ව්‍යවසායිකාවක, ව්‍යාපාරිකාවක වීම තුළ කාන්තාවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලබාගන්නා අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට නිරන්තර සහායක් වේ. එවැනි සාර්ථකත්වයට එහාගිය ආත්ම තෘප්තියෙන් සමාජයේ සිටින දහසකුත් කාන්තාවන්ට ආර්ථිකයෙන් නැගීසිටින්නට ඇය ලබාදෙන දිරිය ප්‍රශසංශනීයය. ඇය නමින් අනුලා රත්නායක මහත්මියයි. රාජ්‍ය වැවිලි සංස්ථාවේ උපදේශිකාවක වශයෙන් සේවය කරන ඇය වතුකරයේ කාන්තාවන්ට මෙන්ම උතුරු නැගෙනහිර කාන්තාවන්ට දිරියෙන් නැගීසිටීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයයි. තමා සිදුකරන මෙම සේවාව පිළිබඳ ඇය 'අද' හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
Q ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මගේ පදිංචිය නුවර මයිලපිටිය. නමුත් මම අධ්‍යාපන කටයුතු හැදෑරූවේ වවුනියාව මහා විද්‍යාලයෙන් හා මැදවච්චිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. මම මුලින්ම සේවය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. ක්‍රියාන්විතයේ යෙදී සිටින විට මගේ සහෝදරයෝ තුන්දෙනාම ත්‍රස්ත ප්‍රහාරවලින් නැති වුණා. පසුව මම හමුදාවෙන් අයින් වෙලා නිවසේ කාලය ගතකරන්න තීරණය කළා. මගේ මහත්තයත් හමුදාවේ සේවය කළ කෙනෙක්. ඔහුත් දැන් විශ්‍රාමිකයි.
Q කොහොමද වෘත්තීය පුහුණු උපදේශිකාවක් ලෙස මේ ක්ෂේත්‍රයට පිවිසුණේ?
මම ගෙදර ඉන්න කාලයේ හිතුණ දෙයක් තමයි ගෙදරට බරක් වෙලා කාන්තාවක් සිටින එක සුදුසු නැහැයි කියන එක. මම හිතුවා කුමන හෝ දෙයක් කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව මම මුලින්ම රෙදි මහන ගාමන්ට් එකක් ආරම්භ කළා. එසේ එය පවත්වාගෙන යන අතර, ජාතික ආධුනික පුහුණු අධිකාරියේ වෘත්තීය පුහුණු උපදේශක තනතුර හිමි වුණා. ඒ කාලය අතරතුර මට පුනරුත්ථාපන කඳවුරුවල උපදේශන කරන්නත් අවස්ථාවක් හිමි වුණා. පොලිස් ප්‍රජා සත්කාරය යටතේ පොලිස් වසම්වල හෝ පොලිස් කොට්ඨාසවල සිටින කාන්තාවන්ට වෘත්තීය පුහුණු කටයුතු කරන්න ලැබුණා.
එහෙම වැඩසටහන් සිදුකරමින් සිටින අතරතුර රාජ්‍ය වැවිලි සභාවේ සභාපතිතුමා මගේ විස්තර දැනගෙන මට කතා කළා වතු ජනතාවට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ඒ විදිහට ගත් ආරම්භයෙන් තමයි මම වෘත්තීය උපදේශන සේවාවේ මේ තරම් දුරක් පැමිණියේ.
Q ඔබ වතුකරයේ ජනතාවත් එක්ක සමීප වෙලා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කළ කෙනෙක්. ඒ ගැන විස්තර කළොත්?
රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර මාතලේ තිබෙන හැම වත්තකටම ගිහින් ඔවුන් පිළිබඳ විමසා බැලුවා. මම වතු ජනතාවත් එක්ක කතා කළා ඔවුන්ගේ ජීවන රටාව ගැන. ඇත්තටම ඔවුන් සමග කතා කරනකොට දැනුණ එකම දේ තමයි තේ දලු හැමදාම නෙළන්නට නොමැති නිසා දින 15ක් පමණ වැඩකළොත් ඔවුන්ගේ ඉතිරි දින 15ම අපරාධයක් වෙන බව. ඒ නිසා තරුණ ගැහැනු ළමයින් නගරයේ ගාමන්ට්වලටත්, පිරිමි ළමයි නගරයේ කර්මාන්ත ශාලාවලටත් ආදී විවිධ තැන්වලට වැඩට යනවා. එතකොට ඒ වතුවල ඉන්න අම්මලා තාත්තලා තවත් අපහසුතාවකට පත්වෙනවා.
