යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක අපයෝජනයට ලක් වූ ගැහැනු දරුවෙකු ඇතැම් විට නීති ක්‍රියාත්මක කිරීමේදී නොදැනීම තවත් කිහිප වරක්ම වචනයෙන් වුවද අපයෝජනයට ලක් විය හැකිය. එම නිසා මේ පිළිබඳව පවත්නා නීතිය යාවත්කාලීන කිරීම ප්‍රශස්තය. මේ පිළිබඳව අද^ හමුවේ සාකච්ඡා කිරීම සඳහා නීතිඥ උපාලි අමරසිරි මහතා සම්බන්ධ කරගැනීමට අප කටයුතු කළෙමු. ඔහු මේ පිළිබඳ කරුණු කාරණා කිහිපයක් ඔස්සේ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළේ මෙලෙසිනි.
නීතිඥ උපාලි අමරසිරි
ගැහැනු ළමයෙකුට අධ්‍යාපනය ලබාදෙන එක මම නම් හඳුන්වන්නේ මුළු මහත් සමාජයකට එහෙමත් නැති නම් පරපුරකට උගන්වනවා කියන එකට සමානයි කියලා. ඇය ලබන අධ්‍යාපනයේ අගය හොඳින් දන්නා නිසා ඇය තම දරුවන්ට කෙසේ හෝ අධ්‍යාපන අවස්ථා විවර කර දීමට උත්සාහ දරනවා. නමුත් ඇයට ඇගේ ළමා කාලය තුළ යම් කෙනෙකුගෙන් හෝ යම් සිද්ධියකින් හිරිහැරයක් සිදු වූ විට ඇයට ඇගේ ළමා කාලය නැති වී යනවා. අධ්‍යාපනය ඇයට අහිමි වෙනවා. ඒ වගේම ළමයාගේ යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වය අහිමි වෙනවා. ඒ වගේම දෙමවුපියන්ගේ ආදරය කරුණාව මෙන්ම, සෙනෙහසත් ඇයට අහිමි වෙනවා. කුඩා කාලයේ සිදුවන විවාහවලින් අතිබහුතරයක් එනම්, 80෴ක් වැනි ප්‍රමාණයක කාන්තාවන්ට මේ ගැටලුව තිබෙනවා. එම නිසා මම යෝජනාවක් කරන්න කැමතියි ගැහැනු දරුවෙකු විවාහ කරගන්නා අවම සීමාව අවුරුදු 18 බවට පත්කළ යුතුයි කියා.
එමෙන්ම කාන්තාවන්ට නිතරම බලපාන ප්‍රශ්නයක් වන්නේ ඔවුන් නිතර අතවරවලට ලක්වීමයි. අතැම් විට බාලවයස්කාර ළමයින් බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධීන් අසන්නට දකින්නට ලැබෙනවා. මෙවැනි ක්‍රියා නිසා කුඩා වයසේදීම ඇතැම් විට ළමයින් ගැබ් ගන්නවා. නමුත් එසේ සිදුවූවත් ඔවුන් ලිංගික ක්‍රියා හෝ ප්‍රජනනය හා ඉන් පසුව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් ඇති අය නෙමෙයි. එම නිසා ගබ්සා නීතියේදී විශේෂ අවධානයක් දැක්වීමට අවශ්‍ය තැනක් තමයි එය. ලංකාවේදී ගබ්සාවක් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවක්. එහි ඇති එකම ව්‍යතිරේකය නම් මවගේ ජීවිතයට තර්ජනයක් වනවා නම් ගබ්සාවක් සිදුකිරීමට අවසර තිබීමයි. නමුත් එය සංශෝධනය විය යුතුයි. අඩු වයසින් එනම්, අවුරුදු 18කට අඩු ළමයෙකු අතවරයකට පත් වූ විට හෝ සමූහ දූෂණයට ලක් වූ විට ඇය නොදන්නා කෙනෙකුගේ දරුවෙකු තමාට හදාවඩා ගැනීමට සමාජයෙන් බලකරනවා. කතෝලික පල්ලියෙන් දරුවන් ගබ්සා කිරීමට අකමැත්තක් දක්වන අතර, ඔවුන් එය හඳුන්වන්නේ දේව කැමැත්ත ලෙසින්. නමුත් ජීවිත කාලය පුරාවටම එසේ සිදුකිරීමට ඇයට නොහැකියි. අනෙක් කාරණය නම් තමන්ගේ ජීවිතය පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය තමන්ට තිබිය යුතුයි.
