ජීවිතය කියාෙදන ලංකාවේ පළමු ලයිෆ් කෝච්


ජීවිත ගමනේ අපට ඇතිවන බාධක බොහෝමය. සංකීර්ණ ජීවන රටා තුළින් බොහෝ මිනිසුන් ගමන් කරනුයේ ඒකාකාරී ජීවන පැවැත්මකටය. ඇතමුන් එයින් මිදීමට උත්සහ කරන අතර, ඇතමුන් එහි තවතවත් එල්ඹ ගනී. ඒ අතරින් ඇතමෙකු ඒ ක්‍රමය වෙනස් කිරීමට තැත් කරන අතර, මේ සියලු දේ තුළ ඒකාකාරීව ජීවත් වන පුද්ගලයා මානසිකව පීඩා විඳියි. එයින් මිදෙන්නන් සතුටින් ජීවිතය ගතකරයි. මේ සියලු දේ නිරාකරණය කරමින් තමා හා සමීපතමයෙකු වෙමින් අනෙකාගේ ගැටලු හඳුනාගනිමින් උපදේශකයෙකුට එහා ගිය ක්‍රියාවක් සිදුකරන වෘත්තියක් ලෙස ලයිෆ් කෝච් (Life coach) හඳුනාගත හැකිය. 


මුදලට පමණක් සීමා නොවමින් මනසටද තෘප්තියක් ලබාගත හැකි එකී වෘත්තියේ නියැළෙන පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි. %සක්සස් ලයිෆ් මැප්ස් ප්‍රයිවට් ලිමිටඩ්^ (Success Life Maps (pvt) Ltd ) නමින් තමාගේම ආයතනයක් ආරම්භ කළ ඇය නමින් තිළිනි මදුවන්ආරච්චිය. ඇයගේ අත්දැකීම් හා තමා ඉගෙනගත් දැනුම මෙරටට තිළිණ කර එයින් ලාංකිකයන්ගේ පීඩාකාරී මනසට සැනසුමක් ලබා දෙන්නට ඇය ක්‍රියා කරයි. මේ ඒ පිළිබඳව %අද^ අප ඇය සමග සිදුකළ සාකච්ඡාවකි. 

ඔබ අධ්‍යාපනික පරිසරයක් තුළ කුඩා කාලයේ සිට හැදී වැඩුණ කෙනෙක්. ඒ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ දේවි බාලිකා විද්‍යාලයෙන්. මගේ තාත්තා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙසින් වසර 20ක පමණ කාලයක් සේවය කළා. ඒ වගේම මගේ අම්මා පුංචි බොරැල්ල සංඝමිත්තා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය. මගේ නංගිත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටිනවා. මේ නිසා ඇත්තෙන්ම කුඩා කාලයේ සිටම මගේ පවුලේ තිබුණේ අධ්‍යාපනික පරිසරයක්. 
උපාධිය සිදුකරන්න මට ලංකාවේ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වෙන්න ලකුණු මදි වුණා. ඒ නිසා ජීව තාක්ෂණවේදය සම්බන්ධව උපාධිය සිදුකළේ ඉන්දියාවේ බැංගලෝර්වලදී. මම දැන් ඒ සම්බන්ධ  ආචාර්ය උපාධිය පවා සිදුකර අවසන්. නමුත් අද මම ලයිෆ් කෝචින් වෘත්තියක් ලෙසින් ඉතාමත් සතුටින් සිදුකරනවා.

පවුලේ වැඩකටයුතුත් සමග මේ වගේ වෘත්තියක් සිදුකරන්න ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද?

මිනිසුන් සිතන විදිහ අනුව තමයි කාර්යබහුල වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. මගේ අම්මා විදුහල්පතිනියක් වුණත් මවක් වශයෙන්, බිරිඳක් වශයෙන් ඒ වගේම විදුහල්පතිනියක් වශයෙන් කිසිම යුතුකමක් හා වගකීමක් පැහැර හැරියේ නැහැ.  ඇත්තෙන්ම මටත් මගේ අම්මගේ පුරුද්ද තිබුණා. මට මොනතරම් වැඩ තිබුණත් ඒ සෑම දෙයක්ම සිදුකරන්න මම වේලාව කොහෙන් හරි සොයා ගන්නවා. කම්මැලි වෙලා කවදාවත් අපට අපේ ගමන යන්න බැහැ. 

