ජනපති සම්මාන ලැබුවත් රජයෙන් අතහිත නැති පොල් කොළ කර්මාන්තය කරපින්නාගෙන යන කතුන්


පොල් කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින. ජාතික ශිල්ප සභාව මගින් වාර්ෂිකව පවත්වනු ලබන %ශිල්ප අභිමානී^ ජනාධිපති සම්මාන උළලේදී වර්ෂ ගණනාවක් පුරාවටම පළාත් හා ජාතික සම්මාන ගණනාවක් දිනාගත් කාන්තාවක් අපට පසුගියදා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාවෙල ගම්මානයේදී හමුවිය. ඇය නමින් ඉන්ද්‍රාණි උදයරත්න මහත්මියයි. ඇයව හමුවීම සඳහා අප මාවෙල ගම්මානයට යන විටත්, ඇය කතුන් ගණනාවක් සමග එක්ව  පොල් කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටියාය. 


මේ වනවිට ඇය ශිල්ප අභිමානී පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන 05කට වඩා දිනාගෙන ඇති අතර, ජාතික මට්ටමින් කුසලතා සම්මාන 10කට වඩා දිනාගෙන තිබේ. ජනාධිපති සම්මානද දිනා ඇති ඇය ඊට අමතරව ලබා ඇති සම්මාන රාශියකි. එහෙත් ඇය විසින් මේ දක්වන කැපවීමට සැබෑ ඇගයීමක් ඇයට ලැබී ඇතිද යන්න ගැටලුවකි. අප සමග අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය. 

මාවෙල කියන අපේ ගම්මානය ඓතිහාසික ගම්මානයක්. අපේ කිරි අම්මලා මුල ඉඳලම මේ පොල් කොළ නිෂ්පාදන කළා. ඒ කාලේ පොඩි අය විදිහට අපි කළේ බලා ඉන්න එකයි. ඊට පස්සේ කාලෙක අපේ අම්මලා පොල් කොළ වියන්න පටන් ගත්තා. පස්සෙන් පහු තමයි මම මේ කර්මාන්තයට යොමු වුණේ. මේ වෙනකොට පොල් කොළ නිර්මාණ කරන්න පටන් අරන් අවුරුදු 45ක් විතර වෙනවා. ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි කරලා අවුරුදු 12ක් විතර වෙනවා. මේ කාලය ඇතුළත පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් සම්මාන ගණනාවක් දිනාගෙන තියෙනවා. අපිට සම්මාන දීලා, සහතික දීලා කොච්චර අගය කළත්, මේ කර්මාන්තයට වටිනාකමක් නෑ. ප්ලාස්ටික් බැහැර කරන්න කියලා කරන ප්‍රචාරක වියදම්වලට විතරක් කෝටි ගානක් වියදම් කරනවා. හැබැයි ඒ වෙනුවට විකල්ප වශයෙන් හඳුන්වා දෙන මේ වගේ නිෂ්පාදන ව්‍යාප්ත කරන්න සතයක්වත් යොදවන්නේ නෑ. ඕක තමයි අද තියෙන තත්ත්වය.

ඇය පොල් කොළවලින් නිෂ්පාදන කරනවා සේම ඒ පිළිබඳ ගමේ සිටින කතුන්ටද උගන්වයි. ඔවුන් සමග එක්ව පොල් කොළ නිෂ්පාදන කටයුතු සිදුකරයි. මෙම කතුන් පොල් කොළ නිෂ්පාදන කටයුතු සිදුකරනුයේ ඉන්ද්‍රාණි උදයරත්න මහත්මියගේ නිවසේදීය. දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා බොහෝ කාර්යන් සිදුකෙරෙන බව අප බොහෝ සේ අසා ඇති නමුදු මේ කාන්තාවන් සඳහා ඒ කිසිවක් නොලැබී ඇතිද ? යන්න මෙහිදී අපට ඇතිවූ ගැටලුවකි.  එම පැනය අප අපගේ කතා නායිකාව වූ ඉන්ද්‍රාණි උදයරත්න මහත්මිය වෙත මෙසේ යොමු කළෙමු. 