ඒ නිසා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිතුමාගේ අලුත්ම සංකල්පයක් වුණා මේ වතුවල ජනතාවට වෘත්තීය පුහුණුවක් දීලා ඒ වත්ත තුළම කුමන ආකාරයේ හෝ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න. එතුමාගේ සංකල්පයක් අනුව තමයි මම ඔවුන්ට මදුරුකූරක් හඳුන්වා දුන්නේ. වෙළෙඳ පොළේ විවිධාකාරයේ මදුරුකූරු ගන්නට තිබෙනවා. නමුත් මේ මඳුරු කූරෙන් මදුරුන් පළවා හරින බවට මම 100%ක් සහතික කරලයි ජනතාවට ඉදිරිපත් කළේ. ඒ අනුව ඒ නිෂ්පාදනය කරන මදුරුකූරු ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අනිවාර්යයෙන් පිටිවහලක් වෙනවා.
මේ මදුරුකූර සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යක් පාවිච්චි කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ සඳහා භාවිත කරනුයේ ඖෂධීය දේවල් පමණයි. ඒ නිසා මෙය මදුරුවන් පළවා හරින්නක් ලෙස මෙන්ම බුදුන්ට හා දෙවියන්ට පූජා කරන්න පුළුවන් දෙයක් ලෙසත් ගන්න පුළුවන්. මෙය ඖෂධීය දෙයක්නේ.
වතු ජනතාව බොහෝ ලෙස පහන් පත්තු කර සුවඳ දුම් දල්වා දෙවියන් වඳිනවා. ඒ නිසා මෙය ඔවුන්ට තවත් පිටිවහලක් වුණා. ඔවුන් ආර්ථිකය අතින් ඉතාම දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ. ඇත්තෙන්ම ඔවුන් තිරය පිටුපස සිටින පිරිසක්. කූඩැල්ලෝ කාගෙන, අව්වේ වේලීගෙන තේ දලු කඩලා රටට ආර්ථිකයක් ගෙනැවිත් දුන්නට ඔවුන් විඳින්නේ අපි වගේ ජීවිතයක් නෙමෙයි. ඒ නිසා කැමැත්තෙන්ම මම ඒ සඳහා සහාභාගි වුණා.
Q ඖෂධීය ගුණයකින් යුතු මේ මදුරුකූර වතු ජනතාවට හඳුන්වා දුන් ආකාරය ගැන පැහැදිලි කළොත්?
මම ගොඩාක්ම යන්නේ දුෂ්කර පැතිවලට. ඒ වගේ ප්‍රදේශවල සිටින බොහෝ දුෂ්කර දිවිපෙවතක් ගෙවන කාන්තාවන්ට තමයි මම උපකාර කරන්නේ. ඒ අනුව කිසිම කෙනෙකුගේ ආධාර උපකාරයක් නැතිව මාස 6ක් පමණ යනකම් මගේම අමුද්‍රව්‍ය යොදාගෙන මම වතුකරයේ කාන්තාවන්ට මම සොයාගත් ඒ මදුරුකූර නිෂ්පාදනය කරන්න අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දුන්නා. මට ඒ සඳහා ප්‍රවාහන පහසුකම් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබාදුන්නා.
දැන් වතු කාන්තාවන් දිනකට රුපියල් 1000ට පමණ වගේ මිලකට අලෙවි කරන්න මදුරුකූරු නිෂ්පාදනය කරනවා. දිනකට 200ක් පමණ කාන්තාවන් එක් වත්තක වැඩකරනවා. ඒ සියලුම කාන්තාවන් නිෂ්පාදනය කළ මදුරුකූරු අපි %සංස්ථා^ නමින් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙනවා.
Q වතුකරයේ කාන්තාවන්ට මේ නිෂ්පාදන පුහුණුව පමණක්ද ලබාදෙන්නේ?
