මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් කාන්තා නියෝජනය උදෙසා කලක සිට අවදි කළ හඬට යම් සාධාරණයක් ඉටුවී දැයි දේශපාලන නිරීක්ෂකයෝ විමසති. එහෙත් එයද අර්බුදයක් නම් එය ඉදිරි කාලයේ යථාර්ථයක් කර ගන්නේ කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් 'අද' පාඨකයන් වෙනුවෙන් හඬ අවදි කරවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සමින්ද ඥානරත්න මහතා සමග කළ සංවාදයකි.
මෙවර කාන්තාව දේශපාලනයට දායක කරවීමේ අවකාශය නීතියෙන්ම වැඩි කළා. එහි ප්‍රතිඵලය පුස්ස බිඳීමක් වී යැයි ජනතාව පවසනවා. එහෙම වුණේ ඇයි?
කාන්තාවට දේශපාලනය සඳහා යම් නිර්ණායක මෙවර පළාත් පාලන මැතිවරණය හරහා ක්‍රියාත්මකවීම හොඳයි. ඒත් මේක කොයි තරම් නම් ප්‍රායෝගිකද යනුවෙන් ඔබ අසන ප්‍රශ්නය මම තවත් විග්‍රහ කරන්නම්.
මේක කාන්තා විමුක්තිය පිළිබඳ හඬක් මිස මම කියපු විදිහට කාන්තා නියෝජනයට ප්‍රමුඛතාව ලබාදීම පිළිබඳ දිගු කාලීන ප්‍රවේශයක්ද කියන ප්‍රශ්නය තිබෙනවා. කාන්තාවන්ට නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තේරුම් නොගෙන ප්‍රශ්න විසඳන්න හැකිද? ඒ සඳහා කාන්තාවන් මෙපමණ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම පළාත් පාලන ආයතනයකට පත්විය යුතු යැයි දක්වා මැතිවරණ පැවැත්වෙනවා. එතැන්දී මතුවන කරුණ තමයි අදාළ ප්‍රශ්න හඳුනාගෙන කාන්තාව පත්කර ගත්තාද කියන එක. උත්තරවලට ප්‍රශ්න හදාගන්න අවශ්‍ය නිසා කාන්තා නියෝජනයට වැඩි ඉඩක් දුන්නාද කියන තර්කය.
ගමේ ක්‍රමයකට මෙවර පළාත් පාලන මැතිවරණය තිබුණා කියලනේ කියන්නේ. හොඳයි. එහෙම වෙනකොට ගමක පිරිමි දෙන්නයි ගැහැනු එක්කෙනයි ඡන්දය ඉල්ලනවා යැයි හිතන්න. ගැහැනියක දන්නා හඳුනන පිරිස අඩුයි. එසේම ඒ අයට බලය අඩුයි. කරට කර පිරිමින් සමග ගැටෙනවා අඩුයි. ඇය වටා එකතුවන ගමේ කාන්තා පිරිසත් අඩුයි. ඒ නිසා ඇයට තිබෙන අවස්ථාවත් අඩුයි.
මෙහෙම හිතන්න. මෙරට මෙතෙක් මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති සහ දේශපාලනයේ නිරත කාන්තාවන් දෙස බලන්න. පිරිසක් ප්‍රභූ පවුල්වල කාන්තාවන්. ඒ නිසා ඔවුන් කෙරෙහි ජනතාව නැඹුරු වෙනවා. අනික් පිරිස දේශපාලනය කළ හිටපු නියෝජිතයාගේ හෝ අපේක්ෂකයාගේ වැන්දඹු බිරිඳක්. තවත් පිරිසක් සහෝදරයා හෝ සහෝදරිය ඉවත් වූ පසු නම් කළ කාන්තාවක්. එහෙම නැත්නම් නිළියන්, කලාකරුවන්, රූප සුන්දරියන් වැනි දේශපාලනයේ මළපොතවත් අතගා නැති ජනප්‍රිය සුන්දර චරිත තෝරා ගන්නවා. මේක කාන්තා නියෝජනයක් වුණත් වැදගත් දේශපාලන ප්‍රවේශයක් සඳහා යොදාගත යුතු ඵලදායී ක්‍රමවේදය නොවන බව ජනතාව හොඳින්ම දන්නවා.
