ප්‍රංශයේ පැවති OMC Hair world 2018 තරගාවලියෙන් ජයග්‍රහණ දෙකක් රැගෙන ආ අපේ යුවතියෝ


කේෂාලංකරණ ක්ෂේත්‍රයේ ලෝක තරගාවලිය වන OMC Hair world 2018 මෙවර පැවැත්වූයේ ප්‍රංශයේය. මෙම තරගාවලිය සඳහා ලොව පුරා සිටින කේෂාලංකරණ ශිල්පීන් දහසකට අධික පිරිසක් සහභාගි විය. 


මෙවර එම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා නාමය රිදියෙන් සරසන්නට රූපලාවණ්‍ය හා කේෂාලංකරණ ශිල්පිනී කයල්විලී ජයප්‍රකාශ් සමත් වූවාය. ඒ  %Ladies Aesthetics Commercial Bridal Make-up^ යන තරග අංශය යටතේය. 

එම තරග අංශය සඳහා සහභාගි වූ තීක්ෂණී කාරියවසම් එහි සිවුවැනි ස්ථානය දිනාගැනීමද විශේෂත්වයකි. ඔවුන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය දිනක සංවිධානය කර තිබූ අතර, එහිදී සිය ජයග්‍රහණය පිළිබඳව කයල්විලී මෙලෙස හඬ අවධි කළාය.

“මම රිදී පදක්කමක් මේ තරගයෙන් දිනා ගත්තා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ  සංගමයේ නිර්මාතෘ හා ආසියාතික සභාපතිනිය වන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී නයනා කරුණාරත්න මහත්මියගේ මග පෙන්වීම නැත්නම් මට මේ ජයග්‍රහණය හිමිවන්නේ නැහැ. 

මම පසුගිය වසර පහක කාලයක් මේ තරගාවලියට ඉදිරිපත් වෙලා තරග කළා. හැම වසරේම තරග කළාට අනෙක් රටවල තරගකරුවන් ජයග්‍රහණය කරලා සම්මාන ගන්නවා බලන් ඉඳලා ආවා. පසුගිය වසර පහක කාලය තුළ අපි කළ කැපවීම හා වින්ද දුක නිසයි මේ ජයග්‍රහණය ගත්තේ. අපිට ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය හරහායි මේ තරගාවලියට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම මේ සංගමය හරහා ජාත්‍යන්තර ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ දැනුම අපිට ලබාදෙන්න විවිධ වැඩමුළු සංවිධානය කරලා දුන්නා. ඇත්තටම කියන්න ඕන ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ දැනුම නැතිව අපිට මේ වගේ තරගයක් දිනන්න අමාරුයි. අපි ලබන වසරේත් තරග කරනවා. අපේ රට වෙනුවෙන් ජයග්‍රහණ ගෙනෙන්න. මේ තරගාවලියට සහභාගි වෙලා තරගකරුවන් තුන් දෙනෙක් ජයග්‍රහණ ලබා ගත්තොත්  රට වෙනුවෙන් කුසලානයක් පිරිනමනවා. ඒ නිසා අපි ලබන අවුරුද්දේ කොහොම හරි මේ කුසලානේ අපේ රටට ගෙන එන්නයි උත්සාහ දරන්නේ. ”

මෙම ලෝක තරගාවලියට සහභාගිවී  Ladies Aesthetics Commercial Bridal Make-up යන අංශයේ සිවුවැනි ස්ථානය දිනාගත් තීක්ෂණී කාරියවසම් සිය අදහස් මෙලෙස ඉදිරිපත් කළාය.
 ”ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ  සංගමය තමයි ලෝක සංවිධානය තුළ තියෙන එකම ශ්‍රී ලාංකික සංගමය. කායල්විලී කිව්වා වගේ මීට වසර පහක ඉඳන් එක දිගට අපි මේ ලෝක තරගාවලියට සහභාගිවුණා. නමුත් ඒ තරග අවසන් කර ලංකාවට එන්නේ ගොඩක් දුකකින්. මේ තරගයට ලංකාවෙන් තුන් හතර දෙනෙක් සහභාගිවෙද්දී අනෙක් රටවල්වලින් තරගකරුවන් විශාල පිරිසක් සහභාගි වෙනවා. අපිට මේ අවස්ථාවේ ගොඩක් සතුටුයි. මොකද අපිට හොඳ පුහුණුවක් ලැබුණා. මුලින්ම අපිට ජොහාන් පීරිස් මහතා යටතේ හොඳ පුහුණුවක් ලැබුණා.  ඒ නිසා පසුගියවර මට තරගකරුවන් හැට අටක් අතරින් දහවැනි ස්ථානයට එන්න හැකි වුණා. 

ඊට පස්සේ අපිට අන්තර්ජාතික පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ  සංගමය මගින් ලබා දුන්නා. ඒ පුහුණුවත් එක්ක තමයි අපිට මේ වගේ ජයග්‍රහණ ලබන්නට හැකියාව ලැබුනේ. හැම ජයග්‍රහණයක් සඳහාම අධ්‍යාපනය ඉතා වැදගත් වෙනවා. මෙවර අපි තුන්දෙනෙක් තරගයට සහභාගි වුණා. 

බ්‍රයිඩල් මේක්අප් අංශයෙන් දෙදෙනෙකුත්, ගාලා හෙයාර්ස්ටයිල් අංශයට එක් අයෙකුත් සහභාගි වුණා. මෙවර ගොඩක් සාර්ථක තරගයක් දෙන්න අපිට හැකිවුණා. අනෙක් රටවල්වල තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් ඇත්තටම අපිවත් පුදුම කරන ඒවා වුණා. අපි ඒ නිර්මාණ බලලා ඇත්තටම ලංකාවට දෙයක් ගේන්න ඕන කියන දේ හිතට ආවා. ඒ අනුව දෙවැනි ස්ථානය කායිල්විලීටත්, සිවුවැනි ස්ථානය මටත් ගේන්න හැකි වුණා. 
විශේෂයෙන් කියන්න ඕන අපේ මීළඟ සැලැස්ම කන්ට්‍රි කප් එක අපේ රටට ගේන එකයි. එය මගින් ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් ලැබේවි. මොකද මේ වගේ ජාත්‍යන්තර තරගයක අපි තරග කරන්නේ තරගකරුවන් විදිහට වුණාට අපි නියෝජනය කරන්නේ අපේ රට. අපි මීළඟ වතාවේ මීට වඩා වැඩි ජයග්‍රහණයක් ලංකාවට රැගෙන එනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි“

ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ  සංගමයේ සාමාජිකාවන් දෙදෙනෙකු මෙලෙස අන්තර්ජාතික තරගාවලියකින් ජයගැනීම පිළිබඳ එහි නිර්මාතෘ ප්‍රවීණ රූපලාවණ්‍ය  ශිල්පිනී නයනා කරුණාරත්න මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

“මේ තරග ජයග්‍රහණ අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ කොළඹ නගරයේ පවතින සැලෝන්ස්වල ඉන්න රූපලාවණ්‍ය ශිල්පිනියන් නොවෙයි. කයිල්විලී කොටහේනේ, තීක්ෂණී ගාල්ලේ. ඉතින් මේක තමයි අපිට වැදගත් වෙන්නේ. විදේශ රටවල ගිහින් ඉගෙනගෙන ආව අය නොවෙයි මේ අපේ රටට ජයග්‍රහණ අරන් එන්නේ. එය තමයි විශේෂත්වය” 

 

 



Recommended Articles