දෙස් විදෙස් මට්ටමින් ශරීර අභ්‍යාස පුහුණුකිරීම් සිදුකරන අපේ යුවතියක්


තරුණියක්, කාන්තාවක් හැඩට ඇඳීම, පැලඳීම පිළිබඳව මෙන්ම ශරීරයේ හැඩය, පෙනුම පිළිබඳවත් බොහෝ සේ සිතයි. ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ දේ කරයි. බොහෝ අය තමන්ගේ ශරීරයේ හැඩය පවත්වාගෙන යෑමට පුහුණුකරුවන් යටතේ නොයෙක් අභ්‍යාසවල නියුතු වේ. ආහාර සැලසුම් ක්‍රමවේද අනුගමනය කරයි. ලෝකය තුළ මෙන්ම ලංකාව තුළද වර්තමානයේදී එය විලාසිතාවක් වී හමාරය. ඉක්මන් ක්‍රමවේද අනුගමනය නොකර ජීවන කලාවක් ලෙසින් සෞඛ්‍යමත් දිවියක් ගතකිරීමට දෙස්විදෙස් බොහෝ පිරිසකට තම සේවාව සපයන තරුණියක් ලෙස ගයත්‍රි කොඩිතුවක්කු මහත්මිය හඳුනාගත හැකිය. නිවැරදි ආහාර පාලනය, යෝග්‍ය ව්‍යායාම ආදිය තුළින් ඇය ලබාදෙන පුහුණුව මගින් කෙටිකාලීන වශයෙන් නොව දිගුකාලීන වශයෙන් ප්‍රතිඵල ලබාගත හැක. ඇය මේ පිළිබඳව අද සමග පැවසුවේ මෙලෙසිනි. 


අලුත් ක්ෂේත්‍රයක නැවුම් අභිප්‍රායකින් ගමන් කරන ඔබේ මේ ගමනේ ආරම්භය පිළිබඳව කතා කළොත්?

මම ලංකාවේ රජයේ පාසලකින් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන ඕස්ට්‍රේලියාවට ගියේ මගේ උපාධියේ වැඩ කටයුතුවලටයි. මගේ උපාධිය අවසන් කර නැවත පැමිණ මම මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 05ක් පමණ කාලයක් සේවය කළා. නමුත් ඒ සියලු දේවල් අතරින් අවසානයේ මම තෝරා ගත්තේ මේ දෙයයි. දැන් වසර දෙකක පමණ කාලයක සිට මා ශරීර අභ්‍යාස පුහුණුකිරීම් (fitness trainer) කටයුතු දෙස් විදෙස් මට්ටමින් සිදුකරනවා. ඒ වෙනුවෙනුයි දැන් මගේ සම්පූර්ණ කාලය වෙන් කර තිබෙන්නේ. 

ඔබේ පුහුණුව දේශීය පමණක් නොව විදේශීය සේවාදායකයන්ටත් ලබා දෙනවාද?

ඔව්, මම අන්තර්ජාලය හරහා විදෙස් රටවල වෙසෙන මගේ සේවාදායකයන්ටත් පුහුණුවීම් ලබා දෙනවා. ඔවුන්ට මෙහිදී අවශ්‍ය වන ආහාර ගැනීමේ සැලසුම් ක්‍රම සකස් කර දීම මම සිදුකරනවා. මේ ක්ෂේත්‍රය තුළ ලංකාවේදී එවැනි ඔන්ලයින් පුහුණු ක්‍රමයක් ප්‍රථමයෙන් ආරම්භ කළේ මමයි තව එක්කෙනෙකුයි පමණයි.
මේ ක්ෂේත්‍රය තුළ විශාල වශයෙන් වර්ධනයක් අද වන විට පෙන්නුම් කරනවා. ශාරීරික අභ්‍යාස පුහුණු වීම, ජිම් (GYM) එකකට යෑම කියන එක අද එක අතකින් විලාසිතාවක් බවට පත්වෙලා තිබෙනවා. නව මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී මේ ක්ෂේත්‍රයෙන් ඉහළට ගිය බොහෝ පුද්ගලයන් අද වන විට  සිටිනවා. 

මේ ක්ෂේත්‍රය කාන්තාවන්ට සුවිශේෂී එකක් වෙනවාද, ඔවුන්ගේ පුහුණු කිරීම් සිදුකරන්නේ කෙසේද?

