කාබනික එළවළු හා පලතුරු නිෂ්පාදන රැසක් වෙළෙඳ පොළට හඳුන්වා දුන් SUNSHINE හිමිකාරිනිය


නූතන තාක්ෂණයක් සමග කාර්යබහුල වීමත්, තම ආහාර පරිභෝජනය සඳහා ක්ෂණික ක්‍රමවලට යොමු වීමත් සමග කාලීන වශයෙන් නොයෙකුත් රෝගයන්ට මිනිසා ගොදුරු විය. එයින් මිදීම සඳහා මිනිසුන් දැන් දැන් වැඩි වශයෙන් ගුණයෙන් හා පෝෂණයෙන් පිරි ස්වාභාවික ආහාර ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. 


පාරම්පරික සේම දේශීයත්වය තුළින් සකස් වූ අතීතයේ අපේ මුතුන් මිත්තන් අනුභව කළ සෑම ආහාරයකම පෝෂණීය මෙන්ම ඖෂධීය වටිනාකමක් ගැබ්ව පවතී. ඒ නිසා අප කිසිවිටෙකත් පහසුව ගැන පමණක් සිතා ක්ෂණික ආහාර පානයන්ට හුරු නොවිය යුතුය. සෑම විටම අප ගන්නා ආහාරය ගැන වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතිය යුතුය. එවිට සෞඛ්‍යමත් ජීවිතයක් ගතකිරීමට අපට හැකිවේ. 

එවැනි දේශීයත්වය අගය කරමින්  කාබනික එළවළු හා පලතුරුවලින් නව නිෂ්පාදන රැසක් ව්‍යාපාර ක්ෂේත්‍රයට හඳුන්වාදුන් ඇය නමින් නිර්මලා විජේරත්නය. වත්තල ප්‍රදේශයේ පදිංචි ඇය, කුඩා කල පටන් තමා තුළ ගහකොළ ගැන තිබූ ආශාව හා ආදරය ඔස්සේ නව ක්‍රමවේද මුසු කරමින් %SUNSHINE^ නමින් තම ව්‍යාපාරය ආරම්භ කරන්නට සමත්විය. මේ වන විට ඇය නිෂ්පාදන රැසක හිමිකාරිනියකි.  
කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර කාබනික පොහොර භාවිතයෙන් සකස් කළ එළවළු හා පලතුරුවලින් ස්වකීය නිෂ්පාදන සියල්ල සිදුකරන ඇය කිසිම විටෙක කෘත්‍රිම රසකාරකයන්, වර්ණ කාරකයන් තම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත නොකරයි. සිය නිෂ්පාදනවලින් ස්වාභාවික රසය සෑම අයුරින්ම ආරක්ෂා කර ගැනීමට උත්සහා කරන ඇය, නිෂ්පාදන කල්තබා ගැනීම සඳහා කිසිදු රසකාරකයක් භාවිත නොකරයි. විශේෂයෙන්ම හිතකර දේවල්වලින් සිදුකරන මේ නිෂ්පාදනවලට ශරීරයට අහිතකර දේවල් භාවිත කිරීම ඇය කිසිවිටෙකත් අනුමත නොකරයි. 

2013 වර්ෂයේදී නිෂ්පාදන දෙකකින් ඇය මෙම ව්‍යාපාරය ආරම්භ කළද වත්තල ප්‍රදේශයේ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් ඇරඹීමට අදවන විට ඇය සමත් වී තිබේ. නිෂ්පාදන දෙකකින් ඉදිරියට පැමිණි ඇය විසින් අද වන විට වෙළෙඳ පොළට හඳුන්වාදී ඇති නිෂ්පාදන වර්ග පනහකට වැඩි ප්‍රමාණයක් තිබේ. 

විශේෂයෙන්ම දේශීය එළවළු හා පලතුරුවලට මූලිකත්වයක් ලබාදෙන ඇය සාමාන්‍යයෙන් දේශීය වුවත් කවුරුත් වැඩියෙන් ආහාරයට නොගන්නා බිලිං, මාදං, කාමරංගා, නෙල්ලි, කෝමාරිකා වැනි ඖෂධීය වටිනාකමක් ඇති දේවල්වලින් පවා නිෂ්පාදන සිදුකිරීම ඇත්තෙන්ම අප කවුරුත් අගය කළ යුත්තකි. ඇය කුමන හෝ නිෂ්පාදනයක් සිදුකිරීමට ප්‍රථම එකී ආහාරය හෝ පානය කුමන හෝ රෝගයකට ගුණදායී, ශරීර සෞඛ්‍යයට හිතකර දෙයක් දැයි විමසා බලයි. 

