ගාල්ලේ-වඳුරඹ පදිංචිව සිටි ප්‍රියංකා ජයසේකර මහත්මිය සෞදි අරාබියේදී සිය හාම්පුතා සිදුකළ වෙඩි ප්‍රහාරයකින් මිය ගියාය. එහෙත් තවමත් ඇයගේ මළසිරුර ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර නැත. එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.
ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා ‘අපිට හරිම දුකයි’ කියලා යන්න යනවා
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න මහත්මිය
මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයේදී විදේශ රැකියාවට ගිය සහෝදරියකගේ මළසිරුරක් ලංකාවට ගෙනාවා. ඒ අතර පසුගියදා වෙඩි තියලා මරා දාපු ප්‍රියංකා ජයසේකර සොයුරියගේ මළසිරුර ගෙන්වා ගන්නට නොහැකි ගැටලු ගණනාවක් මතුව තිබෙනවා. විදේශ රැකියාවලට යන කාන්තාවන්ට මේ වගේ ජීවිත අවදානමක් දිගින් දිගටම මතුව තිබෙද්දී ජනාධිපතිට, අගමැතිට, ඇමතිට වගේ වගක් නැහැ. අපි දන්න විදියට වැඩිම විදේශ විනිමය, ආදායම රටට ලැබෙන්නේ මේ විදියට ගෘහ සේවයට යන කාන්තාවන් නිසා. හැබැයි මේ කාන්තාවන්ට විඳින්න වෙන පීඩාවන්, ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන එක ඒ සම්බන්ධ කිසිම ගැටලුවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, විදේශ සේවා අමාත්‍යාංශයට විසඳුම් නෑ. ප්‍රශ්නයක් එද්දී ඒක තමන්ට අදාළ නෑ වගේ කතාවක් කියලා මගහරින්න හැකිවෙලා තියෙනවා.
පසුගිය 10 වැනිදා වෙඩි තියලා මරා දැමූ ප්‍රියංකා ජයසේකර කියන්නේ තිදරු මවක්. ඇය විදේශ සේවයට ගිහින් අවුරුදු 19කට වැඩියි. ඇය විදේශගත වන විට ඇගේ වැඩිමල් දියණියට අවුරුදු එකහමාරයි. එයාට දැන් අවුරුදු 21ක්. බාල දියණියට දැන් අවුරුදු අටයි. ඇගේ පපුවේ සිදුරක් තියෙනවා කියලා වෛද්‍යවරු කියනවා. ප්‍රියංකාගෙ ස්වාමිපුරුෂයා, උපුල්ගෙ අත බෝරෙකට අහුවෙලා දැන් වැඩ කරන්න බෑ. ආර්ථික ප්‍රශ්න විසඳාගන්න කියලා තමයි ප්‍රියංකා විදේශ රැකියාවකට ගියේ. ඇගේ දරුවන් තුන්දෙනාටත් සැමියටත් තියෙන ප්‍රශ්නය තමයි ඇයට වෙඩි තියලා මැරුවෙ ඇයි? මොකටද මැරුවෙ? ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕන. එහෙම තියෙද්දී ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා %‘අපිට හරිම දුකයි’ කියලා යන්න යනවා. අපිට තියෙන ප්‍රශ්නය තමයි ආණ්ඩුවෙ අය ඇවිත් මේ දුක්වෙන අයට දුක කියන්නෙ මොකටද? අනෙක් පැත්තෙන් රටේ ජනාධිපති ඉන්නෙ මොකටද? අගමැති කෙනෙක් ඉන්නෙ මොකටද?