වෙනත් රටවල දරුවකු ප්‍රසූත කරන්නට පෙර සිදුකරන ස්කෑනින් පරීක්ෂණයේදී තමන්ගේ දරුවා නීරෝගි දරුවෙක්ද නැද්ද යන්න පිළිබඳව දෙමවුපියන් විසින් දැනගන්නවා. එම දරුවා මන්ද බුද්ධික හෝ අංගවිකල වැනි දෙයින් යුත් නීරෝගි දරුවෙකු නොවන්නේ නම් එම කලලය ගබ්සා කිරීමට ඔවුන්ට අවසර තිබෙනවා. ආබාධිත දරුවෙක් කියන්නේ එම දරුවාගේ දෙමවුපියන්ට පමණක් බලපාන ගැටලුවක් නොවේ. එය සමස්ත සමාජයටම බලපාන්නා වූ ගැටලුවක්. ඔවුන් විශේෂ අවශ්‍යතා සහිත ළමයින් ලෙස නම් කර තිබෙනවා. එය මුල් අවස්ථාවේදී වැළැක්වුවත් එය පසුකාලීනව සමාජයටම බලපාන්නා වූ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ගබ්සාව සම්බන්ධ නීති වූවත් එවැනි අවස්ථාවල වෙනස් විය යුතුයි. උදාහරණයක් ලෙසින් පවුල තුළ අංගවිකල ළමයෙකු ඉපදුන විට ඒ ඉපදුන දිනයේ සිටම මේ දරුවා ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට දෙමවුපියන්ට සිදුවෙනවා. එම දරුවාගේ සියලු අවශ්‍යතා ඉටු කර දෙමින් දෙමවුපියන් සමීපයේම දරුවා තබා ගැනීමට අවශ්‍ය වෙනවා. එම නිසා දෙමවුපියන් මිය යන අවස්ථාවේ වුවද සිතන්නේ ඉදිරි කාලය තුළ දරුවා කවුරුන් බලා ගනීවිද, දරුවා කෙසේ ජීවත් වන්නේද යන්න පිළිබඳවයි. එය පසුකාලීනව දෙමවුපියන්ටද මානසිකව පීඩා ගෙනදෙන ගැටලුවක් වෙනවා. ඒ නිසා මෙවැනි විශේෂ අවස්ථාවලදී ගබ්සාවට ඉඩ තිබිය යුතුයි. කතෝලික රාජ්‍යක් වූ රෝමයේ ක්‍රියාත්මක වන නීති පද්ධතිය තුළද ගබ්සාව නීතිගතයි. ඒ රට තුළ මව හා පියාගේ කැමැත්තට මූලිකත්වයදී ගබ්සා කිරීම සිදුකරනවා. චීනයේ එක් දරු උපතකට පමණයි නීතියෙන් අවසර දී තිබෙන්නේ. ජනගහනය කියන දෙය මේ වන විට චීනයට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. ඉස්සර මා ඕ සේතුංගේ කාලයේ චීනයේ ජනගහනය වැඩි කරන්න නොයෙකුත් දේවල් කළා. ළමයින් වැඩි ප්‍රමාණයක් සිටින මවුවරුන්ට %වීර මාතා^ ලෙසින් පදක්කම් පවා පිරිනැමුවා. නමුත් ඔවුන්ට අද වන විට ජනගහනය සමාජයට, පරිසරයට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසයි අද ඒ රටට එවැනි නියාමනයක් පනවන්නට සිදුවී තිබෙන්නේ. අද ලංකාව වුණත් ඒ ප්‍රශ්නයට මුහුණදෙන රටක්. ලංකාවේ භූමි ප්‍රමාණයට උචිත ජනගහනය කෝටියයි. නමුත් ඉන් දෙගුණයටත් වඩා ප්‍රමාණයක් අපේ රටේ දැන් සිටිනවා. කෙසේ නමුත් ගැහැනු දරුවන් හා කාන්තාවන් සම්බන්ධ උක්ත කී කරුණු කාරණා පදනම් කරගෙන රටේ පවත්තා නීතිය වෙනස් කිරීමට දැන් කාලය එළඹී තිබෙනවා. මුස්ලිම් තරුණියන්ට අවුරුදු 12 සිට විවාහ වීමේ අවස්ථාව තිබෙනවා. නමුත් ඇය ජීව විද්‍යාත්මකව මවක් වීමට සුදුසුද යන්න අප සිතිය යුතුයි. එමෙන්ම පවත්නා නීතිය වෙනස් කිරීම මගින් අපට යම් යම් ගැටලු අවම කර ගැනීමට හැකියි.