නැහැ. මඳුරු කූරු වගේම තවත් වතුවල පාවහන් නිෂ්පාදනය සඳහා පුහුණුව ලබාදී පාවහන් නිෂ්පාදනයට කාන්තාවන් යොමු කරලා තිබෙනවා. පාසල් බෑග්, මාර්කටින් බෑග් වගේ නිෂ්පාදන පුහුණුව තව වතු දෙක තුනක සිදුකරමින් පවතිනවා. ඔවුන්ගේ ඒ නිෂ්පාදනත් ළඟදීම වෙළෙඳ පොළට හඳුන්වාදීමට අපි අපේක්ෂා කරනවා.
Q ඔබ කරන සේවාව පිළිබඳ තෘප්තිමත් වෙනවාද?
ව්‍යාපාරිකාවක්, ව්‍යවසායිකාවක් කියන වචනවලට වඩා වැඩිය ඇත්තටම මම හදවතින්ම මිනිස්සුන්ට සේවය කළා. මම වතුකරයේ පමණක් නෙමෙයි දුෂ්කර ප්‍රදේශවලත් උපදේශන කටයුතු සිදුකරනවා. මම 2016 වර්ෂයේ ලංකාවේ ව්‍යවසායක අංශයෙන් හොඳම කාන්තාවන් 18දෙනා අතරට තේරුණා. එසේ තෙරීපත් වෙන්න එක හේතුවක් තමයි මම එල්.ටී.ටී.ඊ පුනරුත්ථාපන කඳවුරුවලට ගිහින් උපදේශන කටයුතු සිදුකරපු එක. ඇත්තටම මට අවශ්‍ය නම් මම නිෂ්පාදනය කළ දෙයක් නිසා මගේ සේවකයන් යොදවලා මට මුදල් හම්බ කරගන්න පුළුවන්. නමුත් මම මෙය ව්‍යාපාරයක් ලෙස නොවේ සේවයක් ලෙසයි සිදුකරන්නේ. ඇත්තෙන්ම මම කරන්නේ මිනිස්සුන්ට පරිත්‍යාගයක්. මම 2016 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායක සම්මානය හිමිකරගෙන තිබෙනවා. මම මෙය සේවාවක් ලෙසින් සිදුකරනවා මිසක් එය දියුණු කර ව්‍යවසායක මට්ටමකට පැමිණෙනන්න හිතලා නැහැ. ව්‍යාපාරික කාන්තාවක් ලෙසින් නොව කාන්තාවක් ලෙසින් අප සමාජයට මොනවද කළ යුත්තේ, තව කෙනෙක් අපි නැගිට්ටවන්නේ කොහොමද, අපි නැගිටින්නේ කොහොමද? ඒ සංකල්පය තමයි මගේ හිතේ තිබෙන්නේ.
Q ඔබ මේ සපයන වෘත්තීය පුහුණු උපදේශනය ලංකාවේ කිනම් ප්‍රදේශවලද සිදුකරන්නේ?
කාන්තා හා ළමා ඇඳුම්, මඳුරු දැල්, තිර රෙදි, බූල් බැන්ඩ්, කාන්තා පාවහන්, හඳුන් කූරු වැනි දේවල් සඳහා පුහුණුවීම් වැඩසටහන් මම ලංකාවේ විවිධ පළාත්වල කරලා තිබෙනවා. වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පොළ, නුවර අවට සියලුම ග්‍රාමීය ප්‍රදේශවල පුහුණු පාඨමාලා පවත්වා තිබෙනවා. මේ සියලුම පාඨමාලා කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ පවත්වනු ලැබූ ඒවා. කන්තතලේ පොලිස් ප්‍රජා සත්කාරය ඔස්සේ කන්තලේ ප්‍රදේශයට විශාල ප්‍රජා සේවයක් කරන්න හැකි වුණා. එල්.ටී.ටී.ඊ උවදුරෙන් පීඩාවට පත්වුණ පිරිසකුත් ඒ වෙනකොට එහි සිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් සහජීවනය ඇතිකරන්න කන්තලේ පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ පිරිසට මදුරුදැල්, කාන්තා පාවහන් හදන පුහුණුවීම් නොමිලේ ලබා දුන්නා.
Q ඔබගේ ක්ෂේත්‍ර අධ්‍යයනයන් තුළ ලබාගත් අත්දැකීම් බහුලයි. ඒ තුළ කාන්තාව ඔබ දකින්නේ කිනම් ආකාරයෙන්ද?