අනික් අතට කාන්තා නියෝජිතයන් සොයා ගැනීමේ අර්බුදය තියෙනවා. කාන්තාවන් මේ දේශපාලන සටනට ඉදිරිපත්වීමට අකමැතියි. වැලිකන්ද පැත්තේ ආධාරකරුවෙකු විසින් තම අපේක්ෂිකාවක දූෂණය කරලා හැංඟිලා කියන සිදුවීම එම දිනවල ඇසුණා. කාන්තාවකට
අඩුම තරමින් තමන්ගේ දේශපාලන අයිතිය භුක්ති විඳින්න හරි අවස්ථාවක් තියෙනවාද ?
අවසානයේ කොහෙන් හෝ ලැයිස්තුව සම්පූර්ණ කරන්න පිරිමි ගැහැනු කරලාත් කාන්තාවන් නම් කළා. කොතනින් හෝ අහුලලා ලැයිස්තුවලට දා ගත්තා. මේකද සැබෑ කාන්තා නියෝජනය කියන එකෙන් අපේක්ෂා කළේ ?
කාන්තා නියෝජනය වර්ධනය කළ යුත්තේද එනිසා නෙවෙයිද ?
ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ දේ වෙන්නේ මේ ක්‍රමය තුළම නම් ඒ ක්‍රමය වෙනස් කරන්න කර ඇති දේ මොනවාද? මේ හිංසාකාරී පැවතුම් ක්‍රමය වෙනස් කරන්න කාන්තා නියෝජිත්වය වැඩි කළා කියලා පමණක් ලැබෙන අනුබලය මොකක්ද? අපි ඇයි ප්‍රශ්නයේ අගින් අල්ලා ගන්නේ?
මම දකින්නේ මෙහෙම දෙයක්. මම මේ නියෝජනය විවේචනය කරනවා නෙවෙයි. මේ ක්‍රමය වඩාත් ඵලදායී ආකාරයට යොදාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ අවධාරණය කිරීමක් කරන්නේ.
තවදුරටත් විස්තර කළොත්?
දැන් හිතන්න. මෙවර මැතිවණයෙන් පසු කාන්තා නියෝජිතයන් හරහා අපේක්ෂා කළ සැබෑ අවශ්‍යතා ඉටු නොවන්නේ නම් හෝ අනපේක්ෂිත අර්බුද මතුවන්නේ නම් මේ පත් කරගත් අය සහ එම ක්‍රමය නතර කරනවාද?
එයට පෙර හිතන්න. අඩුම තරමින් මේ නියෝජනය තුළ මේ වනවිට පැහැදිලි නියෝජිතවරියන් පත් කරගන්න අර්බුදයකින් තොරව පුළුවන්කම ලැබුණාද කියලා.
එහෙම නම් තවදුරටත් ඒ වැරදුණු තැන් සොයා ඒවා නිවැරදි කිරීමට තවත් වැඩි කාලයක් ගත යුතුයි. ඒ සඳහා තව කොතෙක් නම් උසාවි කටයුතු, අණ පනත් සංශෝධනයන් සහ කල්මැරීම් කිරීමට සිදුවිය හැකිද? එහෙම වෙනකොට අපේක්ෂා කළ මේ ක්‍රමයේ ප්‍රතිඵල දකිනවාට වඩා අසාර්ථක තැන් පිළිබඳ ගතකිරීමට වැඩි කාලයක් මුදලක් කාදැමීම නේද සිදුවන්නේ?
එය නිවැරදි කළ යුතු නම් ?
