ජීවිතයේ අහිමිවීම ජයග්‍රහණය කරා යෑමට අභිප්‍රේරණයක් කරගත් ව්‍යවසායිකාව


පිළිකාවක් වැලඳී සිය ජීවිතය මරණය කරා යමින් සිටින මොහොතක අහිමි වීම යන්න ඇයට සමාන්‍ය දෙයක් වන්නට විය. නමුත් ස්වාමියා අතහැර දමා යන විට දරු දෙදෙනා හා තනි වූ ඇය අද තම රෝගයෙන්ද සුවය ලබා ආර්ථිකයෙන්ද ඉහළ තැනක සිටිනුයේ තමා සතු නොපසුබස්නා උත්සහය හා ධනාත්මක සිතුවිල්ලි නිසාවෙනි. ඇය කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ගුණතිලක මහත්මියයි. 


වභාව ධර්මයේ දයාදයක් වූ මැටි භාවිතයෙන් නිර්මාණ කරන්නට ඇයගේ සුසිනිදු ඇඟිලි තුඩු මැනවින් චලනය වන්නේය. මේ වනවිට ඉහළ ඉල්ලුමක් ඇති ඇගේ නිෂ්පාදන මැටිවලට අමතරව කඩදාසි පල්ප්වලින්ද සිදුකරන්නට විය. ඒ සඳහා අද වන විට දේශිය වෙළෙඳ පොළ පමණක් නොව ජාත්‍යන්තර වෙළදපොළේ දොරගුළු පවා විවර වී තිබේ. 
ඊට අමතරව ඇය ඕකිඩ් වගාව සිදුකරනුයේ හුදෙක් ලාභයට සීමා නොවී කාන්තා ව්‍යවසායිකාවන්ටද පිහිටක් වෙමිනි. ඒ පිළිබඳ හා දිනිජය ආර්ට් ඇන්ඩ් ෆ්ලෝරා යන සන්නාමය යටතේ සිදුකරනු ලබන ඇගේ ව්‍යාපාර කටයුතු පිළිබඳව %අද^ හමුවේ ඇය පැවසුවේ මෙවන් අදහසකි. 

මම ඇත්තෙන්ම පාසල් කාලයේදී හෝ ඉන් පරිබාහිරව කලාව සම්බන්ධ විෂයන් හැදැරූ අයෙකු නොවේ. කිසිවෙකු නොසිතනා අයුරින් 2005 වර්ෂයේදී මට පිළිකාවක් වැලඳුණා. ඒ නිසා ඉන්දියාව වැනි රටවල්වල පවා ගොසින් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න මට සිද්ධ වුණා. ඒ වෙනකොට මම රජයේ ආයතනයක සේවය කළ කෙනෙක්. 
නමුත් පිළිකාවත් සමගම ඇත්තෙන්ම මම ජීවිතය ගැන කලකිරිලා සිටිෙය්. ඒ කාලයේදීම තමයි මගේ මහත්තයා මගෙන් වෙන් වුණේ. ඇත්තෙන්ම මගේ අසනීපයත් එක්ක ඒ දවස්වල මට හිතුණේ මහත්තයා නැතිවෙන එක තවත් එක අහිමිවීමක් කියලා විතරයි. මොකද මම පිළිකාව නිසා ගොඩක් දුක්විඳපු කෙනෙක්. ඉන් සුවය ලැබීම පවා මා සිතුවේ හරියට මැරිලා නැවත උප්පතියක් ලැබුවෙකු විලසිනි. 

ඉතින් ඒ නිසා මම හිතුවා මගේ ළමයි හදාගෙන මම කොහොම හරි ජීවත් වෙනවා කියලා. ඒ වෙනකොට මගේ පොඩි පුතාට හරියටම අවුරුද්දක් වගේ වෙනවා. ලොකු පුතාට අවුරුදු 08ක්. අපි සතුටින් හිටියත් මගේ පිළිකාව නිසා ජීවිතය අනිත් පැත්තට පෙරලුණා වගේ දෙයක් වුණේ. වෙන්වුණාට පසුව විවාහ යෝජනා ආවත් මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. 
මට ඕන වුණේ ස්වාමියා නැති නිසා ආර්ථික පැත්තෙන් සාර්ථකව ඉදිරියට යන්න. මොකද අපි වෙන්වෙලා හිටිය නිසා පොඩි ගානක් ළමයින් වෙනුවෙන් ඔහු ගෙව්වා. නමුත් එම මුදල හා මගේ රැකියාව සියලු කටයුතු සිදුකරන්න ප්‍රමාණවත් වුණේ නැහැ. 

මට මගේ දරුවන්ව තනියම රැකබලා ගන්න වගකීමක් ආ නිසා මම රජයේ රැකියාවට අමතරව රක්ෂණ සමාගමක කෙටි කාලීන රැකියාවක් කළා. නමුත් එහිදී නොයෙක් දුෂ්කරතා පැනනැගුණ හෙයින් මම එයින් ඉවත් වුණා. 