මට මේ වෙනකොට කොන්ක්‍රීට් කණු පහකුයි, ඇස්බැස්ටස් ෂීට් දහයකුයි ලැබිලා තියෙනවා. ඒවා පාරේ ඉඳලා මෙතනට ගේන්න රුපියල් 10,000/=ක් විතර ගියා. එහෙම බැලුවොත් නිකම් හම්බ වුණා කියලා කියන්න බෑ. දැනට මඩුවක් හදලා තිබුණත් එතන වැඩ කරන්න සුදුසු තත්ත්වෙක නෑ. ඊට අමතරව සාස්පානකුයි, බාල්දි දෙකකුයි, කතුරු ටිකකුයි ලැබිලා තියෙනවා. එච්චර තමයි භාණ්ඩ විධිහට හම්බ වුණේ. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ අපිව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට යොමු කළා. එතනින් ජාතික ශිල්ප සභාව තමයි මේක කරගෙන යන්නේ. මේ වෙනකොට ගුරු ශිල්ප පන්ති දෙකක් කරලා ළමයි 12 ක් විතර පුහුණු කරලා තියෙනවා. මම ඒ අයට වට්ටි, පෙට්ටි, පැදුරු, බිත්ති සැරසිලි, කලගෙඩි වැස්ම, කාන්තා අත් බෑග්, වගේ විවිධ දේවල් නිෂ්පාදනය කරන්න පුහුණු කරලා තියෙනවා. දැන් ඒ අය මෙතනට ඇවිත් වැඩ කරනවා. නමුත් අපිට ඉදිරියට යන්න උදව් අවශ්‍යයි.

සමහර වෙලාවට අපි පොල් කොළ ගේන්න දුර යනවා. තියෙන අය අපෙන් පොල් කොළවලට සල්ලි ඉල්ලනවා. අපි සල්ලි දීලා ඒවා අරගෙන භාණ්ඩ හැදුවත්, විකුණ ගන්න බැරි වුණාම අසරණ වෙනවා. ගොඩක් අය අපෙන් නිෂ්පාදන අරන් ගියාට සල්ලි දෙන්නේ පරක්කු වෙලා. භාණ්ඩ විකුණාගන්න ක්‍රමවේදයක් නෑ. ගොඩක් රාජ්‍ය ආයතනවලට අරන් ගියත් මුදල් ලැබෙන්නේ නෑ. සමහර අය අරන් ගිහින් මාස ගානක් වෙනවා තාම මුදල් ලැබිලා නෑ. එක්කෝ අපි මේවා පොළවල්වලට, ටවුන් ගානේ අරන් යන්න  ඕනේ. එහෙම අරන් යන සමහර දවස්වලට වට්ටි දෙකක්වත් විකුණ ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ගෙනියන භාණ්ඩේ අපි රුපියල් 100ක් කිව්වොත් ඉල්ලන්නේ රුපියල් 25ට. අපේ ශ්‍රමයට මිලක් නියම වෙන්නේ නෑ. ගෙදර සහතික, සම්මාන ගොඩ ගහලා තියාගෙන ඉන්නවා. ඒ වුණාට මේ කර්මාන්තය කරගෙන යන්න කිසිම සහයෝගයක් නෑ. එක තමයි තියෙන ලොකුම බාධකය. අධ්‍යක්‍ෂවරු, කථිකාචාර්යවරු. කර්මාන්ත අමාත්‍යාංශයෙන් මෙතැන බලන්න එනවා. ඒ ඔක්කොම එන්නේ මෙහි ඒමට තිබෙන දුෂ්කර පාරෙන්. ඒ අයටත් පේනවා අපේ දුක. ඒ මොන දුෂ්කරතා තිබුණත් මගේ නිර්මාණ, හැකි ඉහළම මට්ටමින් කරනවා.

කොත්මලේ, මාවෙල යනු ඓතිහාසික බවින් පිරිපුන් ගම්මානයක් වන අතර, එහි ඓතිහාසිකත්වය ලංකා ඉතිහාසය පුරා ලියැවී තිබේ. දුටුගැමුණු රජු සැඟව ජීවත් වූ ප්‍රදේශය මාවෙල ගම්මානය වශයෙන් ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මකව ඔප්පු වේ. ඒ සඳහා වන වෙනත් අදහස් ද ඇත. ඒවා මෑත වසර 100ක කාලය තුළ නිර්මාණය වූ මතවාදයන් වේ. මෙය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති පැරණිතම ගම වශයෙන්ද හඳුනා ගැනේ. මාවෙල (කොත්මලේ) ඓතිහාසික වන්නේ දුටුගැමුණු රජුට පෙර සිටය.

යක්ෂ ගෝත්‍රිකයින්ගේ ගම්මානයක් වූ මෙම කලාපය පඩුවස් දෙව් රජුගේ කාලය දක්වා දිව යයි. පඬුවස් දෙව් රජුගේ දිවි දෝෂය නැති කිරීම සඳහා ආරම්භ කළ කොහොඹා යක් කංකාරියේ සඳහන් වන මලය රට මේ කොත්මලයයි. දිවිදෝෂය සඳහා වන කංකාරිය සිදු කරන ලද්දේ මාවෙල ගමේ සිට පැමිණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් බව පුරාවෘත්තයන්හි සඳහන් වේ. 
එතරම් ඉතිහාසයක් මෙම ගම්මානයට තිබුණද, එහි ඇති පහසුකම් නම් ඉතාම මදය. ඉන්ද්‍රාණි උදයරත්න මහත්මියගේ නිවසටද මහා මාර්ගයේ සිට ඉතා අසීරු පඩිපෙළකින් පහළට බැස යෑමට තිබේ. 