මේ ක්‍රමය සාර්ථක වුණොත් හොඳයි කියන මතයේ මම හැමදාම හිටියා. යම් හෙයකින් අසාර්ථක වුණොත් වෙනත් ක්‍රමයකට යෑමට සිදුවෙනවා කියන ස්ථාවරයත් මා තුළ තිබුණා. එය කොතෙක් නම් කාලයක් ගතවිය හැකිද යන ප්‍රශ්නය දැන් තියෙනවා.
ජනතාව බුද්ධිමත්ව තම දේශපාලන විඥානය භාවිතයෙන් මැතිවරණ හමුවේ කතිරය ගැසිය යුතුයි කියන තැන මම ඉන්නවා. තේරී පත් වූ අය එයින් පසු ගමේ දේශපාලන විඥානය තුළින් ගම්බද පවතින ප්‍රශ්නවලින් මුල ටික මිස අවසානය හඳුනාගෙන පමණක් කටයුතු නොකළ යුතුයි. මෙතැනදී මම මුල ටික කියන්නේ හැම ප්‍රශ්නයකටම මුල් වූ හේතුව කුමක්ද කියන එකයි. එහෙම නැතිව ඒ ප්‍රශ්නය පල්වෙන තැනට පමණක් විසඳුම් දෙන්නට උත්සාහ කළොත් අර්බුදය තවත් දිග්ගැසෙයි. මොකක් වුණත් ප්‍රතිපත්ති සම්පාදනයේදී අවසාන ප්‍රතිඵලය බිම්මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති නම් ඒ යොදන විසඳුම්වලින් වැඩක් වෙන්නේ නැහැ.
ඒ නිසා කාන්තා නියෝජනය වැඩි කළා කියලා ඒ කාන්තාවන්ටත් කටයුතු කරන්නට සිදුවන්නේ මේ පවතින ක්‍රමය තුළම නම් ඔවුන්ට කරන්නට තියෙන්නෙත් දේශපාලකයන්ගේ බලය රැකදීම සහ කොන්ත්‍රාත් කිරීම හෝ රැස්වීම්වලට ගොස් අත එසවීම හෝ විරෝධය දැක්වීම පමණයි. කාන්තා නියෝජනයේ සැබෑ කාර්යභාරය ඒක නෙවෙයිනේ. මාර්තු මාසයෙන් පසු ඒ කටුක බව අත්විඳිය හැකියි.
එසේ නම් ගතයුතු ක්‍රියා පිළිවෙත් මොනවාද ?
ප්‍රතිපත්ති සම්පාදනයේදී එය බිම්මට්ටමේ සිට මුලින් පටන්නා ගත්තා නම් හොඳයි. කාන්තාව සිටියත් පිරිමි සිටියත් සිදුවන්නේ එකම දෙයක් නම් එතැනට ඇයි කාන්තා නියෝජනයක්? එතැන්දී කාන්තාවට තමන් අත්විඳ ඇති අත්දැකීම් මගින් මේ වෙනස වෙනුවෙන් බලපෑම් කළ හැකියි. මැතිවරණවලදී තෝරාගත යුත්තේ මේ බලපෑම් කළ හැකි කාන්තාවන් කවුද යනුවෙන් ජනතාව තම කතිරය පාවිච්චි කිරීමයි.
එහෙම නැතිව මැතිවරණ අණපනත්වල තියෙන විදිහට ලැයිස්තු පුරවන්න හරි, සංවිධාන ඉල්ලන නිසා කාන්තා නියෝජිතයන් සංඛ්‍යාත්මකව පත් කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ.
මෙතෙක් දේශපාලන පක්ෂ නියෝජනය කළ කාන්තාවන්ගෙන් ඒ අවශ්‍යතා ඉටු නොවුණේ ඇයි?