සැබෑ ලෙසම ගැහැනු අයගේ ශරීර අභ්‍යාසවල, පිරිමි අයගේ ශරීර අභ්‍යාසවලට වඩා පැහැදිලි වෙනසක් තිබෙනවා. බොහෝ තරුණියන්, කාන්තාවන් සෑම විටම උත්සාහ කරන්නේ බාහිර ස්වරූපයේ ඉක්මන් වෙනසක් දැකීමටයි. ඔවුන්ට තිබෙන්නේ කෙට්ටු වීම, මාස කිහිපයක් ඇතුළත ශරීර බර ප්‍රමාණය මෙපමණ අඩු කරගත යුතුයි කියන සිතුවිලි. ඇතැම් විට විවාහය ආසන්න මාසවලදී ශරීරයේ හැඩය සකස් කර ගැනීම යනාදී විවිධ කාරණා නිසා මෙවැනි අභ්‍යාස කිරීමට ඔවුන් අප වෙත පැමිණෙනවා. එවැනි කෙටි ක්‍රම විනා කිසිවිටෙකත් ජීවිත කාලය පුරාවටම පවත්වාගෙන යා හැකි හොඳ සෞඛ්‍ය පුරුදු තම ජීවිතයට එක්කර ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. 

නමුත් මෙය දීර්ඝකාලීනව ජීවිතයේ කොටසක් කර සිදුකරන විට එයින් ලැබෙන එක් අතුරු ඵලයක් තමයි ශරීරයේ හැඩය වෙනස් කර ගැනීමට හැකි වීම. ඊට අමතරව තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය මේ මගින් යහපත් වෙනවා, ඇවිදින විදිහ, හිතන විදිහ යනාදී සෑම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් මේ පිළිබඳ බොහෝ අය වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ අතින් බැලුවහම ලංකාවේ කාන්තාවන් අනෙක් රටවල කාන්තාවන්ට වඩා පිටුපසිනුයි සිටින්නේ. මම වුණත් මෙම පුහුණු කටයුතු ආරම්භ කළ කාලයේ මහත්ව ඉඳලා කෙට්ටු වුණ කෙනෙක්. 

IMG_5394

ඔබ වැඩියෙන්ම නියැලෙන්නෙ කුමන අභ්‍යාස පුහුණු වීමකද?

මුලින්ම මම මෙම පුහුණුවීම් එකවර ආරම්භ කළේ නැහැ.  දුවන එක තමයි මුලින්ම මම කළේ. පසුව යෝගා ව්‍යායාම කළා. දැන් මම බර ඉසිලීම තමයි වැඩිපුරම කරන්නේ. මම මගේ ශරීරයේ යෝග්‍යතාව පවත්වාගෙන යන්නේ එමගිනුයි. 
අනෙක් රටවල කාන්තාවන් හරිම ශක්තිමත්ව සිටිනවා. ඔවුන්ට කඳු නගින්න පුළුවන්, බර උසුලන්න පුළුවන්. මේ ආදී බොහෝ දේ කිරීමේ හැකියාවක් ඔවුන් සතුව තිබෙනවා. ඒ නිසයි මම මේ ක්ෂේත්‍රයට මේ තරම් ඇල්මක් දක්වන්නේ. මම මෙය ආරම්භ කළ විට මගේ වැඩි කැමැත්තක් තිබුණේ ඒ දක්ෂතා දියුණු කර ගැනීමටයි. පෞද්ගලිකව වුණත් මම වැඩි කැමැත්තක් දක්වන්නේ බර ඉසිලීමේ නියුතු වෙන්නයි.

ලංකාවේ විලාසිතාවක් බවට පත්වී තිබෙන මෙම ක්ෂේත්‍රයේදී සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වමින් පුහුණු කරන කෙනෙක් ලෙස  ඔබ ලබාදෙන දායකත්වය පිළිබඳ කතා කළොත්?

මගේ සේවාදායකයෙකු මේ මාසය තුළ මෙපමණ ප්‍රමාණයක් ශරීරයේ බර අඩු කරගැනීමට අවශ්‍යයි කියා කිවහොත් මම ඒ පිළිබඳව කවදාවත් සහතික වෙන්නේ නැහැ. මොකද මම මෙහි සෞඛ්‍ය හා නීරෝගීකම ගැන පමණයි අවධානය යොමු කරන්නේ.  මම ඒ පිළිබඳ මගේ සේවාදායකයන් වගේම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේත් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම සේවාදායකයාට පෞද්ගලිකව පුහුණුවීම් සිදුකිරීමේදී මම හොඳ තෝරා ගැනීමක් කරනවා. එය ඔවුන්ට මේ සඳහා ඇති උනන්දුව මත ප්‍රධාන වශයෙන් පදනම් වෙනවා. 

