ජීවමාන ලෙස සිතුවම් මවන කලා උපාධිධාරිනිය


අහඹු ලෙසින් සිතුවම්කරණයට පින්සල අතින් ගත්තද ඇයට ජීවන තක්ෂිලාවේ ගමන් කිරීමට එය නිබඳ පිටිවහලක් විය. ලෝකය දෙස සමාජයේ ජීවත් වන්නන් දෙස නිර්මාණශීලී දෙනෙත් යොමු කරමින් අද වන විට ඇය ඇස ගැටුණු  දසුන් විශාල ප්‍රමාණයක්  සිතුවමට නගා තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍ර‘දේශයේ ජීවත් වන ඇය නමින් ප්‍රියානි ප්‍රීතිමාලිය. ඇය තමාගේ සිතුවම්කරණය පිළිබඳ අද හමුවේ තැබුවේ මෙවන් සටහනකි. 


ඔබේ පෞද්ගලික තොරතුරු පිළිබඳ මුලින්ම කතා කළොත්?

මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි නංගියි ඉන්නේ. වැලිමඩ වැඩිවශයෙන් ගොවිතැන් කටයුතු තමයි සිදුකරන්නේ. ඒ නිසා ඒ කාලයේ ඉඳලම මගේ අම්මා තාත්තත් ගොවිතැන් කටයුතුවලින් තමයි අපිව ජීවත් කළේ. මම දැනට මො/ රතඹලාගම කනිටු විදුහලේ චිත්‍ර ගුරුවරියක වශයෙන් කටයුතු කරනවා.

ඔබේ අධ්‍යාපන කටයුතු පිළිබඳ කෙටියෙන් විස්තර කළොත්? 

මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ආගරපතන මහා විද්‍යාලයෙන්. නමුත්  ශිෂ්‍යත්වයෙන් පසුව  වැලිමඩ ජනාධිපති විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට මට අවස්ථාවක් උදා වුණා. එහිදී මම කලා අංශයෙන් උසස් පෙළට පෙනී සිටිමින් එහි විශිෂ්ට සම්මාන ලබාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණා.

ඒ අතර ඔබ චිත්‍ර ශිල්පයට යොමු වන්නේ කොහොමද?

මට පුංචි කාලයේ ඉඳලම චිත්‍ර කලාව පිළිබඳ ඇල්මක් තිබුණා. ඉතින් මම බොහෝ වේලාවට විනෝදයක් ලෙසින් සිතුවම්කරණයේ යෙදෙනවා. ඒ සියලු නිර්මාණ කළේ මම නිදහස් සිතින්. මට ඒ කාලයේ සිතුවම්කරණය පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මම කැමති ලෙසින් සොබාදහම, සතා සිවුපාවා සිතුවම් කළා. 

මොනවගේ සිතුවම්ද වැඩියෙන් අඳින්න කැමති?

එහෙම කියලා විශේෂයක් නැහැ. මම නොයෙක් වර්ගයේ සිතුවම් කරනවා. වැඩිපුරම මම කැමති රියල් පේන්ටින්වලට. මොකද මට දෙයක් දෙස බලාගෙන භාවනාවක් වගේ එය සිතුවම් කිරීමට තිබෙන්නේ පුදුම ආශාවක්. එම සිතුවම්වලට අමතරව, පැන්සල් තුඩින් අඳින සිතුවම්, තෙල් සායම් සිතුවම් කරන අවස්ථාද තිබෙනවා. මම මෙතෙක් කළ නිර්මාණවලින් වැඩි වශයෙන් සිදුකර තිබෙන්නේ තෙල් සායම් සිතුවම්. 

සිතුවම් කලාවට යොමු වෙන්න ඔබට විශේෂ හේතුවක් තිබෙනවද?

මම 10 ශ්‍රෙණියට එනකම් නර්තන විෂය හැදෑරුව කෙනෙක්. නමුත් හදිසියේම අපේ නැටුම් ගුරුවරිය වෙනත් පාසලකට මාරු වෙලා ගියා. ඉන්පසුව තමයි මම නැටුම් අතහැර චිත්‍ර විෂයක් ලෙසින් හදාරන්න යොමු වුණේ. එහිදී මම චිත්‍ර ශිල්පය මුලින්ම න්‍යායාත්මකව හදාරන්න යොමු වුණා කිවොත් නිවැරදියි.  මගේ මුල්ම චිත්‍ර ගුරුවරිය කාංචනා ආරියරත්න මහත්මියයි. ඇත්තෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට එතරම් කාලයක් නොතිබුණත් ඇය මා ළඟ සිටිමින් නිරන්තරයෙන් චිත්‍ර ශිල්පය පිළිබඳ දැනුම ලබා දුන් පන්නරය මට කිසිදා අමතක කරන්න බැහැ. මම එතුමියට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.  ඒ පන්නරය කැමැත්ත නිසාම මට මේ තරම් දුරක් පැමිණීමට හැකිවුවා මෙන්ම ඒ කෙරේ ඇතිවුණ ඇල්ම කැමැත්ත නිසාම උසස් පෙළ විෂයක් ලෙසින් චිත්‍ර ශිල්පය හදාරන්න මම යොමු වුණා.

