කාන්තාවක් වශයෙන් අනිවාර්යයෙන් දැනුවත් විය යුතු ෙයාවුන් පෝෂණය


යොවුන් විය පරිවර්තන සමයකි
 
මෙම කාලය තුළ පුද්ගලයෙකු ළමා වියේ සිට වැඩිහිටි වියට පරිවර්තනය වීමක් සිදු වේ. වැඩිවියට පත්වන දරුවාගේ සිදුවන වැදගත් කඩඉම් ලෙස ශීඝ්‍ර කායික වර්ධනය, ප්‍රජනන පද්ධතියේ පරිණතිය, මානසික හා සමාජීය වෙනස්කම් සැලකිය හැක. නව යොවුන් වියේ සිදුවන කායික වර්ධනය සිදුවන වේගය දෙවැනි වන්නේ ජීවිතයේ පළමු වසරේදී සිදුවන වර්ධනයට පමණි. 
 
ගැහැනු දරුවාගේ වැඩිවියට පත්වීම අවුරුදු 08 - 13ත් 
 
අතරද, පිරිමි දරුවන්ගේ 10-15ත් අතරද සිදු වේ. එහිදී දරුවන්ගේ උස හා බර වැඩි වීම, මාංශ පේශි වර්ධනය හා අස්ථිවල කැල්සියම් තැන්පත් වීම ප්‍රධාන කොට දැකිය හැක. එයට සරිලන පරිදි ශක්තිය හා ප්‍රෝටීන් ද ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාද ලබාදීම අවශ්‍ය වේ. වැඩිවිය පැමිණීමට පෙර ගැහැනු හා පිරිමි දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සමාන වුවත් වැඩිවියට පත් වූ පසු ඇතිවන ශරීර සංයුතියේ හා ජීව විද්‍යාත්මක වෙනස්කම් (ආර්තවය වැනි) නිසා පෝෂණ අවශ්‍යතාවල වෙනස්කම් දැකිය හැක. 
 
එක් එක් වයස් කාණ්ඩයට අනුව නිර්දේශිත දෛනික ශක්ති අවශ්‍යතාව පහත දැක්වේ. එකම වයස් කාණ්ඩයේදී වුවද වැඩි ක්‍රියාකාරී පුද්ගලයන් සඳහා අවශ්‍ය ශක්ති ප්‍රමාණය වැඩිය. ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාවලින් කැල්සියම් හා යකඩ අවශ්‍යතාව විශේෂයෙන් වැදගත් වේ. අස්ථිවල කැල්සියම් තැන්පත් වීම මෙම කාලය තුළ උපරිම වන බැවින් උපරිම අස්ථි ස්කන්ධයක් ලබාගැනීමට උපකාරී වන පරිදි කැල්සියම් බහුල ආහාර ලබාදිය යුතු වේ. 
 
වයස (අවුරුදු) ගැහැනු දරුවන් සඳහා දෛනික ශක්ති අවශ්‍යතාව (කැලරි) 
 
10-11 2100
12-15 2400
16-18 2500
18-29 (අඩු ක්‍රියාකාරී - වැඩි ක්‍රියාකාරී) 2000-2750
 
එසේම දෛනික ආහාර වේල සියලුම ආහාර කාණ්ඩ අන්තර්ගත වන ලෙස ලබාදීමද වැදගත් වේ. එක එක ආහාර කාණ්ඩවලින් දිනපතා ගැනීමට නිර්දේශිත ආහාර ප්‍රමාණ මෙලෙස දැක්විය හැකිය. 
 
ආහාර කාණ්ඩය ආහාර ප්‍රමාණය ප්‍රමාණ 01 යනු
ධාන්‍ය හා පිටි සහිත ආහාර 7-10 පීරිසි කෝප්ප 01
පාන් පෙති 01 (ග්‍රෑම් 50)
පලතුරු 2 මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 01
සලාද පීරිසි කෝප්ප 1/2
එළවළු 2-3 ව්‍යංජන මේස හැඳි 03
සලාද - පීරිසි කෝප්ප 01
මාළු, බිත්තර, මස්, පියලි හා ඇට වර්ග 2-3 පිසින ලද මස් මාළු - ග්‍රෑම් 30
බිත්තර 01
පිසින ලද ඇට වර්ග - මේස හැඳි 03
කිරි හෝ කිරි ආහාර 2 කිරි - පීරිසි කෝප්ප -01
කිරිපිටි - මේස හැඳි 02
කජු, රටකජු හා තෙල් සහිත බීජ වර්ග 2-3 මේස හැඳි 01
 
පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිවීමේ අවදානම අඩු කරගැනීමට උපරිම අස්ථි ස්කන්ධයක් දක්වා ළඟාවීම වැඩි වැදගත් වේ. කැල්සියම් බහුල ආහාර වශයෙන් කිරි හා කිරි ආහාර, කුඩා මාළු, කඩල, තල, තද කොළ පැහැති පලා වර්ග සැලකිය හැකිය. 
 