මාර්තු 8 වැනිදා මළසිරුරක් ලෙස ලංකාවට ආව වල්ලිඅම්මා මැරුණෙ 2015 දෙසැම්බර් 5 වැනිදා. ඥාතීන්ට ආරංචිය ලැබුණෙ 2016දී. ඒ සේරම වෙලා මළසිරුර ගෙනාවෙ 2018 මාර්තු 8 වැනිදා. ඇගේ ලොකු පුතා එලිවේන්ද්‍රන් මීගමුව රෝහලෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ඉල්ලනවා, මෙය එයාගෙ අම්මගෙම සිරුරද කියලා තහවුරු කරගන්න. ඒ පරීක්ෂණයට මොකද වෙන්නෙ කියලා විදේශ සේවා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඇහුවම ඒ ගොල්ලා කියන්නෙ අපට ඒක අදාළ නෑ, ඒක මීගමුව රෝහලෙන් අහන්න කියලා. මීගමුව රෝහලෙන් ඒ ගැන ඇහුවම කියන්නෙ අපට අදාළ නෑ, විදේශ සේවා එකෙන් අහන්න කියලා. අපට තියෙන ප්‍රශ්නය තමයි, දැන් මේ ප්‍රශ්නය අදාළ වෙන්නෙ කාටද?
වල්ලිඅම්මා පිටරට සේවයට යද්දී ධනරාජ්, පොඩි පුතාට අවුරුදු 10යි. අද ඔහු මානසික රෝගියෙක්. ඒ ප්‍රශ්නවලට කවුද මැදිහත් වෙන්නේ? මොන පාලකයටද මේවට උත්තර තියෙන්නේ? අඩුම තරමින් එලිවේන්ද්‍රන්ගෙ අම්මගෙ මිනිය ආවට පස්සෙ අදාළ මැදිහත්වීම කරන්න බැරි පාලකයො බොරුවට ගෙවල්වලට ගිහිල්ලා කිඹුල් කඳුළු හෙළනවා. අපි අහන්නෙ ප්‍රියංකාගෙ මරණයට වගකියන්න ඕන සෞදි රජයයි අපේ පාලකයොයි. ඒ අය කොයි විදියටද ඒ ගැන සාකච්ඡාව අරගෙන තියෙන්නෙ?
අපි දන්නවා එහෙම මැදිහත්වීමක් අපේ රටේ පාලකයො කරන්නෙ නෑ. ඊයෙ වඳුරඹදී හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වෙ මොකක්ද? ‘සෞදිය නීති තද රටක්. විශේෂයෙන්ම ෂරියා නීතිය තියෙන රටක්. ඒ නිසා ඒ වගේ කාරණාවලදී අපට මැදිහත් වෙන්න තියෙන ඉඩ හරි අඩුයි’ කියන එක ඇමතිවරයා ඥාතීන්ට කිව්වා. එහෙම නං අපි අහන්නෙ අපේ රටේ කාන්තාවන් ඒ වගේ රටවලට යවන්නෙ ඇයි? තම රටේ සිට ගිය ගෘහ සේවිකාවක් මරා දැමුවට පස්සේ පිලිපීන ජනාධිපතිවරයා ගත් තීන්දුවවත් මේ පාලකයන්ට ගන්න බැරිද කියලා අභියෝග කරනවා. මේ වගේ ප්‍රශ්නයකදී මැදිහත් වෙද්දී, මගේ ආත්මය යක්ෂයාට ගියාදෙන්, මම පිලිපීනයේ කාන්තාවො ගෙන්වා ගන්නවා කියලා ඒ රටේ ජනාධිපති තීන්දු ගත්තා. අපේ රටේ පාලකයන්ට අපි අභියෝග කරනවා අඩු ගානෙ ඒ ආදර්ශයවත් ගන්න කියලා.
අපි දන්නවා දඹුල්ලේ මිය ගිය නෙල්කා කුමාරසිරිගේ ප්‍රශ්නය. ඒ අය කියන කතාව තමයි තවදුරටත් මේකට මැදිහත් වෙලා වැඩක් නැහැ කියන එක. අපි කොච්චර කළත් ආණ්ඩුව මේකට මැදිහත් වෙන්නෑ. පාලකයෝ අපේ ප්‍රශ්නය ගැන බලන් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ආවට පස්සේ මිනිය ගෙනල්ලා දෙන්න රුපියල් ලක්ෂ හතරක් ඉල්ලනවා. මැදපෙරදිග යන අපේ කාන්තාවන්ට ලක්ෂ හතරක් තියෙනවා නම් කවුරුවත් මැදපෙරදිග යන්නෑ. මැදපෙරදිග ගිහින් පීඩාවට පත්වුණු අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පවුල්වල අයට මනෝභාවයක් හදලා තිබෙනවා මේ ප්‍රශ්නයට අපි කොච්චර මැදිහත් වුණත් වැඩක් නැහැ, පාලකයෝ මේක ගැන බලන් නෑ කියලා. ඒක තමයි ඇත්ත කතාව.