මේ වන විට ඔබ බොහෝ සිතුවම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. ඒවාට තේමා වු දේවල් පිළිබඳ කතා කළොත්?

මම වැඩියෙන්ම දරුවන්ගේ හැඟීම් ප්‍රකාශිත සිතුවම්කරණයට වඩාත් කැමතියි. මොකද මම දකින එක දෙයක් තමයි වැඩිහිටියන්ගේ මුහුණුවලට වඩා දරුවන්ගේ මුහුණු සුන්දර බව. ඔවුන්ගේ මුහුණු තුළින් දිස් වෙන්නේ අව්‍යාජ බවක්. ඔවුන්ගේ මුහුණෙන් පෙනෙන්නේ සත්‍ය හැඟීම්. කුහකකම, තරහව, ක්‍රෝධය වැනි දේ තිබෙන්නේ ඉතාම අඩුවෙන්. ඇත්තෙන්ම නැති තරම්. ඒ නිසා එවැනි අව්‍යාජාත්මක දේවල් සිතුවම් කරන්න මම ගොඩක් කැමතියි. මම උගන්වන පාසල ටිකක් දුෂ්කර පාසලක්. ඒ දරුවන්ගේ අව්‍යාජ හැඟීම් තිබෙන මුහුණු පුදුමාකාරයි. මම ඔවුන්ගේ ඒ නොකිලිටි මුහුණු සිතුවම් කරන්න හරි ආසයි.

මේ වෙනකොට සිතුවම් කොපමණ ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවාද?

මේ වෙනකොට විවිධ තේමා යටතේ 500ට වඩා චිත්‍ර ප්‍රමාණයක් ඇඳ තිබෙනවා. මම මට ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම සිතුවම්කරණයේ යෙදෙනවා. මම විශ්වවිද්‍යාලය තුළදී වුවත් වැඩිකාලයක් යොමු කළේ සිතුවම් කලාවට. දැන් මම වෘත්තියෙන් ගුරුවරියක වුවත් සිතුවම් ඇඳීම අමතක කළේ නැහැ. මම දැනට සේවය කරන්නේ ඌව පළාතේ දුෂ්කර ප්‍රදේශයක. මෙහි සිටින දරුවන් ගෙවන දුෂ්කර ජිවිතය කටුක බවින් පිරිලා. මම ඇත්තෙන්ම ඒ දරුවන්ගේ මුහුණුවලින් ප්‍රකාශිත අව්‍යාජ හැඟීම් පවා සිතුවම් කර තිබෙනවා. 

නොයෙක් තේමා යටතේ සිතුවම් කළ ඔබේ නිර්මාණවලින් ඉදිරියේදී ප්‍රදර්ශනයක් පවත්වන්න අපේක්ෂා කරනවද?

ප්‍රදර්ශනයක් තියන්න නම් ආසයි. ඉදිරියේදී මට ඒ සඳහා අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන් මම ප්‍රදර්ශනයක් පවත්වන්න අපේක්ෂා කරනවා.

ඔබ සිතුවම්කරණයට අමතරව ත්‍රිමාණ නිර්මාණ සකස් කිරීමේ කලාවත් ප්‍රගුණ කර තිබෙනවාද?

ඔව්. ඇත්තෙන්ම මම සිතුවම් ඇඳීමට අමතරව ත්‍රිමාණ චිත්‍ර ඇඳීම පරිගණකය භාවිතයෙන් සිදුකරනවා. නොයෙක් මෘදුකාංග භාවිත කරමින් මම නිර්මාණ රැසක් මේ වන විටත් සිදුකර තිබෙනවා. නමුත් ඒ තාක්ෂණය ඉදිරියටත් ප්‍රගුණ කරමින් නැවුම් නිර්මාණ රැසක් සිදුකිරීමට මම අපේක්ෂා කරනවා.

සිතුවම්කරණය තුළ ඉදිරි සැලසුම් පිළිබඳ කතා කළොත්?

මම කරන විෂය තව දුරටත් ගැඹුරින් ඉගෙන ගන්න මම අපේක්ෂා කරනවා. සිතුවම්කරණයේ සීමාවක් නිර්ණයක් පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකියි. ඒ නිසා ඒ සියුම් තැන් පවා ස්පර්ශ කරමින් තවදුරටත් නව ක්‍රම ශිල්පයන් ඔස්සේ හදාරන්න කැමතියි. 



Recommended Articles