ගෙදරක කොසු ඉදල් හා පාපිසි ලෙඩ වාට්ටුවක් බව ඔබ දන්නවාද ?


නිවසක ඇති කොස්ස ඉදල හා පාපිසි නිතර භාවිතයට ගත්තද, බොහෝ දෙනා ඒවා පරිහරණය කරනුයේ එතරම් දැනීමක් නොමැතිව බව හැඟී යන කරුණකි. ඒවා නිසි ලෙස භාවිතයට නොගතහොත් ඒ මගින් නිවසක ඇති ශක්තීන් හීන කරන බව ඔබ නොදන්නා කරුණක් විය හැකිය. 


එබැවින් ඒවා අප භාවිතයට ගන්නේ කෙසේද හා කුමක් අනුගමනය කළ යුතු යන්න පිළිබඳව ඔබට තොරතුරු ගෙන ඒමට අපි තීරණය කළෙමු. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී වාස්තු උපදේශක කේ. සී. ජේ. රත්නායක මහතා දැක්වූ අදහසකි.

කොස්ස, ඉදල හා පාපිස්ස ලෝකය හා ජීවිත මෙන්ම ඉතා වේගයෙන් නවීකරණයට ලක් වූ ගෘහ උපකරණ 3කි. මීට වසර 20කට පමණ පෙර ස්වාභාවික කොහු ආදියෙන් නිපද වූ කොසු හා පාපිසි ඉතා සුලභ විය. ඉදල නිර්මාණය වූයේද පොල් ඉරටුවෙනි. එහෙත් අද මේ සියල්ලම විපරීතකරණයට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒවා නිෂ්පාදනය කිරීමට 100෴ක් පාහේ කෘත්‍රිම රබර් හා ප්ලාස්ටික් බහුලව යොදා ගැනේ. මෙම කොසු, ඉදල්, පාපිසි පිළිබඳව ඔබේ අවධානය ලක් නොවූ සැඟවුණු කතාවක් තිබේ. එනම් ඔබ විසින් මේ උපකරණ භාවිතා කරන ආකාරය පිළිබඳවය.
නිවසේ කොස්ස හා ඉදල නිසි ලෙස තැන්පත් කළ යුතු නිවැරදි දිශාවක් හා ස්ථානයක් තිබේ. ඒවා කිසි විටෙකත් ඔබේ නිවසේ හෝ ගෙමිදුලෙහි ඊශාන හෝ නිරිත පැත්තේ නොතැබීමට වග බලාගත යුතුය. 

බෝහෝ නිවෙස්වල සාමාන්‍යයෙන් කොස්ස තිබෙනුයේ මුළුතැන්ගෙයෙහි දොර මුල්ලෙහිය. මෙසේ ගෙයි දොර මුල්ලට කර තිබෙන කොස්ස එයින් එළියට ගතයුතුය. ඉදල හා කොස්ස හැමවිටම තැබිය යුත්තේ හොඳින් හිරු එළිය හා වාතාශ්‍රයට නිරාවරණය කරමිනි. 

නිවස ඇතුළත පවිත්‍ර කිරීමට ගන්නා කොස්ස වැඩ අවසන් කළ වහාම ගලා යන ජලයට අල්ලා සෝදා පවිත්‍ර කර ගැනීමට ගත වනුයේ මිනිත්තු 2, 3ක කාලයකි. එසේ කිරීමද අත්‍යවශ්‍ය වන නමුත් බෝහෝ විට සිදුවනුයේ එය නොවේ. එහි ආදීනව ඔබ සිතනවාට වඩා අහිතකරය. අතුගෑමෙහිදී නිවසේ රැඳී පවතින කුණු දූවිලි ආදිය යම් පමණකින් නිවසින් එළියට යන නමුත් එම අපද්‍රව්‍යවලින් සැලකිය යුතු ප්‍රමාණයක් කොස්සේ කෙඳි අතර තැන්පත් වේ. දිනපතා අපද්‍රව්‍ය රැඳෙන එකී කෙඳි සහිත කොස්සෙන් ඔබ නිවස අභ්‍යන්තරය අතුපතුගාන විට කෙඳි අතර තව තවත් අපද්‍රව්‍ය ඇලෙන්නට ගනී. 

වැඩ හමාර කළ පසු කොස්ස දොර මුල්ලේ තැබූ විට එහි අඳුරේ විවිධ රෝග කාරයකයන් වැඩෙන අතර, අප වාස්තු විද්‍යාවේදී අවධානයට ලක්කරන අඳුරු ශක්තීන් හෙවත් %Dark Energy^ නිර්මාණය වන තවානක් බවට එය පත්වේ. සතියක් පමණ කාලය ගතවන විට එකී කොස්ස විෂබීජ බහුල හා අඳුරු ශක්තීන් බහුල නපුරු මායාකාරියකගේ කොස්සක් බවට පත් වන බව මතක තබාගත යුතුය. එවැනි කොස්සකින් ඔබ යළි යළි ගෙබිම පිරිසුදු කරන වාරයක් වාරයක් පාසා ඔබේ මුළු ගෙබිම පුරාම අපද්‍රව්‍ය තැවරේ. ඇත්ත වශයෙන්ම එය පිරිසුදු නිවසක් අපිරිසුදු කිරීමක් බඳුය. අතුපතු ගෑමෙන් පසුව මිනිත්තු 2, 3ක කාලයක් වැයකොට එකී කොස්ස සෝදා පවිත්‍ර කර එළියේ තැබිය යුත්තේ එහෙයිනි.

නිවසෙන් පිටත ගෙමිදුල අතුගෑමට ගන්නා ඉදල සම්බන්ධයෙන්ද ඔබ විසින් අනුගමනය කළ යුත්තේ අඩුම තරමින් සතියකට වරක්වත් එය ගලායන ජලයට අල්ලා සෝදා පවිත්‍ර කොට හොඳින් සූර්යාලෝකය නිරාවරණය වන ලෙස තැබීමය. 

මීළඟට පාපිසි හා බුමුතුරුණු පිළිබඳව අවධානය යොමු කළහොත්, වචනයේ අර්ථයෙන්ම පාපිස්ස යනු පය පිස දමන මෙවලමකි. ඔබ විසින් පය පිසදමන වාරයක් වාරයක් පාසා පාපිස්සට අපද්‍රව්‍ය හා තෙතමනය ඒකතු වී මාසයක් පමණ ගත වනවිට එකී පාපිස්ස මතුපිට මිලියන ගණනකින් යුතු ක්ෂද්‍ර ජීවීන් වැ‌ඩෙන්නට පටන් ගනී. මෙහිදී පාපිස්සෙහි යටි පැත්තෙහි ඊට සමාන්තරව අඳුරු ශක්තීන් බෝවන්ට පටන් ගනී. එවිට පාපිස්සෙහි උඩින්ද, යටින්ද දෙපැත්තෙන් ඔබේ නිවස තුළට ගෙන දෙනුයේ අදිසි තර්ජනයකි. 

විශේෂයෙන්ම අද භාවිතයට ගන්නා කෘත්‍රිම රබර් හා ප්ලාස්ටික් මිශ්‍ර මෙකී පාපිසි සමග අඳුරු ශක්තින් ඉතා හොඳින් සංයෝග වේ. එහි විෂ සංයෝගය ඔබේ මුළු නිවසෙහිම වාතාශ්‍රය දූෂ්‍ය කරයි. එහෙයින් අඩුම තරමින් සති 2කට වරක්වත් නිවසේ පාපිසි ගල‌ා යන ජලයට අල්ලා හොඳින් පිරිසුදු කොට සූර්යාලෝකයේ වියළා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අද පවතින බොහෝ නිවාස ටයිල් අල්ලා තිබෙන හෙයින් බිම පිරිසුදු කිරීමට ගන්නා මොබ් බහුලව භාවිතයට ගනී. එය වරක් භාවිත කිරීමෙන් අනතුරුව මිනිත්තු 20ක පමණ කාලයක් දිය පිරුණු බේසමක බහා තැබිය යුතුය. ඉන්පසු  ගලා යන ජලයට අල්ලා එය හොඳින් සේදිය යුතුය. එසේ නොකළහොත් මීට ඉහත විස්තර කළ පරිදි කොස්ස, ඉදල හා පාපිස්සට වඩා වැඩි හානියක් මොබ් මගින් සිදුවන බව ඔබ මතක තබාගත යුතුය.

 



Recommended Articles