ඒක තමයි මම කියන්නෙ ලැයිස්තු පිරවීමට හෝ රූපයට ජනප්‍රියතාවට නොව ගම දන්නා, ගමේ ප්‍රශ්න හඳුනාගත්, ගම තේරුම් ගතහැකි, දුරදිග දැක්මක් තියෙන දේශපාලන දැනුම ඇති අය මේ සඳහා පත්විය යුතුයි. මේ වන විට ආධුනිකයන් වුවත් මේ අත්දැකීම් ප්‍රගුණ කළ හැකි අය නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ.කාන්තාවන්ට නියෝජන අවස්ථාව දුන්නේ ඇයිද කියන එක දෙස බැලිය යුත්තේ එතැනයි.
එතැන්දී එවැනි අය මැතිවරණවලදී නම් කිරීමට සහ පත්කිරීම වගේම ඒ වගකීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට කාන්තා අයිතීන් ගැන කතා කරන අයටත් දැඩි වගකීමක් තියෙනවා.
එහෙම නම් නව ක්‍රමය තුළ සිදු වූ සංසිද්ධීන් අනුව මෙය අසාර්ථක උත්සාහයක ආරම්භයක් යැයි ඔබ කියනවාද ?
මම එහෙම අනාවැකි කියන්නට යනවා නෙවෙයි. කාන්තාව දේශපාලනයට කැඳවා ගැනීම හොඳයි. එය පුළුල් විය යුතුයි. ඒත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයන් නැති නම් එහි අපේක්ෂා කළ දේ ඒ ආකාරයෙන්ම ඉටුවන්නේ නැහැ. එතැනදී මෙතෙක් පැවැති ක්‍රමයම තවදුරටත්
පවතීවි. මොකද කාන්තාවන් වැඩි කළා හෝ මන්ත්‍රීන් ප්‍රමාණය වැඩි කළා කියලා පවතින ක්‍රමය වෙනස් වුණේ නැති නම් ඒ දේ එකතැනම පල්වෙන එකයි වෙන්නේ. අදට වෙලා තියෙන්නෙත් ඒ දේම නොවෙයිද ?
එහෙම නම් මේ දැක්ම තුළ අද සිදුවන්නේ කුමක්ද?
මම නම් දකින්නෙ අවසාන විග්‍රහය අනුව 25% කාන්තා නියෝජනය කියන්නෙත් තියෙන මතය දිනාගැනීම වෙනුවෙන් නියෝජනයක් පමණයි කියන අදහසක්.
ජනතාව මෙම ක්‍රමය දෙස සුබවාදී ආකාරයෙන් බලාපොරොත්තු ඇති කරගෙන හිටියා. ඒක හොඳ තත්ත්වයක්. ඒත් සමස්ත ලංකාව පුරා එක පාරටම මේ ක්‍රමය පැවැත්වීම කෙරෙහි යම් ගැටලු ඇති විය හැකියි කියන එකයි මම අවධාරණය කරන්නේ.
මේ නව හඳුන්වාගත් ක්‍රමය තුළ සිදුවන්නේ කාන්තාවන් නියෝජනය කිරීමක් විතරයිනේ. කාන්තාවන්ගේ නියෝජනය තුළ පමණක් කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ගන්නා උත්සාහයක් වුණොත් සෑහීමකට පත්වෙන්න බැහැනේ. ඒ පත්වුණු කාන්තාවටත් මේ හැඟීම් තියෙන්න එපායැ. දර්ශනයක් ඇති අය එතැන්ට යවන්න ඕන. කාන්තා නියෝජනය කියන්නේ එවැනි වැඩි වටිනාකමක් ලැබිය යුතු දෙයක්.
ඔබ දකින පරිදි මෙම ක්‍රමය වඩාත් අර්ථවත් කළ හැක්කේ කෙසේද?