අද බොහෝ අය ශරීරයේ හැඩය පවත්වාගෙන යෑමට ඉක්මන් ක්‍රම භාවිත කරනවා. ඔබ සෞඛ්‍යයට ප්‍රමුඛතාව දෙන කෙනෙකු ලෙස ඒ පිළිබඳ මොකක්ද හිතන්නේ?

විදේශ රටවල නිරූපිකාවන්, නළුනිළියන් වුවත් ඔවුන් තමන්ගේ ශරීර හැඩය පවත්වා ගැනීම සඳහා කුමන ආකාරයේ දේවල් භාවිත කරනවාද කියා අපි දන්නේ නැහැ. ඔවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් මෙවැනි මත්ද්‍රව්‍ය භාවිත කරනවා. ඇතැම් විට අපි සිතන ස්වාභාවික පෙනුමක් තිබෙන කෙනෙක් වූවත් මේවා භාවිත කරනවා විය හැකියි. ඉතින් අපි අපේ ශරීර හැඩය හදාගන්න උත්සාහ කරන්නේ ඒ වගේ අය දෙස බලලා. 

ඉතින් ඒ වගේම මේවා භාවිත කිරීමේදී බොහෝ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මේවා මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති විවිධ ඉන්ද්‍රීයන් දියවෙන්න පුළුවන්, පිරිමි කෙනෙකු නම් ඔවුන්ට ළමයින් හදන්න බැරි වෙන තත්ත්වයන් පවා ඇති වීමට පුළුවන්. ලස්සන වෙනුවෙන් ශරීර අභ්‍යන්තරය විනාශ කර ගැනීමට අපිට අවශ්‍යතාවක් නැහැ.  නමුත් දැන් එය විලාසිතාවක් බවට පත්වෙලා තිබෙනවා. අපේ බොහෝ අය ඉක්මන් ක්‍රම අනුගමනය කිරීමට යෑමෙන් තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ. 

මම වුණත් පුහුණු වීම් ආරම්භ කර දැනට වසර 05ක් වෙනවා. නමුත් මගේ ශරීරය යම් මට්ටමකට හදා ගැනීමට මට තවත් වසර 03ක පමණ කාලයක් ගත වේවි.  අනෙක මෙය ජීවිතය පුරාවටම සිදුකළ යුත්තක්. ඒ නිසා එය මාසයකින්, දෙකකින් සම්පූර්ණ කර ගැනීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ගැන උනන්දුවක් තිබෙන අයට මම කියන්න කැමතියි මෙය ජීවිතය පුරා කරන්න ඕන දෙයක් ලෙස, ජීවිතයේම කොටසක් (Life style) කරගන්න කියලා. 

තමන්ගේ ශරීරයේ යෝග්‍යතාව ගැන හිතන අයට ඔබ නිර්දේශය කරන්නෙ මොන වගේ ආහාරද?

ලංකාවේ කෑම ඕනෑ තරම් තිබෙනවා. නමුත් ඒ ආහාර පරිභෝජනය කිරීම පිළිබඳ අපිට නිසි දැනුමක් නැහැ. අපේ රට තුළ බොහෝමයක් පෝෂ්‍යදායී ආහාර තිබෙනවා. දූපතක් නිසා අපිට මාළු වුණත් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. අපි වැඩි ප්‍රමාණයක් බත් හෝ පිටි ජාතී කෑම කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ මේ කෑම පාලනය කරලා කන්නේ කොහොමද කියලා. බත් නොකා ශරීර හැඩය පවත්වා ගැනීමට උත්සාහ කරන අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් එසේ කිරීමට අවශ්‍ය නැහැ. මම වුණත් එක් වේලක් බත් ආහාරයට ගන්නවා. හැබැයි මම උපරිමයෙන්ම බත් ග්‍රෑම් 150ක් හෝ 200ක් පමණයි කන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අප අවධානයක් යොමු කළ යුතුයි. 

ඇත්තෙන්ම මෙයින් ඔබේ ජීවිතයේ සැබෑ වෙනසක් සිදුවූවා කියා ඔබ සිතනවාද?

