අපේ ගමට ආව කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිධාරීන් පිරිසක් බිම්මල් ව්‍යාපෘතියක් කරන ආකාරය පිළිබඳ වැඩසටහනක් කළා. කිසිම හුරුවක් නැති රස්සාවක් වුණත් මට මේ වැඩේ ගැන හරිම ආසාවක් ඇති වුණා. 

ඒ අනුව තමයි මම මේ රස්සාවට යොමු වුණේ. බිම්මල් වගා කිරීමට අවශ්‍ය කාමරය හදා ගැනීම තමා මට තිබුණු ලොකුම අභියෝගය වුණේ. හැබැයි මම කොහොම හරි මහන්සි වෙලා, මැටි අනලා , ගස් කපාගෙන අැවිත් ඒ සඳහා අවශ්‍ය කාමරය තනියෙන්ම හදා ගත්තා. 
ඔය අතරේ මගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයේ බිම්මල් වගා පුහුණුවක් ලබන්නත් මට අවස්ථාව සැලසුණා. නිසා මේ වගාව ගැන හුඟක් අත්දැකීම් ලබාගන්නත්, හිතේ තිබුණු බය නැති කර ගන්නත් මට පුළුවන් වුණා. 
පුහුණුව අවසන් වෙලා මම ගෙදර ඇවිත් මේ වැඩේ පටන් ගත්තා. ඒ සඳහා අවශ්‍ය ලී කුඩු, වී කුඩු වගේ දෙවල් මහත්තයා මට ගෙනත් දුන්නා. 

මුලින්ම මම වැඩේ සුළුවෙන් පටන් ගත්තා. ඉ‍ෙගන ගනිද්දී  දුන්න උපදෙස් අකුරටම ඉටු කළා. ඒ නිසා මුල් වතාවෙම වගාව සාර්ථක වුණා. මුලින්ම පැකට් 200ක් විතර හැදුවා. එයින් දවසකට කිලෝ තුන හතර ගාෙණ් මාස ගාණක් යනකම් අස්වනු නෙළුවා. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශවල කිසි කෙනෙක් හතු වවන්නේ නැහැ. ඒ නිසා තියෙන ඉල්ලුමට සරිලන සැපයුමක්වත් දෙන්න මට හැකියාවක් තිබුණේ නැහැ. නිවස ඉදිරිපිට අපේ කඩයක් තියෙනවා. එතැන තියල වගේම මගේ මහත්තය නගරයට අරන් ගිහිල්ලත් මේව විකුණනවා. හතු ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 60.00කට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝවකට රුපියල් 300.00ක්. දවසකට කිලෝ තුන හතරක් හොයා ගන්නව කියන්නේ මට හොඳ ආදායමක්. අනෙක මේකට මුලින් දින කිහිපයක් මහන්සි වුණාට පස්සේ කරන්න තියෙන්නේ නඩත්තුව විතරයි.

3

හැබැයි ඒ දේ හරියට කරන්න ඕනි. වෙලාවට වතුර ගහන එක, කාමරය ශුද්ධ කරන එක හරියට කරන්න ඕන. විෂබීජානුහරණය හරියට නොකළොත් මුළු වගාවම විනාශ වෙනවා. වියදමත් අපතේ යනවා. හැබැයි නිසි ප්‍රමිතියට කළොත් පැකට් එකකින් මාස 07 - 08ක් වුණත් අස්වැන්න ගන්න පුළුවන්. සමහරු මේ රස්සාව පටන් ගන්න ආසයි. ඒත් ඒ අය ක්‍රමය දන්නේ නැහැ. ඒ පිළිබඳ හුරුවක් නැහැ. ආසාවට ගෙදර හතු ටිකක් හදා ගන්න බැරිද කියල සමහරු අපෙන් අහනවා.  ඒ නිසා මම හතු විකුණනව වගේම හතු අස්වනු ගන්න පුළුවන් විදිහට සකස් කළ බීජ බෑග් සැකසීමේ ව්‍යාපෘතියකුත් ආරම්භ කළා. මේ බෑග් එකක් රුපියල් 40ක් වගේ සුළු මිලකට තමා මම අලෙවි කරන්නේ. ඒ ටික ගෙදර ගෙනිහින් අඳුරු තැනක තියලා වතුර ගහලා රැකබලා ගත්තොත් මාස ගාණක් හතු අස්වනු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැකට් 10- 15ක් තිබුණ නම් ගෙදරකට හොඳටම ඇති. 

මේ වැඩේ කරන්නත් එක්ක මම හදා ගත්ත පුංචි කාමරය ඉඩ මදි . ඒ නිසා මම දැන් පැකට් 1000ක් විතර හදන්න පුළුවන් විදිහට වත්තේ තව පුංචි කාමරයක් හදන්න බලාපොරොත්තු වෙනවා. පැකට් දාහක් මාසයක් තුළ විකුණ ගත්තොත් රුපියල් 40,000.00ක් හොයන්න පුළුවන්". ඇය මේ වන විට මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන නොවිධිමත් අධ්‍යාපන වැඩසටන්වල බිම්මල් වගා උපදේශිකාවක් ලෙසද කටයුතු කරන්නීය.යමෙකු මෙම කටයුත්ත ව්‍යාපාර මට්ටමින් හෝ ස්වයං රැකියාවක් ලෙස කිරීමට කැමති නම් ඔවුනට උදව් කිරීමට වුවද සූදානම් බව ඇය අප හා පැවසුවාය.  සිය බිම්මල් ව්‍යාපාරය කරගෙන යෑමේදී සැමියා වන ප්‍රියන්ත චන්ද්‍රලාල් මහතාගෙන් හා දරු දෙදෙනාගෙන් ලැබෙන සහයෝගය මෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් නිරතුරුවම ලැබෙන සහාය පිළිබඳවද ඇය මෙහිදී සිහිපත් කළාය.

2

මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක 



Recommended Articles