තෙලි තුඩින් අපූරු සිතුවම් මවන ම්‍රද්‍රණ චිත්‍ර කලා උපාධි අපේක්ෂිකාව


ඔබගේ පුද්ගලික විස්තර ටිකක් කිව්වොත්?

මගේ ගම ඇල්පිටිය තලගස්පේ. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලි සහ නංගී. පාසල් අධ්‍යාපනය මුලින්ම ලැබුවේ තලගස්පේ කනිෂ්ඨ විද්‍යාලයෙන්. එතනින් පස්සේ බටපොල මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වෙලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. දැන් දෘෂ්‍ය කලා පීඨයේ මුද්‍රණ කලා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂිකාවක් ලෙසින් කටයුතු කරනවා.  

ඔබ චිත්‍ර විෂයට යොමු වෙන්නේ කොහොමද?

මට පුංචි කාලේ ඉඳලාම චිත්‍රවලට ලොකු ආසාවක් උනන්දුවක් තිබුණා. ඒත් මම 10 ශ්‍රේණිය වෙනකම්ම හැදෑරුවේ නැටුම් විෂය. ඒ කාලයේදිමයි මට හිතුණේ නැටුම්වලට වඩා මට චිත්‍ර විෂයෙන් යමක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම චිත්‍ර විෂය හදාරන්න පටන් ගත්තා. අනාගතය ගැන ඒ කාලේ ලොකු ඉලක්කයක් නොතිබුණත් චිත්‍ර විෂයෙන්ම ඉදිරියට යනවා කියන අදහස නිතරම මගේ ඔළුවේ තිබුණා. සාමාන්‍ය පෙළට මට චිත්‍ර විෂයට තිබුණේ ඒ සාමාර්ථයක්. 

ඉදිරියට යන්න චිත්‍ර විෂය තෝරා ගනිද්දී තහංචි වැටුණේ නැද්ද?

උසස් පෙළටත් චිත්‍ර විෂය තෝරා ගන්නවා කිව්වාම ගොඩක් අය මට කිව්වේ %හොඳ සාමාර්ථයක් තියෙන නිසා කලා විෂයක් තෝරා ගන්න එක අපරාධයක්, කලා විෂයයන් කළා කියලා කාටද හරි ගියේ. ඔයා උසස් පෙළට ගණිතය කරන්න^ කියලා. ඒත් මගේ හිතට තදින්ම කා වැදිලා තිබ්බේ මම චිත්‍ර කරනවාමයි කියලා. එතැනදී මගේ පවුලේ අය මට කිසිම බලපෑමක් කළේ නැහැ. එයාලා මට නිතරම කිව්වේ ඔයා කැමති. ඔයාට පුළුවන්දේ කරන්න කියලා. චිත්‍ර තෝරා ගත්තා කිව්වාම එයාලා සතුටු වුණා.

මම චිත්‍රවලට තිබුණු ආසාව නිසාම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ චිත්‍ර ගමේදී ප්‍රදර්ශනයක් කළා. ආයෙත් උසස් පෙළ කළාට පස්සේ කොළඹත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ඒ ප්‍රදර්ශනයේදී වැඩිපුරම ඉදිරිපත් කරලා තිබුණේ අපේ කලාකරුවන්ගේ සහ ප්‍රසිද්ධ චරිතවල චිත්‍ර. ඒ ප්‍රදර්ශන දෙකේදිම මට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකත් එක්ක හිතේ ලොකු උද්යෝගයක් ඇති වුණා උපාධියටත් චිත්‍ර විෂය හදාරන්න. 

ඔබ හදාරන මුද්‍රණ චිත්‍ර කලා විෂය ගැන පැහැදිලි කිරීමක් කළොත්?

මම උපාධියට හදාරන මුද්‍රණ කලා විෂයත් බොහොම සුවිශේෂී විෂයක්. මුද්‍රණ චිත්‍ර කලාව ශ්‍රී ලංකාවේ භාවිත වෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. අපි එදිනෙදා භාවිත කරන ස්ක්‍රීන් ප්‍රින්ට් කියන්නේ මේ මුද්‍රණ චිත්‍ර කලාවේ එක කොටසක්. ලෝකයේ ඉන්න සහ හිටපු සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෝ ගත්තොත් ඒ හැමකෙනෙක්ම මුද්‍රණ චිත්‍ර කලාවටත් යොමු වුණු අයයි. මට ඕන මෙතැනදී එක් මාධ්‍යකට හෝ එක විෂයකට විතරක් සීමා නොවී චිත්‍රවල තියෙන හැම අංශයක්ම හදාරලා ඒ වැඩ කරන්න. මගේ නිර්මාණ කාර්යයන්ටත් ඒක උදව්වක් වෙනවා.