මෙහිදී ඉන්ද්‍රානි මහත්මියත් සමග එක්ව පොල් කොළවලින් භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටි කාන්තාවන් පිරිසක් තමන් මුහුණ දෙන දුෂ්කරතාවන් පිළිබඳ අප සමග මෙසේ අදහස් දැක්වූවාය. 

මේ කර්මාන්තය කරගෙන  යන්න ස්ථිර තැනක් නෑ - සුනේත්‍රා මල්කාන්ති මහත්මිය, 

අපි ආදායම් මාර්ගයක් හැටියට තමයි මේ පොල් කොළ නිෂ්පාදන කරන්නේ. සමහර දවස්වලට ස්වාමි පුරුෂයා හම්බ කරන දේ ගෙදරදොර වියදම්වලටවත් මදි. කලින් නම් අපිට ගමේ රැකියා තිබුණා. ගම්මානය ආසන්නයේම ගාමන්ට් දෙකක් තිබුණා. ඒත් අද වෙනකොට ඒ දෙකම වැහිලා. පුංචි දරුවෝ දාලා පිට පළාත්වල රැකියාවලට යන්න බෑ. මේ කර්මාන්තය කරගෙන යන්න අපිට හැකියාව තිබෙනවා. නමුත් ප්‍රධානම දුෂ්කරතාව තමයි භාණ්ඩ අලෙවි කරගන්න එක. මෙතනට එන්න හරිහමන් පාරක් නෑ.  මොනවා ගෙනාවත් උස්සගෙන එන්න  ඕනේ. කොත්මලේ කියන්නේ පොල් බහුල ප්‍රදේශයක් නෙමෙයි. අමාරුවෙන් තමයි පොල් කොළ හොයා ගන්නේ. එහෙම හොයා ගෙන හරි මේ කර්මාන්තය කරගෙන යන්න ස්ථිර තැනක් නෑ. ඒ වගේම මේ භාණ්ඩවලට ඉල්ලුම අඩුයි. මේවා වියලා වියලා මාස ගණනක් මහන්සි වුණාට සමහර වෙලාවට විකුණ ගන්න බැරි වෙනවා. ගොඩක් අය මේ බඩු අපෙන් ඉල්ලන්නේ තුට්ටු දෙකට. මේ කර්මාන්තයට වෙන මහන්සියට ප්‍රතිඵලයක් නැති වුණාම අපිටත් හිතෙනවා මේවා කරලා වැඩක් නෑ කියලා. ඒත් වෙන කරන්න දෙයක් නැතිකමට ආයෙත් කරනවා. අඩුම ගානේ මේක කරගෙන යන්න පාරක් කිට්ටුව තැනක්වත් අපිට ලැබෙනවා නම් ඒක ලොකු පිනක්.

ප්ලාස්ටික් ඒවට විකල්පයක් හැටියට තියෙන මේ නිෂ්පාදනවලට නිසි තැනක් ලැබිලා නෑ - ශ්‍රියාණි සේපාලිකා මහත්මිය,

අද වෙන කොට පරිසරය ප්ලාස්ටික්වලින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලයි තියෙන්නේ. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ප්‍රතිචක්‍රීය කරන්න කියලා අපේ ගෙවල්වලින් අරන් යන ප්ලාස්ටික් බඩුවලටත් නැවත අපට ලබාදෙන්නේ ප්ලාස්ටික් භාණ්ඩයක්ම තමයි. නමුත් ඒවට විකල්පයක් හැටියට තියෙන මේ  නිෂ්පාදනවලට නිසි තැනක් ලැබිලා නෑ. මොන ආණ්ඩුව ආවත්, කිසි බලධාරියෙක් ග්‍රාමීය මට්ටමින් මේවා දියුණු කරන්න සූදානම් නැති බව තමයි අපිට පේන්නේ. එයාලා අපිට එන්න කියනවා. දේශන පවත්වනවා. ඒ වගේ දේවල් කරලා සහතිකයක් දෙනවා. ලියාපදිංචි වුණා කියලා අයිඩෙන්ඩියක් දෙනවා. නමුත් මේවා ඉස්සරහට කරගෙන යන්න කිසිම ශක්තියක් දෙන්නේ නෑ. අඩුම ගානේ පරිසර හිතකාමී රටක් ගොඩනගන්න මේ වගේ කර්මාන්තවලට අතහිත දෙන්න  ඕන නේ. අපිට අපේ රට ගැන හැඟීමක් තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය ගැන හැඟීමක් තිබෙනවා. ඒ වුණාට මේ යන විදිහට ගියොත් මොනවගේ අනාගතයක් ලැබෙයිද කියලා බයකුයි අද වෙනකොට හිතේ තිබෙන්නේ.* 