ඒ කාලයේදී කඩදාසී පල්ප්වලින් නොයෙක් නිර්මාණ කරන වැඩමුළුවකට සහාභාගි වුණා. නමුත් ඇත්තෙන්ම ඔවුන් එසේ පුහුණුව ලබාදෙන බව කියා සිටියත් ඇත්තෙන්ම සිදුකළේ මුලාවක්. ඔවුන් පල්ප්වලින් සිදුකරන සරල නිර්මාණ කිහිපයක් පමණක පුහුණුවක් ලබාදුන්නා. මම ලොකු බලාපොරොත්තුවකින් පාඨමාලාවට සහාභාගි වුණත් ඔවුන් නිසි පරිදි ඉගැන්වීමක් කළේ නැහැ. ඒ නිසා ඒ කාලය තුළ මේ සම්බන්ධයෙන් සහාභාගි වූවන් අතර නොයෙක් ගැටුම් ඇති වුණා. ඇත්තෙන්ම අපට අවශ්‍ය වුණේ පල්ප්වලින් නිර්මාණය කරන අලියෙකුගේ අච්චුවක් සකස් කර ගැනීමටයි. නමුත් ඔහු එය අපට උගන්වන්න කැමති වුණේම නැහැ. අවසානයේ අලියෙකුගේ රුවක් අඹාගෙන ආවොත් අච්චුවක් දමන ආකාරය කියාදෙන බව පැවසුවා. 

මේ අවස්ථාවේ අපි සැවොම අසරණයි. මේක අපිට එක්තරා ආකාරයකට සිදුකරන අභියෝගයක්. පිළිකාවක් හැදිලා මහත්තයාත් මාව දාලා ගිය නිසා ආර්ථිකයෙන් හරි ජීවිතය දිනන්න ඕන කියන විශාල උනන්දුවකුත් මට ඒ කාලයේ තිබුණා. මම මෙතෙක් කල් නිර්මාණයක් තබා චිත්‍රයක්වත් සිත්තම් කර තිබුණේ නැහැ. නමුත් අවශ්‍යතාවය නිසාම මම මැටිවලින් මූර්තියක් අඹන්න තීරණය කළා. ඒ අනුව කෙනෙකුගේ අභියෝගයක් මත මට මේ කලාව සිදුකරන්න මුල් අත්පොත සැකසුණා.  

මම ශ්‍රී ලංකාවේ දිවියට පොඩි කාලයේ ඉඳලා හරි ආසයි. ඉතින් මම අලියා වෙනුවට දිවියෙක්ව මැටියෙන් නිර්මාණය කර රැගෙන ගියා. ඇත්තෙන්ම මම හිතුවටත් වඩා ඒ නිර්මාණය සාර්ථක වුණා. ඒ මූර්තියෙන් අපිට අවසානයේදී අච්චුවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියා දැනුමක් ලබා ගන්න ඔවුන්ගෙන් හැකි වුණා. එයින් පාඨමාලාව අවසන් වුණ නමුත් මම මේ නිර්මාණ දිගින් දිගටම කරමින් මෙයින් හොඳ ආදායමක් උපයා ගන්න මම තදින්ම අදිටන් කර ගත්තා. 

මම හොඳ ආදායමක් උපයා ගන්න කලින් ඒ මූර්ති කලාවෙන් ඉදිරියට එන්න අවුරුදු දෙකක පමණ කාලයක් වැරදි වැරදි හෝ නිර්මාණ රැසක් සිදුකළා. මැටිවලින් නිර්මාණ කරන එක ටිකක් පහසු වුණත් ඒවායින් අච්චු නිර්මාණය කරන්න පුරුදු වෙන්න මට ටික කාලයක් ගතවුණා. වැරදි වැරදි හරි මම අලියෙක් නිර්මාණය කරා. එය මම ප්‍රදර්ශනාගාරයකට ගෙන ගොස් තැබුවම ඒ සඳහා හොඳ ඉල්ලුමක් මට ලැබුණා.  දැනටත් ඒ සඳහා පුදුම ඉල්ලුමක් තිබුණා. ඇත්තෙන්ම එය හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. එය සංකීර්ණ ක්‍රියාවලියක්. ඇත්තෙන්ම ජනකලා කෙන්ද්‍ර‍ෙය් සභාපතිතුමා මගේ දක්ෂතාවයන් දැක බත්තරමුල්ලේ ප්‍රදර්ශනාගාරයක් පවා ලබා දුන්නා. නමුත් ඒ කාලයේ රැකියාවත්, දරු දෙදෙනාත් සමග එය අඛණ්ඩව සිදුකරගෙන යෑමේ අපහසුතා මතු වුණා. 

