පලා කොළවලින් වටිනා පෝෂණ නිෂ්පාදන රැසක්


ගොටුකොළ, මුගුණුවැන්න, නිවිති ආදී පලා වර්ග සුලභ වූවත් මේ මහපොළොව මත ගුණයෙන් හා රසයෙන් අනූන පලා වර්ග විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. එනමුත් ඒවා හඳුනන්නේ ඉතා අතළොස්සකි. ඇතැම් විට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේවා හඳුන්වන නාමය වෙනස් වූවත් ගුණයන්ගෙන් කිසි අඩුවක් නොවේ.  


DSC_0127

අතීතයේ සිට පෝෂණීය ආහාර වේලක් සඳහා පලා වර්ගයක් එක්කිරීම ගෘහණියන් විසින් සිදුකරන අනිවාර්යය දෙයකි. එනමුත් නූතනයේ සංකීර්ණ සමාජ රටාව මත කාන්තාවන් ඉක්මන් තෙරීම් ඔස්සේ යමින් පලා වර්ග තම කෑම මේසයට එක්කිරීමට පවා අමතක කර තිබේ. නොදන්නාකම හා උනන්දුවක් නොමැති නිසාවෙන් ශරීර සෞඛ්‍යයට හිතකර දේ අපෙන් කෙමෙන් කෙමෙන් මගහැරී යන්නේ අපේ රටේ තිබෙන මෙවන් ගුණදායී දේවලින් කිසිදු ප්‍රයෝජනයක් නොලබාය. එමනිසා පලාවර්ග හා එහි පෝෂණීය ගුණය ආදී විවිධ කාරණා පිළිබඳ අධ්‍යයනය කර ලංකාවේ විවිධ පළාත්වලට ගොස් ස්වකීය පෝෂණ අත්දැකීම් අන් අය හා බෙදා ගන්නා සූපවේදිනී නිර්මලා විජේරත්න මහත්මිය %අද^ හා සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.  
&අපට අතීතයේ සිටම ගස්වැල් හා පවතින්නේ දීර්ඝ කාලීන සම්බන්ධයක්. එය ගස්වැල් නොමැතිව ජීවත් විය නොහැකි තත්ත්වයකට අපිව පත්කර තිබෙනවා. මේ සොබාදහමේ තිබෙන ගස්කොළන් ඇත්තෙන්ම අපේ ජීවිතය වගේම අපිට වටින දෙයක්. නමුත් එහි වටිනාකම තේරුම් ගැනීමට හැකි වන්නේ ඉතා සුළු පිරිසකටයි. 

ජපානය තුළ මේ වන විට ආහාරයට සුදුසු කුමන අන්දමේ ඒවාද, ඒවා පරිභෝජනයට ගත යුත්තේ කෙසේද යන්න පවා හඳුනාගෙන අවසන්. නමුත් කනගාටුදායක කරුණ වන්නේ අපේ රටේ එවැනි තත්ත්වයක් තවමත් උදා වී නොමැති වීමයි. අපේ රට තුළ තිබෙන පලා වර්ගවලින් හරිහැටි බාගයක්වත් තවම අඳුරගෙන නැහැ. ඒ වගේම ඒවායේ ඇති ගුණ ගැන දන්නේ නැහැ.  1111

අපි කොළ ජාතියක් ආහාරයට ගැනීමේදී ගොඩාක් දේවල් එයින් අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් පලා වර්ග සඳහා වැය වන්නේ ඉතා අඩු මිලක්. ඒ වගේම අපේ කෑම වේලට පලා වර්ගයක් එකතු වෙනවා කියන්නේ ආහාරයට තව දෙයක් එකතු වෙනවා කියන එක. සෑම කෙනෙක්ගේම සමේ පැහැපත්බව, දත්, නිය, කෙස් මැනවින් වර්ධනය වීමට පලා වර්ග ඉතාම ගුණදායී දෙයක්. එහි අන්තර්ගත කෙඳි (සෙලියුලෝස් ) ප්‍රමාණය වැඩි නිසා වැඩි වේලාවක් කුසගින්න දරා සිටීමේද හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අනෙක් කාරණය තමයි පලා වර්ග ආහාරයට ගැනීමෙන් බහිශ්‍රාවිය කටයුතු පහසු වෙනවා. මලබද්ධය එමගින් දුරු කරගැනීමට පුළුවන්. දියවැඩියාව, රුධිර පීඩනය වැනි රෝග තිබෙන කෙනෙකුට බොහෝ වෛද්‍යවරුන් පවසන්නේ බත් පොඩ්ඩක් ආහාරයට ගෙන හා එළවළු වැඩියෙන් ආහාරයට ගන්නා ලෙසයි. පලා වර්ග වැඩි පුර ආහාරයට ගැනීම මගින් ආහාරයේ ප්‍රමාණය වැඩි කරනවා පමණක් නොව එහි පෝෂණීය ගුණයත් ශරීරයට එක් වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය විටමින් %ඒ^, විටමින් %ඩී^, විටමින් %ඊ^, කැල්සියම් යනාදී විටමින් හා ඛනිජ ලවණ අපේ ශරීරයට එකතු වෙනවා. මේ නිසා අපි අනිවාර්යයෙන් පලා වර්ගයක් ආහාරයට එකතු කර ගැනීමට වගබලා ගතයුතුයි. 