කවදාවත් මගේ පවුල  හොඳට නැතිනම් මේ වෘත්තිය කරන්න බැහැ. මොකද එතකොට මිනිස්සු මාව විශ්වාස කරන්නේ නැහැ. මම සිතන විදිහට නම් ජීවිතේ එක් එක් අවධින්වලට ඒ ඒ දේවල් නිසි අයුරින් සිද්ධ වෙන්න ඕන. මගේ මහත්තයත් රැකියාවක් කරන නිසා මම ළමයි දෙන්නත් බලාගෙන මේ සියලු වැඩකටයුතු කළමනාකරණය කරන නිසා මම හිතනවා මම තරම් මේ ලෝකේ කවුරුත් කාර්යබහුල නැහැ කියලා. මේ සියල්ල රැඳී පවතින්නේ තමන්ගේ සිතන ආකාරය අනුවයි. 

ඔබ කොහොමද ​Life coaching වැනි ක්ෂේත්‍රයකට යොමු වන්නේ?

මම විවාහයෙන් පසුව ඩුබායිවල වසර 10ට පදිංචියට ගියා. මොකද මගේ මහත්තයා වැඩකළේ ඩුබායිවල නිසා. මුල් කාලයේ මම පොඩි දරුවෝ දෙන්නා නිසා ඒ රටේ රැකියාවක් සිදුකරන්න පෙළඹුණේ නැහැ. නමුත් කාලයක් යන විට මට %ලයිෆ් කෝචින්^​ පිළිබඳව හදාරන්න අවස්ථාවක් උදා වුණා.

මගේ බබා ලැබිලා නිවසේ ටික දිනක් ඉන්නකොට මගේ ශරීරය ටිකත් මහත් වුණා. ඒ නිසා ඇඟ ටිකක් අඩුකර ගැනීමට තමයි මම යෝගා සඳහා මුලින්ම යොමු වුණේ. ඩුබායිවල යෝගා වගේ සැහැල්ලු ව්‍යායාම සිදුකිරීම සමාන්‍ය දෙයක්. ඉන්දියානු ජාතිකයන් ඩුබායිවල වැඩි වශයෙන් ජීවත්වන නිසා හිමාල ප්‍රදේශයේ යෝගා දියුණු කළ සෘෂිවරු පවා ඩුබායිවල සිටිනවා.  මම නම් ඇත්තටම මහත නිසා යෝගාවලට යොමු වුණ කෙනෙක්. 
ටික කාලයක් නියමිත අයුරින් ෙයා්ගා සිදුකරගෙන යන විට ඇත්තෙන්ම එය මගේ ජීවිතය වෙනස් කරන්න උපකාර වුණා. තමන් සිතන දේවලට ස්වභාව ධර්මයද උපකාරයක් වෙනවා කියන එක ඇත්තෙන්ම මම විශ්වාස කරන දෙයක්. මම මගේ දේවල් සාර්ථක කර ගත්තේ එලෙසින්.

මට යෝගා ඉගැන්වූ ගුරුතුමිය Life coach කෙනෙක්. ඇයගෙන් තමයි ඊට අවශ්‍ය මූලික මාර්ගෝපදේශනය ලබා ගනිමින් මේ ක්ෂේත්‍රය ඉගෙන ගත්තේ. මම මුලින්ම මේ දේට යොමු වුණේ සිතේ ඇතිවුණ කැමැත්තට. නමුත් එය හොඳින් අධ්‍යයනය කරන විට මට හිතුණ දෙයක් තමයි එය ජීවිතයට කෙතරම් වැදගත්ද කියලා. ඒ නිසා තමයි මේ තුළින් මිනිස් ජීවිතය කෙරේ වෙනසක් කරන්න හිතුණේ.  ලංකාවේ නොමැති වුණත් බොහෝ රටවල Life coaching සමාන්‍ය දෙයක්. ඇත්තෙන්ම අපේ රටේ තමයි මේ ගැන අහලා නැත්තේ. 

ඇත්තෙන්ම ​Life coach යන්න නියම අරුතින් හැඳින් වුවහොත්?

සාර්ථකත්වය සඳහා විසදුම් ලෙසින් එය හඳුන්වා දුන්නොත් වඩා නිවැරදි යැයි මා සිතනවා. එහිදී මම අදහස් කරන්නේ ඒ සඳහා අවශ්‍ය සෑම දෙයකම අවබෝධයක් ලබාදෙන බවයි. එය තමන්ගේ වෘත්තිය සාර්ථකත්වය, පෞද්ගලික සාර්ථකත්වය ආදී ඕනෑම දෙයක් විය හැකියි. මම මේ පුහුණුව ලබාදෙන්න අපේක්ෂාවෙන් සිටින්නේ පාසල් ළමුන්ට. මම දැනට නාලන්දා විද්‍යාලයේ වගේම ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේද මම වැඩසටහන් පවත්වා තිබෙනවා. 

