ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ තිබෙන්නා වූ බාධක තම වෘත්තීය ගමනට කිසිදු අයුරකින් අභියෝගයක් කර නොගත් ඇය අද වන විට ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රථම සභාපතිනියයි. සමාජයේ නොයෙක් පැතිකඩයන්හි සැඟවුණු ප්‍රශ්න විවෘතව ස්වකීය නිර්මාණවලින් ගෙනහැර පෑ ඇය තවත් අතකින් චිත්‍රපට අධ්‍යක්ෂිකාවකි. වගකීම් සහිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක මුලසුන හිමි, ඉනෝකා සත්‍යාංගනී නම් ඇය ඒ පිළිබඳ හා ඇගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අද හමුවේ පැවසුවේ මෙලෙසිනි.
විශාල කාර්යමණ්ඩලයක් හා නිර්මාණකරුවන් රැසකගෙන් යුත් ජාතික රූපවාහිනී නාළිකාවේ ප්‍රථම සභාපතිනිය ලෙස මුලසුන හොබවමින් කටයුතු කිරීමට ඔබ සූදානම්ද?
ඇත්තෙන්ම මේ තුළින් කියවෙන්නේ මීට 36 වසරක ඉතිහාසයක් පුරා කාන්තාවට මේ පුටුව හිමිවෙලා නැහැ කියන එකයි. කාන්තාවන් මේ සඳහා සුදුසු නැහැ කියන දෙය එයින් අදහස් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සඳහා සුදුසු කාන්තාවන් හිටියේ නැහැ කියන එකත් එයින් අදහස් වෙන්නේ නැහැ. කුමන හෝ හේතු කාරණයක් මත වගකිව යුතු මාධ්‍ය ආයතනයක මහජනතාව, දේශපාලනය සමග රටේ තිබෙන බල අරගලයත් එක්ක පෑහිලා ඒ විශාල වගකීම දරන්න කාන්තාවක් නිර්දේශ වෙලා නැහැ කියන එක තමයි ජාතික රූපවාහිනියේ ප්‍රථම සභාපතිනිය වශයෙන් මට තිබෙන දැනීම.
ඇතැම් විට මේ සඳහා සුදුසු කාන්තාවන් සිටින්නට ඇති. නමුත් කිනම් හෝ හේතුවක් මත ඒ සඳහා ඔවුන් නිර්දේශ වී නැහැ. මම පරිපාලන නිලධාරියෙක් නෙමෙයි. නමුත් මට පරිපාලන අත්දැකීම් තිබෙනවා. මගේ සිනමා නිෂ්පාදන ආයතනයේ මම වසර 18ක සිට පරිපාලන කටයුතු කරනවා. ඒ වගේම මගේ ආයතනය තුළ 30ක 40ක පිරිමි කණ්ඩායමක් මෙහෙයවීම එක්තරා අයුරකින් පරිපාලනමය කටයුත්තක් තමයි. ඒ වගේම මම මීට කලින් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සිනමා අධ්‍යක්ෂණ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ පාඨමාලා අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කළා. ඒ ඇසුරෙන්ද මට පරිපාලනය සම්බන්ධ අත්දැකීම් තිබෙනවා.
නමුත් ඒ සියල්ල අබිබවා මෙතැනදී වැදගත් වෙන්නේ මම නිර්මාණකරුවෙකු ලෙසින් එළියේ ගොඩනගාගත් ප්‍රතිරූපය හා මගේ හැකියාවයි. දේශපාලන ඉහළ පුටුවල සිටින දේශපාලන අධිකාරීන් විසින් විශේෂයෙන්ම රටේ දේශපාලනයට, ජනතාවට අතරමැදි භූමිකාවක් නිරූපණය කරමින් එවැනි වගකිව යුතු නිලයක් දරන තැනකට මා පත්කරන්නට ඇත්තේ නිර්මාණකාරිනියක ලෙස දැක් වූ පෙළහරෙහි කිසියම් සාධනීය ලක්ෂණ පදනම් කරගෙන විය යුතුයි. නමුත් පළමු කාන්තා සභාපතිනිය වීම ගැන හරි ආඩම්බරයෙන් සිටිනවා යන්න කියන්න මම කැමති නැහැ.