ගැහැනු දරුවන්ගේ ඔසප් වීම ඇරඹීමත් සමග යකඩ අඩංගු ආහාර ගැනීම ඉතා වැදගත් වේ. මස්, මාළු, බිත්තර, තද කොළ පාට පළා වර්ග, මුං, උළුඳු, කඩල, ආදිය යකඩ බහුල ආහාර ලෙස සැලකිය හැකිය. සත්ත්ව ආහාරවල හීම් යකඩ උරා ගැනීමද අපහසු කරවයි. යකඩ අඩංගු ආහාර සමග විටමින් සී අඩංගු ආහාර ගැනීමෙන් යකඩ උරාගැනීම පහසු කරයි. මෙම ආහාර එදිනෙදා පරිභෝජනයට එකතු කර ගැනීමෙන් බොහෝ දුරට ක්ෂුද්‍ර පෝෂක පෝෂණ ඌනතා ඇති වීම වළකාගත හැකිය. නිසි ආහාර වේලක් ලබාගන්නේ නම් අතිරේක විටමින් ලබාදීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් ලංකාවේ දරුවන්ගෙන් බොහෝමයක් ප්‍රශස්ත ආහාර වේලක් ලබා නොගන්නා බැවින් පාසල් යන වයසේ ළමයින්ට යකඩ, ෆෝලික් අම්ලය, විටමින් සී හා යකඩ ඌනතාවට හේතුවිය හැකි පණු රෝග වැළැක්වීමට පණු බෙහෙත් (මෙබෙන්ඩසෝල්) ලබා දේ. 
 
වර්ධනය ඇගයීම යොවුන් වියේදීද වැදගත්
 
වයසට සරිලන උස වර්ධන ඇගයීමේ එක මිනුමකි. වයසට සරිලන උසෙහි වර්ධනයක් නොමැති දරුවන් මිටි බැවින් පෙළෙන ලෙස සැලකිය හැකිය. එය දිගුකාලීන අඩු පෝෂණ තත්ත්වය පෙන්වීමකි. වැඩිහිටි උස සෙ.මී. 145ට අඩුවීම ගර්භිණී මවක් වූ විට දරුවන් බිහි කිරීමේ අපහසුතා ඇතිවීමට තුඩු දේ. වර්ධනය ඇගයීම මගින් වයසට සරිලන උස අඩු දරුවන් හඳුනාගැනීමටත් එය හේතුවෙන් වෙනත් කරුණු (හෝමෝන ඌනතා, කායික රෝග වැනි) ඇත්නම් නිසි ප්‍රතිකාර ලබාගැනීමටත්, පෝෂණ ඌනතා සඳහා සක්‍රිය ලෙස මැදිහත් වීමටත් හැකි වේ. 2016 වර්ෂයේදී ජන සමීක්ෂණයට අනුව අවුරුදු 20-29ත් අතර කාන්තාවන් අතරින් 5.3෴ක් උස සෙ.මී. 145ට අඩුය. 
 
මන්දපෝෂණ චක්‍රයක් ලෙස උපතේ සිට ජීවිත කාලය තුළ විහිදිය හැක. නව යොවුන් වියේ දරුවන්ට නිසි මැදිහත්වීමෙන් නිරෝගී යොවුන් ප්‍රජාවක් ඇති වේ. එවිට පසුව උපදින දරු පරපුර වඩාත් සෞඛ්‍ය සම්පන්න වේ. 
යෞවනයන් අතරද අධිබර හා බෝ නොවන රෝග අවදානම ඉහළ යයි
 
ශරීර ස්කන්ධ දර්ශකය වර්ධනය ඇගයීමේ අනෙක් මිනුමයි. අවුරුදු 10-19ත් අතර දරුවන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය වයසට සාපේක්ෂව, වර්ධන සටහන් මගින් ඇගයීමට ලක්කරනු ලබන අතර ඉන්පසු වැඩිහිටි අගයන් භාවිත වේ. 2015 වර්ෂයේදී බෝ නොවන රෝග සමීක්ෂණයට අනුව අවුරුදු 18-29ත් අතර පිරිසෙන් 18.8%ක් අධිබරින් හා ස්ථුලතාවෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ. එසේම කාන්තාවන් අතර මෙම තත්ත්වය පිරිමි අයට වඩා ඉහළ අගයක් ගනියි. එසේම පසුගිය කාලය තුළ අධිබර හා ස්ථුලතාව ඉහළ යෑමේ ප්‍රවණතාවක් තිබේ. 
 
