ඇය නීතිඥවරියකි. නමුත් ඇයව බොහෝදෙනා හඳුනන්නේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්රයේ නියැළෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙසටය. දිල්රුක්ෂි කුරුකුලසූරිය නම් ඇය %Diesel and Motor Engineering Company PLC (DIMO)^ ආයතනය ලෝකය හමුවේ සේවයේ යෙදීමට හොඳම ස්ථානයක් බවට පත්කිරීමට (Great Place To Work ) සිය දායකත්වය නොමඳව ලබාදුන් ආයතන ප්‍රධානියෙකු ලෙස අපට හඳුන්වා දිය හැකිය.
මට අනුව මම
මම මේ ලෝකෙට ඇවිත් ඉන්නේ යම්කිසි Mission එකකට කියලයි මම හිතන්නේ. ඒ Mission එකට ගැළපෙන වෘත්තියක් මම තෝරාගෙන ඉන්නවා. මම නීතිඥවරියක්. නමුත් මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්රයේ වෘත්තියකයි නියැළෙන්නේ. මගේ Mission එක තමයි සේවා ස්ථානයේ සිටින සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ best version එකට transform කරන එක. ඔවුන්ගේ රැකියාවට අවශ්‍ය වන දක්ෂතා එළියට ගැනීම, රැකියාවට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය කිරීම, රැකියාවේ නියැළීමට සුදුසු මානසිකත්වයක් සහිත වටපිටාවක් නිර්මාණය කරදීම හරහා නිපුණතාවන් වැඩි දියුණු කරමින් ඔවුන්ගේ දායකත්වය රැකියාව කෙරෙහි වැඩිදියුණු කිරීම තමයි මගේ වෘත්තීමය කාර්යභාරය වී තිබෙන්නේ.
ඒ හැර මම ගැන කිව හැකි දෙයක් තමයි මට යමක් කරන්න ලැබුණොත් එය වගකීමක් ලෙස සලකලා නොපිරිහෙලා ඉටුකරනවා කියන එක. මට වගකීම් රැසක් තියෙනවා. එකට එකක් වෙනස් වූ වගකීම් එකවර ඉටුකිරීමේ (multitasking) හැකියාවක් මට තිබෙනවා.
අධ්‍යාපනය හා නිපුණතාවය නිසා ලබන නිදහස
අධ්‍යාපනය ජීවිතය ජයගන්න ඉතාම වැදගත් දෙයක්. අපි මුහුණපාන අභියෝග වගේම වෘත්තියක, රැකියාවක නියැළීමට අධ්‍යාපනය ඉතාම වැදගත්. එයට ස්ත්‍රී, පුරුෂභාවයක් නැහැ. නමුත් කාන්තාවක් ලෙස ස්වාධීන වෙන්නට ආර්ථික වශයෙන් නිදහසක් අවශ්‍යයි. තමන්ට නිපුණතාවක් තිබෙනවා නම්, රැකියාවක නිරත වෙන්නට පුළුවන්නම් ඔවුන්ට යැපෙන්නන් බවට පත්නොවී ජීවත් විය හැකියි.
ඒ නිසා කාන්තාවන් අතර දුප්පත්කම නැතිකිරීමට හා ඔවුන්ව ඒ වෙනුවෙන් බලාත්මක කිරීමත්, කාන්තා හිංසන, අතවර වගේ දේවල් නැතිකිරීමටත් අධ්‍යාපනය ලබා තිබීම ඉතාම වැදගත්. කාන්තාවන් මිනිස් ජාවාරමේ යෙදවීම, අපයෝජනයට ලක්වීම වගේම ඇතැම් රෝගවලට ගොදුරු වීමත් සිදුවන්නේ අධ්‍යාපනයක් නොලැබීම නිසයි. අපිට මේ නිදහස ලැබිලා තියෙන්නේ ආර්ථික වශයෙන් තිබෙන නිදහස නිසයි. ඒ නිදහස අපිට ලැබිලා තියෙන්නේ අධ්‍යාපනය හා නිපුණතාවන් නිසයි.