ඇය මේ වන විට කෝඩියල් වර්ග, ජෑම්, චට්නි, සෝස්, චිලීපේස්ට්, හාල් මැස්සෝ බැදුම්, මාළු ඇඹුල් තියල්, ඉස්සෝ බැදුම්, අච්චාරු වැනි නිෂ්පාදන රැසක් සිදුකරන අතර සෑම විටම සමස්ත පාරිභෝගිකයන්ගේ ගුණය හා පෝෂණය පිළිබඳ සිතා ඇය තම නිෂ්පාදන සිදුකරයි. ඒ බව ඇය අප හා පැවසුවේ මෙලෙසිනි.

නෙල්ලි, අනෝදා, කටු අනෝදා, මාදං, වෙරළු වගේ දේවල් අපි දන්නවා 100%ක් කාබනික පොහොර භාවිතයෙන් හටගත් ඒවා කියලා. ඒවාට කෘත්‍රිම පොහොර යෙදීමක් සිදු වෙන්නේ නැහැ. කටු අනෝදාවලට මිනිස්සු ලොකු කැමැත්තක් තිබෙනවා. වෙරළු බීමවලටත් පාරිභෝගිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. වෙරළු වගේ දේවල් ඇත්තටම කවුරුත් පොහොර දාලා හදන ඒවා නෙමෙයි. ඒ නිසා එහි ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්.

මාදං කෝඩියල් එකත් ලංකාවේ පළමු වතාවට නිෂ්පාදනය කළේ මමයි. අගෝස්තු මාසය පටන් අරගෙන ජනවාරී මාසයේ අන්තිම වෙනකම් වගේ මාදං තියෙනවා. අම්පාර, තණමල්විල, අනුරාධපුරය, පුත්තලම වගේ ප්‍රදේශවලින් ඒ කාලය තුළ අපට මාදං ගෙනැවිත් දෙනවා. ඇත්තෙන්ම මාදං හොයා ගන්න ටිකක් අමාරුයි. ඒවා විරලයි. නමුත් මාදං හැදෙන කාලයට නම් මාදං හොයා ගන්න අපහසුවක් ඇති වන්නේ නැහැ. දැනට ලෝකයේ තිබෙන පලතුරුවලින් ප්‍රතිඔක්සිකාරක තිබෙන පලතුරක් ලෙසින් මාදං හඳුන්වන්න පුළුවන්. 

දැනට මගේ නිෂ්පාදන සඳහා කෝමාරිකා පමණක් වගා කරනවා. අනෙකුත් නිෂ්පාදන සඳහා එළවළු සියල්ල ලබා ගන්නේ කාබනික එළවළු වගා කරන්නන්ගෙන්. විවිධ ප්‍රදේශවල සිටින මෙවැනි සහතිකලත් ගොවීන්ගෙන් අපි එළවළු ලබා ගැනීම සිදු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අාරක්ෂිතව වගා කරන ගොවීන්ගෙනුත් මිලදී ගැනීම සිදුකරනවා. 

කෑමවල ගුණ හොයන, කෑම වර්ග ගැන වෙන කාටත් වඩා විශේෂ අවධානයක් දක්වන පුරුද්දක් මට පොඩි කාලයේ ඉඳන්ම තිබුණා. අනෙක් පැත්තෙන් මම සූපවේදිනියක්. පලතුරක හෝ එළවළුවක අන්තර්ගත විටමින් වර්ග මොනවාද, ඒවායේ පෝෂණීය ගුණයන් මොනවාද කියලා මට යම් තරමක අවබෝධයක් තිබෙනවා. මම ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරියක් වශයෙන්ද ටික කාලයක් සේවය කරලා තිබුණ නිසා වගේම හිත ඇතුළේ තිබුණ ආශාව නිසා තමයි මේ වගේ ලොකු ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල පිරුවේ. කෝමාරිකා වුණත් ගැස්ට්‍රයිටිස්වලට ඉතා හොඳ දෙයක්. රුව වගේම සමේ පැහැපත් භාවය සඳහාත් කෝමාරිකා ඉතාම වැදගත්. බොහෝ අය කියන්නේ දියවැඩියා රෝගය හා පිළිකා සඳහා මෙය ඉතා ගුණ ඖෂධයක් වන බවයි. 