පරිපාලන ක්ෂේත්‍රයේ කාන්තා සහභාගිත්වයේ ගුණාත්මක වර්ධනයක් ඔබ දකිනවාද? මෙම භූමිකාව තුළ කටයුතු කිරීම ඇත්තෙන්ම ඔබට අභියෝගයක්ද?
ඉස්සරට වඩා පරිපාලන ක්ෂේත්‍රයේ කාන්තා සහභාගිත්වයේ වර්ධනයක් තිබෙනවා. මීට පෙර ක්ෂේත්‍ර ගණනාවක ඉහළ පුටු කිහිපයකටම කාන්තාවන් රැසක් තෙරී පත්වී තිබෙනවා. ඒ අතරින් මගේ මේ තනතුරු සමාජ ජාල වෙබ් අඩවිවල වැඩි කතාබහට ලක්වෙන්නේ, එකක් මම මාධ්‍ය තුළම සිවිල් චරිතයක් වී හිටපු කෙනෙක් නිසා. ඒ වගේම මම ඉස්සර කළේ මගේ නිර්මාණවලින් රටේ තිබෙන ප්‍රශ්න අවුස්සලා ගන්න එක නිසා. නමුත් දැන් මට ඒ භූමිකාව කතා කරන්න බැහැ. මෙම සංස්ථාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමේ වගකීමකට මම බැඳිලා ඉන්නවා. ඒ නිසා මිනිස්සුන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා මම මෙතැනට ඇවිත් කරන භූමිකාව කුමන ආකාරයේ එකක් වේවිද කියලා.
ඉදිරියේදී රූපවාහිනී සංස්ථාවේ කුමන ආකාරයේ වෙනස්කම්ද සිදුකිරීමට අපේක්ෂා කරන්නේ?
මම මේ තනතුර දරන්නට පැමිණියේ මංගල සමරවීර මහතා මට කළ එක්තරා යෝජනාවක් හා ඉල්ලීමක් අනුව. ජාතික රූපවාහිනිය ඊට සමගාමී අනෙකුත් පෞද්ගලික නාළිකා සමග සංසන්දනය කර බැලීමේදී සෑහෙන පහළ ස්තරයක තිබෙන්නේ. සමීක්ෂණ දත්ත වාර්තා අතරින් පළමු ස්ථානයේ තිබුණ නාළිකාවක් දැන් සිටින්නේ 07වැනි තැන. ඊට ඉහළින් ඇති නාළිකා 06ක් මිනිසුන් එක්ක ගනුදෙනු කරනවා.
ජාතික නාළිකාව කියන්නේ ඇත්තෙන්ම ජාතියේ හදවත වගේ තියෙන එකක්. මේ හරහා තමයි මිනිසුන් ටෙලිවිෂන් කියන දෙයට හුඟක් සමීප වුණේ. නමුත් ඒ නාළිකාව අද තිබෙන්නේ 07වැනි ස්ථානයේ නම් එය එක්තරා ලෙසකට විශාල වැරද්දක් විදිහට පේනවා. ඉතින් ඒ වැරැද්ද නිවැරදි කිරීම තමයි මට පැවරුණු රාජකාරිය.
ඒ වගේම නිර්මාණාත්මකව මෙය මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්නා වූ මිනිසුන් සමග ගනුදෙනු කරන ඉහළ නිර්මාණ රැගත් නිර්මාණශීලී ආයතනයක් බවට පත් කරන්න කියන ඉල්ලීමත් එක්ක තමයි මම මේ වගකීමට යොමු වෙන්නේ.
ඔබ සිනමා ක්ෂේත්‍රයේ විශේෂ චරිතයක්. ඒ වගේම සමාජ ප්‍රශ්න නිර්මාණයන් ලෙසින් ඉදිරියට ගෙන එන කෙනෙක්. ඒවත් එක්ක ඔබ බාධක විශාල ප්‍රමාණයකට මුහුණදී ඇති කාන්තාවක් ලෙසින් මොනවගේ හැඟීමක්ද ඒ ගැන තිබෙන්නේ?
