නව පරපුරට විලාසිතා නිර්මාණ කරන සම්මානනීය නිරූපිකාව


මෝස්තර නිරූපිකාවක ලෙස ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තලයක රැඳී සිටින යමීෂා රසාදි මෝස්තර නිර්මාණකරණයෙන්ද අලුත් දෑ සිදුකරමින් සිටිනුයේ මීෂාස් ක්ලෝසෙට් (MEESHA’S CLOSET) යන නාමයෙන් විලාසිතා හඳුන්වා දෙමිනි. පාරිභෝගිකයන් සඳහා ඔවුන්ටම විශේෂිත වූ විලාසිතා නිර්මාණකරණයේ යෙදෙන ඇය %අද^ කාන්තා පිටුව සමග මෙලෙස කතාබහකට එකතු වූවාය.


මෝස්තර නිර්මාණකරණයට ප්‍රවේශ වීම

මම මුලින්ම නිරූපිකාවක් ලෙසයි ක්‍ෂේත්‍රයට ප්‍රවේශ වුණේ. ඉන් පසුව ජාතික හා ජාත්‍යන්තර තලයේ තරගවලට සහභාගි වෙලා සම්මාන දිනා ගත්තා. මම මෝස්තර නිර්මාණකරණයට යොමු වුණේ ඉතාලියේ සිටියදීයි. ඉතාලියේ ඉද්දී මම මෝස්තර නිර්මාණකරණය පිළිබඳ ඉගෙන ගත්ත දැනුමෙන් දෙයක් කරන්න ඕන කියලා හිතුණ නිසා තමයි මම මෝස්තර නිර්මාණකරණයට යොමු වුණේ. 
මගේ අම්මා තමයි මම නිර්මාණය කරන ඇඳුම් මසා නිම කරන්නේ. මුලින් මම මෙය කළේ ඔන්ලයින් බිස්නස් එකක් විදිහටයි. ළඟදී අපි හෝමාගම ප්‍රදර්ශනාගාරයක් විවෘත කළා මීෂාස් ක්ලෝසෙට් නමින්. මෙහි තවත් ශාඛාවක් නුගේගොඩ විවෘත කිරීමටත් බලාපොරොත්තුවක් තියෙනවා. මගේ නම යමීෂා නිසාත්, නංගීගේ නම උමීෂා නිසාත් මීෂා කියන නම අපි මෙම ව්‍යාපාරයට යොදා ගත්තා. මගේම කියලා ව්‍යාපාරයක් කිරීමට තිබෙන අවශ්‍යතාව මත නිරූපණයේ යෙදෙන අතරතුර මම මේ ව්‍යාපාරයේ යෙදී සිටිනවා.

පාරිභෝගිකයන්ට විශේෂිත මෝස්තර

ඒ ඒ අයට ඕන ආකාරයට කස්ටම් මේඩ් ඩිසයින්ස් කරලා දෙන්න වගේම අපි නිර්මාණය කළ මෝස්තරත් අපේ ප්‍රදර්ශනාගාරයේ තිබෙනවා. විවිධ උත්සව අවස්ථාවන්ට හා විවාහ උත්සව සඳහා දෙවැනි මනාලියන්ගේ හා මල්කුමාරියන්ගේ ඇඳුම් නිර්මාණ කටයුතුත් අප විසින් සිදුකරනු ලබනවා.

ඒ වගේම අපේ ප්‍රදර්ශනාගාරයට එන අයට සාමාන්‍ය ගමනට ගැළපෙන විලාසිතා මිලදී ගැනීමට හැකි වන ලෙස පහසුකම් සපයා තිබෙනවා. අපේ රටේ තරුණියන්ට දැන් විලාසිතා පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. ඒ නිසා විලාසිතා ඔවුන්ට ගැළපෙන ලෙස නිර්මාණය කරන්න යොමු වෙනවා වැඩියි. ඒ ගැන ලොකු දැනුමක් නැති අය වුණත් අපිත් එක්ක කතා කරලා ඒ අයට ගැළපෙන නිර්මාණය තෝරා ගන්න යොමු වෙනවා.

බහුතර පිරිසක් අතරින් කැපී පෙනීම

අපි වෙළෙඳ පොළෙන් නිමි ඇඳුමක් තෝරා ගන්නේ ඒක අපිට හරියටම ගැළපෙන නිසාම නොවෙන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ තිබෙන ඇඳුමක් මිලදී ගන්න අයත් ඉන්නවා. නමුත් උත්සවයකදී හෝ වෙනයම් තැනකදී හැමෝම අතරින් කැපී පෙනෙන පෙනුමක් ලබා දෙන්නට කස්ටමර් මේඩ් ඩිසයින්වලට හැකියාවක් තිබෙනවා. මොකද ඒ නිර්මාණය කරන්නේ ඒ පුද්ගලයාට ගැළපෙන වර්ණ, ගැළපෙන මෝස්තරයන්ට අනුවයි. අද කාලයේ ලෝකයේ ඕනෑම තැනක තිබෙන මෝස්තර අපේ රටට කෙටි කාලයකින් එනවා. මොකද අද අන්තර්ජාලයෙන් ඒ හැම දෙයක්ම බලන්න පුළුවන්. මේ නිසා මම ඉතාලියේ ඉගෙන ගත්ත දේවල් අපේ රටට ගළපන්න මට ලොකු අමාරුවක් නැහැ. මමයි නංගියි පොඩි කාලේ ඉඳන්ම ඇන්දේ අම්මා මහලා දෙන ඇඳුම්. තාමත් මම අඳින ගොඩක් ඇඳුම් මහන්නේ අම්මා. මගේ අම්මා බුද්ධිකා නාවලගේ. ඇය ඇඳුම් නිර්මාණකරණය පිළිබඳව අධ්‍යාපනය ලැබූ කෙනෙක්. ඒ නිසා අම්මාට මේ දේවල් ගැන හොඳ දැනුමක් තිබෙනවා. මට ඒ නිසා මෝස්තර නිර්මාණ කරන්න පහසුයි. මටත් ඇඳුම් මහන්න පුළුවන්. මම මහන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. නිරූපිකාවක් විදිහට මම නිර්මාණය කරන ඇඳුම්වල විශේෂත්වය දැකලා ගොඩක් අය මගෙන් ඇඳුම් මෝස්තර නිර්මාණය කරගන්න යොමු වෙනවා. තමන්ට විශේෂ, වගේම ගැළපෙන ඇඳුම් මෝස්තර මීෂාස් ක්ලෝසෙට් වෙතින් නිර්මාණය කරන්න නිතරම සූදානමින් ඉන්නවා. MEESHA’S CLOSET ෆේස් බුක් පිටුවට පිවිසීමෙන් අපේ මෝස්තරවල විශේෂත්වය බලන්න හැකියාවක් තිබෙනවා. 



Recommended Articles