තල් කොළයෙන් රටා මවා දිවිය සරිකරගත් ඇය


තල් කොළ තම්බා, සියුම් ලෙස සකසා, එමගින් කලාත්මක නිර්මාණ සිදුකර, ඒවා දෙස් විදෙස් ගැනුම්කරුවන්ට අලෙවි කර ආර්ථිකය සරු කරගන්නා දිරිය කාන්තාවක් අපට පසුගියදා හමුවිය. 
ඇය වීරවිල දිස්නා කොඩිතුවක්කු මහත්මියයි. 1998දී වීරවිල තල් නිපැයුම් මධ්‍යස්ථානය මගින් ලබාදුන් පුහුණුකිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඇය මෙම තල් නිපැයුම් කර්මාන්තයට අත්පොත් තබා තිබේ. එහිදී ලැබූ මාස හයක පුහුණුවට පසු මෙම නිර්මාණ නිෂ්පාදනය කිරීමෙන්, ඇය මෙම කර්මාන්තය ආරම්භ කර ඇත.

තල් කොළ ආශ්‍රිත නිර්මාණයන් වන කාන්තා අත්බෑග්, ගමන්මලු, කාන්තා පසුම්බි, බිත්ති සැරසිලි, වට්ටි පෙට්ටි, පැදුරු මෙකී නොකී භාණ්ඩයන් දිස්නා තල් කොළයෙන් නිෂ්පාදනය කරන්නීය. අම්පාර ප්‍ර‘දේශයෙන් වීරවිලට රැගෙන එන තල් කොළ අතු මිලදී ගෙන, ඒවායින් නිර්මාණ සකස් කිරීමෙන් මේ කර්මාන්තය වසර 20ක් පුරාවට දිස්නා සිදුකරනුයේ මහත් සතුටිනි.

හදිසි අනතුරකින් මියගිය තම ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් පසු සිය එකම දියණියගේ රැකවරණය, අනාගතය වෙනුවෙන් දිස්නා මෙම කර්මාන්තය ආරම්භ කර තිබේ. තමා තල් කොළයෙන් රටා ගෙත්තම් කරමින්, භාණ්ඩ නිෂ්පාදනය කරන අයුරු දැක බලා ගැනීමටත්, එය ප්‍රගුණ කර ඉගෙන ගැනීමටත්, වීරවිල තිස්සමහාරාම, සංචාරක හෝටල්වලට පැමිණෙන විදේශිකයන් පවා ඒමට පටන්ගෙන ඇති බව ඇය පැවසුවාය.

Untitled-2 copy

ජාතික ශිල්ප සභාවේද සාමාජිකත්වය ලබා ඇති, තමා පිළිබඳව කිසිදු රාජ්‍ය ආයතනයකින් දිරිගැන්වීමක්, මෙම වකවානුව තුළ සිදු නොවීම පිළිබඳ ඈ අප හා පැවසුවේ,දැඩි කනගාටුවෙනි.තමාගේ මෙම කටයුතු සඳහා මොස්තර නිර්මාණ මධ්‍යස්ථානයේද උනන්දුව, සහයෝගය ලබාදෙන බවට ඇය අප හා ප්‍රකාශ කර සිටියාය. සාමාන්‍ය ප්‍රමාණයේ, තල් කොළ අත්බෑග් දෙකක් දිනකට නිෂ්පාදනය කිරීමට තමාට හැකියාව ඇති බවත්, ප්‍ර‘දේශයේ අනිකුත් ළඳුන්ද, නිපදවන තල් ආශ්‍රිත නිර්මාණ මුදල් දී ලබාගෙන තම වෙළෙඳ කුටියේ අලෙවි කිරීමටද කටයුතු කරන බවත් ඇය පැවසූවාය.

වීරවිල ප්‍ර‘දේශයේ පවුල් 300ක් පමණ මෙම තල්කොළ කර්මාන්තයෙන් සිය ආර්ථිකය සවිමත් කර ගන්නා අතර, රටට බරක් නොවන ලෙසට මෙම කාන්තාවන් කටයුතු කිරීම රටට මහත් ආදර්ශයක් සහ අභිමානයක් ගෙන එයි.කිසිවෙකුගේ උදව් උපකාරයක් නොමැතිව, සිය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලටද සවියක් වෙමින්, තල්කොළ නිර්මාණ කර්මාන්තය තමා දිගටම සිදුකරනා බවත්, මේ සම්බන්ධව රජයේ අවධානය යොමුකර තල් කොළ නිර්මාණ ශිල්පිනියන්ගේ හෙට දිනය ආලෝකමත් කර දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් දිස්නා අවසන් වශයෙන් අප හා කියා සිටියාය. 

රුක්මන් රත්නායක

 Untitled-1 copy



Recommended Articles