එතැන්දී මේක එක්වරම රටපුරා නැතිව දිස්ත්‍රික්ක දෙක තුනක සාම්පලයක මොඩලයක් ලෙස ක්‍රියාත්මක කරන්න තිබුණා. එවිට මේ ක්‍රමය සමග මතුවන විවිධ අර්බුද ගැටුම් සහ යහපත් වුවත් තවත් දියුණු කළ යුතු අංශ තෝරා ගැනීමට ඇති අවස්ථාව වැඩි වෙනවා. එයින් තවදුරටත් වෙනත් දේශපාලන බලප්‍රදේශ තුළ එවැනි ගැටුම් ඇති නොවන තැනට මේ කාර්යය වඩා සාර්ථක අන්දමින් කර ගෙන යෑමට අවස්ථාව ලැබෙනවා. අපි හැමවිටම වඩා යහපත් ඵලදායී දේශපාලන විඥානයක් සමග කටයුතු කිරීම අවශ්‍ය බව කිව යුතුයි.
මෙවැනි ප්‍රතිඵල අනුව කාන්තාවන් කෙරෙහි එය තවදුරටත් කෙසේ බලපාන්නේ දැයි ඔබ අනුමාන කරනවාද?
මම හිතන විදිහට බලය, ශක්තිය, මුදල ඇති පිරිමි දෙතුන්නෙක් සමග අඩු කාන්තා නියෝජනයක් තරග කරන විට වැඩි බලය, ජනප්‍රියතාව, මුදල ඇති පිරිමි ඉදිරියට එයි. එවිට ඒ ශක්තිය නොමැති කාන්තාව පස්සට විසි වෙයි.
ගත වූ මැතිවරණයෙන් උදාහරණයක් කීවොත්?
එක් ප්‍රාදේශීය සභාවකට අපේක්ෂකයන් 19 දෙනෙකු යෝජනා කළ යුතු විට එයින් 5ක් කාන්තාවන් විය යුතුයි. එහෙම වෙනකොට වැඩි බලය කාන්තාව පැත්තට අහිමිවීමේ ප්‍රවණතාව අඩු බව පැහැදිලියි.
මොකද මම කලින් කියපු විදිහට පිරිමින්ට ඇති හැකියාවන් තුළ. මෙතැන්දී මේ වෙනස ආකල්ප සහ විඥානය මෙන්ම සමාජ අත්දැකීම් ප්‍රගුණ කිරීම තුළින් ඡන්දදායකයන් අතර ඇති කළ යුතු වෙනසක්නේ. ඒ වෙනස සිදු නොකර කාන්තා නියෝජිත සංඛ්‍යාව ඔළුගෙඩිවලින් පෙන්වීමෙන් පමණක් ඒ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකියි.
ඔබ සමාජය දෙස බලා සිටින අයෙකු වශයෙන් මේ ක්‍රමය කෙසේ නිවැරදි කළ හැකිද?
මේ දේ හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. මම කියන්නේ සමස්ත ක්‍රමය වෙනස් කළ යුතුයි කියන එකයි. නමුත් පවතින තත්ත්වය තුළ මුළු සංයුතියෙන් 25%ක් වන සේ කාන්තාවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමයක් ගැන සිතිය හැකියි. එහෙත් ඔවුන් එසේ නම් කිරීමෙදී එය පක්ෂ මට්ටමෙන් සහ දේශපාලකයන් මට්ටමෙන් සුහදව ගත යුතු තීරණයක් විය යුතුයි. මම දකින විදිහට වැඩිමනත් පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් තේරී පත් වෙලා නැහැ.
එනිසා කාන්තාවනට 25% අවස්ථාව දියයුත්තේ නාමයෝජනා සකස් කළ පරිදි අපේක්ෂක ලේඛනයෙන්ද(කතිරය) නැතහොත් අතිරේක ලැයිස්තුවෙන්ද කියන එක ගැන හිතන්නේ නැතිව මේ කාරණය සමස්තයක් ලෙස සලකා ඉදිරියට ගෙන යා යුතුයි කියන මතයේ මම ඉන්නවා.
අනෙක මෙතැන්දී අඩුම තරමින් ජනතාවගේ මතයට ජනමාධ්‍ය තුළ හෝ සාධාරණ ඉඩක් වෙන් වූ බවක් දකින්න නැහැ. ඒකත් අලුත් දෙයක් දැකීමට තිබූ අවස්ථාව අහිමිවීමක්.