අතීතයේදී සෙම්ප්‍රතිශ්‍යාවක්, දියවැඩියාවක් තිබුණොත් වල් කොත්තමල්ලි ටිකක් තම්බගෙන බොන එක  සිරිතක්. මුත්‍රා අමාරුවක් තිබුණොත් හීන මොල්ලි, පොල්පලා ටිකක් තම්බන් බොනවා. වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ බුද්ධදාස රජු කෝවක්කා කොළ ටිකක් දුන්විට ළමයින් ඇඟ තෙමා ගැනීම යම්තාක් දුරට පාලනය වන බවට පවසා තිබෙනවා. 

එසේ ගත්විට දියවැඩියාවට, අධිරුධිර පීඩනයට, ආතරයිටීස් මෙන්ම පිළිකා පවා සුවකළ හැකි ගුණයක් මේ කියන පලා වර්ගවල අන්තර්ගතව තිබෙනවා. දේශීය වෙදකම තුළින් භාවිතයට ගන්නා මේ පලා වර්ගවල විස්මිත ගුණය නිසා බොහෝ ලෙඩ රෝග නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් පලා වර්ගවල අප කවුරුත් නොසිතන ආකාරයේ විස්මිත ගුණ වර්ගයන් අන්තර්ගතව තිබෙනවා. 

අපි යම් කිසි රෝගී තත්ත්වයක සිටිනවා නම් අපි ආහාරයට ගන්නා පලා වර්ගවලින් ඒවා සමනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම අපි නිතර ආහාරයට ගන්නා පලාවලට රෝග වැළැක්වීමේ හැකියාවද තිබෙනවා. නමුත් අප දැනගත යුතුයි මෙහි සීමාවක් තබා ගැනීමට. ඕනම දෙයක් ඕනෑවට වඩා ආහාරයට ගන්න හොඳ නැහැ. කොයිතරම් ගුණ දෙයක් වුණත් අපි ඒක ගන්න ප්‍රමාණයක් තිබෙනවා.

ඉස්සර කාලයේ පොඩි දරුවන්ට පණු අමාරුවක් සෑදුණු විට එරබදු කොළ මලවලා දෙනවා. ඒ වගේම කොස් දලු, වරකා දලු දියවැඩියාවට හොඳයි කියා ඔබ අසා තිබෙනවා නේද? වරකා දලු සම්බොලේ පිළියෙල කරගෙන කන්න පුළුවන් වගේම උණු වතුරේ දමා තැම්බීමෙන් පසුව පානය කරන්නත් පුළුවන්. 