තවමත් මේ දේශීය දේ ගැන උනන්දු වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ අය ළඟට මේ භාණ්ඩ අරන් යන්න විදිහක් නෑ - තනූජා දේවගේ මහත්මිය, 

&ඇත්තටම හුදෙකලා ගමක ඉඳලා මේ නිෂ්පාදන අලෙවි කරගන්න අපිට හැකියාවක් නෑ. තනියම මේ භාණ්ඩ ගැන ප්‍රචාරයක් දෙන්නත් බෑ. විවිධ අයගේ සහයෝගය ඕන වෙන්නේ ඒ නිසයි. දේශීය දේ ගැන අපි කොච්චර කතා කරත් ජනතාව අතරට ඒවා ගෙනියන්න බැරි නම් වැඩක් නෑ. මේ වට්ටිය, පෙට්ටිය එදා  ඕනේ වුණේ, කුඹුරට, කමතට, දාෙනට, පිරිතට. අද ඒ තැන් කෘතිම දේවල්වලින් පිරිලා. හැබැයි තවමත් මේ දේශීය දේ ගැන උනන්දු වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ අය ළඟට මේ භාණ්ඩ අරන් යන්න විදිහක් නෑ. ඒකටයි වැඩපිළිවෙළක්  ඕනේ. අපි උදව් ඉල්ලන්නේ ඒකටයි. මේ වට්ටියක නෙළුම් කොළයක්, කෙසෙල් කොළයක් දාගෙන දේශීය ආහාර වේලක් කන්න කැමති අය ගොඩක් ඇති. හැබැයි ඒ අයට අවස්ථාවක් නෑ. ගමේ කොස් පොළොස් ටික කුණු වෙලා වැටෙනවා. මඤ්ඤොක්කා දල්ල, පළා කොළේ නිකම්ම විනාශ වෙනවා. මේ හැම දේකටම නගරයේ ඉල්ලුමක් තිබෙනවා. ඒකට වෙළෙඳ පොළක් තිබෙනවා. මේ දේශීය දේවල් අද දවසට ගැළපෙන විදිහට සමාජයට ඉදිරිපත් කරන්නයි  ඕනේ. අවුරුද්දක් ගානේ තිබෙන සම්මාන උළෙලවල්වලින් එහාට ගිහින් වැඩපිළිවෙළක් හැදෙන්නයි අවශ්‍ය වන්නේ. එහෙම වුණොත් විතරයි මේ කර්මාන්තවලට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් කවදාහරි දවසක මේ පොල් කොළ නිෂ්පාදන දකින්න පුළුවන් වෙන්නේ කෞතුකාගාරවලින් විතරයි.

කොළ මිටිය ඔළුවේ තියාගෙනයි මේ කඳු පල්ලම්වල යන්නේ සුජාතා හේමන්ත කුමාරි මහත්මිය, 

කිසි කෙනෙක් අපේ දුක බලන්න එන්නේ නෑ. අපේ ගෙවල් දොරවල් බලන්න. ඉටි රෙදිවලින් වහගෙනයි අපි ඉන්නේ. ජන්දේ ඉල්ලන්න නම් එනවා. අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා. හැබැයි ඡන්දේ ගත්තට පස්සේ ආයේ මේ පැත්ත පළාතට එන්නේ නෑ. හරි හමහන් පාරක් තොටක් නෑ. අපි කොළ මිටිය ඔළුවේ තියාගෙනයි මේ කඳු පල්ලම්වල යන්නේ. ඒ අරන් ඇවිල්ලයි මේ වට්ටි පෙට්ටි ටික හදලා කීයක් හරි හොයා ගන්න උත්සාහ කරන්නේ. ඒත් වැඩක් නෑ. කියන්න කෙනෙකුත් නෑ. අහන්න කෙනෙකුත් නෑ. අපේ දුක උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. 

වර්ෂයක් පාසා දේශීය කර්මාන්ත නගා සිටුවීම වෙනුවෙන් වෙන් කෙරෙන මුදලට කිසියම් හෝ දෙයක් සිදු කිරීමට බලධාරීන් සතු යුතුකම හා වගකීම ඇඟිල්ලෙන් ඇන හෝ පෙන්විය යුතු බව අපි විශ්වාස කරන්නෙමු. එසේ නොමැති වුවහොත්, මෙවැනි කර්මාන්තයන් මෙරටින් අතුගෑවී යෑම වැළැක්විය නොහැකි කාරණයකි. 

 



Recommended Articles