ඒ අතර තුර මම ඕකිඩ් වගාව ආරම්භ කළා. මම හිතුවටත් වඩා ඕකිඩ් වගාව සාර්ථක වුණා. ඇත්තෙන්ම අදටත් ජීවත් වෙන්න ආදායම සොයා ගන්නේ මේ වගාවෙන්.  ඇත්තෙන්ම මම මල්පැළ විකුණලා මාසිකව හොඳ ආදායමක් උපයා ගන්නවා. කාලයක් යන විට මම ඕකිඩ් මල් වගාකරුවන් සඳහා පුහුණුවීම් ආරම්භ කළා. මුල් කාලයේදී මම නොමිලයේ පැවැත්වුවත් දැන් ඒ සඳහා සුළු මුදලක් අය කරනු ලබනවා. එයින්ද මට යම් ආදායමක් උපයාගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මම ගම්වල ජීවත් වන දුප්පත් කාන්තාවන්ට ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්නා ඕකිඩ් මල්වගාව සඳහා සහන මිලට මල් පැළ ලබා දෙනවා. 
කාලයක් යන විට මම මැටියෙන් ගණදෙවි පිළිමයක් නිර්මාණය කළා. ඇත්තෙන්ම මට ඒ සඳහාද ඉහළ ප්‍රතිචාර ලැබුණා. මැටි තමයි නිර්මාණයක් කරන්න පහසුම අමුද්‍රව්‍ය. මැටිවලින් සකස් කර අවසානයේදී මම ඒ නිර්මාණය පල්ප්වලින් සකස් කරනවා. විදේශරටවල සංචාරකයන්ගෙන් එවැනි නිර්මාණ සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඇත්තෙන්ම ඒවා රැගෙන යෑමේ පහසුව, සැහැල්ලු බව ආදිය නිසා ඔවුන් වැඩි වශයෙන් ඔවුන්ගේ රටවලට මේවා ගෙන යන්න යොමු වෙනවා. ඒ නිසා එවැනි නැවුම් නිර්මාණ කරන්න මම පෙළඹුණා. නමුත් මට ඒ සඳහා සිමීත කාලවේලාවක් පමණයි තිබුණේ. ඒ නිසා මම ජීවිතයේ දැඩි තීරණ රැසක් ගත්ත කෙනෙක් ලෙස මම මගේ රැකියාවෙන් අයින් වෙන්න තීරණය කළා.

ඒ වෙනකොට මගේ ආදායම මම සකස් කරගෙන අවසන්. ඇත්තෙන්ම මේ වන විට මට එක දෙයක් නොව නොයෙක් නිර්මාණ රැසක් සිදුකරන්න හැකි වුණා. මම මැටිවලින් සිදුකරන නිර්මාණ තවත් වැඩි දියුණු කර ගනිමින් ඉදිරියේදීත් සිදුකරන්න අපේක්ෂා කරනවා. සෙරමික් නිර්මාණවල තාක්ෂණය ඉගෙන ගන්න මම ශිල්ප සභාවත් සමග මේ වනවිටත් සාකච්ඡා කර තිබෙනනවා. ඊට අමතරව පල්ප්වලින්ද නිර්මාණ කරගෙන යන අතර පාරිභෝගිකයාගේ ඉල්ලීම මත මම ඔවුන්ට අවශ්‍ය නිර්මාණ කර දෙන්න බැඳී සිටිනවා. 

මම මිනිස් මුහුණු වැනි දේවල් අඹමින් මල්පෝච්චි නිර්මාණය කර තිබෙනවා. අලි, දේව ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා වගේම නිර්මාණාත්මක දේවල් රැසක් මම සිදුකරලා තිබෙනවා. ඉදිරියේදී මගේ මැටි නිර්මාණ සඳහා පෝරණුවක්ද නිවස තුළම සකස් කර ගැනීමට අපේක්ෂා කරනවා. මට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ ස්වභාවික සම්පතක් වන මැටිවලින් බොහෝ නිර්මාණ සිදුකිරීමේ හැකියාව රටටම කියන්න. සමාන්‍යයෙන් අපේ රටේ මැටි ආශ්‍රිත නිර්මාණ ගතහොත් බෙහෝ විට දැකගත හැකිවන්නේ කුඹල් කර්මාන්තය තුළ වළං හා මල්පෝච්චි. අනෙක් කාරණය වන්නේ මේ නිර්මාණ කරන විට පරිසරයට හානියක් නෑ වගේම කෘත්‍රීම දේවලින් නිර්මාණ කරනවාට වඩා මෙමගින් අපටත් හානිකර විෂවීමක් ඇති වන්නේ නැහැ. විදෙස් වෙළෙඳ පොළට පවා මගේ නිෂ්පාදන ඇතුළත් කරන්න අවශ්‍ය පසුබිම මේ වන විටත් මට සකස් වී තිබෙනවා. ඒ සඳහා %සීරෝ^ නම් ආයතනයක් මට බෙහෙවින් උපකාර කරනවා. ඇත්තෙන්ම රැකියාවෙන් ඉවත් වෙලා දරුවන් දෙදෙනෙකු සමග විශාල අභියෝගයක් භාර ගත් මට ඇත්තෙන්ම ඔවුන් පන්නරයක්. මම අනාගතයේදී අපේ කාන්තා ව්‍යවසායිකත්වය නංවාළීම සඳහා කාන්තාවන් රැසක් මෙවැනි නිර්මාණ සඳහා බඳවා ගන්න අපේක්ෂා කරනවා. 