නමුත් අපේ රටේ මිනිසුන් බහුතරයක් පුරුදු වෙලා තිබෙන්නේ ගොටුකොළ, කංකුං, මුගුණුවැන්න, සාරණ, නිවිති වගේ පලා වර්ග 4ක් හෝ 5ක් පමණක් පරිභෝජනයට ගන්නයි.  
කුරුණෑගල ප්‍රදේශය අවට තණකොළ සේ පොළව පුරා වෙලී යන ශාකයක් තිබෙනවා. එය %තණපලා^ හෙවත් %ගිරා පලා^ යන නමින් හඳුන්වනවා. ඇත්තෙන්ම එය හරි රසවත්. මෙම පලා වර්ගයේ තණකොළ වගේ බූවක් නැහැ. ඒ වගේම මෙය මෘදු බවකින්ද යුක්තයි. මෙය පිසීමෙන් හෝ මැල්ලුමක් වශයෙන් අනුභව කරන්න පුළුවන්. නමුත් වල් නාෂක ලෙසින් නොයෙක් රසායනික බෙහෙත් මිනිසුන් හරි හරියට භාවිත කරන නිසා දැන්නම් ඒවා බොහෝ දුරට වඳවී ගොස් අවසානයි. ලංකාව තුළ කිසිදු අප්‍රසන්න භාවයකින් කන්න පුළුවන් පලා වර්ග 185ක් වැනි ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් පලා වර්ග කන්න හැකි වුණත් බෙහෙත් රස වැනි දෙයක් කටට දැනෙන නිසා අප්‍රසන්න බවක් ඇති වෙනවා. නමුත් ඇතැම් පලා වර්ග තිබෙනවා ඉතා රසවත් ලෙස බත් සමග කන්නට පුළුවන්.  
මෙලෙස අපි හඳුනා ගන්නා පලා, වර්ග කිහිපයක් ඔස්සේ බෙදා දැක්වීමට පුළුවන්. නුග, බෝ වගේ ගස් %වනස්පති^ ලෙස හඳුන්වනවා. මල්, ගෙඩි හැදෙන කොස්, දෙල් වගේ ගස් හඳුන්වන්නේ %වනස්පත්ථ^ යන නමින්. ඒ වගේම කුඩා පඳුරු ශාක %ගුච්ජ^ යන නමින් හඳුන්වනවා. 18 වැනි සියවසේ පමණ හඳුන්වා දුන් මේ ගස් වර්ග ආයුර්වේදයට අනුව නම් ඉතාම වටිනවා. ඒ වගේම ගසකට පොත්ත ඇලී පවතිනවා සේම අපේ ජීවිතේට පලා වර්ග අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා මම හිතනවා. අපි උදෑසන කිරි බොන එක වුණත් අපිට පුරුදු පුහුණු කළ දෙයක්. ලංකාව ගැන හරියට විග්‍රහ කර තිබෙන්නේ ලංකාවේ පුද්ගලයන් නෙමෙයි, ලංකාවට වෙනත් විදේශයන්ගෙන් පැමිණි අය තමයි අපේ රටේ දේවල් නියම ලෙසින් හඳුන්වාදී විග්‍රහ කර තිබෙන්නේ. රොබට් නොක්ස් වුණත් ලංකාවේ ආහාර පිළිබඳ බොහෝ දේ කියා තිබෙනවා. 

රණවරා මල්, බෙලිමල්, පොල්පලා මෙන්ම කොළ කැඳ උදෑසන පානය කරන එන අපේ පුරුද්දක්. නමුත් අපි මේ සියල්ල විවිධත්වයකින් යුතුව පානය කරන්න ඕන. එහි විවිධත්වයක් තිබෙන්නට ඕන. කරපිංචා කැඳ උදෑසන පානය කරන එක හොඳයි කිව්වත් හැමදාම කරපිංචා කැඳ බොන්න හොඳ නැහැ. මොන තරම් හොඳ කෑමක් වුණත් අපි ඕනවට වඩා ආහාරයට ගත්විට සීනි, ප්‍රෝටීන් වැනි දේ අධික වෙනවා. 

DSC_0128

ගොටුකොළවලට දෙහි දමා ආහාරයට ගත්විට කැල්සියම් ලවණ තැන්පත් වෙනවා. නමුත් ගොටුකොළ හා දෙහි කියන්නේ නැතිවම බැරි දෙයක්. සමහර පලා වර්ග උයනකොට අපි අනිවාර්යයෙන් දෙහි ඇඹුල් ටිකක් දැමීමට අවශ්‍යයි. එමගින් තමයි ඒ තුළ තිබෙන කැල්සියම් ප්‍රමාණය ශරීරයට උරා ගැනීමට අපිට හැකිවන්නේ. මෙවැනි සුළු සුළු දේවල් පවා ඇතැම් විට මිනිසුන් නොදන්නවා වෙන්න පුළුවන්. 
අපි පලා වර්ග ආහාරයට ගත්විට ඒ ලෙසින්ම ශරීරයට අවශෝෂණය වනවාද යන්න පිළිබඳවත් ගැටලු මතු වෙනවා. මේ නිසා විශේෂයෙන් පලා වර්ග උයනකොට වුණත් අපි දැනගන්න ඕන එහි පෝෂණීය ගුණයට හානියක් නොවන අයුරින්  ඒ අවශ්‍ය අනෙකුත් දේවල් එක්කර ගන්න. සෑම පලා වර්ගයක්ම පුළුවන් සෑම අවස්ථාවකම අමුවෙන් ආහාරයට ගන්නවා නම් හොඳයි. ගොටුකොළ හෝ අගුණකොළ සම්බෝලයක් පිළියෙල කිරීමේදී බොහෝ වෙලා තබා ආහාරයට ගන්නවාට වඩා ඒ අවස්ථාවේ පිළියෙල කර ආහාරයට ගැනීම තුළින් එහි අන්තර්ගත විටමින් සී ප්‍රමාණය අපිට ලබාගන්න පුළුවන්. 

