ජීවත් වෙන්න හීන අවශ්‍යයි. මොකද ඒ හීන සහ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. අන්න ඒ විදියට තමන්ගේ තිබුණු හීනයක් සැබෑ කරගෙන අද වෙද්දි සාර්ථක ව්‍යාපාරිකාවක් වුණ හර්ෂි හපුආරච්චි ගැනයි මේ කියන්න සූදානම. ඇය මේ වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියක්. මේ ඇගේ කතාවයි.
'මම මුලින්ම සැලුන් එක පටන් ගත්තෙ 2003 අවුරුද්දේ රුපියල් 4000ක් වගේ පොඩි මුදලකින්. දෙමටගොඩ තමයි පටන් ගත්තෙ. ඒ ගත්ත තැන තිබුණෙ හරිම පොඩි ඉඩ ප්‍රමාණයක්. ඇත්තම කිව්වොත් දෙතුන් දෙනෙක්ට හැරෙන්නවත් ඉඩ මදි. ඇත්තටම ඒ කාලෙ බිස්නස් එක පටන් ගනිද්දි මට හිටියෙ කස්ටමර්ස්ලා 4ක් වගේ.
ඊට පස්සෙ ඒක දියුණු කරගෙන කොලොන්නාවෙනුත් ඒ වගේම පොඩි කඩකාමරයක් අපි කුලියට ගත්තා. ඒ බිල්ඩිමේ වර්ග අඩි 400ක විතර තැනක් අපි ගත්තෙ. එතැනින් අපි ටිකක් දියුණු වුණා. ඊට පස්සෙ අපි ලෝන් එකක් දැම්මා. ඒකෙන් අපි පරණ ගෙයක් අරගෙන ඒක සැලුන් එකක් විදියට හැදුවා. සැලෝන් හර්ෂණී නමින් මගේ ව්‍යාපාරය ආරම්භ කළා. දැන් මගේ ළඟ වැඩ කරන්න ගැහැනු ළමයි 7ක් විතර ඉන්නවා.
ඇත්තටම මට පොඩි කාලෙ ඉඳන් තිබුණ ආසාවක් තමයි සැලුන් එකක් කරන එක. මම ඒලෙවල් කරලා ප්‍රතිඵල එනකන් සැලෝන්වල වැඩ කළා. සුවිනීතා කොතලාවල සහ නයනා කරුණාරත්නගේ සැලුන්වල අවුරුදු ගණනාවක් වැඩ කළා. ඊට පස්සෙ මම විවාහ වුණාට පස්සෙ තමයි අපේම කියලා සැලුන් එකක් පටන් ගත්තෙ. මේ තැනට අද එන්න මට මගේ හෙවණැල්ල වගේ ළඟින් ඉඳගෙන උදව් කළේ මගේ සැමියා.
ඇත්තටම බිස්නස් එක පටන් ගනිද්දි අපිට සල්ලි තිබුණෙ නැහැ. අපි අඳුනන කෙනෙක්ගෙන් අඩු පොලියකට සල්ලි ගත්තා. මුලින්ම ලක්ෂයක වගේ මුදලක් ගත්තා. මොකද ව්‍යාපාරයක් මුලින්ම පටන් ගනිද්දි බැංකුවකින්වත් අපිට ලෝන් එකක් දෙන්නෙ නැහැ.
ඇත්තටම සමහර අය හිතනවා බිස්නස් එකක් ලොකුවට පටන් ගත්තම ඒක කරගෙන යන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. පොඩියට වුණත් පටන් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා පොඩියට පටන් අරන් බලන්න ඕන සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා. නැත්නම් එකපාර විශාල මුදලක් යට කළොත් සමහර විට අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලයම නොලැබෙන්න පුළුවන්. මම හිතන්නේ බිස්නස් එකක් දියුණු කරගන්න ඇත්තටම පිළිවෙළ කියන දේ අනිවාර්යයි. මේ බිස්නස් එක කරන්න හැකියාව වගේම ඒ දේ ඇගේ තියෙන්නත් ඕන. අෙනක කැපවීම තියෙන්න ඕන. වගකීමක් ගන්න ඕන. පළවෙනි තැන අපේ පාරිභෝගිකයාට ලබාදෙන්න ඕන. මම අද වෙනකන් සැලුන් එක ගැන කිසිම ප්‍රසිද්ධියක් දෙන්න වැඩකටයුතු කරලා නැහැ. ඒ නැතුවත් මේ තරම් පිරිසක් මාත් එක්ක ඉන්නෙ කටින් කට ගිහින්. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වෙන්නේ පලපුරුද්ද හා අත්දැකීම් මත. ඒ වගේම අපි අපේ පාරිභෝගිකයා ගැන දැනගන්න ඕන. අපිට එයාගේ හිත කියවන්න පුළුවන් වෙන්න ඕන සහ එයාගේ කැමැත්ත ගැන අදහසක් තියෙන්න ඕන. ඒ දේවල් එක්ක තමයි අපිට මේ බිස්නස් එක කරන්න පුළුවන්.