තමන්ව වැඩට දැමූ ගෙදර තට්ටු පහකින් තට්ටු තුනක වැඩ කරන්න වෙන නිසා බදුලුපිටියේ කේ. ශාමා ශබීර් පැනලා ගිහිල්ලා තිබුණා. ඇය ගෙදරට කෝල් කරලා කියනවා තවදුරටත් මේ ගෙදර වැඩ කරන්න බැහැ, තට්ටු තුනක වැඩ කරන්න ඕන, දරුවෝ බලාගන්න ඕන, වාහන හෝදන්න ඕන ඒ නිසා මට ඉන්න බැහැ කියලා. ඇය එතැනින් පැනලා ගියාට පස්සේ ගෙදර අය ඒජන්සියට කතා කරනවා. ඒ ගොල්ලෝ කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. මේ ප්‍රශ්නයට අපි මොකද්ද කරන්නේ? ඒජන්සිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා. රටේ ජනාධිපතිවරයා මේ ගැන වචනයක්වත් කතා කරන්නෑ. මෙහෙම මිනිස්සු මැරි මැරී ලංකාවට එද්දී අඩුම තරමින් කිසියම් හෝ ක්‍රමයකින් රටේ ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න යුතුකමක් තිබෙනවා. රටේ අගමැතිවරයාට වගකීමක් තිබෙනවා මොනවහරි විදියකට මැදිහත් වෙන්න. එහෙම මොකුත් කරන්නෑ. හැබැයි සන්දර්ශන තියනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. සන්දර්ශන තිය තියා මිනිස්සු රවට්ටනවා. මේ වෙලාවේ මිනිස්සු අසරණ නිසා ඒකට රැවටෙන මිනිස්සුත් ඉන්නවා. මිනිස්සු අසරණ වුණාම හිතනවා වන්දි ගත්තට පස්සේ මෙතනින් එහාට දෙයක් නැහැ, මේක තමයි අපිට උරුම දෙය කියලා. මේ ප්‍රශ්නය ගැන වගකීමක් අරගෙන ප්‍රශ්නයක් විදියට මේක දැකලා රටේ අනිත් ප්‍රශ්නවලට මැදිහත් වෙනවා වගේම මේක අපේ රටේ ඇත්ත සමාජ ප්‍රශ්නයක් විදියට අරගෙන මේ ප්‍රශ්න ගැන මැදිහත්වීමක් කරන්න ඕන. ඒක මේ රටේ සියලුම ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය නිසා හෙට දවසේ මැරිලා මළසිරුර විදියට නැත්නම් ඇටකටු විදියට එන්නේ වල්ලිඅම්මා විතරක් නෙමෙයි. හෙට දවසේ අපිට ඥාති වන, අපිට සම්බන්ධකම් තියෙන අපේ හිතවතුන්, අපේ සහෝදරියන් එහෙම එන්න පුළුවන්. අපේ රටේ අපිට අයිති මිනිස්සුන්ගේ ජීවිත තමයි මේ විදියට පීඩාවට පත්වෙන්නේ, මේ විදියට අතවරවලට ගොදුරු වෙන්නේ, මේ විදියට හිංසාවට ගොදුරු වෙන්නේ. අනිත් හැම ප්‍රශ්නයක් වගේම ඒක අපි ගන්න ඕන. එහෙම ගන්න ඕන කරන මානසිකත්වය අපේ රටේ ජනතාව තුළ හදන්න ඕන.
වඳුරඹ ප්‍රියංකාගේ නිවසට මම ගිය අවස්ථාවේදී වඳුරඹ පන්සලේ නායක හාමුදුරුවෝ ඇවිත් හිටියා. නායක හාමුදුරුවොත් කිව්වේ මේ ගෙදර ටොයිලට් එක හදලා නැහැ, ඒ නිසා දැන් අපිට තියෙන්නේ වන්දියක් අරගෙන මේ ප්‍රශ්නය අවසන් කරන්න කියලා.