ඉස්සර කාලයේ මිනිස්සු අගුණකොළ මැල්ලුම මලවා ගත්තේ බත් මුට්ටියේ බත උයා අවසන් කර බත නිවෙන්නට ළිපේ තිබියදී බත උඩින් කෙසෙල් කොළයක් එලා ඒ රස්නයෙන්. මේ නිසා විශේෂයෙන්ම රසය හා වර්ණය ගැනත් අපි අවධානය දැක්වීමට අවශ්‍යයි. අනෙක් අතෙන් එය කෑමට ප්‍රියතාවක්ද ඇති වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන එහි පෝෂණ ගුණය ආරක්ෂා කර ගන්න, එහි පැහැය ආරක්ෂා කර ගන්න, ගුණය ආරක්ෂා කරන්න අපි දැනගන්න ඕන. ඕනෑම දෙයක් පේන තරම් සරල නැහැ. 
මගේ පළවැනි පෝෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන කළේ හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී. මට ඒ කාලයේ පොඩි වයසක් තිබුණත් ඒ වෙනකොටත් මම බොහෝ දේ දැනගෙන හිටියා. නමුත් ඒ ප්‍රදේශයේ ජනතාව තමන්ගේ පයට නිකරුණේ පෑගෙන කොළ වර්ගවල කොච්චර ඖෂධීය ගුණයක් තිබෙනවාද, කොයිතරම් ගුණවත්ද, ආහාරයට ගන්න පුළුවන් ක්‍රම මොනවද යන්නවත් දැන සිටියේ නැහැ. ඒ සියල්ල පසුකර ඔවුන් කඩේට හෝ පොළට ගිහින් මිලදී ගන්නේ කැරට් ලීක්ස් වගේ දේවල්. හරකගේ කිරිටික විකුණලා, කිරිපිටි කඩෙන් ගෙනැවිත් බොන ක්‍රමයක් තමයි බොහෝ අය තුළ තිබෙන්නේ. 

ඒ වගේම දැනට අවුරුදු 4කට පමණ පෙර මම වවුනියාවේ ගිය අවස්ථාවේදී තැල්කොළ යායට වැවිලා තියෙනවා දැක්කා. නමුත් ඒ ප්‍රදේශයේ ගෘහණියන් මේ ගැන දැනගෙන සිටයේ නැහැ. මම ඒ හැමෝටම පේන්න තැල්කොළ උයලා පෙන්නුවා. හැමෝම රසයි කියා රස බැලුවා. නමුත් ඔවුන් මීට පෙර මේවා ආහාරයට සුදුසුදු නැද්ද යන්නවත් දැන සිටියේ නැහැ. 

ඇතැමුන් මෙය කනවා කියලා දැන සිටියත් එය උයන ආකාරය පිළිබඳ දැන සිටියේ නැහැ. අපි තැල්කොළ කිව්වත් ඔවුන් එය හඳුන්වන්නේ අඳුන් පලා කියන නමින්. ඇසේ පොඩි තුවාලයක් වුණත් මේ කොළ ඉස්ම ටිකක් අාලේප කිරීමෙන් සුවවන බව ඔවුන් විශ්වාස කළා. කුරුණෑගල, බිංගිරිය, කුලියාපිටිය වැනි ප්‍රදේශවලද විශාල වශයෙන් මෙය ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම වවුනියාව, අනුරාධපුර, පොළොන්නරුව, කතරගම ප්‍රදේශවලත් මෙය දකින්නට පුළුවන්. 
මිනිස්සුන්ගේ තවත් මතයක් තිබෙනවා තමන්ගේ තත්ත්වය ගැන සිතා කැලෑ කොළ වර්ග කන්න බැහැයි කියන දෙය. මේ ගැන පොඩි ලැජ්ජාවකුත් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම මිනිසුන් නොයෙක් රසායනික ද්‍රව්‍ය භාවිත කර හදපු පලා වර්ග පහසුව මත බොහෝ දෙනා මිලට ගන්නවා. නමුත් එය එතරම් හොඳ දෙයක් නෙමෙයි. 