වර්තමානයේ බහුල වශයෙන් තෙල්, සීනි හා ලුණු බහුල ආහාර වෙළඳ පොළට එක්වීමත්, ඒවා අධික වශයෙන් ප්‍රචාරණය වීමත්, කාර්යබහුල ජීවන රටාවන් සමග පිසින ලද ආහාර මිලදී ගැනීමට නැඹුරු වීමත් අධිබර හා ස්ථුලතාව ඉහළ යෑමට හේතු වේ. එසේම සෞඛ්‍ය සම්පන්න ආහාර මිලදීගැනීමට හැමවිටම නොමැති වීම, ඒවාට ඇති ඉල්ලුම අඩු බැවින් ආහාර නිෂ්පාදකයන් ඒ සඳහා උනන්දුවක් නොදැක්වීම හා එම ආහාර මිල ගණනින් සාපේක්ෂව වැඩි වීම සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති වීමට විෂම වශයෙන් බලපා තිබේ. 
 
යොවුන් වියේ දරුවන් අවට පරිසරයේ හා යහළුවන්ගේ බලපෑම මත ආහාර රටා හැඩගස්වා ගනියි
නව යොවුන් වියේ දරුවන් මානසික හා සමාජීය වෙනස්කම් ඇතිවීමත් සමග නිදහස් තීරණ ගැනීමටත්, තම නිවසේ දෙමාපියන් ඇසුරෙන් ලබන අවවාද හා උපදෙස්වලට වඩා, සම වයසේ දරුවන්ගේ හැසිරීම් හා අත්දැකීම් පදනම් කොටගෙන තම හුරුපුරුදු වෙනස් කරගැනීමටද නැඹුරුවක් දක්වති. ආහාර රටා හා ආහාර වෙනස් කර ගැනීම සම වයසේ දරුවන්ගේ අභාසය විශේෂයෙන්ම බලපායි. එසේම වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මගින් ප්‍රවර්ධනය කරනු ලබන ආහාර අත්හදා බැලීමටත් ඒවා තම එදිනදා ආහාර රටාවට එක්කර ගැනීමටත් ඔවුහු බොහෝ විට පෙළඹෙති. 
යොවුන් විය තුළ ඇති කරගන්නා ආහාර පුරුදු වැඩිහිටි කාලය තුළ පුරුදු පුහුණු කරනු ලබන ආහාර පුරුදුවලට මගපෙන්වයි. එබැවින් අනාගතයේදී බෝ නොවන රෝගවලට අවදානම් සාධක ලෙස හේතු විය හැකි ආහාර පුරුදුවලට යොමු වීම වළකාලීමේ පියවර ගතයුතුව ඇත්තේද මෙම කාලයේදීය. කෙසේ වෙතත් අවුරුදු විස්සකට තිහකට පසු එළඹෙන මෙම අවදානම් තත්ත්ව වෙනුවෙන් නිරෝගී යෞවනයන්ගේ මනස සැකසීම ඉතා අපහසු කරුණකි. එබැවින් ඔවුන් අවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමද, ඔවුන්ගේ චින්තනයන් හා ගැළපෙන ප්‍රවර්ධන ක්‍රියාමාර්ගවලට අනුගත වීමද කළ යුතුව තිබේ. 
පාසල් හා රැකියා පරිශ්‍ර තුළ යහපත් ආහාර පුරුදු ඇති කරගැනීමට උපකාරී විය හැකි පරිදි සෞඛ්‍ය සම්පන්න ආපන ශාලා ප්‍රවර්ධනය, සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පිහිටුවීම සහ සක්‍රීය ක්‍රියාකාරකම් මෙහෙයවීම් දිරිමත් කිරීම, රූපවාහිනිය හා ජංගම දුරකථන පදනම් කරගත් සමාජ ජාලා ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු බලගැන්වීම යොවුන් පෝෂණය නංවාලීමට උපකාරී වේ. 
 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ යසෝමා වීරසේකර  පෝෂණ සම්බන්ධීකරණ අංශය


Recommended Articles