ඇත්තෙන්ම හැම කාන්තාවක්ම බොහෝ අවස්ථාවල හරි උත්සාහවන්තයි. නමුත් ආර්ථිකයට පැමිණෙන්න මොවුන්ගේ හිතේ තිගැස්මක් හා තැති ගැන්මක් තිබෙනවා. හැම කාන්තාවක්ම වගේ මෙවැනි පුහුණුවීම් බොහෝ විට ලබා ගන්නවා. නමුත් ලබාගත්තට පසුව බොහෝ වේලාවට ඔවුන් ගැන පසු විපරමක් කරන්නේ නැහැ. අපි ග්‍රාමීය වශයෙන් ආයතනිකව පුහුණුව ලබලා දුන්නත් සමහරුන්ට පුළුවන්කම තිබෙනවා තනියම කරගෙන යන්න. නමුත් ඉන් එහාට ගිහින් එක් ගමකට වෘත්තීය පුහුණු ආයතනයක් ඉදිකළ යුතුයි
ඒවගේ ඕනෑම නිෂ්පාදනයක් අපි හඳුන්වාදී ඒ සඳහා පුහුණුවක් ලබාදීලා පැය ගණනක් වැඩ කරන්න හරි කාන්තාවකට අවස්ථාවක් තිබෙන මධ්‍යස්ථානයක් ගමකට තිබෙනවා නම් එය හරි ප්‍රයෝජනවත් දෙයක් වෙනවා. එවිට ගමත් එක් අතකින් සංවර්ධනය වෙනවා වගේම වැඩකරන කාන්තාවන්ගේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. එවිට අපි අපේක්ෂා කරන ග්‍රාමීය සංවර්ධනය නිකම්ම ඇති වෙනවා. නිකම් පුහුණුවක් විතරක් ලබාදෙන එක කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ඔවුන්ගෙන් එයට සාපේක්ෂව සේවයක් අනිවාර්යයෙන් අපේක්ෂා කරන්න ඕන.
මා ලැබූ අත්දැකීම් එක්ක බලනකොට උතුරු නැගෙනහිර කාන්තාවන් හරි ශක්තිමත්. ඔවුන් යුද්ධයෙන් වගේම නොයෙක් ප්‍රශ්න නිසා පීඩා විඳලා ශක්තිමත්ව නැගීසිටි අය. ඔවුන්ටත් රජයෙන් හරි වෙනත් පෞද්ගලික ආයතනයකින් හරි නිෂ්පාදන සඳහා විවිධ කර්මාන්තයන් ඉදිකරලා දෙනවා නම් ඔවුන්ගේ නිවසේදොරේ කටයුතුවලට අමතරව අපතේ යන කාලය තුළින් හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා ඔවුන් ඉල්ලීම් කර තිබෙනවා. තරුණියන්ට පමණක් නොවේ විවාහක කාන්තාවන්ට වුවත් පැයක් දෙකක් පමණක් හෝ වැඩකරන්න හැකි තැනක් ඉදිකරන්න අවශ්‍යයි. මොකද දරුවන් ඉන්න අම්මලාට ගමෙන් පිට ගිහින් වැඩ කරන්න බැරි නිසා.
ග්‍රාමීය මට්ටමේ සිට පුහුණුව ලබාදීලා ගමේ ඉඳන්ම නිෂ්පාදනයක් කරන්න ඒ ඒ පළාත්වල සුවිශේෂීකම් හඳුනාෙගන ලබාදෙන්න පුළුවන්. ඒ වගේම අපි ව්‍යවසායිකාවන් ලෙස තෝරාගන්නා පිරිස එක් කොටසකට පමණක් සීමා වෙනවා. ඒ නිසා ඒ තෝරාගත් දේ සම්බන්ධව දේශීය දැනුම පමණක් නෙමෙයි විදේශීය දැනුමත් ලබාගැනීමට අවස්ථාවක් උදා වෙනවා නම් එය ඇත්තෙන්ම වටිනා දෙයක්. සමහර කාන්තාවන්ට පුහුණුව ලැබූවත් ව්‍යාපාරය සිදුකරන්න තැනක් නැහැ. ලියාපදිංචි කරන්න ඔප්පුවක් නැහැ. එහෙම නැති නම් ඒ ඉන්න තැන පුද්ගලයා ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න කැමැත්ත දෙන්නේ නැහැ. මේ නිසා හැකියාවක් තිබෙන කාන්තාවක් වුණත් මෙවැනි තැන් නිසා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පසුබහිනවා.