ව්‍යාපාර ක්ෂේත්‍රයේදී කාන්තාවක් ඉදිරියට යෑමේදී ඇත්තෙන්ම බාධක වැඩියි. මගේ ව්‍යාපාර සඳහා බොහෝ ඇනවුම් ලැබෙන්නේ ෆේස්බුක් පිටුව හරහා. ඇතැම් විට එයින් වාසි දායක ඇනවුම් ලැබුණත් ඇතමුන් කපටි මිනිසුන් ව්‍යාපාර මුවාවෙන් නොයෙක් අනවශ්‍ය කතාවලට පවා එන අවස්ථා තිබෙනවා. නමුත් මම ඇත්තෙන්ම සේවා දායකයා හා කටයුතු කරන්නේ ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය තහවුරු වුණාට පසුවයි. ඒ නිසා බොහෝ පීඩාකාරී, කරදරකාරී තත්ත්වයන්ගෙන් මිදී ව්‍යාපාර කටයුතු කිරීමට හැකි වෙනවා. කාන්තාවක්, දරු දෙදෙනෙක් සමග මෙවන් ව්‍යාපාරයක් කරමින් අතනොපා ජීවත් වීම ගැන පටු විදිහට හිතා වාසි අපේක්ෂාවෙන් කතා කරන පිරිමි අනන්තවත් අපට මේ සමාජයේ මුණගැසෙනවා. ඇත්තෙන්ම එයට විරුද්ධව අපි සමාජයේ හඬක් නගන්න අවශ්‍යයි. විදෙස් රටවල නම් %සිංගල් මදර්^ සංකල්පය යටතේ වෙනම ආධාර ක්‍රම හා රජයෙන් පවා උදව් උපකාර හිමිවෙනවා. නමුත් අපේ රටේ තිබෙන්නේ එවැනි මවකට ආර්ථික වශයෙන් හෝ වේවා වෙනයම් ක්ෂේත්‍රයකින් ඉදිරියට පැමිණීමේ බාධාවල් රැසක් පමණයි. 
මට අම්මා කෙනෙක් වශයෙන් අනෙක් කාන්තාවන්ට වඩා දරා ගැනීමේ ශක්තිය ගොඩක් වැඩියි. මම නම් කියන්නේ අනුන් මත යැපෙන පරමාර්ථයෙන් මිදී තමන් සතු දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න කියා. අපට නොයෙක් අවස්ථාවල මුදල් හෝ වෙන යම් උදව්වක් දෙන මුවාවෙන් ළංවෙන්න හදන මිනිසුන් වැඩියි. නමුත් ඒවට රැවටුණොත් අපේ ජීවිතය එතනින් අවසන් වෙනවා. 

එමෙන්ම අපේ සමාජයේ කාන්තාවන් විශාල වශයෙන් කාලය නාස්ති කරනවා. අපි මොන වැඩ කළත් රූපවාහිනිය ඉදිරියේදී පවා අපි අපේ වටිනා කාලය නිකරුණේ වැය කරනවා.  නමුත් එසේ නොකර ලැබෙන සුළු කාලසීමාවෙන් හෝ තමන්ගේ ජීවිතයට යම් දෙයක් ඉගෙන ගනිමින් කටයුතු කරනවා නම් ඇත්තෙන්ම එය කාන්තාවක් වශයෙන් පවුලට ශක්තියක්.

ජීවිතය අපි නොහිතන අවස්ථාවලදී බිඳ වැටුණත් අපිට අනිවාර්යෙන් හදා ගන්න අවස්ථාවක් එනවා. නොපසුබට උත්සාහය තමා අනිවාර්යෙන් අප තුළ තිබිය යුත්තේ. සෑම දෙයක්ම ධනාත්මකව සිතන්න ඕන.*  
මෙවැනි නිර්මාණයන් පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට තක්ෂිලා ගුණතිලක, පොලීසිය පාර, රඹුක්කන යන ස්ථානයෙන් ඇයගේ නිර්මාණ ලබා ගැනීමට හැකිය. 

ෂෙහානි දිල්රුක්ෂිකා

 

 



Recommended Articles