ඇත්තෙන්ම මේ නිසා මම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කිව්වොත් නිවැරදියි.  එය ශාරීරිකව පමණක් නොව මානසික වශයෙන්ද සැබෑ ලෙසම සිදු වූ දෙයක්. විශේෂයෙන්ම විෂාදය වැනි රෝගී තත්ත්වයන් මේ නිසා ඇත්තෙන්ම නැති වෙනවා. මම ඕස්ට්‍රේලියාවේ සිටින විට විෂාදය කියන තත්ත්වය මට හොඳටම තිබුණු දෙයක්. එයින් මට මිදෙන්න තිබුණු ඕනෑ කමත් මෙවැනි ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට එක් අතකින් බලපෑවා. 

ඉස්සර මට පිරිසක් ඉදිරියේ හරියට කතා කරන්න බැහැ. නමුත් දැන් එහෙම දෙයක් නැහැ. ඒ වගේම දැන් මට හැමදේම තනියම කරගන්න පුළුවන්. 

IMG_5440

ඔබ මේ පුහුණු කිරීමේ කටයුතුවලට අමතරව තවත් දේවල් සිදුකරනවාද?

මම දැන්නම් මගේ කාලයෙන් 90%ක් වගේ යොදවලා තිබෙන්නේ මේ පුහුණු කිරීමේ කටයුතු කරන්නයි. මුලින් නම් මම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩ කළා. ඒ වගේම දැන් සමහර ආයතන සමග එක්වී අලෙවි සන්නාම ප්‍රවර්ධන වැඩසටහන්වලටද සහාභාගි වෙනවා. ඊට අමතරව අභිප්‍රේරණ වැඩසටහන්ද සිදු කරනවා. 

ඉදිරියේදී මොන වගේ දේවල් කරන්නද ඔබ සැලසුම් කර තිබෙන්නේ?

ඉදිරියේදී මම මේ සම්බන්ධව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ශරීර අභ්‍යාස පුහුණු වීමෙන් (fitness training) ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ මේ ඔස්සේ ලාංකේය මහජනයාට ගෙන යෑමට අපේක්ෂා කරනවා. මිනිස්සුන්ට මේ තුළ තිබෙන්නේ ඉතා සීමිත දැනුමක්. ඒ නිසා මිනිසුන් ළඟට ගොසින් මේ පිළිබඳ දැනුමක් ලබාදෙන ව්‍යාපෘතියක් තමයි අපි සිදුකරන්නේ. එය මේ වර්ෂය අවසානයේ සිදු කිරීමට අපේක්ෂා කරනවා. 

ලංකාව තුළ මේ පිළිබඳ ක්‍රමවේදයක් හෝ ක්‍රියාත්මක කිරීමේදී විධිමත් ප්‍රමිතියක් සකස් කර තිබෙනවාද?

ලංකාවේදී මේ සඳහා තිබෙන වැඩමුළුවකට මම සහාභාගි වුණත් එය ප්‍රමාණවත් නොවන බව මට වැටහුණා. ලංකාව ඒ අතරින් මන්දගාමී තත්ත්වයක තිබෙන රටක්. කුමක් හෝ ආබාධයක් ඇතිවුණ විට එයට ප්‍රතිකාර කිරීම සඳහා විධිමත් පුහුණුවක් ලබාගත් අය මෙහි සිටිනුයේ ඉතාම සීමිත ප්‍රමාණයක්. නමුත් දැන් එය විලාසිතාවක් වන නිසා ටිකෙන් ටික වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා මම ඒ පිළිබඳ ඕස්ට්‍රේලියාවේදීත් වැඩිදුර පුහුණුවීමක් සිදුකළා. 

මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ?

මම කරන දේට වඩා වෙනස් විදිහට තව කෙනෙකු ඒ දේ කරනවා නම් මේ දෙකෙන් නිවැරදි කුමක්ද කියලා මම සොයනවා. කෙටි ක්‍රම නොමැතිව මේක ටිකක් කල් යන දෙයක් කියලා මුලින්ම කාන්තාවන්, තරුණියන් දැනුවත් කිරීමට අවශ්‍යයි. මුලින්ම තමන්ගේ ශරීරය ගැන බලලා ඒ අනුව තමයි තමන්ට ගැළපෙන දේ තෝරා ගන්න ඕන. මෙය එකපාර ප්‍රගුණ කිරීමට පුළුවන් දෙයක් නෙමෙයි. එය ටිකෙන් ටික වර්ධනය කරගත යුතු දෙයක්. 
මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකුට ඇයව සම්බන්ධ කරගැනීමට හෝ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් 0779265821 යන දුරකථන අංකය අමතා තොරතුරු ලබාගත හැකිය.  

IMG_5535

 

 



Recommended Articles