කාන්තා ව්‍යාපාරයක් විදියට අපිට තිබුණු ප්‍රශ්නය තමයි හේෂානිගේ මානසිකත්වයට සිදුවුණු හානිය. එයාගේ වැඩිමහල් දියණිය අමිලානිගේ මානසිකත්වයට සිදුවුණු හානිය. අවුරුදු අටේ කුඩා දරුවා පමෝද්‍යා හදවත් රෝගියෙක්. තමන්ගේ අම්මා මරල දාලා කියන පණිවුඩය ලබාදීමෙන් එවැනි කුඩා දරුවෙකුට සිදුවන හානිය කවුද වහන්නේ? ඒ හානිය වහන්න කිසිකෙනෙකුට බැහැ. මුළු ජීවිත කාලෙම ඒ හානියෙන් පීඩාවට පත්වෙනවා. ඒ නිසා මේක සරල ප්‍රශ්නයක් විදිහට නොගත යුතුයි. ඒක සරල ප්‍රශ්නයක් විදියට ගන්න අයට උත්තරයක් විදිහට කියන්න පුළුවන් අපි අඬන්නම්, අපි කඳුළු පෙරන්නම් කියලා. ඒක නෙමෙයි කරන්න ඕන. මේ වෙලාවේ මේ ප්‍රශ්නය රටේ පොදු ප්‍රශ්නයක් විදිහට ගන්න. තවදුරටත් මේ විදියට මළමිනී එන එක නවත්වන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එහෙම ගිහින් ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න. පිලිපීනයේ ජනාධිපතිවරයා කොන්ද පණ ඇති පාලකයෙකු ලෙස ගත් තීන්දුව ලංකාවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ගන්න කියලා අපි අභියෝග කරනවා.
අපි කියනවා මේ පාලකයන්ට ඒක කරන්න බැහැ, ඒක කරන්නේ නැහැ. මේ රටේ සහෝදරියන් විදේශ ගතවෙලා, වහල්ලු විදිහට වැඩකරලා හම්බ කරන සල්ලිවලින් මේ රට දුවන නිසා පාලකයන්ට සෘජු තීරණයක් ගන්න බැහැ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රට හදන්න, මේ රට ගොඩනගන්න මේ රටේ පාලකයන්ට කොන්දක් නැහැ. මේ රටේ කාන්තාවන් විකුණන් කාලා ජීවත්වෙන සමාජයක් අපිට තියෙන්නේ. එවැනි පාලනයක් අපිට තියෙන්නේ. ඒ පාලනය කවදාවත් වෙනස් කරන්නෑ කියලා අපි දන්නවා. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු මැදිහත් වෙලා, මිනිස්සු හිතලා, මිනිස්සු අවබෝධ%යෙන් මේක අපේ රටේ ඇත්ත ප්‍රශ්නයක් විදියට අරගෙන කතා කළොත් විතරයි. ඒ නිසා මේ ප්‍රශ්නයේදී සෑම කෙනෙක් එක්කම අපි සටන් කරනවා. අපි විශ්වාස කරනවා ඒ සටනේ ප්‍රතිඵලයක් ඉදිරියේදී අපිට ගේන්න පුළුවන් වේවි කියලා.