මේ පිළිබඳ කථිකාවත් වගේම විශාල වශයෙන් විමර්ශන රැසක් සිදුකර තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පවත්නා නීතිය වෙනස් විය යුතුයි යන්නයි මගේ අදහස. උසාවියට නඩු 100ක් ගෙන ගිය විට එයින් 3ක් වගේ ප්‍රමාණයක් නඩුවලින් දඬුවම් හිමිවන අතර, ඉතිරි 97ම දඬුවම් නොලබා ජයග්‍රහණය කරන නඩු. මෙය ඇතැම් විට නීතිඥයන්ගේ දක්ෂකම නිසා වුවද සිදුවිය හැකියි. නැතිනම් අධිකරණයේ නොදැනුවත්භාවය මත මෙය සිදුවිය හැකියි. කෙසේ නමුත් මේවා අපේ නීති පද්ධතිය තුළ ඇති අඩුපාඩු ලෙසයි මා දකින්නේ. නමුත් විදේශ රටවල්වල සිදුවන්නේ හරියටම එහි අනෙක් පැත්ත. මෙවැනි දේ නිසා ලංකාවේ මිනිස්සු අතර විශ්වාසයක් ඇති වෙනවා, ඔබට මුදල් තිබේ නම්, දක්ෂ නීතිඥයෙක් සිටිනවා නම්, රස පරීක්ෂකට, අධිකරණ වෛද්‍ය නිලධාරීයාට අල්ලස් දූෂණ ලබාදී ඔවුන්ව තම කැමැත්ත මත ක්‍රියාකිරීමට පොළඹවා ගන්න පුළුවන් කියලා හිතනවා. එබැවින් එසේ සිතීම අපි ප්‍රථමයෙන්ම ඉවත් කර ගැනීමට අවශ්‍යයි.
එවගේම යම් හිංසාවකට, දූෂණයකට ලක් වූ ළමයෙක් පොලීසියට පැමිණිල්ලක් සඳහා ගිය විටදී ඇයට ඒ වුණ සිද්ධිය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කිරීමට සිදුවෙනවා. ඉන්පසු පොලීසිය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරී ළඟට රැගෙන ගිය පසුත් වෛද්‍ය නිලධාරියා හමුවේ දෙවන වතාවටත් ඇය සිදු වූ දේ විස්තර කරනවා. එකී වාර්තාව ලැබුණු පසු ළමයාව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමක් සිදුකරනවා. ඊළඟට මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගයකින් නීතිඥයා ප්‍රශ්න කරමින් නැවත නැවතත් ඒ පිළිබඳ විමසනවා. ළමයා තුන්වැනි වරටත් ඒ කතන්දරය ප්‍රකාශ කර සිටිනවා. ඒ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සියලු කටඋත්තර අරගෙන මහාධිකරණයේ විභාග කිරීම සඳහා යවන විට එතනදීත් අර ස්ථානවලදී පැවසූ දෙයම නැවත නැවතත් පවසන්නට සිදුවෙනවා. ඒ අනුව අතවරයකට පත් වූ ළමයෙක් තවත් අවස්ථා කිහිපයකදීම නීතිය ක්‍රියාත්මක කිරීමේදී දූෂණයට ලක් වීමක් මෙහිදී සිදුවෙනවා. එම නිසා පවත්නා නීතිය වෙනස් කිරීමට කටයුතු කිරීම ඉතා සාධාරණීය දෙයක් ලෙසිනුයි මා දකින්නේ*.