ලංකාවට මෙය අලුත් විෂයක්, අත්දැකීමක්. මෙය ඔවුන්ගේ මානසික ආතතිය, පීඩනය අවම කිරීමට සාර්ථක පියවරක් ලෙස ඔබ සිතනවාද?

ඇත්තටම ලංකාවේ මිනිසුන් මේ ගෙවන්නේ කාර්යබහුල ජීවිතයක්. ඇත්තෙන්ම එයින් බොහෝ පිරිසක් ගෙවනුයේ ඒකාකාරී ජීවිතයක්. නමුත් මේ ගෙවන ජීවිතයට වඩා දෙයක් කළ හැකියි යන්න පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නැහැ. ඒ වගේම බොහොමයක් දෙනා එතනින් එහාට වෙනසක් දකින්න කැමති නැහැ. නමුත් ඒ වෙනස ආරම්භ කිරීමම ජීවිතයේ අභියෝගයක්. එය අපි භාර ගන්න ඕන. 
ඒ වගේම ජීවිතය තුළ පුද්ලගයා එකිනෙකාට වෙනස් ස්වරූපයක් ගන්නවා. මම විවාහ වන කාලයේ නොවේ මගේ හොඳම යහළුවා විවාහ වෙන්නේ. මම කරන්නේ මගේ යාළුවා කරන රැකියාවම නෙමෙයි. ඒ වගේ එක එක්කෙනාට ආවේණික දේවල් රැසක් තිබෙනවා. ඇත්තටම ඒ දේවල් මොනවද කියලා දැනගන්න අවශ්‍යතාවකුත් ඔවුන්ට නැහැ. 

ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ. නමුත් ඇයි ඔබ ඒ ක්ෂේත්‍රයේ රැකියාවක් නොකරන්නේ?

මම අද මෙම වෘත්තිය තෝරා ගත්තේ අපේ රටේ අපේම පිරිස ජීවත්වන මානසික තත්ත්වය හා ඒකාකාරී බව නිසාත්, තනි පුද්ගලයෙකු වශයෙනුත්, ඒ නිසාම රටක් වශයෙනුත් අප සිටින පසුගාමී තත්ත්වය බලා සිටිය නොහැකි නිසයි. විදෙස් රටක සිට ලංකාව දෙස බලන විට ඇත්තටම මට ඒ ගැන උනන්දුවක් ඇතිවුණා.

ඇත්තෙන්ම ලංකාව තුළ ජීව තාක්ෂණ විද්‍යාවට රැකියා අඩුයි. රැකියාවක් කරන්න ගියත් ඒ සඳහා ඇති රැකියා පළපුරුද්ද සෑම ආයතනයකින්ම අපේක්ෂා කරන දෙයක්. ඇත්තෙන්ම වැඩ නොකර මේ ක්ෂේත්‍ර‘යේ පළපුරුද්දක් ලබාගන්න අපහසුයි. මේ ක්ෂේත්‍රය තුළ අපි ඩී. එන්. ඒ. වෙනස් කිරීම, ජාන වෙනස් කිරීම වැනි දේවල් සිදුකරනවා. ඇත්තෙන්ම මේ පිළිබඳ දැනගන්න පොඩි තැනක හෝ වැඩ කළ යුතුයි. නමුත් එකී අවස්ථා ලංකාව තුළ ඉතා අවමයි. 

ඔබ ඩුබායිවල සිටින කාලයේ ලබාගත් අත්දැකීම් අනුව මෙය මිනිසාට අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඔබ සිතනවාද?

ඇත්තෙන්ම මම රැකියාවක් වශයෙන් කරන්න වැඩි ඇල්මක් දක්වන්නේ මේ වෘත්තියටයි. ඩුබායි ගියාට පසුව මම දැනගත්ත දෙයක් තමයි එහි වැඩි වැටුපක් හිමිවෙනවා සේම මිනිසුන් දැඩි ආතතියකින් යුතුව දිවි ගෙවන බව. ඩුබායිවල කෑමවලට, වැටුප්වලට වගේම වාහනවලට බදු අය නොකරන නිසා ඩුබායිවල සමාන්‍යයෙන් වැඩි වැටුපක් හිමිවෙනවා. කුමන නිලයක් දැරුවත් තමන්ට දෛනිකව හිමි වුණ ඉලක්ක තිබෙනවා. ඇතැම් විට ඒවා එක් දිනකින් පමණ අනිවාර්යයෙන් අවසන් කළ යුතු වෙනවා. එතකොට වැඩි පීඩනයක් ඒ කටයුත්ත සිදුකරන කෙනාට ඇති වෙනවා. 