නිලධාරීන් හැසිරෙන්නෙ මේක අපේ ප්‍රශ්නයක් වගේ
සුප්පයියා වල්ලිඅම්මාගේ වැඩිමහල් පුත්‍රයා නඩරාජා එලිවේන්ද්‍රන්
"1995දී පිටරට රස්සාවට ගිය අම්මා අවුරුදු 2ක් අපි එක්ක සම්බන්ධතාව තිබුණා. ඒ ලියුම්වලින්. ඊට පස්සෙ අපට කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා. අපි ගොඩක් උත්සාහ කළා අම්මා ගැන තොරතුරක් හොයා ගන්න. අවුරුදු 12 හා 14ක දරුවෝ දෙන්නා බලාගෙන තාත්තා ගොඩක් මහන්සි වුණා අම්මා ගැන තොරතුරු හොයාගන්න. නමුත් එය සාර්ථක වුණේ නැහැ. එයාට ලැබෙන සුළු වැටුපෙන් එය කරගන්න බැරි වුණා. ඉන් පස්සේ තාත්තා එම කාර්යය අත්හැර දැම්මා. මම ඉන් පසුව 2003 වසරේ ඉඳන් 2006 වසර වෙනකම් අවුරුදු තුනක් අම්මා ගැන තොරතුරු හෙළි කරගන්න උත්සාහ කළා. ඒත් කිසිම තොරතුරක් අපිට ලැබුණේ නැහැ. ඒකට අදාළ විදේශ කටයුතු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළුව හැම ආයතනයකටම ගියා. ඒත් කිසිම උත්තරයක් ලැබුනේ නෑ. පසුව මගේ අධ්‍යාපනය නතර කිරීමට සිදු වුණා. තාත්තා සහ මල්ලි බලාගෙන අධ්‍යාපන කටයුතුවල නියැළීම දුෂ්කර වුණා. ඒ නිසා මම ඒක අතහැර දැම්මා. 2016 මාර්තු 11 වැනිදා, ග්‍රාමසේවකගෙන් පණිවිඩයක් ආවා, සුප්පයියා වල්ලිඅම්මා කියලා කෙනෙක් මැරිලා, ඒ ඔයාලගෙ කවුරු හරිද කියලා, තහවුරු කරන්න කිව්වා. තියෙන ලේඛන ඉදිරිපත් කරන්න කිව්වා. ඒගොල්ලා ඉල්ලපු ලේඛන ලබාගන්නත් මාස 6ක් විතර ගියා. මාස 6-7කට පස්සෙ ඒ ලේඛන හොයලා යැව්වා.විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලන ලේඛන අපිට හදාගන්න කාලයක් ගත වුණා. ඒ ලේඛනත් ලබාදීලා මාස 09කට පස්සෙ තමයි මළසිරුර ලංකාවට එව්වේ. මට එකපාරටම මේ මගෙ අම්මා කියලා හඳුනාගන්න බෑ. අවුරුදු 23කට කලින් ගිය කෙනෙක් කොහොමද එකපාරට අඳුනා ගන්නේ ? ඒ නිසයි මම ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ඉල්ලුවේ. තාමත් ඒ පරීක්ෂණය කරලා නෑ. ඒකට උත්තර නෑ. දැන් මේක කියන්න ඕන කාටද? මේකෙ ප්‍රශ්නය කාගෙද? නිලධාරීන් හැසිරෙන්නෙ මේක අපේ ප්‍රශ්නයක් වගේ. විදේශගතවන හැම කෙනෙකුටම මේකයි වෙන්නෙ. මේකට වගකියන්න ඕන කවුද කියලා ඕගොල්ලම කියන්න. මම දැන් විශාල මානසික පීඩනයකින් ඉන්නේ. මට මෙතෙක් කල් කවුරුවත් උදව් කළේ නැහැ. මගේ තනි උත්සාහයෙන් තමයි මේ සටන මෙතෙක් දුරක් ගෙනාවේ. මම පුතෙක් වෙලා මේ තරම් දුරට අම්මා වෙනුවෙන් සටනක් කිරීම ගැන මම ආඩම්බර වෙනවා. අතේ සතයක්වත් නැති මේ විදියට වෙන කෙනෙක් නම් වැඩ කරන්නෑ. කිසිම අමාත්‍යාංශයක කිසිම කෙනෙක් මට උදව් කළේ නැහැ. ලංකාවට ගෙනාව සිරුර භූමදාන කරන්නවත් මුදල් නැහැ. මීගමුව මෘත ශරීරාගාරයේ තිබෙන මළසිරුර හා ඩී.එන්.ඒ. ගැලපෙනවා නම් අපට සිරුර භාර දෙන බවට මරණ පරීක්ෂකවරයා පැවසුවා.