ඇත්තටම මම මගේ සැලුන් එකේ භාවිත කරන්නෙ ලංකාවේ තියෙන ප්‍රමිතියෙන් ඉහළ රූපලාවණ්‍ය ද්‍රව්‍ය. අනිත් කාරණය තමයි ඒ දේවල් හැම තැනම මිලදී ගන්න නැහැ. ඇත්තටම මේ දේවල් අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ ඔවුන්ගේ සමේ ස්වභාවය අනුව. හැමවිටම මගේ පාරිභෝගිකයන්ට හොඳම දේ දෙන්න මම උත්සාහ කරනවා.
මගේ සැමියත් මේ වන විට මගේ සැලුන් එක අසලම ව්‍යාපාරයක් පටන් ගත්තා. එයා කරන්නේ ලොන්ඩ්‍රියක්. පිටරට විදියට මැෂින් එකෙන්මයි සිදුකරන්නේ. අපි ඒ බිස්නස් එකත් පටන් ගත්තෙ ඉතාම අඩු මිලට ගත්ත වොෂින් මැෂින් දෙකකින්. මේ වන විට අපි ළඟ ලොකු මැෂින්වලින් සේවකයො 7ක් සේවය කරනවා. අපි ඉදිරියේදී තව ශාඛාවක් විවෘත කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
මමයි මගේ සැමියයි ආදරය කරලා විවාහ වුණේ. මගේ අම්මා අපේ විවාහයට කැමති වුණේ නැහැ. නමුත් අපි ලස්සනට විවාහ උත්සවයක් ගත්තා. අපි දෙන්නට සැමියගෙ නිවසේ පොඩි පර්චස් හතරක වගේ කොටසක් ලැබුණා. අපි දෙන්නා ඒ කොටසට ප්ලෑන් එකක් ඇදලා පොඩියට ගේ හදා ගත්තා.
අපි විවාහ වෙද්දි මගේ සැමියට තිබුණේ පාපැදියක්. ඊට පස්සෙ මාස කීපයකින් අපි ඉතිරි කරලා මෝටර් බයිසිකලයක් ගත්තා. ඒ බයික් එකේ තමයි අපි වැඩට ගියේ ආවේ. ඊට පස්සෙ අපි ත්‍රීවිල් එකක් ගත්තා. ඊටත් අවුරුද්දකට විතර පස්සෙ වෑන් එකක් ගත්තා. අද වෙද්දි මට BMW එකක් තියෙනවා.
මේ සියලු සැප පහසුකම් මට ලැබුණේ මගෙයි මගේ සැමියගෙයි තිබුණ උත්සාහය සහ කැපවීම නිසා.
මම ගාවට ගොඩක් විවාහ වෙන්න ඉන්න තරුණියන් එනවා. ඇත්තටම ඒ අයට ජීවිතේ ගැන බරපතළකමක් නැහැ. සමහර තරුණියෝ කියන දෙයක් තමා විවාහ වෙන්න බැහැ කියලා. මම නම් කවදාවත් එහෙම හිතුවෙ නැහැ. නමුත් දැන් ඉන්න බොහෝ තරුණියො ඉන්නෙ සෝබන ලෝකයක.
මගේ දුවට අවුරුදු 14යි. එයා දැන් බිස්නස් එකක් කරනවා. එයා මගේ සැලුන් එකේ මල්වලින් පොඩි පොඩි හෙයා ක්ලිප්ස් හදලා වෙනම විකුණන්න දාලා තියෙනවා. මම එයාලට පොඩි කාලෙ ඉඳන් උගන්නන්නේ අපි ඉන්න තැනින් නැගිටින්න ඕන කියලා. අපි නැති කාලෙක හරි කොහොමද ලස්සනට ජීවත් වෙන්නෙ කියල උගන්නනවා. දැන් ඉන්න තරුණියන්ට රුපියල් දහදාහක් ලැබුණොත් දහදාහම ඉවරයි. අපි හිතමු පඩිය දහදාහයි කියලා. ගන්නවා රුපියල් පන්දාහක සපත්තු දෙකක්. ජීවිතේ ගැන ප්ලෑන් එකක් නැහැ. ගොඩක් වෙලාවට දවසින් භාගයක්ම මුහුණු පොතට වෙලා කාලය කා දැමීමක් කරනවා. ඇත්තටම අපි ආව ගමන ගත්තම මට නම් රුපියලත් හරි වටිනවා. මුල් කාලයේ රුපියල් දාහක් අතේ තිබුණොත් රුපියල් 100කින් වැඩක් කර ගන්නයි උත්සාහ කරන්නේ. ඒ ලෝබකම නෙමේ. මම හිතන්නේ ඒ විදියට ඉතිරි කරන්නෙ නැතිව සාර්ථකත්වය කියන තැනට ළං වෙන්න තියා හිතන්නවත් බැහැ.
අද අපි යම් තැනක ඉන්නවා නම් ඒ හැමදේම ලැබුණෙ උනන්දුව, කැපවීම නිසයි. මම හිතන්නේ ඒ උත්සාහය තිබුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. බිස්නස් එකක් කරද්දි මොන තරම් කඩා වැටුණත් කිසිමදාක උත්සාහය අත්හරින්න හොඳ නැහැ.'