මම කවමදාකවත් මගේ ස්ත්‍රී භාවය එහෙම නැතිනම් ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ තිබෙන බාධක සැලකූ කෙනෙක් නෙමෙයි. මගේ ස්ත්‍රීත්වය කවදාවත් මම කරන වෘත්තිය සඳහා බාධාවක් කර ගත්තේ නැහැ. මම ස්ත්‍රීයක් හින්දම මගේ වෘත්තියට මම ස්වයං වාරණ පනවන්න ගියෙත් නැහැ. මම හැමවෙලාවේම වෘත්තිකයෙක් හැටියට හිටපු කෙනෙක්. එතැනදී පුරුෂද ස්ත්‍රීද කියන එක මට වැදගත් නැහැ.
මම නිර්මාණකරුවෙකු ලෙසින් කටයුතු කරන විට වුවත් මම කියන අණක් නොපිළිපැද්දොත් මම ඒ සඳහා ගැටිලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා අරගල කරලා තිබෙනවා. ඕනෑම වෘත්තිකයෙකු දැනගන්න ඕන තමන්ගේ වෘත්තිය තුළ පිහිටා කටයුතු කරන විට ඒ තුළ තමන්ට අවශ්‍ය දේ අනෙකුන් ලවා ලබාගැනීම පිළිබඳව. ඒක එක්තරා ලෙසකට සූක්ෂමව කරන්න ඕන දෙයක් තමයි. නමුත් තමන්ට අවශ්‍ය ඒ දේ ලැබෙන්නේ නැතිනම් තමන්ගේ පෞරුෂය පාවිච්චි කරන්නත් ගැහැනියෙක්ට පුළුවන් වෙන්න ඕන. ගැහැනියෙක් එය කළ යුතුයි. නමුත් ගැහැනුකම කියන දෙය මම බැහැර කරලා නැහැ. ඒ වගේම රාජකාරියට මම ගැහැනුකම බාධාවක් කර ගන්නෙත් නැහැ.
බොහෝ කාන්තාවන් තුළ තිබෙනවා චකිතයක් මම ගැහැනියක් වීම හින්දා, මම යමක් කළොත් මට සමාජයෙන් විරෝධතා මතුවෙයි කියලා තමන්ම පසුගාමී වෙන ගතියක්. එය බොහෝ වේලාවට අපේ කාන්තාවන් මුහුණදෙන ගැටලුවක්. අනෙක් කාරණය ඔවුන්ට පවුල තුළින් ලැබෙන ශක්තිය හුඟක් අඩු වීම. අපි දන්නවා ඉහළ නිලයන්හි කටයුතු කරන කාන්තාවන් බොහෝ වෙලාවට උසස් අධ්‍යාපනය ලබා ඉහළ මධ්‍යම පන්තියකින් පැමිණි අය. ගෙදරදොරේ උයනපිහින වැඩ හා සාමාන්‍ය ගැහැනියකට තිබෙන පීඩනය ඔවුන්ට නැහැ. නමුත් සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ගැහැනියකට ඊට වඩා වෙනස්. පවුලෙන් ලැබෙන ආදරයත්, තමා තුළ තිබෙන පෞරුෂ වර්ධනයත්, ධනාත්මක ලෙසින් තමන්ගේ කාර්යය සඳහා යොදවන ශක්තියත් කාන්තාවකට ස්වකීය වෘත්තිය තුළ පැහැදිලි ගමනක් යන්නට විශාල වශයෙන් හේතු වෙනවා.
සිනමා ක්ෂේත්‍රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේත් කාන්තාවන්ගේ සහභාගිත්වය ඉතාමත් අඩු මට්ටමක තිබුණේ. නමුත් දැන් ඒ තත්ත්වය ධනාත්මක ලෙස වර්ධනය වෙමින් පවතිනවා. ඒ කාන්තා සහභාගිත්වයේ වර්ධනය ඔබ දකින්නේ කිනම් අයුරින්ද?
කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතුයි යන්න සාකච්ඡා කිරීමට අවශ්‍යවත් දෙයක් නෙමෙයි. එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. අද වන විට ලෝකයේ නොයෙක් ක්ෂේත්‍රයන්හි කාන්තාවන් ඉහළ තනතුරුවල ඉඳලා තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබෙනවා. කාන්තාවන් එසේ ඉදිරියට එන්න තිබෙන පසුබිම හා එසේ නොඑන්නේ ඇයිද යන කාරණය පිළිබඳව තමයි අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය.
විශේෂයෙන්ම අපේ රටේ නීතිරීති ගෙන ආවත් පාර්ලිමේන්තුව තුළ පවා එතරම් කාන්තා නියෝජනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන් 25෴ක ප්‍රතිශතයක් සිටිය යුතුයි කියාගෙන ආවා. නමුත් අවසානයේ ප්‍රතිඵලය ගණනය කිරීමේදී ඇත්තෙන්ම කාන්තාවන්ට අවස්ථාවක් විවර කර දීම හෝ කාන්තා නියෝජනයක් ඇත්තෙන්ම සිදුවෙලා නැහැ. එයින් පැහැදිලි වෙන්නේ කාන්තා සහභාගිත්වයම අඩු බවයි. කාන්තා සහභාගිත්වය නිකන්ම එන දෙයක් නෙමෙයි. කාන්තාවකට තමන්ගේ පවුල තුළින් සහ තමන්ගේ සමාජ වටපිටාවෙන් ඒ සඳහා ධෛර්යක් වගේම උත්තේජනයක් සැපයෙන්න ඕන. එසේ නොවීම නිසා කාන්තා නියෝජනයේදී පාර්ලිමේන්තුවේ සිට සාමාන්‍ය උසස් තනතුරු දක්වා හිඟයක් පවතිනවා.
ඇතැම් විට සමාජයට රටට ඵලදායී දෙයක් වූවත්, බොහෝ කාන්තාවන් එසේ තමන්ගේ මතය ස්වාධීනව ඉදිරිපත් කිරීමට පැකිළෙනවා.
නමුත් ඔබ ස්වකීය අදහස් නිර්මාණයක් තුළින් වුවද නොපැකිළිව සමාජයට ලබාදෙමින් වෙනස්ම මගකින් ඉදිරියට පැමිණි කෙනෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
මේ දෙවල් කළ යුතුයි කියා මට මගේ පවුලෙන් ලොකු බලපෑමක් තිබුණේ නැහැ. මගේ පියා නීතිඥවරයෙක්. මව උප විදුහල්පතිනියක්. ඒ නිසා මගේ පවුලේ ඇතුළෙන් මහන්න, ගොතන්න, උයන්න කියලා ලොකු බලකිරීමක් තිබුණේ නැහැ. පොත්පත් කියවන එකයි, රූපවාහිනිය බලන එකයි මම කුඩා කාලයේ ඉඳලම මම වැඩිපුර කරපු දෙයක්. ඉතින් ඒ හරහා මට මගේ කියලා නිදහස් ලෝකයක් ගොඩනගා ගැනීමට ඉඩකඩ ලැබුණා.
අපි ඕනම කෙනෙක්ට %හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ^ කිව්වා වගේ තමන් බීජයක් ලෙසින් සිට පෙති දෙකකට වෙන් වෙලා පුංචි ශාකයක් බවට පත්වීමේදී ලබන පෝෂණය ඒ ගස විශාල වෘක්ෂයක් දක්වා වැඩෙද්දී කොච්චර ශක්තිමත් එකක් වෙනවාද කියන එකට අනිවාර්යයෙන් බලපාන දෙයක්. ඉතින් නිවසින් මට පීඩනයක් බලකිරීමක් නොතිබුණ නිසා මම නිදහසේ වැඩිච්ච ගහක් කියලා මා හිතනවා. ඒ නිසා අනෙක් අයගේ තිබෙන බලපෑම් හා බාධාවල් මට අදාළ වෙන්නේ නැහැ.
ඉදිරියේදී ජාතික රූපවාහිනී සංස්ථාවේ වැඩකටයුතු සිදුකරගෙන යනවිට බාධා පැමිණියහොත් ඔබ සිටින්නේ ඒ ස්ථාවරයේමද?