මෙවැනි ප්‍රශ්නවලදී වගකිවයුතු නිලධාරීන් නියම වෙලාවට සුදුසු පියවර ගන්න ඕන. නැත්නම් අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා. තවත් කල් දාන්නැතිව පාලකයන් ඒ සඳහා මැදිහත් වෙන්න ඕන. අම්මලා පොඩි ළමයි ගෙවල්වල දාලා රට යන්නේ මෙහේ රස්සා නැති නිසා. තමන්ගේ ළමයින්ට හොඳ ජීවිතයක් දෙන්න තමයි එයාලා රට යන්නේ. එහෙම ගිහින් මළමිනී විදිහට ලංකාවට එන්න වෙනවා නම් ඒ අයගේ දරුවන්ගේ මානසික මට්ටම මොනතරම් කඩාවැටෙනවද කියලා කල්පනා කරලා බලන්න. සල්ලිත් නෑ, ජීවිතත් ඉවරයි, ඒ පවුල් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේකට වගකියන්න ඕන අරයට මෙයාට කියලා පාලකයෝ අතදිගු කරගෙන ගියාට ඇත්තටම වගකිවයුත්තේ කවුද කියලා කවුරුවත් කියන් නෑ. ඒ අය වගකීම පැහැර හරින්න නිතරම උත්සාහ කරන්නේ. එතකොට අපිද වගකිවයුත්තේ. නැත්නම් රට ගිය අපේ අම්මාද? එයා රට ගියේ ලංකාවේදී එයාට රස්සාවක් නොලැබුණු නිසයි. එහෙම රස්සාවක් ලැබුණා නම් අපේ අම්මා රට යන්නෑ. හැම අවුරුද්දේම රට යන අයගෙන් මේ විදියට 400ක් මැරෙනවා කියලා සමීක්ෂණ වාර්තාවලින් කියනවා. මගේ අම්මාට සිදු වුණා වගේ අසාධාරණයක් තවත් අම්මෙකුට වෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මේ මරලා දාන ඒවායි මැරෙන ඒවායි සම්පූර්ණයෙන් නතර කරන්න. නැත්නම් රට යවන එක නවත්තලා දාන්න. රට රස්සාවට යන එක තහනම් කරලා මෙහේ රස්සා හදලා දෙන එක තමයි උතුම්ම දෙය. "
කනගාටුදායක සිදුවීම් අවම කිරීමට අපි ගතයුතු සියලුම පියවර ගන්නවා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා
මේ සිදුවීම ගැන අපි කනගාටුවට පත් වෙනවා. මේ අවස්ථාවේදී අපි කළ යුතු සියලුම මැදිහත්වීම් කරනවා. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. මේ දේහය ලංකාවට ගෙන්වා ගැනීම අපේ මූලික පියවරයි. ඉන් පසුව පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරනවා.
මේ රටවල නීතියක් තිබෙනවා. ඒ නීතිමය රාමුව ඇතුළේ කළ හැකි සියලුම දේ කරමින් හැකි ඉක්මනින් දේහය ලංකාවට ගෙන්වා ගන්නවා. ඒ වගේම ලබාදිය හැකි සුබසාධන පහසුම් සියල්ලම ලබාදෙනවා.
ගෘහ සේවිකාවන් ලෙස විදේශගතවීම් අධෛර්යමත් කිරීමට අපි සෑම විටම කටයුතු කරනවා. ලංකාවට වැඩිම විදේශ ආදායමක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙනවා. මේ ශ්‍රමිකයන්ට විදේශ රටවලදී මුහුණදීමට සිදුවන කනගාටුදායක සිදුවීම් අවම කිරීමට අපි ගතයුතු සියලුම පියවර ගන්නවා.
මේ කාන්තාව මිය යෑමෙන් පසුව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ හැකි සියලුම දේ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා
මේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගතයුතු සියලුම පියවර අපි ගන්නවා. කලබල වෙලා හදිස්සි වෙලා ඉක්මනින් දේහය ගෙන්වා ගන්නවා වෙනුවට ගතයුතු සියලුම පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගැනීමෙන් පසුව කඩිනමින් දේහය ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මේ කාන්තාව මිය යෑමෙන් පසුව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ හැකි සියලුම දේ රජයක් විදිහට සහ පුද්ගලිකව කිරීමට අපි බලාපොරොත්තු වෙනවා*.