ලෝලු නමින් හඳුන්වන්නේ පලතුරක්. නමුත් ලෝලු ගස්වල දලු පවා කෑමට ගන්න ඉතා ගුණදායී දෙයක්.  ඒ වගේම වැල් තිබ්බටු කොළ ඇත්තෙන්ම රසවත් පලා වර්ගයක්. නමුත් බොහෝ දෙනා මෙය දන්නේ නැහැ. විශේෂයෙන් ගම්වල වෙසෙන අය වුණත් මේ ගැන නොදන්න තරම්. නමුත් මේවයේ ගුණය මෙන්ම රසයත් ඉතාම වැඩියි. සෙම් රෝග තිබෙන අයට මෙය ඉතා සුවදායී ආහාරයක්. 

කිරි අලකොළ කියන්නෙත් ඉතාම ගුණදායී ආහාරයක්. කිරි අලකොළ කෑවම වෙනත් අලකොළ වගේ කට කසන්නේ නැහැ. සෙම් රෝග තිබෙන අයට මෙය වඩාත් ගුණදායී වෙනවා. එහි ග්‍රෑම් සියයක කැරට් කිලෝ එකක තිබෙන කැරටීන් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. 
මම දන්න විදිහට නම් මොන කොළ ජාතියක්වත් අගුණයි කියලා කියන්න බැහැ. අපි රණවරා ශාකය ගත්තත් රණවරා මල් තම්බලා බොන්න පුළුවන්, කොළ මැල්ලුම් හදන්න පුළුවන්, ඒ වගේම ව්‍යංජනයක් හදන්න පුළුවන්, කැඳ හදලා බොන්න පුළුවන් වගේම සම්බෝලේ හදලා කන්න පුළුවන්. බොහෝ අය දන්නේ රණවරා මල් තම්බලා බොන්න හරි කොළවලින් මැල්ලුම් හදන්න විතරයි. නමුත් රණවරා කැඳ එහෙම දියවැඩියාවට ගොඩක් හොඳයි. ඒ වගේම මුළු ගසේම පොතු, මල්, කොළ වියලා කුඩු කර බීමක් ලෙසින් ගත හැකි නම් එයත් දියවැඩියාවට ඉතාමත් හොඳ බව ආයුර්වේදයේදී පිළිගන්නා දෙයක්. උදෑසනට රණවරා කෝප්පයක් බොන්න පුළුවන්. ලංකාවේ බොහෝ පැතිවල අනෝදා කොළ උණු වතුරට දමා ඒ තැම්බූ වතුර පානය කරනවා. පිළිකා තත්ත්වයන් වළක්වා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙන බවට අනෝදා හඳුනාගෙන තිබෙනවා. ඉස්සර කාලේ ලබු දලුවල හාල්පිටි ගාලා වණ්ඩුවේ දාලා තම්බලා උයනවා. මේ පලා වර්ග ගැන මම අධ්‍යයනය කරන කොට සිතුණ දෙයක් තමයි මේ තරම් පෝෂණීය ගුණයෙන් යුත් දේවල් තිබෙන රටක, සම්පත් තිබෙන රටක ඒවා ගැන මනා දැනුවත් භාවයක් නොමැති වීමත් මොන තරම් අවාසනාවන්ත දෙයක්ද කියා. මොකද, මේ දේවල්වලින් ප්‍රයෝජනයක් ලබා ගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා. නමුත් අප ඇත්තෙන්ම අපේ දේශීය දේවල් අගය කර ඒ පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. එයින් සිදුකළ හැකි නිෂ්පාදනයන් තුළින් රටේ ආර්ථිකයට ශක්තියක් මෙන්ම රටේ මහජනතාවට නීරෝගීමත් ජීවිතයක් උදා කර දීමට ඒ ඔස්සේ ක්‍රියා කළ යුතුයි*. 



Recommended Articles