ඇත්තටම අපිට ඔළුව නමන්න ඕන තැන් එනවා. ඒ වගේම ඔළුව කෙළින් තියාගෙන වැඩකටයුතු කරන්න සිදුවන අවස්ථාද තිබෙනවා. ඒ නිසා අපි ඒ හැම දෙයකම මධ්‍ය ලක්ෂ්‍යය තෝරාගන්න ඕන. දැනට නම් ඉතින් ගැටලු පිළිබඳ සේයාවක් නැහැ. නමුත් ගැටලු එන්න පුළුවන්. මෙය 1,100ක් පමණ පිරිසක් සේවය කරන සංස්ථාවක්. මෙහි ඉහළ සිට පහළ දක්වාම විවිධ වෘත්තීන්හි නියැළෙන සේවක පිරිසක් ඉන්නවා. ඔවුන් සේවකයන්ම නෙමෙයි. බහුතරයක් නිර්මාණකරුවන්. ඒ නිසා එවැනි තැනක ගැටුම් ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම මම හෙට දවසේ එන්න තිබෙන ගැටලු ගැන අද හිතන්නේ නැහැ. මගේ වෘත්තීය ජීවිතයත් එහෙමයි. මම අද කළයුතු නිවැරදි දේ අද කරන කෙනෙක්. හෙට දවසේ ඒ නිවැරදි දේ සිදුවෙලා යම් ගැටලුවක් ආවොත් එදාට ඒ මොහොතට ඒ ගැටලුවත් එක්ක මම ගනුදෙනු කරනවා. මම හෙට දවසේ පැමිණෙන ගැටලු ගැන හිතන්නේ නැහැ. අද දවසේ මගේ රාජකාරිය මගේ කැපවීම හා උනන්දුව තුළින් තෘප්තිමත්ව සිදුකිරීම තමයි මගේ අරමුණ.
රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් අංශය කියන්නේ බහුතරයක් ලාංකේය ප්‍රේක්ෂකයා ඇලුම් කළ තැනක්. එහි නිර්මාණවලට සුවිශේෂී වටිනාකමක් හිමිවෙනවා. ඉදිරියේදී තවත් හරවත් නිර්මාණ එයින් බිහිවේවිද?
අනිවාර්යයෙන්ම. ගුණාත්මක දේවල් බිහිකරන එක මගේ වගකීමේ කොටසක්. මම මෙතැනට ඇවිත් තිබෙන්නෙත් ඒ නිසයි. හඬ කැවීම් අංශය පමණක් නොව මෙම සංස්ථාවේ තිබෙන අනෙකුත් සියලුම අංශ මට ප්‍රධානයි. මම එළියේ නමක් හදාගෙන මෙතැනට පැමිණි කෙනෙක්. මෙතැනදී නමක් හදාගන්න ආපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම එළියට බහින්න ඕන ඒ නම ඔපමට්ටම් කරගෙන මිසක් නම විනාශ කරගෙන නෙමෙයි. ඒ සම්බන්ධයෙන් මට සෑහෙන වගකීමක් තිබෙනවා.
ඉදිරියේදී සමාජය නොඇසූ පැතිකඩක් ඔස්සේ නවමු නිර්මාණ සිදුකිරීමට අපේක්ෂා කරනවාද?
මෑත දිනක මගේ අලුත්ම සිනමා පටයේ රූපගත කිරීම් අවසන් කළා. එහි සංස්කරණ කටයුතු නිම කිරීමට තිබෙනවා. නමුත් මට මේ රාජකාරියත් සමග ඒ සඳහා විශාල ඉඩකඩක් හිමි නොවේවි. කොහොම කරත් මම බාරගත්ත මේ රාජකාරිය ඉෂ්ට කරන්න කැපවෙලා ඉන්න නිසා මගේ අනෙකුත් නිර්මාණ කටයුතු මේ තුළ පිහිටා සිටින තාක්කල් දෙවැනි තැනට දමන්නට සිදුවේවි. ඒ ගැන මට කනගාටුවක් නැහැ. මොකද අපි දෙයක් බාරගන්න කොට ඒ බාරගන්න දෙයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන එක අප තුළ අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕන.
ෂෙහානි දිල්රුක්ෂිකා / ඡායාරූප - ශමීර රාජපක්ෂ