මොනවගේ නිර්මාණද ඔබ අතින් වැඩිපුරම බිහි වෙන්නේ?

මම හැම අංශයකම චිත්‍ර නිර්මාණ කරන නිසා ගොඩක්ම පැන්සල් චිත්‍ර, තෙල් සායම් චිත්‍ර, කාබන් පෑනෙන් අඳින චිත්‍ර, දිය සායම් වගේ ගොඩක් මාධ්‍යවලින් චිත්‍ර අඳිනවා. මට ලොකු ඉල්ලුමක් තියෙනවා සජීවීව කරන ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණයට(පුද්ගල චිත්‍ර). අලේඛ්‍ය චිත්‍ර අඳින ශිල්පීන්ගෙන් අදාළ පුද්ගලයාව සජීවීව තමන් ඉදිරියේ තියාගෙන චිත්‍ර අඳින ශිල්පීන් ගොඩක් අඩුයි. බහුතරයක් දෙනා කරන්නේ ඡායාරූපයක් අරගෙන ඒ අනුව අඳින එක. මම ඒ විදිහට චිත්‍ර අඳිනවා සමහර අවස්ථාවල. ඒකට ගොඩක් හේතු බලපානවා. ඒ වගේම එහෙම අඳිද්දී චිත්‍රය බලාපොරොත්තු වෙන පුද්ගලයා අපිට ලබාදෙන ඡායාරූපයේ ප්‍රමිතියත් බලපානවා චිත්‍රයේ ප්‍රමිතියට. නිර්මාණය සාර්ථක කරගන්න නම් මුහුණේ සහ ශරීරයේ අවශ්‍ය ඒ අංග පැහැදිලිව තියෙන්න ඕන. ඒ වගේම එවැනි නිර්මාණයක් හදිස්සියෙන් කරන්න බැහැ වගේම නිර්මාණය වෙනුවෙන් අපිට යොදන්න වෙන මහන්සිය සහ කැපවීම අනුවයි ඒවායේ මිල තීරණය වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන එවැනි නිර්මාණයක තියෙන ඊට ආවේණික සුන්දරත්වය සහ වටිනාකම වෙනම දෙයක්.

ශශින්තා රාමුවක ඉන්නේ නැතුව කරපු නිර්මාණ ගොඩක් තියෙනවා නේද?

මම කලින් කිව්වා වගේ මට අවශ්‍ය මේ ක්ෂේත්‍රය තුළදී එක් කොටසකට සීමා නොවී ඉන්නයි. ඒ නිසා මම හැම අංශයකම අත්හදා බැලීම් කරනවා. ඒ විදිහට මම කරපු නිර්මාණයක් තමයි වෝල් ආර්ට් කියන්නේ. මම මගේ මුල්ම වෝල් ආර්ට් එක කළේ අනුරාධපුරේ නිවසක උද්‍යානයට අයත් බිත්තියකයි. ඒ විදිහට වෝල් ආර්ට් කරන ගෑනු ළමයි ගොඩක් අඩුයි. මම ඒ නිර්මාණය සම්පූර්ණයෙන්ම කළේ පින්සල භාවිත කරලා. ඒක දැවැන්ත වගේම ලොකු මහන්සියක් දරන්න සිද්ධවෙන නිර්මාණයක්. ඒ වගේම කාබන් පෑනෙන් කරන නිර්මාණ, බොඩි පේන්ටින් විතරක් නෙවෙයි බිත්තර කටුවලත් විවිධ නිර්මාණ කරනවා.

චිත්‍රත් එක්කම ජීවිතේ ගත කරද්දී ජීවිතේ මගහැරුණු තැන් එහෙම නැද්ද?

ඇත්තටම කලාවත් එක්ක ජීවත් වෙද්දී මගහැරීම්වලට වඩා ලැබුණු දේවල් ගොඩක් තියෙනවා. චිත්‍ර කියන්නේ එක්තරා විදිහක ආත්ම ප්‍රකාශන මාධ්‍යයක්. ඒ නිසා ජීවිතේ සමහර නොලැබීම් නිසා ඇතිවෙන වේදනාවන් නැති කරගන්න මට මේක හොඳ මාධ්‍යයක් වුණා. මම විශ්වාස කරන විදිහකට කාන්තාවකට ජීවත් වෙද්දී කලාව අත්‍යාවශ්‍යමයි.

අනාගත ඉලක්කය ගැන කතා කළොත්?

මගේ අනාගත බලාපොරොත්තුව තමයි මේ චිත්‍ර නිර්මාණවලින් ලොකු ගමනක් යන එක.

සටහන - නඳුන් ශ්‍යාමාල්



Recommended Articles