ඇය මෙරට පාරිභෝගිකයා පමණක් නොව විදේශීය පාරිභෝගිකයන්ද ඉලක්කගත කරගනිමින් අපනයනය සඳහාද මේ වනවිටත් ප්‍රවිෂ්ට වී තිබේ. ඇය මේ වන විටත් කැනඩාව, මාලදිවයින වැනි රටවල්වලට හිතවතුන් මාර්ගයෙන් නොයෙක් නිෂ්පාදන බෙදා හැර තිබෙන අතර, ඇයගේ අභිප්‍රාය වනුයේ තම නිෂ්පාදනයන්ට සරිලන දේශීය වෙළෙඳ පොළක් මෙන්ම සැලකිය යුතු මට්ටමින් විදේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමයි. 
සාමාන්‍යයෙන් කර්මාන්තයක් ආරම්භ කිරීමේදී බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුව නම් ඒ සඳහා වෙළෙඳ පොළක් සකස් වී නොමැති වීමයි. එමෙන්ම ඒ සඳහා වෙළෙඳ පොළක් සකස් කර ගැනීමත් එතරම් පහසු ක්‍රියාවක් නොවේ. නමුත් ස්වභාවිකත්වය හා ගුණාත්මක බව තුළින් ආහාර රසයට ඇලුම් කරන සියලු දෙනා ඇගේ ආහාර මිලදී ගන්නා නිසා එයට අමුතුවෙන්ම වෙළෙඳ පොළක් සකස් කිරීමට ඇයට අවශ්‍ය නොවීය. 
ඇයගේ මතය වන්නේ ව්‍යාපාරය අවංකව, විධිමත් ප්‍රමිතියකින් යුතුව සිදු කිරීම තුළින් ඉදිරියට යා හැකි බවයි. ඇය පසුගියදා වත්තල ප්‍රදේශයේ අලෙවි සැලක් විවෘත කර තිබෙන අතර එමගින් කොළඹ අවට පමණක් නිෂ්පාදන බෙදා හැරීම සිදුකරයි. නමුත් ඇගේ ඉදිරි ඉලක්කය වන්නේ අනාගතයේදී ප්‍රධාන නගර ආවරණය වන පරිදි අලෙවි සැල් ආරම්භ කිරීමය. වත්තල ආරම්භ කෙරුණේ මුල්ම අලෙවි සැල වුවද ඇය එහි නිෂ්පාදන භාණ්ඩයේ සිට ඉවතලන දේ බැහැර කිරීමට යොදා ගන්නා කුණු කූඩය යනාදී සෑම දෙයක් සඳහාම භාවිත කරනුයේ ජෛව හායනයට ලක්වන පරිසර හිතකාමී ද්‍රව්‍යයන්ය. ගුණයෙන් පිරි ආහාරයන්ට මෙන්ම පරිසරයට ආදරය කරන්නට ඒ ඔස්සේ ඇය අපට කියා දෙන්නේය. 

ජෑම්, චට්නි, කෝඩියල් වර්ග 06ක් පමණ, මල් වර්ගවලින් පිළියෙල කර ගන්නා නොයෙක් ආහාර වර්ග, කෝමාරිකා ආශ්‍රිත නිෂ්පාදන විශේෂයෙන් කෝමාරිකා අයිස් ක්‍රීම්, යෝගට් ආදිය. මාදං ආශ්‍රිත කෝඩියල්, ජෑම් ආදී නිෂ්පාදනත් එම වෙළෙඳ සැල තුළින් පාරිභෝගිකයාට මිලදී ගැනීමට හැකිය. මේ සියලු නිෂ්පාදනයන් කල්තබා ගැනීම සඳහා ඇය බොහෝ විට භාවිත කරනුයේ ස්වාභාවික දේවල්ය. මේවායින් බහුතරයක් ඇයගේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වන දේවල්ය. චට්නි, ජෑම්, කෝඩියල්, බැදුම් ජාති, අච්චාරු වර්ග වන සුදුළුණු අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, සිංහල අච්චාරු, මැලේ අච්චාරු වගේ දේවල් මෙන්ම චිලීපේස්ට්, ලුණු දෙහි, වැනි ආහාර වර්ගද එහි මිලදී ගැනීමට තිබේ. 

දියවැඩියා රෝගීන් හෝ එයින් ආරක්ෂා වෙන්නන් සඳහා වෙනම ආහාර වර්ග පිළියෙල කර තිබීමද මෙහිදී සුවිශේෂී වේ. මෙහිදී කරවිල බීම වුවද ගුණයෙන් මෙන්ම රසයෙන්ද අනූන වන සේ තිත්තක් නොමැතිව පානය කළ හැකි ලෙසින් පිළියෙල කර තිබේ. එය  සීනි රහිත පානයකි. එමෙන්ම සීනි රහිත නෙල්ලි බීම, මාදං වැනි බීම වර්ග, කෝවක්කා කොළ මැල්ලුම, කෝවක්කා කොළ මාළුව, තෙබු කොළ මැල්ලුම්, තෙබුකොළ මාළුව, තිබ්බටු මැල්ලුම වැනි ආහාරද මෙහි මිලදී ගැනීමට තිබෙන අතර, මේ සෑම නිෂ්පාදනයක්ම දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායී ආහාර වේ.  