නමුත් ලංකාවේ යම් තරමකින් එය තිබුණත් එතරම් දරුණු තත්ත්වයේ නැහැ. ඩුබායිවල නිවස සමීපයේ අසල්වාසීන් සමග පවා ඇසුරක් දක්වන්නේ නැහැ. ඇත්තෙන්ම එහි මානව සම්බන්ධකම් අඩුයි. කාර්යාලයට යනවා, නිවසට පැමිණෙනවා, සිමීත සම්බන්ධතා ජාලයක් පමණයි තිබෙන්නේ. අරමුණ සපුරා ගැනීම සඳහා සිමීත පරිසරයක් පමණයි එහිදී හිමි වන්නේ. එයින් ලැබෙන සහයෝගය බොහෝම අඩුයි. කතාකරන්න මිනිස්සුන් අඩුයි. ඒ නිසා ඒ රටේ බොහෝ මිනිසුන් ආතතියකින් යුතුවයි සිටින්නේ. අධි රුධිර පීඩය, දියවැඩියාව ආදී රෝගයන් බොහෝ දෙනාට වැලඳී තිබෙන්නේ ඒ නිසයි. මේ කාරණා නිසා ඩුබායිවල %ලයිෆ් කෝච්^ අනිවාර්යයෙන්ම සිටිනවා. සේවකයෙකුට සේවා ස්ථානයේ හෝ පුද්ගලික වශයෙන් ඇති ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට නොහැකි වුණත් ඔහු සමග කතාකරන ආකාරයෙන් වුණත් ඔහු සේවකයාගේ සිත්පතුලේ තිබෙන ගැටලුව පිළිබඳව දැනගන්නවා. එමගින් ආයතනයේ සේවකයන්ගේ මානසික පීඩනය අඩු කරන නිසා ඇත්තෙන්ම නිෂ්පාදන අංශයේ හෝ සේවා අංශයේ වර්ධනයක් අත්කර ගැනීමට හැකි වෙනවා. ලංකාවේ ඇත්තෙන්ම මේ තත්ත්වය එතරම් ව්‍යාප‍්ත වෙලා නැහැ. ජාත්‍යන්තර පාසල්වල හා නොයෙකුත් ආයතනවල ඇතැම් විට උපදේශන සේවා ලබාදෙන නිලධාරීන් සිටිනවා. 

උපදේශනය හා ​Life coaching අතර වෙනසක් තිබෙනවාද?

උපදේශන නිලධාරියාට වඩා %ලයිෆ් කෝච්^ වෙනස්. මේ වෘත්තියේ තිබෙන්නේ ඇත්තටම සම්බන්ධතාවයක්. තමන්ගෙන් සේවය ලබා ගැනීමට පැමිණි අයෙක් සමග ප්‍රශ්නය අඳුනා ගන්නා තෙක්ම ​Life coach කතා කරනවා. ඔහුගේ කතාව මත ​Life coach ප්‍රශ්න ඇති වී තිබෙන තැන් නිගමනය කරනවා. ඔහුට හෝ ඇයට ප්‍රශ්නය දැනගැනීම අනිවාර්යයම නැහැ. නමුත් උපදේශන සේවයක් ලබා ගැනීමට යන විට අප ප්‍රකාශ කරන්නේ අපට ඇති වී තිබෙන ප්‍රශ්නය පමණයි.        

ඇත්තෙන්ම මෙය සමාජයේ වැදගත් වන්නේ මොනවගේ ස්ථරවලටද?

Life coaching ඇත්තෙන්ම පාසල් ළමුන්ට, විශ්වවිද්‍යාල ළමුන්ට, රාජ්‍ය ආයතනවලට, රැකියා කරන කාන්තාවන්ට, ගෘහණියන්ට ආදී වශයෙන් වැදගත් වෙනවා. කාන්තාවන් හා පාසල් ළමුන් අරමුණු කරගෙන මම විශේෂ දේශන පවත්වනවා. 

ඇතැමුන් සමග සාකච්ඡා කරන විට අපිට දැනෙන දෙයක් තමයි තරුණ වයසේ කෙනෙකුට ඇතැම් විට ප්‍රශ්නය තිබෙන්නේ ළමා කාලයේ විය හැකියි. ඒ සියලු දේ අපි නිගමනය කරන්නේ සේවා දායකයා කියන දෙවල්වලින්. ඉන් පසුව ඒ ප්‍රශ්නය දැනගත් පසුව ඒ හරහා ඇති දේවල් සවිස්තරාත්මකව අසනු ලබනවා.  අපේ රටේ සියදිවි නසා ගැනීම පිළිබඳ සුලබව අහන්න දකින්න ලැබෙනවා. ප්‍රධාන වශයෙන් ඔවුන් සඳහා මගේ සේවය ලබා දෙන්නයි මම කැමති. 

මෙය පුළුල් පරාසයක් පුරා විහිදී යන්නක්. එහි විෂය පථය ගැන කෙටියෙන් දැක්වුවහොත්?

මෙම වෘත්තිය පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිර පවතින්නක්. ව්‍යාපාර පුහුණුව, වෘත්තිය පුහුණුව, ආත්ම විශ්වාසය, මානසික පීඩනය, ශක්තිය (energy), පුරුදු (habits), පවුල (family), මිත්‍රත්වය (friendship), නිර්මාණශීලීත්වය (creativity), සෞඛ්‍ය (health), නායකත්වය (leadership), උපදේශනය (mentoring), අභිප්‍රේරණය (motivation), පෞද්ගලික සංවර්ධනය (personal development), redundancy coaching, සම්බන්ධතා (relationship), විශ්‍රාම ගැනීම (retirement), කාර්ය මණ්ඩල පුහුණුව (staff coaching), ආතතිය (stress), වෘත්තිය / ජීවිතයේ සමබරතාව (work/ life balance), යහපත් දෙමවුපියන් (good parenting), තරුණ පුහුණුව (youth coaching) වැනි දේවල් ඒ අතර ප්‍රධානයි. මම මේ සියලු දේවල් ක්‍රියාත්මක කරන්නේ  %තමන්ට වේලාවක් දෙන්න යන තේමා පාඨය යටතේයි.   

         

මේ වගේ වෘත්තියක් තුළ ඔබ ලබාගත් අත්දැකීම් සාකච්ඡා කළොත්? 

අපි වෘත්තියක් සිදුකිරීම තුළින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ අනිවාර්යෙන්ම මුදල්. නමුත් මම නම් හිතන්නේ මම මුදල්වලට වැඩියෙන් දෙයක් උපයා ගන්නවා කියායි. කෙනෙකුට තිබෙන ආතතිය, පීඩනය අවම කර ඔහුව හෝ ඇයව සතුටින් තැබීම ඇත්තෙන්ම විශේෂ දෙයක්. මුදල්වලින් හැම දෙයක් කරන්න බැහැ කියනකොට මම හිතුවා නෑ මුදල් තිබුණොත් හැම දෙයක්ම ගන්න පුළුවන් කියලා. නමුත් මට තේරුණ දෙයක් තමයි මුදල්වලින් ගොඩක් දේවල් ගන්න පුළුවන් වුණත් හදවතේ සතුට කාටවත් ගන්න බැහැ කියන එක. රාත්‍රියේ නින්දට යනකොට හැමදාම මම ඒ සතුට භූක්ති විඳිනවා. 

ඉදිරියට මොනවගේ සැලසුම්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ?

ඇත්තෙන්ම මට අවශ්‍යයි ලංකාවට දෙයක් කරන්න. මම දැනට ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරමින් පවතිනවා. පාසල් සියල්ලටම කථන හැකියාව හා නායකත්ව කළමනාකරණය පිළිබඳව දේශන සිදුකරන්න අපේක්ෂා කරනවා. ආයතනවල නොයෙක් අංශයන්ටද මම මෙයින් සේවාවක් සැපයීමට අපේක්ෂා කරනවා. පීඩනය, ආතතිය ආදී තැන්වලදී මට පිස්සුද,මට තියෙන එකම තෝරා ගැනීම මරණයද යන තැනට අපි කිසිවිටෙකත් හිතන්න හොඳ නැහැ. ඇත්තෙන්ම ජීවිතයේ මැරෙන්න කලින් අනිවාර්යෙන්ම තවත් තෝරා ගැනීමක් එසේත් නොමැතිනම් විකල්පයක් තිබෙනවාමයි. 

සටහන හා ඡායාරූපය   ෂෙහානි දිල්රුක්ෂිකා/ ශමීර රාජපක්ෂ   

 



Recommended Articles