ඩිමෝ ආයතනය Grate place to work දක්වා ගෙන ඒමට දැක්වූ දායකත්වය
යම් ආයතනයක් ලෝකයේ Grate place to work කියන තත්ත්වයට ළඟා වෙන්නට සම්මත නිර්ණායක කිහිපයක් සොයා බලනවා. එයට අපේ ඉහළ කළමනාකාරීත්වය හා ඔවුන් සමග පවතින විශ්වාසය, අපේ සේවායෝජකයන් සමග පවතින විශ්වාසය හා වැඩ කිරීමට ඇති හැකියාව, වැඩ අන්තර්ගතය යන නිර්ණායක තුන පිළිබඳව සොයා බැලීමක් සිදුකරනවා.
මෙම නිර්ණායක අපේ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හොඳින් හඳුනාගෙන සිටිනවා. ඔවුන්ගේ ආශිර්වාදය නැතිව අපිට මේ දේවල් කරන්න බැහැ. මගේ වගකීම තමයි ආයතනයේ කළමනාකාරීත්වය හා සේවකයන් අතර වගේම සේවකයන් හා සේවකයන් අතරත් විශ්වාසය ගොඩනැගීම. එසේම තමා නිරත වන රැකියාවේ උපරිම අන්දමින් නියැළීමට හා වෘත්තීමය ගෞරවය රැක ගැනීමට රැකුල් දීම. අපි සේවකයන්ට කියල දෙනවා තමන් නියැළෙන රාජකාරිය කොහොමද ආයතනයේ ප්‍රතිරූපය නිර්මාණය කිරීම කෙරෙහි දායක වන්නේ කියන දේ පිළිබඳව.
Grate place to work බවට අපගේ ආයතනය රැගෙන යෑම මගේ තනි දායකත්වයෙන් සිදුවූවක් නෙවෙයි. නායකත්වය ඊට ගොඩාක් ඉවහල් වෙනවා. මගෙන් දිය යුතු දායකත්වය ඒ වෙනුවෙන් උපරිමයෙන් ලබාදෙනවා. නිවැරදි පුද්ගලයන් ආයතනයට බඳවා ගැනීම, බඳවාගත් අයගෙන් නිවැරදි අයව උසස්වීම් කරා රැගෙන යෑම වගේ දේවල් අපේ පෞද්ගලික කැමැත්ත මත සිදු නොකර, විනිවිදභාවයෙන් සිදුකිරීම තුළින් සියලුදෙනාට කැමැත්තෙන් හා ආශාවෙන් රැකියාවේ නිරතවෙන්න පරිසරයක් ගොඩනැගෙනවා.
සතුටින් හා අගයකිරීම් සහිත පරිසරයක් නිර්මාණය කරන බවට අපි අපේ සේවකයන්ට පොරොන්දුවක් දෙනවා. මම ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සලස්වනවා.
ජිවිතේ නිදහස, රැකියාව සහ වගකීම් සමබර කිරීම
ජීවිතය හා රැකියාව පටලවාගන්න අවශ්‍ය නැහැ. නමුත් සියලු කාන්තාවන් සම්බන්ධයෙන් මෙය ආදේශ කරන්න බැරි වේවි. මොකද තමන් කරන දෙය තමන්ගේ යම් තෝරාගැනීමක් විය හැකියි. මගේ ජීවිතයේදී මම මවක් ලෙස මගේ දරුවාට ආදර්ශවත් ලෙස කටයුතු කරනවා.