එසේම ඇගේ වෙළෙඳ සැල තුළ දේශීය සහල් වර්ග කිහිපයක්ම අලෙවිය සඳහා තිබෙන අතර සුවඳැල්, පච්චපෙරුමාල්, මාවි, කුරුලු තුඩ යනාදී සහල් වර්ග ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. ජාතික ආහාර වැඩසටහන යටතේ සහතිකලත් වසවිස නැති වගා ගොවීන්ගෙන් මිලදී ගන්නා මෙම නිෂ්පාදන වැඩි වශයෙන් ගෙන්වන්නේ පොළොන්නරුව ප්‍රදේශයෙනි. සහල් පමණක් නොව එළවළු හා පලතුරු පවා ඇය ඔවුන්ගෙන් ලබා ගනියි. 
එමෙන්ම ඔසුකැඳ වර්ගද මෙම අලෙවි සැලේ තිබෙන අතර, මේ කිසිම නිෂ්පාදනයක් සඳහා ප්ලාස්ටික් භාවිත නොකරන ඇය සියල්ල සිදුකරනුයේ පරිසරයට ආදරය කරන තේමාව යටතේය.  
මෙහි කැවිලි වර්ග වුවද අසුරා තිබෙන්නේ මැටි භාජනවලය. කැවුම්, අග්ගලා, මුං කැවුම් වැනි දේවල්  ඇය විසින්ම පිළියෙල කර තිබීම සුවිශේෂී වේ. අතීතයේදී නිවෙස්වල මැටි මුට්ටියක කැවුම් අසුරා තිබුණු අතර, දින කිහිපයක් මැටි භාජනයේ තිබුණ විට කැවුම්වල ඇති තෙල් මැටි බඳුනට උරා ගැනීමක් සිදුකරයි. එමෙන්ම සීනි නොමැතිව පැණි යොදා කැවුම් පිළියෙල කළ විට එහි ලොකු අගුණයක් නොවන බව ඇගේ මතයයි. බොහෝ වෙලාවට සීනි යොදා කැවුම් පිළියෙල කළද, එයට පැණි එක්කළ විට එය රසයෙන් වගේම ගුණයෙන්ද වැඩි වේ. ඉතාම පිරිසිදු කිතුල් පැණි, කිතුල් හකුරු, මී පැණි ආදියත් මෙහි අලෙවිය සඳහා තිබේ. ඇය මීපැණි පවා ලබා ගනුයේ වෙද මහතෙකුගෙනි. මීපැණිවල වර්ණය ඒ ඒ ප්‍රදේශයන්ට අනුව වෙනස් වේ. කැලේ පැණිවල වර්ණයට වඩා ජනපද වශයෙන් තිබෙන ගොවීන්ගෙන් ලබා ගන්නා පැණිවල වර්ණය අඩුය. 
බීම වර්ග පානය කිරීම සඳහා වුවත් බීම බට භාවිත කිරීමක් මෙම අලෙවි සැල තුළ සිදුනොවන අතර, සිමෙන්ති උරවලින් තැනූ කඩදාසි බෑග්වලින් පාරිභෝගිකයාට අවශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ලබා දේ. එළවළු පලතුරු වුවද අසුරා තැබීම සඳහා ඇය භාවිතා කරනුයේ වේවැල් කූඩය. 

කොලොස්ටරොල් රෝගීන් සඳහාද ඔවුන්ට ගැළපෙන ආහාර මෙම අවන්හලේ මිලදී ගැනීමට තිබෙන අතර, මෙහි සුදුළුණු මීපැණිවල දමා ඇසුරුම්කර තිබේ. ගොරකා මිශ්‍රණය, කරපිංචා ලුණු දමා පිළියෙල කරගත් සම්බෝලයක් ආදී සොයා ගැනීමට අපහසු ගුණදායී දේවල් මෙම වෙළෙඳ සැලෙන් ලබා ගත හැක. 

සූපවේද ශාස්ත්‍රය හදාරන කෙනෙක් තමන්ගේ රටේ ආහාර ගැන සියල්ල දැනගත යුතුය.  අපේ රටේ ආහාර සංස්කෘතිය, ඉතිහාසය, අතර මැද කාල පරිච්ජේදවලදී එක්වුණ දේවල්ය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයන්හිදී හා දෙමළ ජනයාගෙන් මෙරටට පැමිණි ආහාර කාලයත් සමග අපේ ආහාර ක්‍රමවලට එක් වීම පිළිබඳ මනා අවබෝධයක් අපට තිබිය යුතුය. එවිට ගුණාත්මක මෙන්ම සෞඛ්‍යමත් නව නිෂ්පාදන කරමින් ඇය මෙන් තව තවත් සූපශාස්ත්‍රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රෙය්ද ඉදිරියට යන්නට සෑම කෙනෙකුටම හැකිය. 

 

 



Recommended Articles