නමුත් එය මගේ ඇඳුමෙන් පැලඳුමෙන් හෝ මම යන එන තැන්වලින් මනින්න බැහැ. මේවා සමාජයේ තිබෙන ආකල්පවල ප්‍රශ්නයක්. මට අවශ්‍ය දේවල් මම කරනවා. මොකද මට නිදහසක් තිබෙනවා. ඒ නිදහස මම ලබාගත්තේ මගේ අධ්‍යාපනය හා රැකියාව තුළින් ලබාගත් ආර්ථික නිදහස නිසයි. හැමෝටම මට වගේ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. හැබැයි එහෙම නිදහසක් ලබන්න පුළුවන්කම තිබෙද්දිත් එය අත්විඳින්නේ නැතිනම් ඒ ඔවුන්ගේ කැමැත්ත විය හැකියි. අපි එයට ගරු කළ යුතුයි.
කාන්තාවකට සාර්ථක වෘත්තීමය ජීවිතයක් ළඟා කරගන්න සිදුකළ යුතු මූලික දෙය වන්නේ තමන් ප්‍රමුඛස්ථානය දිය යුතු දෙය හඳුනා ගැනීමයි. මෙයට තමන්ගේ රාජකාරි හා පෞද්ගලික වගකීම් නිසි ලෙස හඳුනාගත යුතුයි. නිදහස හෝ ජීවිතය භුක්ති විඳින්න යැයි කියලා තමන්ගේ පවුලට, ළමයාට හෝ රැකියාවට ඉටුවිය යුතු යුතුකම් වගකීම් අතහැර දමන්න අපිට බැහැ. අපි ජීවත් වෙන්නේ රැකියාවෙන්. නමුත් රැකියාව ජීවිතය බවට පත්කරගත යුතු නැහැ. එයට worklife balance කියන දේ ඉතාම අවශ්‍යයි. කාන්තාවන්ට වගකීම් රැසක් දරන්න වෙන නිසා බොහෝ වෙලාවට මානසික වශයෙන් ඔවුන් ආතතියට ලක්වෙනවා.
ජීවිතයේ අරමුණු කරා යන ගමන සාර්ථක කර ගැනීම
මගේ ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබෙනවා නම් එයට කරුණු කිහිපයක් බලපාලා තිබෙනවා. පළමු දෙය තමයි මගේ ඉලක්කය. මම කොයි වගේ ජීවිතයක්ද ගතකරන්නේ, මගේ වෘත්තියෙන් කොතරම් දුරක් යනවාද යන ඉලක්ක ගැන මම පැහැදිලිව හිතනවා. මීළඟට මම ඒ සඳහා යොදන සැලැස්ම සඳහා අවශ්‍ය අධ්‍යාපනය, නිපුණත්වය ලබාගන්න මම අවධානය යොදනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතයට හානි නොවන ලෙස මම මේ අරමුණු ළඟා කරගැනීමට සැලසුම් හදාගන්නවා. මීළඟට මගේ අරමුණට යද්දී මම උදවු ලබාගන්නේ කාගෙන්ද කියන දේ කල්පනා කරනවා. මොකද මම හැමදේම කරන්න ඕනේ කියලා නියතයක් තියෙන්න බැහැ. සමහර ගෙවල්වල කෑම හදන එක අම්මා හෝ බිරිඳ විසින් සිදුකළ යුතුමයි කියලා නියතයන් හදාගෙන තිබෙනවා. එහෙම එකක් තියෙන්න බැහැ. හැම කාර්යකදීම මම හැමෝටම යම්කිසි කාර්යක් පවරනවා. ඒ හරහා මම මගේ අරමුණ කරා ගමන් කරනවා. වඩාත්ම වැදගත් දෙය තමයි තමන්ගේ අරමුණ කරා ළඟාවීම. ඇතැම් අවස්ථාවල ඒ ගමනේදී ඔබව අධෛර්යමත් කරන දේවල් අහන්න ලැබෙයි. නමුත් නොසෙල්වී තමන්ගේ අරමුණ කරා යා යුතුයි. එයට අවශ්‍ය විශ්වාසය හා බලකරණය අප තුළින්ම ඇති කරගත යුතුයි. ඒ වගේම තමන් තමන්ගේ අරමුණ ළඟා කරගන්නා ආකාරය පිළිබඳව නිතරම සිතින් දැකිය යුතුයි.
නදීශානි පතිරණ / ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු